ඉසුරු පරාක්රම
ඔක්තෝබර් 18, කොළඹ (LNW): කෘෂිකර්මාන්තයට සහ ග්රාමීය සංවර්ධනයට දක්වන ලද දායකත්වය උදෙසා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) “කෘෂි ආහාර පද්ධති සහ ග්රාමීය සංවර්ධනය වෙනුවෙන් කැපවූ කාන්තා වීරවරියන් 100 දෙනා” (100 Women Heroes in Agrifood Systems and Rural Development) අතරට තේරී පත්වෙමින් ශ්රී ලාංකික ප්රජා නායිකාවක වන මානෙල් ජයසිංහ මහත්මිය ජාත්යන්තර ඇගයීමට ලක්ව ඇත.
ඇයගේ මෙම තේරී පත්වීමත් සමඟ, කෘෂිකාර්මික ප්රජාවන් නැවත හැඩගැස්වීමට, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට සහ ලොව පුරා ග්රාමීය ජනගහනය සඳහා වඩා යහපත් ආර්ථික අවස්ථාවන් නිර්මාණය කිරීමට දායක වන විශිෂ්ට කාන්තාවන් සමූහය අතරට ඇය ද එක්වෙයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සාමාජික රටවල් 131 කින් ඉදිරිපත් වූ නාම යෝජනා 609 ක් අතරින් ජයසිංහ මහත්මිය තෝරාගෙන ඇති අතර, එමඟින් මෙම වැඩසටහනේ ගෝලීය ව්යාප්තිය සහ තේරීම් ක්රියාවලියේ දී සලකා බලන ලද දායකත්වයන්හි පරාසය පිළිඹිබු වේ.
2026 අන්තර්ජාතික ගොවි කාන්තා වසර සලකුණු කිරීම සඳහා මෙම වැඩසටහන හඳුන්වා දෙනු ලැබූ අතර, කෘෂිකාර්මික නිෂ්පාදනය, ආහාර බෙදා හැරීම සහ ග්රාමීය සංවර්ධනය පුරා කාන්තාවන් ඉටු කරන අත්යවශ්ය කාර්යභාරය එමඟින් ඉස්මතු කෙරේ. ගොවීන්ට වෙළඳපොළ වෙත ප්රවේශ වීමට උපකාර කිරීම, ස්වාභාවික සම්පත් වගකීමෙන් යුතුව කළමනාකරණය කිරීමට උපකාර කිරීම, දේශීය කෘෂිකාර්මික දැනුම සුරැකීම සහ රැකියා හා කුසලතා සංවර්ධන අවස්ථා පුළුල් කිරීම සඳහා දායක වූ පුද්ගලයන් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.
මෙම තේරීම් ක්රියාවලිය සුදුසුකම් පරීක්ෂා කිරීම, රටවල නියෝජනය පිළිබඳ සලකා බැලීම, ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ ඇගයීම සහ සංවිධානයේ ඉහළම නායකත්වයේ අවසාන සමාලෝචනය ඇතුළු ඇගයීම් අදියර කිහිපයකින් සමන්විත විය.
ශ්රී ලංකාව තුළ, ගොවිතැන සහ ග්රාමීය ජීවනෝපායන් හි නියැලී සිටින කාන්තාවන් වෙනුවෙන් සිදුකරන ප්රජා මූලික මෙහෙවර උදෙසා ජයසිංහ මහත්මිය ඇගයීමට ලක්ව ඇත. ‘අරුණෝදය කාන්තා ගොවි සමිතිය’ හි ඇයගේ නායකත්වය හරහා, කාන්තාවන්ට ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු ශක්තිමත් කර ගැනීමටත්, ආර්ථික අපේක්ෂාවන් වර්ධනය කර ගැනීමටත්, ප්රජා කටයුතු සඳහා වඩාත් සක්රිය ව දායක වීමටත් ඇය උපකාර කර තිබේ.
ඇයගේ මෙම උත්සාහයන් ගොවි කාන්තාවන් අතර සාමූහික ක්රියාකාරීත්වය වැඩිදියුණු කිරීමට ද උර දී ඇති අතර, දැනුම හුවමාරු කර ගැනීමටත්, තිරසාර කෘෂිකාර්මික ක්රමවේද අනුගමනය කිරීමටත්, දේශීය තීරණ ගැනීමේ ක්රියාවලීන් සඳහා වඩාත් අර්ථවත් ලෙස සහභාගී වීමටත් ඔවුනට අවස්ථාවන් උදා කර දී ඇත. සම්පත්, පුහුණුව සහ වෙළඳපොළ වෙත ප්රවේශය බොහෝ විට ගොවි පවුල්වල තිරසාරභාවය තීරණය කරන ග්රාමීය ප්රදේශවලට මෙවැනි මුලපිරීම් විශේෂයෙන්ම වටින බව සඳහන්කළ යුතු ය.
ජයසිංහ මහත්මියට හිමිවූ මෙම ජාත්යන්තර ඇගයීම, කෘෂිකාර්මික ක්ෂේත්රය වෙනුවෙන් ශ්රී ලාංකික කාන්තාවන් දක්වන පුළුල් දායකත්වය කෙරෙහි ද අවධානය යොමු කරවයි. ආහාර නිෂ්පාදනයට අමතරව, ග්රාමීය ප්රජාවන්හි කාන්තාවන් සාම්ප්රදායික ගොවිතැන් ක්රම සුරැකීම, ගෘහස්ථ ආදායම් මාර්ග ශක්තිමත් කිරීම සහ දේශීය ආහාර ජාලයන් පවත්වාගෙන යාම සඳහා නිරන්තරයෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ලැයිස්තුවට ඇය ඇතුළත් වීම ඇයගේ සේවයට ලැබුණු වැදගත් සන්ධිස්ථානයක් වන අතර, වඩාත් සමගාමී සහ ප්රත්යස්ථ (resilient) ආහාර පද්ධති ගොඩනැගීම සඳහා ග්රාමීය මට්ටමේ නායකත්වයේ දායකත්වය කෙරෙහි ද ආලෝකයක් විහිදුවයි.
කෘෂිකර්මාන්තයේ සහ තිරසාර ග්රාමීය සංවර්ධනයේ අනාගතය උදෙසා ග්රාමීය කාන්තාවන්ගේ දැනුම, ව්යවසායකත්වය සහ ප්රජා සහභාගීත්වය ප්රධාන සාධකයක් ලෙස පවතින බැවින්, ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීමේ වැදගත්කම මෙම ඇගයීම හරහා තවදුරටත් තහවුරු වේ.

