සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : රුසියාවෙන් අපනයනය කරන ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ඇමරිකාවේ නිව්යෝර්ක් වරාය වෙත ගමන් කරමින් පවතින බව දත්ත වාර්තා උපුටා දක්වමින් Reuters පුවත් සේවය වාර්තා කරයි.
Agioi Fanendes නම් මෙම නෞකාව මෝල්ටා ධජය යටතේ යාත්රා කරන අතර, 2026 ඔක්තෝබර් 22 වැනිදා රුසියාවේ Primorsk වරායෙන් පිටත්ව තිබේ. එය නොවැම්බර් 7 වැනිදා පමණ නිව්යෝර්ක් වෙත ළඟාවීමට නියමිත බව වාර්තාවල සඳහන් වේ.
2022 වසරේදී හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් රුසියානු තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන එක්සත් ජනපදය වෙත ආනයනය කිරීම තහනම් කරන බව නිවේදනය කිරීමෙන් පසු, එරටට ආනයනය කෙරෙන පළමු තොගය මෙය වන අතර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇති කරගත් බව පැවසෙන එකඟතාවයෙන් පසු රුසියාව විසින් වහාම ක්රියාත්මක වන පරිදි මෙට්රික් ටොන් 300,000ක් (එනම් බැරල් මිලියන 2.25ක්) එක්සත් ජනපද වෙළඳපොළට සහ ගෝලීය වෙළඳපොළට අපනයනය කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව නොවැම්බර් මාසයේදී තවත් ටොන් 500,000ක් සහ “ඉන් පසුව වහාම” තවත් ටොන් මිලියනයක් අපනයනය කිරීමට නියමිත බවත් ජනාධිපති ට්රම්ප් ඔක්තෝබර් 9 වන දින ප්රකාශ කරන ලදි.
නොවැම්බර් 3 වන දින පැවැත්වීමට නියමිත එක්සත් ජනපද මධ්ය කාලීන මැතිවරණයට පෙර ඉන්ධන සැපයුම ඉහළ නැංවීම සහ ඩීසල් මිල සම්බන්ධයෙන් පවතින පීඩනය අවම කිරීම මෙම සැපයුම් සැලසුමේ බව කියැවේ. රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් පවතින ජාත්යන්තර සම්බාධක සහ භූ දේශපාලනික තත්ත්වයන් හමුවේ මෙම ගනුදෙනුව පිළිබඳව ද ජාත්යන්තර අවධානය යොමුව තිබේ.

