රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW :
ඩිජිටල් ආර්ථික අමාත්යාංශය විසින් PHP භාෂාවෙන් නිර්මාණය කරන ලද රජයේ වෙබ් අඩවි සහ යෙදුම්වල පවතින දැඩි ආරක්ෂක දුර්වලතා පිළිබඳව සියලුම රාජ්ය ආයතන වෙත විශේෂ දැනුම්දීමක් නිකුත් කර ඇත. මෙම තත්ත්වය හමුවේ පද්ධති වෙත අනවසරයෙන් ඇතුළු වීම, තොරතුරු සොරකම් කිරීම සහ මෙහෙයුම්වලට බාධා ඇති වීම වැනි බරපතළ අවදානම් මතුවිය හැකි බව අමාත්යාංශය පෙන්වා දී තිබේ. මේ සඳහා විශේෂ චක්රලේඛයක් නිකුත් කර ඇති අතර, එවැනි අනතුරු අවම කර ගැනීම පිණිස ක්ෂණිකව අවශ්ය පියවර ගන්නා ලෙස රාජ්ය ආයතන ප්රධානීන් වෙත තරයේ උපදෙස් දී ඇත.
අමාත්යාංශය නිකුත් කර ඇති නිවේදනය පහත සඳහන් වේ.
PHP භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින තීරණාත්මක ආරක්ෂක දුර්වලතා (Vulnerabilities) නිරාකරණය කිරීම
- වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය කිරීම සඳහා බහුලව භාවිත වන PHP මෘදුකාංගයට අදාළව හඳුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා කෙරෙහි වහාම අවධානය යොමු කරන ලෙස ඩිජිටල් ආර්ථික අමාත්යාංශය සියලුම රජයේ ආයතන වෙත දැනුම් දෙනු ලැබේ.
- ඒ අනුව CVE-2026-109618 සහ CVE-2026-109619 යන හැඳින්වීමේ කේත මගින් නම් කර ඇති ආරක්ෂක දුර්වලතා හේතුවෙන්, අනවසරයෙන් පද්ධති වෙත ප්රවේශ වීමේ, දත්ත සොරකම් කිරීමේ සහ ක්රියාකාරීත්වයට බාධා ඇති වීමේ දැඩි අවදානමක් පවතී.
- එවැනි තත්ත්වයන් යටතේ, සිදුවිය හැකි අවදානම් අවම කර ගැනීම සඳහා පහත සඳහන් පියවර වහාම ගන්නා ලෙස රජයේ ආයතනවල අවධානය යොමු කෙරේ:
i. PHP භාවිත කරන සියලුම පද්ධති සහ වෙබ් යෙදුම් හඳුනාගෙන ඒවා ක්රියාත්මක වන සංස්කරණ (Versions) තහවුරු කළ යුතු ය.
ii. මෙම ආරක්ෂක දෝෂ සඳහා නිකුත් කර ඇති මෘදුකාංග පැච් (Software patches) භාවිතයෙන්, නිසි ක්රියාපටිපාටිවලට අනුව පද්ධති සහ වෙබ් යෙදුම් වහාම යාවත්කාලීන කළ යුතු ය. මේ සඳහා PHPහි නිල වෙබ් අඩවියේ (https://www.php.net) සපයා ඇති යාවත්කාලීන කිරීමේ උපදෙස් අනුගමනය කළ යුතුය.
iii. අසාමාන්ය ක්රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා පද්ධති පිවිසුම් දත්ත (System logs) විශ්ලේෂණය කරන්න.
iv. වහාම යාවත්කාලීන කළ නොහැකි අධි අවදානම් සහිත පද්ධතිවල අන්තර්ජාල ප්රවේශය සීමා කරන්න හෝ ඒවා විසන්ධි කරන්න.
- මීට අමතරව මෙම අමාත්යාංශය යටතේ ක්රියාත්මක GovTech Sri Lanka ආයතනය විසින් දුර්වලතා අනාවරකයක් (Vulnerability detector) සංවර්ධනය කර ඇති අතර එය www.govtech.lk/cvesecure හරහා ක්රියාත්මක කර ඇත. අදාළ වෙබ් අඩවියක PHP දුර්වලතා තිබේ ද යන්න පරීක්ෂා කර බැලීමට සහ අවශ්ය තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා ශ්රී ලංකා CERT ආයතනය සමග සම්බන්ධ වීමට එකී අඩවි බාර තාක්ෂණ ශිල්පීන්ට අවස්ථාව ලබා දෙන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් දිය යුතු ය.
- මේ සම්බන්ධ වැඩිදුර විමසීම් සඳහා කරුණාකර 0112497900 / [email protected] ඔස්සේ GovTech Sri Lanka ආයතනය හෝ 0112691692 / [email protected] ඔස්සේ Sri Lanka CERT ආයතනය අමතන්න.


