සටහන – රුවන් නෙළුගොල්ල
ශ්රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්ය ඒ. එච්. එම්. ෆවුසි විශාල ප්රමාණයේ පුවත්පත් දැන්වීමක් පළකරමින් ශ්රී ලංකාවේ සමස්ත ජනතාවගෙන් ප්රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.
ඒ, ආපදා කළමනාකරණ අමාත්යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී නෙදර්ලන්ත රජය විසින් ශ්රී ලංකාවට පරිත්යාග කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගෙන අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.
ආපදා කළමනාකරණ කටයුතු සඳහා නෙදර්ලන්ත රජයෙන් ලංකාවට පරිත්යාග කර තිබූ WP KI-4666 දරන ටොයෝටා ලෑන්ඩ් කෲසර් ප්රාඩෝ රථය ෆවුසි අමාත්යවරයා විසින් පෞද්ගලික ප්රයෝජනය සඳහා අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු වාණිජ මණ්ඩල සභාපති චන්ද්රා ජයරත්න මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව ශ්රේෂ්ඨාධිකරණය 2026 සැප්තැම්බර් 29 වැනිදා ඓතිහාසික තීන්දුවක් ප්රකාශයට පත්කර තිබිණි.
ෆවුසි මහතාගේ මෙම ක්රියාව මහජන විශ්වාසය මුළුමනින්ම පාවාදීමක් සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ තහවුරු කර ඇති සමානාත්මතාවය පිළිබඳ මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බව ශ්රේෂ්ඨාධිකරණය එහිදී තීන්දු කළේය.
ඒ අනුව, රජයේ ඒකාබද්ධ අරමුදලට රුපියල් මිලියන 6.6ක (ලක්ෂ 66ක්) මුදලක් ගෙවන ලෙස ඔහුට නියෝග කෙරුණු අතර ඉන් රුපියල් 1,664,334.93ක මුදලක් පළමු මාසය ඇතුළතත්, ඉතිරිය ඉදිරි මාස දෙක තුළත් ගෙවිය යුතු බවටත් නියම කෙරිණි.
එමෙන්ම අදාළ වාහනයේ ඡායාරූපයක් ද සහිතව පිටු භාගයක ප්රමාණයේ සමාව අයැදීමේ නිවේදනයක් සිළුමිණ, සන්ඩේ ඔබ්සර්වර් සහ තිනකරන් යන ජාතික පුවත්පත්වල මුල් පිටුවල පළ කරන ලෙසත් ඔහුට නියෝග කරන ලදී.



