*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

බදු (නො)ගෙවීමේ දේශපාලනය …

ආදායම් බදු වැඩි කිරීමත් සමඟම නැවතත් ලංකාවේ රාජ්‍ය බදු ප්‍රතිපත්තිය රටේ දේශපාලනය තුළ තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබෙනවා. රාජ්‍ය බදු ප්‍රතිපත්තිය කියන්නේ කොහොමටත් ගොඩක් රටවල් වල දේශපාලනය තීරණය කරන ප්‍රධාන කරුණක්. එක පැත්තකින්, ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කියා කියන්නේම බදු ප්‍රතිපත්තිය කියා කියන්න පුළුවන්.

වත්මන් ලෝකයේ දේශපාලනය ආකෘතිගත වී තිබෙන්නේ ජාතික රාජ්‍ය ලෙසයි. මේ ක්‍රමය තුළ ඕනෑම කෙනෙක් කිසියම් රටක වැසියෙක්. රටක් කියා දෙයක් ඇත්නම් ඒ රටේ රජයකුත් තිබෙනවා. රජයක් ඇත්නම් ඒ රජයේ වියදම් ආවරණය වන ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය වියදම් ආවරණය කර ගන්නා ප්‍රධානම හා සම්මත ක්‍රමය බදු අය කිරීමයි.

බදු කියන්නේ අලුත් දෙයක් හෝ නූතන ලෝකයට අයිති දෙයක් නෙමෙයි. සහශ්‍ර ගණනක සිට පාලකයින් විසින් බදු අය කරනවා. ඓතිහාසික මූලාශ්‍ර වලින් පැරණි ලෝකයේ බදු ගැන පැහැදිලි තොරතුරු හමු වෙනවා. බදු අය කිරීමේ සාධාරණත්වය විවාදිත කරුණක්. මූලධර්ම ගණනාවක් මත බදු අය කිරීම සාධාරණීකරණය කෙරෙනවා. ඒ අතරින් ප්‍රධානම මූලධර්ම දෙකක් ගැන අපි අවධානය යොමු කරමු.

බදු අය කළ යුත්තේ ඇයි?

රජය පවත්වාගෙන යාම – සාමාන්‍යයෙන් අරාජිකවාදීන් කියන්නේ ඕනෑම රටක කුඩා සුළුතරයක්. ඔවුන් හැර වෙනත් බොහෝ දෙනෙකුට කිසියම් අවම හෝ රජයක් අවශ්‍යයි. රජයකට මිස වෙනත් ආයතනික ව්‍යුහයකට වඩා කාර්යක්ෂම සේ පහසුවෙන් කළ නොහැකි ඇතැම් කාර්යයන් තිබෙනවා. නීති සැදීම හා නීතියේ පාලනය පවත්වා ගෙන යාම උදාහරණ ලෙස පෙන්විය හැකියි. රජයක් විසින්ම කළ යුතුයැයි බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා මෙවැනි මූලික කාර්යයන්ගෙන් රටක ජීවත්වන සියල්ලන්ටම එක සේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා, මෙවැනි මූලික කාර්යයන් ඉටු කිරීමේ පිරිවැය රටේ සියලු දෙනාගෙන්ම සම සමව අය කිරීම සාධාරණ ක්‍රමයයි. එහිදී වෙන්නේ රටවැසියන් විසින් තමන් රජයෙන් ලබා ගන්නා සේවාවන් වල මිල රජයට ගෙවීමක්. බොහෝ දෙනෙකු විසින් අසා ඇතැයි සිතන “ඇඟ බද්ද” මෙවැනි බද්දක්. අදාළ බද්ද ගෙවීම සඳහා දුප්පත් පොහොසත් භේදයක් නැතිව කවුරුත් නිශ්චිත පැය ගණනක් රජය වෙනුවෙන් වැඩ කළ යුතු වුනා. එසේ නොකරන්නේනම්, ඒ වෙනුවෙන් අදාළ මිල ගෙවා වැඩ නොකර සිටිය හැකි වුනා.

විෂමතා අවම කිරීම – මෙය සමාජවාදී අදහසක් කියා කිව හැකියි. මෙහිදී සිදුවන්නේ ආදායම් හෝ වත්කම් වැඩි අයගෙන් බදු අය කර එම බදු මුදල් ආදායම් හා වත්කම් අඩු අය වෙනුවෙන් වියදම් කිරීමක්. මෙම බදු අය කිරීම සෘජු ලෙසම කෙරෙන විට එවැන්නක් සෘජු බද්දක් සේ සැලකෙනවා. එසේ නොවන විට වක්‍ර බදු සේ සැලකෙනවා. ඉතා පැහැදිලිව කිව යුතු කරුණක් වන්නේ වක්‍ර බදු වලින් ඉලක්ක කෙරෙන්නේද, එයින් බොහෝ විට සිදු වන්නේද, ආදායම් හෝ වත්කම් වැඩි අයගෙන් බදු අය කර එම බදු මුදල් ආදායම් හා වත්කම් අඩු අය වෙනුවෙන් වියදම් කිරීම බවයි. එහෙත්, මේ කාර්යය සෘජු බදු වලින් කෙරෙන තරම් හොඳින් වක්‍ර බදු වලින් කෙරෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස වැට් බද්ද පෙන්විය හැකියි. මෙය පරිභෝජනය මත අය කෙරෙන බද්දක්. සාමාන්‍යයෙන් වැඩියෙන් පරිභෝජනය කිරීමේ හැකියාවක් ඇති අය වන්නේත්, ඒ නිසාම වැඩියෙන් පරිභෝජනය කරන්නේත් ආදායම් හෝ වත්කම් වැඩි අයයි. ඒ නිසා, හැම විටම මෙන් මෙවැනි වක්‍ර බද්දකින් වෙන්නේත් පොහොසතුන්ගෙන් මුදල් අය කර දුප්පතුන් සුබසාධනය කිරීමක්ම තමයි. එහි අනෙක් පැත්ත සිදු වන්නේ කලාතුරකින්. කෙසේ වුවත්, රටක පරිභෝජන විෂමතා ආදායම් විෂමතා තරම් විශාල නැති නිසා අදාළ කාර්යය සඳහා වක්‍ර බදු සෘජු බදු තරම් කාර්යක්ෂම නැහැ.

ප්‍රායෝගිකව ඕනෑම රටක දැකිය හැක්කේ එකවර ඉහත මූලධර්ම දෙකම මත පදනම්ව බදු අය කිරීමක්. උදාහරණයක් ලෙස රුපියල් 1000ක හා 5000ක ආදායම් උපයන දෙදෙනෙකු ගැන සිතමු. මේ දෙදෙනා වෙනුවෙන් රජය විසින් සපයන සේවාවන් වල වියදම රුපියල් 3000ක් කියා කියමු. පළමු මූලධර්මය අනුව, රජය විසින් එක් අයෙකුගෙන් රුපියල් 1500ක් බදු ලෙස අය කළ යුතුයි. එහෙත් පළමුවැන්නාගෙන් එවැනි බද්දක් අය කළ නොහැකි බව ඉතාම පැහැදිලියි. ඒ වෙනුවට රජයට 50%ක ආදායම් බද්දක් අය කළ හැකියි. එසේ නැත්නම් පරිභෝජනය මත 100%ක බද්දක් අය කළ හැකියි. මේ දෙන්නාම තමන්ගේ ආදායම මුළුමනින්ම පරිභෝජනය වෙනුවෙන් වැය කරනවානම්, පළමුවැන්නා රුපියල් 500ක් වියදම් කරද්දී තවත් රුපියල් 500ක් බදු සේ ගෙවන්නට සිදු වෙනවා. දෙවැන්නාට එලෙසම රුපියල් 2500ක් බදු ගෙවන්න සිදු වෙනවා. ආදායම් බද්දෙන් වෙන්නෙත් එයමයි.

ඉහත උදාහරණයේදී, අවස්ථා දෙකේදීම (50%ක ආදායම් බද්දක් අය කිරීම හා 100%ක වැට් බද්දක් අය කිරීම) වෙන්නේ දෙවැන්නා විසින් පළමුවැන්නා වෙනුවෙන්ද රුපියල් 1000ක් වියදම් කිරීමක්. පළමු මූලධර්මය අනුව දෙදෙනාටම රුපියල් 1500ක බිලක් වැටෙනවා. දෙවැනි මූලධර්මය අනුව රජය දෙවැන්නාගෙන් රුපියල් 1000ක් අරගෙන පළමුවැන්නාට දෙනවා. සමස්ත ප්‍රතිඵලය පළමුවැන්නාට රුපියල් 500ක බද්දකුත් දෙවැන්නාට රුපියල් 2500ක බද්දකුත් ගෙවන්න වීමයි.

සෘජු හා වක්‍ර බදු මිශ්‍රණයකින් ඔය ප්‍රතිඵලයම ඉලක්ක කරන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දකින්.

පළමුවැන්නා

ආදායම = රුපියල් 1000

ආදායම් බදු = රුපියල් 300

පරිභෝජනය = රුපියල් 500

වැට් බද්ද = රුපියල් 200

මුළු බදු = රුපියල් 500

දෙවැන්නා

ආදායම = රුපියල් 5000

ආදායම් බදු = රුපියල් 1500

පරිභෝජනය = රුපියල් 2500

වැට් බද්ද = රුපියල් 1000

මුළු බදු = රුපියල් 2500

ඔය විදිහටම නැතුව වැට් බද්ද 16.67% දක්වා අඩු කරලා ආදායම් බද්ද 40%ක් කරන්නත් පුළුවන්.

පළමුවැන්නා

ආදායම = රුපියල් 1000

ආදායම් බදු = රුපියල් 400

පරිභෝජනය = රුපියල් 600

වැට් බද්ද = රුපියල් 100

මුළු බදු = රුපියල් 500

දෙවැන්නා

ආදායම = රුපියල් 5000

ආදායම් බදු = රුපියල් 2000

පරිභෝජනය = රුපියල් 3000

වැට් බද්ද = රුපියල් 500

මුළු බදු = රුපියල් 2500

ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් ඔය බදු ක්‍රම හතරම සමානයි.

  1. 50%ක ආදායම් බද්දක්
  2. 40%ක ආදායම් බද්දක් හා 16.67%ක වැට් බද්දක්
  3. 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දක්
  4. 100%ක වැට් බද්දක්

හතරෙන්ම අන්තිමට වෙන්නේ එකම දෙයනම්, හොඳම වැඩේ අඩුම වියදමකින් බදු එකතු කර ගත හැකි ආකාරයට වැඩේ කරන එකයි. කොහොමටත් බොහෝ විට රජයක් විසින් බදු එකතු කර ගන්නේ එය කළ හැකි ලේසිම ක්‍රමයටයි. වක්‍ර බදු එකතු කරන තරම් ලේසියෙන් ආදායම් බදු එකතු කරන්න බැරි බව කවුරුත් දන්නා දෙයක්. ඒ වගේම විශාල ආදායම් බදු ප්‍රතිශතයක් පනවන එක දේශපාලනිකව ශක්‍ය නැහැ. අනෙක් පැත්තෙන් විශාල වැට් බද්දක් පනවන එකත් දේශපාලනිකව ශක්‍ය නැහැ. ඒ නිසා, ප්‍රායෝගිකව ඉහත උදාහරණය වැනි අවස්ථාවකදී දෙවෙනි තුන්වෙනි ආකාර මිසක් පළමු හෝ අවසන් ආකාරයට රජයක් විසින් බදු අඩු කර ගැනීමට ලොකු ඉඩක් නැහැ.

කොයි විදිහට කළත් අන්තිමට වෙන්නේ පළමුවැන්නාගෙන් රුපියල් 500ක් හා දෙවැන්නාගෙන් රුපියල් 2500ක් එකතු කර ගන්න එකයි.

මෙහිදී කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්.

“රුපියල් 5000ක් උපයන කෙනාගෙන් රුපියල් 2500ක් ගත්තට කමක් නැහැ. රුපියල් 1000ක් උපයන කෙනාගෙනුත් රුපියල් 500ක් ගන්න එක හරිද?”

වෙනත් කෙනෙකුට මෙහෙමත් කියන්න පුලුවන්.

“මගේ මහන්සියෙන් මම හොයන සල්ලි වලින් රුපියල් 2500ක්ම රජයට දීලා ආපහු ලැබෙන්නේ මොනවාද? අන්තිමට මට ලැබෙන්නෙත් රුපියල් 500 බදු ගෙවන කෙනාට ලැබෙන දෙයමයි!”

පළමුවැන්නාගෙන් නියෝජනය වන්නේ වාමාංශික දේශපාලනය බවත්, දෙවැන්නා දක්ෂිණාංශික දේශපාලනය නියෝජනය කරන බවත් දළ ප්‍රකාශයක් ලෙස කියන්න පුළුවන්. තමන් දරන දේශපාලන අදහස් අනුව මේ දෙන්නාම නිවැරදි වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාඥයෙකුට මේ දෙන්නාගෙන් එක්කෙනෙක් හරි අනෙක් එක්කෙනා වැරදියි කියා කියන්න බැහැ. කවුරු හෝ එසේ කියනවානම් කියන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික දේශපාලන මතය මත පදනම්ව පමණයි.

හැබැයි ආර්ථික විද්‍යාඥයෙකුට පැහැදිලිව කියන්න පුළුවන් එක දෙයක් තිබෙනවා. ඒ ඔය දෙන්නා විසින් මොන අනුපාතයට හෝ රජයට රුපියල් 3000ක් දිය යුතු බවයි. මොකද රජයට වියදම් කළ හැක්කේ කාගෙන් හෝ ගන්න සල්ලි පමණයි. සම්පත් ඉබේ මැවෙන්නේ නැහැ.

ධනවතුන්ගෙන් වැඩියෙන් බදු අය කරන එක සමාජවාදී අදහසක් වුවත්, මේ ක්‍රමය සමාජවාදී අදහස් වලට වඩා පරණයි. හේතු ගණනාවක් නිසා රජයකට ධනවතුන්ගෙන් බදු අය කරන එක වඩා ලේසියි. වඩා වාසියි. ධනවතුන්ගේ ධනය වඩා පැහැදිලිව පේන්න තිබෙනවා. වැඩි දෙනෙකුගෙන් බදු අය කිරීමට සාපේක්ෂව ටික දෙනෙකුගෙන් බදු අය කරන එක පරිපාලනමය ලෙස පහසුයි. ඒ වගේම, මේ මගින් ධනවතුන් රජයට වඩා බලවත් වීම පාලනය කරන්නත් පුළුවන්.

හැබැයි රටක ආර්ථික වර්ධනය ගැන හිතනවානම් වඩා වාසිදායක ධනවතුන්ගෙන් අඩුවෙන් බදු අය කර ඔවුන්ට ධනය එක්රැස් කරගන්න ඉඩ හරින එකයි. වැඩියෙන් ධනය එක්රැස් වන තරමට යමෙකු එම ධනය තව තවත් ධනය උත්පාදනය කිරීම සඳහා ආයෝජනය කරනවා. එම ධනයම විශාල පිරිසක් අතර බෙදී ගිය විට සිදු වන්නේ පරිභෝජනය ඉහළ යාම පමණයි. මේ දෙක අතර තුලනය පවත්වා ගැනීම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්.

ඉහත දෙවන මූලධර්මය සුබසාධනය සේ හැඳින්විය හැකියි. සුබසාධනය හරහා කෙරෙන්නේ පරිභෝජනය වැඩි කිරීමට උදවු කිරීමක්. මෙහි පිරිවැය ධනවතුන්ගෙන් අය කිරීමේදී ඔවුන්ගේ පරිභෝජනය අඩු නොවන නමුත් ආයෝජන පහළ යනවා.

ලංකාව නිදහස ලැබූ තැන් පටන්ම සුබසාධනය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරූ රටක්. අයෙකුට වෙනත් ඇතැම් රටවල් හා සසඳා එය එසේ නොවන බව කිවහැකියි. මම මේ කතාව කියන්නේ ලංකාවේ තත්ත්වයන්ට සාපේක්ෂව. විශේෂයෙන්ම රට තුළ සිදුවන ධනෝත්පාදනයට සාපේක්ෂව.

ලංකාව විසින් සිදු කළ මට්ටමේ ඉහළ රාජ්‍ය සුබසාධන මට්ටමක් පවත්වා ගන්නනම් ඒ මට්ටමින්ම බදුද අය කළ යුතුයි. එහෙත්, ලංකාව එසේ කළේ නැහැ. ඒ වෙනුවට කළේ දිගින් දිගටම ණය ගෙන ණය වියදම් කිරීමයි. මේ ක්‍රමයෙන් ධනවතුන් මෙන්ම දුප්පතුන්ද සතුටු කළ හැකි වුනා. දුප්පතුන් රාජ්‍ය සුබසාධනයෙන් යැපෙනවා. ධනවතුන් ඒ වෙනුවෙන් බදු ගෙවන්නෙත් නැහැ. දිගින් දිගට යන්න බැරුව කඩා වැටුනේ මේ ක්‍රමය.

මෙහෙම කිවුවත් දුප්පතුන් හා ධනවතුන් ලෙස මිනිස්සුන්ව ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. රටේ හැම දෙනෙක්ම වක්‍ර ලෙස හෝ රජයට බදු ගෙවනවා. නමුත් රටේ බොහෝ දෙනෙක් ඊට වඩා වැඩි දෙයක් රජයෙන් ලබා ගන්නවා. ශුද්ධ ලෙස රජයට බදු ගෙවන පිරිස 10%කට අඩුයි. ඇතැම් විට 5%කටත් අඩුයි. ඉතිරි සියල්ලන්ම, කොයි තරම් බදු ගෙවුවත්, සුබසාධනය මත යැපෙන්නන්.

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට කර ඇති ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව 2019දී ලංකාවේ ජනගහණයෙන් මාසයකට රුපියල් 500 ඉක්මවූ ආදායමක් ලැබූ පිරිස 55%ක් පමණයි. ඒ අයගේ ආදායම් පහත පරිදියි. මේ ආදායම් වලට නූපයූ ආදායම් මෙන්ම, මුදල් නොවන ආදායම්ද ඇතුළත්. බදු අය කළ හැකි ආදායම මීට වඩා 15%කින් පමණ අඩුයි.

ඉහළම 5% – රුපියල් 115,000+

ඉහළම 10% – රුපියල් 79,000+

ඉහළම 15% – රුපියල් 63,396+

ඉහළම 20% – රුපියල් 54,258+

ඉහළම 25% – රුපියල් 47,820+

ඉහළම 30% – රුපියල් 42,678+

ඉහළම 40% – රුපියල් 35,001+

ඉහළම 50% – රුපියල් 28,466+

ඒ වන විට, එනම් 2020 බදු සංශෝධනයට පෙර, ආදායම් බදු ගෙවිය යුතු වූ අවම සීමාව (මසකට) රුපියල් 41,667ක්. ඒ අනුව, රටේ ආදායම් උපයන්නන් අතරින් ඉහලම 32% අතර සිටි අයට ආදායම් බදු ගෙවන්නට සිදු වුනා. එහෙත්, මාසික වැටුප් ලැබූ අයට ආදායම් බදු ගෙවන්නට සිදු වුනේ ආදායම් උපයන්නන්ගෙන් ඉහළම 7% පමණ අතර සිටියේනම් පමණයි. රටේ ජනගහණයෙන් 45%ක්ම මසකට රුපියල් 500 ඉක්මවන ආදායමක් නූපයූ අය වීමත්, ඉහත ඇස්තමේන්තු බදු අය කළ හැකි ආදායම් නොවීමත් සැලකූ විට මෙසේ ආදායම් බදු ගෙවූ මාසික වැටුප් ලබන්නන් රටේ ජනගහණයෙන් ඉහළම ආදායම් ලැබූ 3%කට පමණ අයත් වූ පිරිසයි. 2020 බදු සංශෝධනයට පෙර පවා ලංකාවේ රජය විසින් වැඩිපුරම ආදායම් එකතු කර ගෙන තිබෙන්නේ වක්‍ර බදු වලිනුයි. ආදායම් සැඟවීම පහසු වුවත්, වියදම් වඩා පාරදෘශ්‍ය නිසා මේ ක්‍රමයට ආදායම් එකතු කර ගැනීමට ලංකාවේ රජය පෙලැඹී තිබෙනවා.

පරිභෝජනය මත වක්‍ර බදු අය කර ගැනීම මගින්ද යම් තරමකින් ආදායම් විෂමතා අඩු කිරීමක් සිදු වන නමුත් එය ලොකුවට වෙන්නේ නැහැ. ඉහළ ආදායම් ලබන්නන් තමන්ගේ ආදායම මුළුමනින්ම වියදම් නොකර එයින් කොටසක් ඉතිරි කිරීම එයට හේතුවයි. අනෙක් අතට අඩු ආදායම් ලබන්නන් විසින් ණය වී හෝ වෙනත් අයගෙන් ආධාර ලෙස ලබා ගන්නා මුදල් වියදම් කරන විටදීද බදු ගෙවන්නට සිදු වන නිසා ඔවුන්ට ඔවුන්ගෙන් ආදායම් බද්දක් අය කිරීමේදී ගෙවන්නට සිදු වනවාට වඩා වැඩි බදු මුදලක් රජයට ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, වක්‍ර බදු වල බර වුවද වැඩිපුර වැටෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් මත වුවත්, ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට අඩු ආදායම්ලාභීන් මත වැඩි බරක් වැටෙනවා.

සෘජු හෝ වක්‍ර බදු අය කිරීම වෙනුවට සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීම ලංකාවේ රජය විසින් දිගින් දිගටම කළ හා 2020-2021 වසර වල ලොකුවටම කළ දෙයක්. මෙයින් වෙන්නේත් වක්‍ර බදු අය කිරීමට තරමක් කිට්ටු දෙයක්. භාණ්ඩයක් මත වක්‍ර බද්දක් අය කිරීමේදී එම භාණ්ඩයේ මිල ඉහළ යනවා. සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලය වන උද්ධමනය හරහා සිදු වන්නේද එයමයි. මෙහි බර ජනතාව මත පැටවෙන්නේ පරිභෝජනයට අනුපාතිකවයි. වක්‍ර බදු වලදී මෙන්ම මෙහිදීද වැඩියෙන් පරිභෝජනය කරන වැඩි ආදායම්ලාභීන්ට වැඩි පාඩුවක් වන නමුත් ආදායමට සාපේක්ෂව වැඩි බරක් වැටෙන්නේ අඩු ආදායම්ලාභීන් මතයි.

මීට අමතරව, තමන්ගේ මුළු ආදායමම පරිභෝජනය නොකරන, එයින් කොටසක් ඉතිරි කර ආයෝජනය කරන, ඒ නිසාම සැලකිය යුතු තරම් වත්කම් ඇති, ඉහළ ආදායම්ලාභීන්ගේ වත්කම් වල වටිනාකම හා එම වත්කම් වලින් ලැබෙන ප්‍රතිලාභද උද්ධමනය සමඟ ඉහළ යන නිසා බොහෝ විට උද්ධමනය ඉහළ ආදායම් ලබන්නට වාසිදායකයි.

රුපියල් ලක්ෂය බැගින් වැටුප් ලබන දෙදෙනෙකු සිටින පවුලක් ගැන හිතමු. මේ පවුලේ මාසික වියදම රුපියල් 120,000 වන අතර ඉතිරි රුපියල් 80,000 ඉතිරි කිරීම් ලෙස අපි උපකල්පනය කරමු. මේ විදිහට වසර පහක් පමණ තිස්සේ ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 50ක් මේ පවුල සතුව තිබෙනවා කියා සිතමු. පොලිය 6% සේ සැලකුවොත් ඔවුන්ගේ මෙම වත්කම් මාසයකට රුපියල් 25,000කින් ඉහළ යනවා. ඒ කියන්නේ වැටුප් වලට අමතරව එපමණ ආදායමක් ලැබෙනවා. දැන් උද්ධමනය 30%ක් වී පොලී අනුපාතිකද 30% වුනොත් වෙන්නේ කුමක්ද? මාසික වියදම රුපියල් 36,000කින් ඉහළ යද්දී පොලී ආදායම රුපියල් 100,000කින් ඉහළ යන එකයි.

උද්ධමනය 60%ක් වෙද්දී තමන්ගේ ආදායමෙන් 50%ක් පමණක් වියදම් කරන අයෙකුගේ වියදම් ඉහළ යාම නිසා සිදු වූ පාඩුව ආවරණය වීමට 30%කින් ආදායම ඉහළ යාම ප්‍රමාණවත්. ඒ නිසා, යම් හෙයකින් උද්ධමනය තරමටම වැටුප් ඉහළ ගියහොත් එවැන්නට විශාල වාසියක් සැලසෙනවා. ප්‍රමාණවත් ඉතිරි කිරීම් ඇති අයටද එවැනිම වාසියක් සැලසෙනවා. උද්ධමනයෙන් ලොකුවටම බඩට වදින්නේ ආදායම් අඩු, ඉතිරි කිරීම් අඩු අයටයි. ඒ අතින්, උද්ධමනය වක්‍ර බදු වලටත් වඩා ආදායම් විෂමතා වැඩි කරනවා.

පෙර ලිපියකද පැහැදිලි කළ පරිදි උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටේ වියදම් වැඩි වෙන්නේ නැහැ. ඒ, එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක්ද වන නිසා. එහෙත්, උද්ධමනය නිසා රට ඇතුළේ එක් අයෙකු සතු වත්කම් වෙනත් අය වෙත විතැන් වීමක් සිදු වෙනවා. බදු අය කිරීමේදී රජය විසින් කරන දෙයමයි. බදු අය කරන විට රජයකට සැලසුම්සහගත ලෙස ඉහළ ආදායම්ලාභීන්ගේ වත්කම් අඩු ආදායම්ලාභීන් කරා විතැන් වෙන පරිදි එය කළ හැකියි. උද්ධමනය මගින් අයවැය පියවා ගැනීමේදී බොහෝ විට වෙන්නේ එහි අනෙක් පැත්තයි. එනම් දුප්පතුන්ගේ ධනය ධනවතුන් වෙත විතැන් වීමයි.

ලංකාව කාලයක් තිස්සේම කළේ රාජ්‍ය වියදම් දරාගත නොහැකි මට්ටමක පවත්වා ගනිමින් බදුද අය නොකර සල්ලි අච්චු ගැසීම හා විදේශ ණය ගැනීමයි. කාලයක් තිස්සේම මේ වැඩේ කළ නිසාත්, ආර්ථික විද්‍යාඥයින් විසින් පෙන්වා දුන් පරිදි රටේ ආර්ථිකය කඩා නොවැටුණු නිසාත්, මේ වැඩේ දිගින් දිගටම කළ හැකිය යන මුලාව ලංකාව තුළ ජනගත වී තිබෙනවා. දේශපාලනඥයින් විසින් බලය ලබා ගැනීමේ අරමුණින් මෙය දිගටම කළ හැකි දෙයක් සේ ඒත්තු ගැන්වීමද මෙයට හේතුවක්. මාස හයකට පෙර සිදු වූ කඩා වැටීම මේ ගමනේ ගමනාන්තයයි. දැන්වත් ලංකාව අලුත් ගමනක් යා යුතුයි.

යහපාලන ආණ්ඩුව කාලයේ මේ කඩා වැටීම වලක්වා ගැනීම සඳහා යම් උත්සාහයක් දරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස බදු වැඩි වුනා. ආර්ථික වර්ධනය අඩු වුනා. බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයින්ට, තමන්ගේ පරිභෝජනය සීමා වන බවක් දැනුනා. ගෝඨාභය ආණ්ඩුවේ බදු කැපීම අහම්බයක් නෙමෙයි. තනි මතයට ගත් තීරණයකුත් නෙමෙයි. ඒ මොහොතේ ලංකාවේ දේශපාලනය විසින් ඉල්ලා සිටි දෙය.

රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය ගිලිහුනේ බැඳුම්කර සිද්ධිය හෝ පාස්කු ප්‍රහාරය නිසා පමණක් නෙමෙයි. ඒ පසුපස ආර්ථික සාධක තිබුණා. යහපාලන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය රටේ බොහෝ දෙනෙකුට දිරෙවුවේ නැහැ. ආණ්ඩුව වෙනස් වීමට බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීමේ පොරොන්දුවද විශාල ලෙස දායක වුනා.

පොරොන්දු වූ පරිදිම බදු අඩු වුනා. රටේ මිනිසුන්ගේ අතේ වැඩියෙන් සල්ලි ගැවසෙද්දී ඔවුන්ගේ ක්‍රය ශක්තිය ඉහළ ගියා. එහෙත්, එයින් සිදු වුනේ රටේ නිපදවන සීමිත භාණ්ඩ හා සේවා සඳහා තරඟය වැඩි වී උද්ධමනය ඉහළ යාම පමණයි. ඒ සමඟම කෘතීම ලෙස ඉහළ දමනු ලැබූ ක්‍රය ශක්තිය නැවතත් තිබිය යුතු මට්ටමට වැටෙමින් තිබෙනවා. මෙය අවසන් වන්නේ රටේ හැම දෙනෙකුගේම ක්‍රය ශක්තිය කලින් මට්ටමටම පැමිණීමෙන් පසුව නෙමෙයි. උද්ධමනය විසින් දුප්පතුන්ගේ ක්‍රය ශක්තිය අඩු කර ධනවතුන්ගේ ක්‍රය ශක්තිය තවත් වැඩි කරනවා.

පවතින වාතාවරණය තුළ 2019දී පැවති බදු ක්‍රමය වෙත නැවත ආපසු යාම විසඳුමක් වන්නේ නැහැ. මේ වන විට රටේ දුප්පතුන් තවත් දුප්පත් වෙලා. ධනවතුන් තවත් ධනවත් වෙලා. මෙය නිවැරදි කළ හැක්කේ 2019 ආදායම් බදු ක්‍රමය ඉක්මවා යන ගැලපීමකින් පමණයි. මේ සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය රට ඇතුළෙන් ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. එවැන්නක් අපේක්ෂා කරන්නත් අමාරුයි.

විකල්ප නැති විරෝධතා දේශපාලනය සරලයි. පහසුයි. අරගලය තුළ මේ විකල්ප නැති විරෝධතා දේශපාලනයට එරෙහි පෙළඹුමක් දැකිය හැකි වුනත්, දැන් නැවතත් දැකිය හැක්කේ තම තමන්ගේ දේශපාලන කඳවුරු වෙත ගාල් වී සිටින ජනතාවක්.

මතු සම්බන්ධයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan