*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

1971 සහ වර්තමාන අර්බුදය අතර සමානකම් පිළිබඳව ආවර්ජනයක්


නිදහසේ 75 වැනි සංවත්සරයට සියල්ලම සූදානම්ව ඇති මේ අවස්ථාව, පසුගිය දශක කිහිපය තුල සිදු වූ බල තුලනයන් සහ නීතියේ ආධිපත්‍යය ක්‍රමයෙන් ඛාදනයට ලක් කිරීම ගැන මෙනෙහි කිරීම සඳහා වැදගත් වනවා ඇත.  1953, 1971, 1983 ඇතිවූ අර්බුද, දිගු කලක් පැවති සිවිල් යුද්ධය, හෝ වත්මන් අර්බුදය වැනි කවර හෝ අර්බුදයකදී වේවා, නිදහස ලැබූ තැන් පටන් මෙරට පාලනය කර ඇති පවුල් ත්‍රිත්වයෙන් වගවීම, යහපාලනය, සමාජ යුක්තිය  කෙරෙහි කැපවීම, සහ ආර්ථික නිපුණත්වය ගැන කැමැත්තක් දක්නට ලැබී නැත. ඒ වෙනුවට, ඔවුන් ඉල්ලා ඇත්තේ වඩාත් මධ්‍යගත කරන ලද වගවීමකින් තොර වූ බලයයි. මේ වන විට අර්ථවත් දේශපාලන වෙනසක් සඳහා කරන ඉල්ලීම් මැඩලීම සඳහා රාජපක්ෂ කල්ලියත් එක්සත් ජාතික පක්ෂයේ කැපී පෙනෙන චරිත කිහිපයකුත් අත්වැල් බැඳගෙන සිටී. ඔවුන් එසේ කරන්නේ දෙවසරක තරම් කාලයක් චෝදනා ගොනු නොකර පුද්ගලයකු රඳවා තබාගැනීමට ඉඩ ලබා දෙන ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත වැනි මර්ධනකාරී අනපණත් අඩංගු විධායක ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  ඇති කුරිරු බලතල භාවිතා කරමිනි.  

මෙම කෙටි ලිපිය 1971 ජවිපෙ අප්‍රේල් කැරැල්ලට පසුබිම් වූ සහ වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දුන් ආර්ථික හා ව්‍යුහාත්මක හේතු විමසා බලනවා ඇත.

1971

වත්මන් අර්බුදයේ දී මෙන්ම, හැත්තෑව දශකයේ ආර්ථිකයේ දී ද විදහා පාන ලක්ෂණ වූයේ පහත වැටෙන අපනයන ආදායමත්, වර්ධනය වෙන විදේශ ණයත්, ඉහළ නැඟෙන විරැකියාවත් ය. 1960 දශකය පුරාවටම රටේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමාණය නොවෙනස් ව, සියයට 12 හා 13 පමණ මට්ටමක පැවති අතර, රටේ ආදායමෙන් වැඩි කොටසක් ගලා ආවේ සේවා අංශයෙන් සහ කෘෂිකර්මාන්තයෙනි. අපනයන ක්ෂේත්‍රය මූලික වශයෙන් කෘෂි නිෂ්පාදන මත රඳා පැවතිණි. එවකට මෙන්ම අදත් රට අඩුවන අපනයන ආදායම සහ වැඩිවන අපනයන වියදම හා අදාලව සම්භාව්‍ය ආර්ථික දඬු අඩුවකට හසු ව පවතී.
රටේ ණය 1957 දී රුපියල් මිලියන 95ක සිට 1966 දී රුපියල් මිලියන 349ක් දක්වා ත්, නැවත 1969 දී රුපියල් මිලියන 744ක් දක්වා ත් ඉහළ නැංගේය. අද මෙන්ම එදත්, විදේශ ණය ගෙවා දැමීමට මුදල් ලැබුනේ විදේශ රටවලින් ගත් ණය මුදල්වලින් සහ රටේ විදේශ විනිමය සංචිත කප්පාදු කිරීමෙනි.
අද මෙන්ම එදත් රටේ ආනයනවලින් වැඩි කොටසක්, සියයට 53ක් පමණ, සමන්විත වූයේ ආහාර ද්‍රව්‍යවලිනි.
1971 දී ද විරැකියාව නොකඩවා වර්ධනය විය. මිලියන 4.4ක් වූ ශ්‍රම බලකායෙන් 585,000ක් ම නිල වශයෙන් රැකියා විරහිත භාවයේ පසු විය. ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් එවකට අධිකාරය දැරූ ආචාර්ය එන්. එම්. පෙරේරා ඇස්තමේන්තු කලේ එම සංඛ්‍යාව 700,000ක් පමණ වූ බවයි.
රැකියා විරහිත වූ 585,000 න් 460,000 ක්ම ග‍්‍රාමීය ප‍්‍රදේශවල වාසය කල අතර 250,000 ක් වයස අවුරුදු 19 ත් 24 ත් අතර පසු වූ අය විය. ඉන් 167,000ක් ද්විතීයික අධ්‍යාපනය ලබා ගත් හෝ තෘතියික අධ්‍යාපනයට පිවිස සිටි අය යි.
රාජ්‍ය භාෂා පණතේ “ප්‍රතිලාභීන්” වූ 1956න් ආරම්භ වූ යුගයේ දරුවන් වෙත පොරොන්දු වූ ආර්ථික ඵල ප්‍රයෝජන ලබා දුන්නේ නැත. රටේ පාලකයින් විසින් කෙදිනකවත් පිළි ගනු නොලැබූවද, 1971 රාජ්‍ය මර්ධනයේ ප්‍රතිඵලයක් වශයෙන් නියමිත ක්‍රියාවලියකින් තොරව තරුණ සිංහලයන් 10,000ත් 15,000ත් අතර පිරිසක් ඝාතනය කර දමන ලද අතර තවත් දස දහස් ගණනක් සිර ගත කොට වධ බන්ධනවලට ලක් කරන ලදි. මීට වෙනස් ලෙස ආණ්ඩුව දක්වන අන්දමට, සිවිල් වැසියන් 61 දෙනෙකුගේ සහ සන්නද්ධ හමුදා සාමාජිකයින් 63 දෙනෙකුගේ ජීවිත අහිමි විය. අධිකරණ ක්‍රියාවලියකට යොමු නොවී ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද නීති විරෝධී ඝාතන සහ වධහිංසා පැමිණවීම් පරීක්ෂාවට ලක් නොවූ අතර දණ්ඩ මුක්තිය සාමාන්‍ය දෙයක් බවට පත් විය.
මා ද ඇතුළුව තරුණ නායකයින්ට එරෙහිව චෝදනා නැඟීම සඳහා නීතියේ ආධිපත්‍යය පාගා දමා, හබයාස් කෝපුස් අයිතිය කප්පාදු කොට, වධහිංසා තුලින් ලබාගත් පාපෝච්චාරණ පිළිගැනීමට කටයුතු කරන ලදි. ආරක්ෂක හමුදා විසින් ගිණිය නොහැකි දහස් ගණන් සිංහල තරුණ තරුණියන් ඝාතනය කර දැමීම කිසි දිනක විමර්ෂනයට ලක් කර නැත.
මර්දනයේ තිර පිටපත සකස් කරන ලද්දේ ආර්ථිකයේ, දේශපාලනයේ හෝ අධිකරණයේ ව්‍යුහාත්මක ගැටළු විමර්ෂනය කොට ඒවා විසඳන්නට ඇති අකැමැත්තත්, වඩ වඩාත් සීමා කරන ලද හා වගවීමෙන් තොර ක්‍රියාමාර්ගත්, රාජ්‍යය විසින් සිදු කරන ලද අපරාධ විමර්ශනය කරන්නට පැහැදිලිව දැක්වූ මැලි බවත් විසිනි.


රාජපක්ෂවරුන්ගේ දෙවැනි ආගමනයට පෙර ආර්ථික තත්වය ලුහුඬින්

1980 දශකය වන විට ආර්ථිකයේ දිශානතිය වෙනස් කොට, නව ලිබරල්වාදය මන්ත්‍රය බවට පත් කරන ලද අතර සුබසාධන ප්‍රතිපාදන ක්‍රමයෙන් කප්පාදු කරමින් පැවතිණ. ඒ වනවිට ලංකාව සංචාරක කර්මාන්තය, ඇඟළුම්, විදේශ තැන්පත් කිරීම් සහ තේ අපනයනය මත විශ්වාසය තබා තිබිණි. ජාතික ණය දිගින් දිගටම ඉහළ නැඟෙමින් පැවතිණ.
පාලක පැලැන්තිය විසින් ගුවන්තොටුපලවල්, ක්‍රීඩාංගන, අධිවේගී මාර්ග, සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන, සහ වරායක් වැනි නිෂ්ඵල ව්‍යාපෘති සඳහා, ඒවා අවශ්‍ය වන්නේ කාටද හෝ ඒවා පරිහරණය කරන්නේ කවුරුන් විසින්ද යන්න පිළිබඳ කිසිදු සිතා බැලීමෙකින් තොරව, ඩොලර් බිලියන ගණන් වියදම් කරන ලදී.
2000 ගණන් වන විට රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 79ක් දක්වා රටේ ණය ප්‍රමාණය ඉහළ ගොස් තිබුණි. දිගින් දිගටම වැඩිවූ ණය බර කෝවිඩ් පැතිර ගිය කාලය ආසන්න වන විට සියයට සියයක ප්‍රතිශතයක් දක්වා ඉහළ නැඟ තිබුණි. රටේ ආදායමින් සියයට 42ක් සමාජයේ ඉහළම සියයට 20 සතුව පවතින අතර පහළම සියයට 40ට  රටේ ආදායමෙන් සියයට 17.8 කින් පමණක් සෑහීමකට පත් වෙන්නට සිදු වීම විසින් ආර්ථික අස්ථාවරත්වය තවත් උග්‍ර කරවා ඇත.

ගෝඨාභයගේ සම්ප්‍රාප්තිය සහ රනිල්ගේ ළුත්ම නැඟිටීම

2019 පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස සංචාරක ව්‍යාපාරය කඩා වැටීමෙන් පසු ආර්ථිකය හැකිලී ගියේ රටේ විදේශ මුදල් සංචිත මත දැඩි පීඩනයක් එල්ල කරමිනි. ඉතා කුඩා පදනමකින් එකතු කරන ලද බදු කපා හැරීමෙන් රටට රුපියල් බිලියන සිය ගණනක් පාඩු කරවමින් ගෝඨාභය රාජපක්ෂ, අර්බුදය වඩාත් උග්‍ර බවට පත් කලේය. පොහොර සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැති වීම එක හේතුවක් වීමෙන් ඔහු ඊළඟට පොහොර ආනයනය තහනම් කළේය. මේ සමඟින් කෘෂිකාර්මික නිෂ්පාදනය, විශේෂයෙන් තේ හා රබර් වැනි අත්‍යවශ්‍ය අපනයන ආදායම් භෝග නිෂ්පාදනය භය උපදවන අන්දමින් කඩා වැටුණි. ආහාර, ඉන්ධන, බෙහෙත්හේත්, ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ගෑස් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ඇති කරවමින් ආර්ථිකය කිසිදු බාධාවකින් තොරව බිඳ වැටිණි. ජනගහනයෙන් ඉහළම සියයට 20ට මේ තත්වයට මුහුණ දීමට තරම් ආර්ථික හැකියාව තිබුණද, සමාජයේ අතිමහත් බහුතරයට මෙය ව්‍යසනකාරී වූයේය.

එවකට ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමටත්, කලක සිට එම තනතුරට පත් වෙන්නට අපේක්ෂා කරමින් සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පිහිටුවා ලන්නටත් මඟ පාදමින් ස්වයංමය විරෝධතා ව්‍යාපාරයක් පැන නැංඟේය. විරෝධතාකරුවන් සමඟ සංවාදයකට එළැඹ ඔවුන්ගේ නීත්‍යානුකූල ඉල්ලීම් සම්බන්ධයෙන් කටයුතු කරනවා වෙනුවට අපට දැකගත හැකි වූයේ රාජ්‍ය මර්ධනය සහ විරෝධතාකරුවන් මත සියළු දොස් පටවා ලීමයි. ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම තවදුරටත් භාරව සිටින්නේ මහජන මුදල් කොල්ල කෑ, අකාර්යක්ෂම ලෙස ආර්ථිකය කළමනාකරනය කල අයමයි!

ඔවුන් ඉදිරිපත් කර ඇති විසඳුම්වලින් ගැටළුවේ මූලික හේතුව වන ආර්ථික සහ දේශපාලන පද්ධතියේ රජයන වැරදි කළමනාකරණය, දූෂණය සහ නාස්තිය පිටු දැකීමට කටයුතු නොකෙරේ. බර උසුලන්නට වඩාත්ම අපහසු කොටස්වලට එම බර දරන්නට බල කෙරෙනු ඇති අතර, ව්‍යුහාත්මක ගැටළු ආමන්ත්‍රණය නොකළහොත් තවත් ආර්ථික හා දේශපාලන අර්බුදයකට එයින් මග පාදනවා ඇත.

නිගමනය

වත්මන් අර්බුදයට රට එළැඹුණු ආකාරය සහ එය නිවැරදි කළ යුතු ආකාරය පිළිබඳව කරන ආවර්ජනයක් මඟින් නිදහස් සංවත්සරය සැමරීමේ උත්සව සමනය කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුවහොත්, අපට අතීතයේ අත්විඳි ව්‍යසනයන් යලි අත්විඳීමට සිදු වනවා ඇත. 1971 සහ 2020 සිදුවීම් අපට සිහිකර දෙන්නේ ක්‍රම පද්ධතියේ වෙනසක් සිදු කිරීමට අපොහොසත්වීම, පුද්ගලික මෙන්ම ආර්ථික මට්ටමෙන් දෑවැන්ත වන්දියක් ගෙවන්නට සිදු කරවනු ඇති බවයි. ව්‍යාජ හේතූන් මත රඳවා ගෙන සිටින දහස් ගණනක් තරුණ පිරිස් මෙන්ම 1971 දී රාජ්‍යය විසින් ජීවිත අහිමි කරන ලද නම් ගම් රහිත 15,000ක් පමණ වූ තරුණ පිරිස වෙනුවෙන් අපට කළ හැකි අවමය වන්නේ එයයි.

ආචාර්ය ලයනල් බෝපගේ
2023 ජනවාරි 25 වන දින ඉංග්‍රීසියෙන් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනය
 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan