මේ අවුරුද්දේ සියයට තුනක ආර්ථික වර්ධනයක්

Date:

මේ (2023) අවුරුද්දේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.0%කින් වර්ධනය වනු ඇති බව ෆිච් සොලියුෂන්ස් ආයතනය විසින් ප්‍රකාශයට පත් කර ඇති නවතම වාර්තාවක පුරෝකථනය කර තිබෙනවා. ෆිච් සොලියුෂන්ස් යනු ෆිච් රේටිං ආයතනයේ පර්යේෂණ අංශයයි.

අදාළ වාර්තාවෙහි පසුගිය (2022) වසරේ ආර්ථික වර්ධන වේගය සම්බන්ධව ඔවුන් මීට පෙර සිදු කළ පුරෝකථනයද සංශෝධනය කර තිබෙනවා. පෙර ඇස්තමේන්තුව අනුව 2022දී ලංකාවේ ආර්ථිකය 9.8%කින් හැකිලෙනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබුණත්, සංශෝධිත ඇස්තමේන්තුව අනුව එම හැකිලීම 9.2%කට වඩා වැඩි වන්නේ නැහැ.

කෙසේ වුවත්, වසර අවසාන වෙද්දී ඩොලරයක මිල රුපියල් 390 මට්ටමෙහි පවතිනු ඇති බවට වූ ඔවුන්ගේ පෙර පුරෝකථනය මේ වාර්තාව ඉදිරිපත් කරන විට යාවත්කාලීන කර නැහැ. මේ සම්බන්ධව බ්ලූම්බර්ග් ආයතනය විසින් විද්‍යුත් තැපෑලෙන් එහි විශ්ලේෂකයෙකු විමසද්දී එයට පිළිතුරු ලෙස ඔහු පවසා තිබෙන්නේ සැලසුම් කර ඇති පරිදි ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට බාධා ඇති විය හැකි බව ඔහුගේ අදහස බවයි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණයද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට බාධාවක් විය හැකි බව ඔහු පෙන්වා දී තිබෙනවා.

අදාළ වාර්තාව ඇමරිකන් ඩොලර් 1,555කට විකිණෙන දීර්ඝ හා විස්තරාත්මක වාර්තාවක්. මෙවැනි දිගු වාර්තාවක් දවසකින් දෙකකින් පිළියෙල කරන්නේ නැහැ. බොහෝ විට එහි ඇතුළත් විණිමය අනුපාතය පිළිබඳ පුරෝකථනය අවසන් වරට යාවත්කාලීන කරන්නට ඇත්තේ ඩොලරයක මිල පහත වැටීම පටන් ගන්නට පෙරයි. මේ පිළිබඳව බ්ලූම්බර්ග් විසින් ප්‍රශ්න කරනු ලැබීමෙන් පසුව පැහැදිලි කිරීමක් ලෙස ඉහත පිළිතුර දී ඇති බවයි පෙනෙන්නේ.

ලංකාවේ මාධ්‍ය වල උපුටා දක්වා තිබෙන්නේ මේ හා අදාළව බ්ලූම්බර්ග් විසින් පළ කළ ප්‍රවෘත්තියයි. ඒ හැර එම මාධ්‍ය ආයතන වල කිසිවෙකු විසින් අදාළ ෆිච් සොලියුෂන්ස් වාර්තාව කියවා ඇතැයි මා හිතන්නේ නැහැ.

මේ අතර අද මාර්තු 10 වනදා ෆිච් රේටිං ආයතනය විසින්ද ශ්‍රී ලංකාව සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙහි ශ්‍රී ලංකාව විසින් මාර්තු 20 දින IMF අරමුදල් ලබා ගනු ඇති බවට විශ්වාසය පළ කර ඇති අතර, ඉන් පසුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු ආරම්භ වනු ඇති නමුත් එම කටයුතු අවසන් වන දිනය අවිනිශ්චිත බවද සඳහන් කර තිබෙනවා. මෙහි සංකීර්ණත්වය පෙන්වා දෙමින් ඔවුන් සඳහන් කරන්නේ 2022 අගෝස්තු මාසයේදී අරමුදල සමඟ ගිවිසුමක් අත්සන් කළ සැම්බියාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු තවමත් අවසන් කර නැති බවයි.

පසුගිය මාස කිහිපය තුළ උද්ධමනය පහත වැටීම පිළිබඳව අවධානය යොමු කරන ෆිච් රේටිං ආයතනය විසින් පෙන්වා දෙන්නේ ඩොලරයක මිල පහත වැටීම නිසා උද්ධමනය පෙර ඇස්තමේන්තු කළාටත් වඩා අඩු විය හැකි බවයි. කෙසේ වුවද, ලොකුම අවදානම ලෙස ඔවුන් දකින්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමයි. එවැන්නක් සිදු වුවහොත් දේශීය ණය වල අවදානම් ශ්‍රේණිය තව දුරටත් පහත දැමීමට සිදු වන බව ෆිච් රේටිං ආයතනය සඳහන් කරනවා.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...