*
Sunday, November 24, 2024
spot_img

Latest Posts

පාඩු ලබන රාජ්‍ය ආයතන

කලින් සටහනේ කතා කළේ ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන සාමාන්‍යයෙන් කතා කෙරෙන්නේ අඩුවෙන්. වැඩියෙන් කතා කෙරෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන. ලාබ ලබන රාජ්‍ය ආයතන සංවාදයට බඳුන්වන මාතෘකාවක් වී තිබෙන්නේ රජය විසින් මේ වන විටද පොදු සමාගම් බවට පත් කර තිබෙන, කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක රජයේ කොටස් අයිතිය විකුණන්න යනවා කියන ආරංචියත් එක්ක.

රජය සතුව හදිසියකදී ගන්න අවශ්‍ය නොවන, කාලයක් එක දිගට ආයෝජනය කර තබා ගත හැකි, ඉතිරි කිරීම් තිබෙනවානම්, ඒ ඉතිරි කිරීම් සමාගම් කොටස් වල ආයෝජනය කරන එකේ වැරැද්දක් නැහැ. එසේ කිරීමෙන් බදු ගෙවන්නන්ගේ සල්ලි වලට අවශ්‍ය පමණ ප්‍රතිලාභයක් ලැබෙනවා. මෙසේ කිරීමේදී අවශ්‍ය පමණ ප්‍රතිලාභ ලැබෙන ආයෝජන කරන එක ගැනත් සැලකිලිමත් විය යුතුයි.

නමුත් ප්‍රශ්නය ශ්‍රී ලංකා රජය සතුව එවැනි ඉතිරි කිරීම් නැති වීමයි. සිංගප්පූරු රජය වැනි වෙනත් ඇතැම් රජයයන් සතුව එවැනි ඉතිරි කිරීම් තිබෙනවා වගේම සෑම වසරකදීම බදු ආදායම හා රජයේ වියදම් අතර වෙනස එම ඉතිරි කිරීම් වලට එකතු වෙනවා.

මේ විදිහට රජයක් සතුව විශාල ඉතිරි කිරීම් ප්‍රමාණයක් තිබෙන විට ඒ සල්ලි ඔක්කොම හදිසියේ ගන්න පුළුවන් විදිහට ද්‍රවශීල වත්කම් ලෙසම තියා ගන්න අවශ්‍ය නැහැ. වත්කම් වලින් යම් කොටසක් හදිසියකදී ගන්න ද්‍රවශීල වත්කම් ලෙස තියාගෙන ඉතිරි කොටස වැඩි ප්‍රතිලාභයක් ලැබෙන විදිහට දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්.

ආයෝජනයකින් වැඩි ප්‍රතිලාභ ලැබෙන්නේ වැඩි අවදානමක් ගන්න තරමටයි. පොඩි වත්කම් ප්‍රමාණයක් තියාගෙන ලොකු අවදානම් ගන්න බැරි වුනත්, ලොකු වත්කම් ඇත්නම් ලොකු අවදානම් ගන්න පුළුවන්. සිංගප්පූරු රජය කරන්නේ ඒකයි.

සිංගප්පූරු රජයේ වාර්ෂික වියදම සිංගප්පූරු ඩොලර් බිලියන 100ක් පමණ. 2023 වියදම් ඇස්තමේන්තුව සිංගප්පූරු ඩොලර් බිලියන 104ක්. සිංගප්පූරු රජයේ වත්කම් කළමනාකරණය කිරීම සඳහා පිහිටුවා තිබෙන GIC සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 700ක පමණ වත්කම් තිබෙනවා. තවත් එවැනිම සමාගමක් වූ Temasek සමාගම සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400 ඉක්මවන වත්කම් තිබෙනවා. විශ්‍රාම වැටුප් අරමුදල සතුව තවත් සිංගප්පූරු ඩොලර් බිලියන 550කට ආසන්න වත්කම් තිබෙනවා. මීට අමතරව සිංගප්පූරු මුදල් අධිකාරිය සතුව සිංගප්පූරු ඩොලර් බිලියන 400ක පමණ වත්කම් තිබෙනවා. ඔය ටික එකතු කළාම සිංගප්පූරු ඩොලර් බිලියන 2000 ඉක්මවන මුදලක්. රජයේ වාර්ෂික වියදම වගේ 20 ගුණයක්!

ඔය වත්කම් සියල්ල බදු ආදායම් වලින් ඉතුරු කරගත් මුදල් සහ එම ඉතිරි කරගත් බදු ආදායම් ආයෝජනය කර උපයාගත් මුදල්. හදිස්සියකට ඔය තරම් විශාල මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, අවුරුදු විස්සකට සතයක්වත් බදු අය නොකර රජයේ වියදම් සියල්ල දරන්න තරම් ප්‍රමාණවත් විශාල මුදලක් අතේ තියෙද්දී එයින් පොඩි කොටසක් අඩු වුනා කියලා බදු ගෙවන්නන්ට විශාල අවදානමකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඒ නිසා, සිංගප්පූරු රජයට පෞද්ගලික ව්‍යවසායකයෙක් වගේ අවදානම් අරගෙන ඔය අරමුදල් දිගුකාලීනව ආයෝජනය කරන්න පුළුවන්. වැඩි අවදානමක් ගන්න තරමට ප්‍රතිලාභත් වැඩියි.

මේ තරම් විශාල පොදු අරමුදල් ප්‍රමාණයක් කළමනාකරණය කරද්දී හොරකම්, දූෂණ, වංචා වලට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත්, එය ඉතාම වැදගත් බවත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒක අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හොරකම්, දූෂණ, වංචා සිදු වුනානම් ඔය වත්කම් ඔය විදිහට ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුනත් වැදගත්ම කාරණාව අවුරුදු විස්සකින්වත් වියදම් කරලා ඉවර කරන්න බැරි තරම් වත්කම් රජය සතුව තිබෙනවා කියන එකයි. ඒ බදු මුදල් වලින් ඉතිරි කරගත් කොටස.

සිංගප්පූරු ක්‍රමයත් ටික දෙනෙකු විසින් මුළු රට වෙනුවෙන්ම තීරණ ගන්න සමාජවාදී ආකෘතියේම ක්‍රමයක් තමයි. ඒ වගේම එම ක්‍රමය සාර්ථක වූ දුලබ අවස්ථාවක් (සාර්ථකත්වය කියන්නේ ආර්ථික වර්ධනය පමණක් කියා සැලකුවොත්). තනි පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක් විසින් මුළු රටක් වෙනුවෙන් තීරණ ගන්නා ක්‍රමය සමහර වෙලාවට සාර්ථක වෙන්න පුළුවන්. හැම අවස්ථාවකම අනිවාර්යයෙන් අසාර්ථක විය යුතුමයි කියලා එකක් නැහැ. නමුත්, බොහෝ විට වෙන්නේ අසාර්ථක වෙන එක. මෙය විශාල අවදානමක් ගැනීමක්.

දැන් සිංගප්පූරුවේ තිබෙන තරම් විශාල ප්‍රමාණයක් නොවුනත් ලංකාවේ රජය සතුවත් නිදහස ලබද්දී සැලකිය යුතු වත්කම් ප්‍රමාණයක් තිබුණා. ජාතිකවාදී හා සමාජවාදී ප්‍රතිපත්ති නිසා ඒ වත්කම් අවුරුදු පහළොවක් යද්දී ඉවර වුනා. රට හිඟමනට වැටුණේ ඊට පස්සේ. 1965න් පස්සේ ලංකාවට IMF එකෙන් තොර පැවැත්මක් නැහැ. ඒ කාලයේ සිට අද දක්වාම රජය විසින් දිගින් දිගටම එකතු කරගෙන තියෙන්නේ ණය මිසක් වත්කම් නෙමෙයි. හැම අවුරුද්දකම වගේ රජයේ ආදායම් හා වියදම් අතර වෙනස ඔය ණය කන්දරාවට එකතු වෙනවා. මේ වෙද්දී ණය කන්දරාව රජයේ ආදායම වගේ දොළොස් ගුණයක් විතර.

දැන් ප්‍රශ්නය ණය ගෙවන එක නෙමෙයි. මොන තරම් හොඳ සැලසුමක් හැදුවත්, ණය ආපසු ගෙවලා නිදහස් වෙන එක කොහොමටත් අවුරුදු විසිපහකටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ප්‍රශ්නය ණය වාරික හා පොලී ගෙවන එක. මෙතෙක් කළේ අලුතෙන් ණය අරගෙන ණය වාරික හා පොලී ගෙවන එක සහ වියදමට තවත් ණය ගන්න එක. දැන් අලුතෙන් අවශ්‍ය පමණ ණය ගන්න බැරි නිසා මොනවා හෝ තිබෙන වත්කමක් විකුණන තත්ත්වයට වැටිලා ඉවරයි. ලාබ ලබන වත්කම් විකුණන්න අවශ්‍ය වී තිබෙන ප්‍රධාන හේතුව මේකයි.

කොහොම වුනත්, ලාබ ලබන රාජ්‍ය ආයතන ගැන දමපු සටහනට ප්‍රතිචාර දමපු සමහර අය ඒ ප්‍රතිචාර දමා තිබුණේ පාඩු ලබන රාජ්‍ය ආයතන ඔලුවේ තියාගෙන. ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ආයතන ගැන කතා කරද්දී උඩින්ම ඉන්න ත්‍රිමූර්තිය ශ්‍රීලන්කන්, තෙල් සංස්ථාව සහ ලංවිමයි.

ඉහත ආයතන තුනේ පොදු සමානකමක් වන්නේ තෙල් වලට තිබෙන සම්බන්ධයයි. සාමාන්‍යයෙන් තෙල් මිල ඉහළ යාම අඩු වැඩි වශයෙන් මේ ආයතන තුනේම පාඩු වැඩි කරන්න හේතු වෙනවා. එම සමානකම තිබුණත්, මේ ආයතන තුනේ ප්‍රශ්න බොහෝ දුරට එකිනෙකට වෙනස්.

මේ ආයතන අතරින් තෙල් සංස්ථාවට හා ලංවිමට රට ඇතුළේ ඒකාධිකාරයක් තිබෙනවා. තෙල් සංස්ථාවේ ඒකාධිකාරය සියයට සියයක්ම කෘතීම එකක්. රජය විසින් මේ ඒකාධිකාරය හදන්නේ යල් පැන ගොස් ඇති සමාජවාදී ආර්ථික ක්‍රමය මත පදනම්වයි.

ඇමරිකාවේ හන්දියක හතර පැත්තේ ඉන්ධන පිරවුම්හල් හතරක් තිබෙන එක දුලබ දසුනක් නෙමෙයි. තරඟකාරී සමාගම් හතරකට අයත් මේ ඉන්ධන පිරවුම්හල් හතරේ මිල ගණන් එකිනෙකට සමාන නැහැ. පාරිභෝගිකයෙකුට ඒ හතර අතරින් මිල අඩු තැනකින් ඉන්ධන පුරවා ගන්න පුළුවන්.

නිදහස ලබන විට වගේම නිදහස ලබා වසර පහළොවක් පමණ යන තුරු ලංකාවේ තිබුණේත් මේ වගේම තත්ත්වයක්. මොබිල් (MOBIL), කැල්ටෙක්ස් (CALTEX), ෂෙල් (SHELL), එසෝ (ESSO), ස්ටෑන්ඩඩ් ඔයිල් (Standard Oil) ඇතුළු ලෝකය පුරා ව්‍යාපාරික කටයුතු කළ ප්‍රධාන තෙල් සමාගම් සියල්ලම වාගේ ලංකාව තුළ ඉන්ධන බෙදා හරිමින් සිටියා. එම සමාගම් විසින් ආයෝජනය කර හදා තිබුණු තෙල් නල ඇතුළු යටිතල පහසුකම් ලංකාවේ තිබුණා. සමාගම් අතර විශාල තරඟකාරීත්වයක් පැවතුණා. රටේ තෙල් හිඟයක් තිබුණේ නැහැ.

මෙසේ තිබියදී මුදල් ඇමති සේ කටයුතු කළ ඇන් ඇම් පෙරේරාගේ සහ වෙළඳ ඇමති ලෙස කටයුතු කළ ටී බී ඉලංගරත්නගේ බලපෑම මත අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක විසින් තෙල් සමාගම් සියල්ල ජනසතු කරන්නට පෙළඹුණා. සමාජවාදී පිස්සුව සහ බටහිර විරෝධය හැර එසේ කරන්නට වෙනත් සාධාරණ හේතුවක් තිබුණේ නැහැ. මෙහි ඉලක්කය වූයේ බටහිර සමාගම් වලට ලංකාවේ වෙළඳපොළ අහිමි කර රුසියාව ඇතුළු සමාජවාදී රටවලින් ඉන්ධන ආනයනය කිරීමයි.

මේ අනුව, තෙල් සමාගම් සතු සියලු දේපොළ රජය විසින් පවරා ගැනීමෙන් පසුව තෙල් සංස්ථාව පිහිටුවා එයට නීතියෙන්ම රාජ්‍ය ඒකාධිකාරයක් හදා දුන්නා. තෙල් සංස්ථා පණත මගින් අනෙක් කිසිවෙකුට ඉන්ධන ආනයනය, බෙදා හැරීම හා විකිණීම තහනම් කෙරුණා. 1961දී පටන්ගත් මේ ක්‍රියාවලිය 1971දී එසෝ සමාගම සතු වූ ගුවන් යානා ඉන්ධන බෙදා හැරීමේ පහසුකම් පවරා ගැනීමෙන් අවසන් වුනා. අද වන විට බදු ගෙවන්නට මහත් බරක්ව තිබෙන තෙල් සංස්ථා ඒකාධිකාරය හැදුනේ ඔය විදිහටයි.

තෙල් සංස්ථාවට සාපේක්ෂව ලංවිම හැදුණේ පෞද්ගලික අංශය විසින් නොකරන ආයෝජනයක් රජය විසින් කිරීමේ ප්‍රතිඵලයක් විදිහට කියා කියන්න පුළුවන්. එහිද, සමාජවාදී අදහස් වල බලපෑම තිබුණත්, එසේ නැතිව වුවත් මෙවැන්නක් සිදු විය හැකිව තිබුණා. යම් තාක් දුරකට ලංවිම කියන්නේ ස්වභාවික ඒකාධිකාරයක්.

ශ්‍රීලන්කන් ගුවන් සේවය හා එහි පූර්වගාමීන් වන එයා සිලෝන් හා එයා ලංකා හැදෙන්නේ ජාතික අභිමානය පිළිබඳ ප්‍රකාශන ලෙස කියා කියන්න පුළුවන්. තමන්ගේම ගුවන් සේවයක් හදා ගැනීම අලුතෙන් නිදහස ලැබූ බොහෝ රටවලට කරන්නට අවශ්‍ය වූ දෙයක්. මෙහිදී ලාබ ලැබීම ප්‍රමුඛ අවශ්‍යතාවය ලෙස සැලකුණේ නැහැ. ජාතික ගුවන් සේවයක් මගින් රටේ සංස්කෘතිය නිරූපණය කිරීම හා ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම වැනි දෙයක්ද සිදු වුනා.

තෙල් සංස්ථාවේ හා ලංවිම පාඩු වලට විසඳුමක් ලෙස IMF එක විසින් මිල සූත්‍ර ක්‍රමය නිර්දේශ කර තිබෙනවා. එහෙත්, මේ මගින් මෙම ආයතන වල ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. හරියටම කියනවානම් එක් ප්‍රශ්නයක් හැර වෙනත් ප්‍රශ්න කිසිවක් විසඳෙන්නේ නැහැ. විසඳෙන එකම ප්‍රශ්නය මෙම ආයතන වල පාඩු අවසාන වශයෙන් උද්ධමන බද්දක් බවට පත් වීම වැලකීමයි.

රාජ්‍ය ඒකාධිකාර වන තෙල් සංස්ථාවේ හා ලංවිම ප්‍රශ්නය එම ආයතන පාඩු ලැබීමම නෙමෙයි. ප්‍රශ්නය එයනම් විසඳුම සරලයි. අවශ්‍ය තරම් මිල වැඩි කිරීම මගින් පහසුවෙන්ම එම පාඩු නැති කරන්න වගේම මේ ආයතන ලාබ ලබන ආයතන බවට පත් කරන්නත් පුළුවන්. මිල වැඩි වෙද්දී ඉල්ලුම යම් තරමකින් අඩු වන නමුත් ඉන්ධන ඉල්ලුම මෙන්ම විදුලි බල ඉල්ලුමද මිල ඉහළ යද්දී විශාල ලෙස අඩු වෙන්නේ නැහැ. ඒ නිසා, මිල වැඩි කිරීම ලාබ නැති වීමේ ප්‍රශ්නයට විසඳුමක්. ඒ සඳහා දූෂණ, වංචා, හොරකම්, අකාර්යක්ෂමතා කිසිවක් නැති කරන්න අවශ්‍ය නැහැ. රාජ්‍ය ආයතන වල සැබෑ ප්‍රශ්නය ඒවා පාඩු ලැබීමම නොවන බවට මේ කරුණම නිදර්ශනයක්.

කෙසේ වුවත්, ශ්‍රීලන්කන් ආයතනයට මිල සූත්‍ර ක්‍රමය හරියන්නේ නැහැ. එම ආයතනයට තරඟය තිබෙන්නේ රටෙන් බැහැරවයි. ඒ නිසා ශ්‍රී ලංකා රජයට ඒකාධිකාරයක් හදා දීම මගින් එම ආයතනයට උදවු කරන්න බැහැ. ලාබ ලබන්නනම් අනිවාර්යයෙන්ම කාර්යක්ෂම වෙන්න සිදු වෙනවා.

ගුවන් සේවා සැපයීමේ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකාවට අනෙකුත් රටවලට නැති විශේෂ වාසියක් නැහැ. එවැනි වාසියක් තිබෙන්නේ තෙල් නිපදවන රටවලට පමණයි. ඒ නිසා, ලංකාවට තරඟ කළ හැක්කේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම මගින්ම පමණයි. වෙන පහසු ක්‍රමයක් නැහැ. සිංගප්පූරු ගුවන් සේවය මෙම කාර්යය කරන්නට සමත් වී තිබෙනවා.

ශ්‍රීලන්කන් පාඩු එහි උරුමයක්. එයා සිලෝන් කාලයේ සිටම මේ පාඩු එනවා. ලංකාවට කවදාවත් ගුවන් සේවයක් කාර්යක්ෂම සේ කළමනාකරණය කළ හැකි කුසලතා තිබී නැහැ. ඉදිරියේදී මේ තත්ත්වය වෙනස් වෙයි කියා හිතන්නත් අමාරුයි.

බදු ගෙවන්නන්ගේ කැමැත්ත එයනම්, ජාතික අභිමානය වෙනුවෙන් පාඩු ලබමින් ගුවන් සේවයක් නඩත්තු කිරීමේ වැරැද්දක් නැහැ. එසේ කරන්නේනම් පැහැදිලි ලෙස බදු ගෙවන්නන් දැනුවත් කර ඒ සඳහාම වෙනම බද්දක් අය කළ යුතුයි. ප්‍රායෝගිකව ශ්‍රීලන්කන් ගුවන් සේවය ලාබ ලබන ආයතනයක් කළ හැක්කේ එය කළමනාකරණය කිරීම වෙනත් විශාල ගුවන් සේවයකට ලබා දීමෙන් පමණයි. අවශ්‍යනම් රජයට යම් කොටස් අයිතියක් තියා ගන්න පුළුවන්. එමිරේට්ස් එකට දුන් ආකෘතිය හොඳ ආකෘතියක්.

එහෙත්, තෙල් සංස්ථාව මේ ආකාරයෙන් පවත්වාගෙන යාමට කිසිම තර්කානුකූල හේතුවක් නැහැ. එහි ප්‍රශ්නය පාඩු නොව රාජ්‍ය ඒකාධිකාරයයි. ඒ හේතුව නිසාම ආකෘතිය එලෙසම තිබියදී මෙම ආයතනය විකිණීමද විසඳුමක් නෙමෙයි. රාජ්‍ය ඒකාධිකාරිය පෞද්ගලික ඒකාධිකාරයක් වූ පමණින් ලොකු වෙනසක් සිදු වන්නේ නැහැ. කළ යුත්තේ කර්මාන්තය ප්‍රතිනියාමනය කර නැවත තරඟකාරිත්වය ඇති කිරීමයි.

තෙල් සංස්ථාවෙන් වෙනස්ව ලංවිම විසින් එහි නිෂ්පාදනය බොහෝ දුරට සිදු කරන්නේ රට තුළයි. ආනයනික ඉන්ධන ආදිය හරහා රටින් පිටතට විදේශ විණිමය යන නමුත් ජල විදුලියෙදී හා සූර්ය, සුළං බලය වැනි අවස්ථා වලදී අගය එකතු වීම බොහෝ දුරට සිදු වන්නේ රට තුළයි. එහෙත් ඉන්ධන කර්මාන්තය තුළ පිරිපහදු කිරීමේදී රට තුළ සිදු වන අගය එකතු කිරීම ඒ තරම්ම විශාල නැහැ. රට තුළ ඉන්ධන විකුණා එකතු කර ගන්නා මුදල් බොහෝ දුරට රටින් පිටට යනවා.

ඉහත හේතුව නිසා ඉන්ධන ආනයනය හා බෙදා හැරීම විදේශ සමාගම් වෙත ලබා දීමෙන් ලංකාවට අවාසියක් සිදු වන්නේ නැහැ. පාරිභෝගිකයින්ගේ පැත්තෙන් බැලුවත්, පොදුවේ රටේ පැත්තෙන් බැලුවත් වඩා වැදගත් වන්නේ හැකි තරම් අඩු මිලකට, බාධාවන්ගෙන් තොරව ඉන්ධන ලබා ගන්නට හැකි වීමයි. මේ ඉලක්කය කරා යා හැක්කේ තරඟකාරී සමාගම් ගණනාවකට වෙළඳපොළ විවෘත කිරීම මගිනුයි. එහිදී රටින් එළියට යන්නේ කොහොමටත් රටින් එළියට යන විදේශ විණිමයයි.

ඉලක්කය තරඟකාරිත්වය ඇති කර බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමනම්, ඒ සඳහා තෙල් සංස්ථාව සතු වත්කම් විකිණීමේ අවශ්‍යතාවයක් නැහැ. එවැන්නක් සිදු වන්නේනම් එහි අරමුණ රජයේ අරමුදල් ප්‍රශ්නය විසඳා ගැනීම විය යුතුයි.

~ ඉකොනොමැට්ටා

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan