බැංකු කඩා වැටෙද්දී පොලී අනුපාතික තවත් ඉහළට !

Date:

අද (03) ඇමරිකාවේ ෆෙඩරල් විවෘත වෙළෙඳපොළ කමිටුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් පාදක අංක 25කින් (0.25%කින්) ඉහළ දැම්මා. මේ අනුව ප්‍රතිපත්ති පොලී අනුපාතික කොරිඩෝව 5.00-5.25% දක්වා ඉහළ යනවා. පසුගිය මාර්තු මාසයේ සිට ෆෙඩරල් විවට වෙළෙඳපොළ කමිටුව රැස් වුනු හැම අවස්ථාවකදීම පොලී අනුපාතික ඉහළ දමා තිබෙන අතර මේ එක දිගට පොලී අනුපාතික ඉහළ දමන දහවන අවස්ථාවයි.

මීට පෙර, උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවා ගිය 2006 වසරේදී ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික 5.25% දක්වා ඉහළ දමනු ලැබූ අතර, ඊටත් පෙර 2000 වසරේදී 6.50% දක්වා ඉහළ දමනු ලැබුවා. ඒ අවස්ථා දෙකේදීම දැඩි මුදල් ප්‍රතිපත්තිය අවසන් වුනේ ආර්ථික අර්බුදයකින්. පසුගිය (2022) ජූනී මාසයේදී 9.1% මට්ටම දක්වා ඉහළ ගිය උද්ධමනය මේ වන විට 5.0% මට්ටම දක්වා අඩු වී ඇතත්, ඉලක්ක මට්ටම වන 2.0% දක්වා උද්ධමනය අඩු වන තුරු දැඩි මුදල් ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම ඇමරිකාවේ මහ බැංකුවේ අභිලාෂය බව පෙනී යනවා.

කෙටිකාලයක් තුළ මේ අයුරින් පොලී අනුපාතික විශාල ලෙස වැඩි කිරීම මූල්‍ය ආයතන වල වත්කම් කෙරෙහි අහිතකර ලෙස බලපානවා. පසුගිය සතියේ ඇමරිකාවේ තවත් බැංකුවක් බංකොලොත් වුනා. මේ විදිහට බංකොලොත් වූ ෆස්ට් රිපබ්ලික් බැංකුව ඇමරිකාවේ 14වන විශාලතම බැංකුවයි. මෙය ඇමරිකාවේ දෙවන විශාලතම බැංකු කඩා වැටීමයි.

ගෙවුණු මාර්තු මාසයේදී ඇමරිකාවේ විශාලතම බැංකු දෙකක් කඩා වැටුණා. ඒ, 16 වන තැන සිටි සිලිකන් වැලි බැංකුව සහ 29 වන තැන සිටි සිග්නේචර් බැංකුවයි. මෙම බැංකු කඩා වැටීම් ඇමරිකන් ඉතිහාසයේ දෙවන හා තෙවන විශාලතම බැංකු කඩා වැටීම් ලෙස සටහන් වුනා. එහෙත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව මේ බැංකු දෙකටම වඩා විශාල නිසා එම බැංකුවේ කඩා වැටීම දෙවන විශාලතම බැංකු කඩා වැටීම බවට පත් වී තිබෙනවා.

ඇමරිකාවේ ෆෙඩරල් තැන්පතු රක්ෂණ ක්‍රමය නිසා කිසියම් බැංකුවක් කඩා වැටුනත් ඩොලර් 250,000 දක්වා වන තැන්පතු සුරක්ෂිතයි. මෙම රක්ෂණ ක්‍රමය වෙනුවෙන් සාමාජික බැංකු විසින් වාර්ෂිකව මුදලක් ගෙවිය යුතුයි.

බැංකුවක් බංකොලොත් වූ විට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් තැන්පතු ආරක්ෂා කරන ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනවා. පළමු ක්‍රමය, තැන්පතුකරුවන්ට අදාළ මුදල් සෘජුව ගෙවා දැමීමයි. දෙවන ක්‍රමය, එවැනි බැංකුවක් සෘණ මිලකට වෙනත් බැංකුවකට විකිණීමයි.

මාර්තු මාසයේදී බැංකු කඩා වැටුණු විට පළමු ක්‍රමය අනුගමනය කළත්, ෆස්ට් රිපබ්ලික් බැංකුව අදාළව දෙවන ක්‍රමය අනුගමනය කිරීමට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම සමත්ව තිබෙනවා. මේ අනුව, මේ අනුව තරඟකාරී වෙන්දේසි ක්‍රමයකින් අඩුම ලන්සුව ඉදිරිපත් කළ ජේපී මෝගන් චේස් බැංකුවට ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගම විසින් පවරාගත් ෆස්ට් රිපබ්ලික් බැංකුවේ වත්කම් හා බැරකම් විකුණා තිබෙනවා. කඩා වැටුණු පසු තැන්පතු වෙනුවෙන් වන්දි ගෙවීමට සාපේක්ෂව මෙම ක්‍රමය වාසිදායක ක්‍රමයක්.

බැංකුවක් බංකොළොත් වුනා කියන්නේ එහි වත්කම් වලට වඩා බැරකම් වැඩියි කියන එකයි. කිසිවෙකු විසින් එවැනි ශුද්ධ බැරකමක් මුදල් ගෙවා ලබා ගන්නේ නැහැ. ඒ නිසා, ශුද්ධ බැරකමක් විකිණිය හැක්කේ සෘණ මිලකටයි. ඒ කියන්නේ සල්ලිත් එක්කයි. අඩුම මුදල් ප්‍රමාණයක් සමඟ ෆස්ට් රිපබ්ලික් බැංකුව මිල දී ගන්නට කැමති වී තිබෙන්නේ ඇමරිකාවේ ලොකුම බැංකුව වන ජේපී මෝගන් චේස් බැංකුවයි.

ඇමරිකානු ඉතිහාසයේ විශාලතම බැංකු කඩා වැටීම 2008දී සිදු වූ වොෂින්ටන් මියුචුවල් බැංකුව කඩා වැටීමයි. ඒ අවස්ථාවේදී එම බැංකුව මිල දී ගත්තේද ජේපී මෝගන් චේස් බැංකුවයි. මේ අයුරින් බංකොලොත් බැංකුවක් වෙනත් බැංකුවකට පැවරීම සඳහා ෆෙඩරල් තැන්පතු රක්ෂණ සමාගමට වැය වන්නේ තැන්පතු මුදල් ආපසු ගෙවනවාට වඩා අඩු මුදලක්.

පොලී අනුපාතික ඉහළ දැමීම බැංකු පද්ධතියේ ස්ථාවරත්වය මත අහිතකර ලෙස බලපාන නමුත් ඇමරිකානු ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් වඩා විශාල අභියෝගය ලෙස හඳුනාගෙන තිබෙන්නේ උද්ධමනය පාලනය කිරීමයි. එහිදී, ඔවුන් බැංකු කඩා වැටීම ගැන නොසිතා සෘජුව තීරණ ගන්නා අතර බැංකු කඩා වැටීම් වලට වෙනම විසඳුම් දෙනවා. ඇමරිකානු ඩොලරයේ ශක්තිය රඳා පවතින්නේ ඇමරිකාවේ උද්ධමනය අඩු මට්ටමක ස්ථාවර ලෙස පවත්වා ගැනීම මතයි.

~ ඉකොනොමැට්ටා

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Ozzy Osbourne (Prince of Darkness)” අන්ධකාරයට ආවඬයි!

සටහන – පුලී ජූලි 22, කොළඹ (LNW): Black Sabbath හි ගායක...

ඩිජිටල්කරණයෙහි නවමු මංපෙතක් විවර කරන “Super App” පද්ධතිය!

සටහන – පුලී ජූලි 22, කොළඹ (LNW): ඩිජිටල්කරණයෙහි ප්‍රධාන පියවරක්...

වව්නතිව් පොලිස් නිලධාරීන් ඝාතන සිද්ධියට අදාළව තවත් පොලිස් නිලධාරියෙක් CID අත්අඩංගුවට!

කොළඹ LNW:පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ නොවැම්බර් මාසයේ 30...