*
Saturday, October 5, 2024
spot_img

Latest Posts

ග්‍රේෂන්ගේ පිම්මෙ ඇත්ත ෆවුල් එක

ලෝකයේ වෘත්තීය මලල ක්‍රීඩකයින් ඒ රටවල මලල ක්‍රීඩා සංගම්වලින් අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලාගෙන වෙන රටවල පැවත්වෙන තරගකාරී ග්‍රෝන්ප්‍රී වැනි ජාත්‍යන්තර ඉසව්වලට සහභාගි නොවන බව අපි දනිමු.ඒ වෘත්තීය ක්‍රීඩකයන්ගේ පෞද්ගලික වැඩක්ය.ලංකාවේ නොවන තරම් ඒ සඳහා නීතිමය බැදීම්වලින් ද දියුණු රටවල ක්‍රීඩකයින් නිදහස්ය.වත්මන් මලල ක්‍රීඩා සංගම් සමන් කුමාර ගුණවර්ධන ද ඒ බව සදහන් කරන්නේ මේ මොහොතේ මලල ක්‍රීඩකයෙක් ස්විට්ස්ර්ලන්තයේදී අතුරුදහන් වීම නිසා ඇති වී තිබෙන තත්ත්වය යටතේ මලල ක්‍රීඩාවට හානි කරන්න බලා ඉන්න පිරිස දාන රංගනයන් දෙස බලා ගෙනය.
ග්‍රේෂන්ගේ ප්‍රශ්නය කිහිපාකාරයකින් සාකච්ඡාවට ගත යුතුය.වැදග්තම දේ වෘත්තීය මලල ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් නිර්මාණය වන විදිහට ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව ව්‍යහුයමය වශයෙන් සැකසී නැත.රටකට යන්නට වීසා ලබා ගන්නට ප්‍රශ්න බොහෝය.ඒ රටේ ප්‍රශ්නයක් මිස ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් නොවේය.රටේ පාලකයෝ රට ගෙනවිත් තිබෙන තැන එබඳුය.එය ක්‍රීඩාවට ආදේශය කළ විට එයට පළමුව වගකිව යුත්තේ රටේ දේශපාලනය ය.දෙවනුව අදාළ ක්‍රීඩාවන් හී පරිපාලනය ය.
ක්‍රීඩකයාට උපයන්නට මාර්ග ඇහිරී ඇත.ඇහිරී කියන වචනයට වඩා සීමා වී තිබෙන බව කීම සාධාරණය.

දක්ෂයෙක්ට ඇති එකම මඟ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ වීමය.ඒවා වෙනස් කරන්නට අමාත්‍යංශයවලට හෝ ක්‍රීඩා සංගම්වල සිටින අයට අදහසක් නැත.සමහර විට තරගයක ආරම්භක ලේඛණය ගත් විට යුද හමුදාවම පමණක් විස්සක් පමණ දකින අවස්ථාද ඇත.
ක්‍රිඩකයා දිනා ගන්න තරගය මීට වඩා පළල් සහ තව දුරටත් වෘත්තීය ස්ථාවරයක් ඇතිවන මට්ටමෙන් සිදුවන්නේනම් ක්‍රීඩකයාට අවස්ථාවන් සහ ඉපැයීම් ද විවිධාකාර වන්නේය.දක්ෂයා දිනා ගැනීමේ අවස්ථාවන් සඳහා තරගයක් ඇතිවනු ඇත. ඔහුගේ ක්‍රීඩා දක්ෂකම වගේම වෙනත් දැනුම නිරීක්ෂණය කර මනින කාරණා ද සමඟ වඩාත් දක්ෂතා ඇති කෙනාට දිනාගත හැකි ස්ථාන ඉහළ වටිනාකමක් සහිත ඒවා විය හැකිය. ඉහළට යන්නට දැනුම ඇති කෙනාගෙන් ක්‍රීඩකත්වයට අමතරව අනාගතයට අවශයය පරිපාලක සුදුසුකම් සහිත පසුබිමක් ද පදනමක් ද අපේක්ෂා කළ හැකිය.මේ වන විට එවැනි තැන් පෙනෙන්ට ඇත්තේ බොහෝ සෙයින් හිස්ව ය.


ඒ නිසා ලෝකයට විවෘත වීම තබා ශ්‍රී ලංකාවේ ජීවත්වීමට තරම්වත් නිදහසක් නැති නීතිමය සිරවීමක ක්‍රීඩකයා හසුව හිරව සීමා වී ඇති බව අප පිළිගත යුතුය.
එසේම ක්‍රීඩාව පරිපාලනමය වශයෙන් නිදහස් ද නැත.ස්වාධිනව වැඩ කරන්නයැයි පැවසුවද එයට ඉඩක් නැත.මේ වන විට තත්ත්වය තවත් දරුණුය.ඒ තරමට අමාත්‍යංශයේ අත පෙවීම් හිරිකිතය.උස්බෙකිස්තානයේ පැවති ආසියානු යොවුන් තරගාවලියට මුදල් අනුග්‍රහයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත මලල ක්‍රීඩා සංගමය කරන ලද ඉල්ලීම ක්‍රීඩා අමාත්‍යංශය හරහා කරන ලෙස බලපෑම් ආවේ ක්‍රීඩා අමාත්‍යංශයෙන්ය.අවසානයේ ඒ මුදල ක්‍රීඩා අමාත්‍යංශය හරහා හරහා ලබා ගැනීමට කටයුතු කළේය.සංචාරය ආසන්නයේ ක්‍රීඩා අමාත්‍යංශය ඒ මුදල මහා භාණ්ඩාගාරයට යොමු කළේය.අවසානයේ මලල ක්‍රීඩා සංගමයේ නිලධාරි එකතු වී එම මුදල් අතින් ගෙවා ඇති අතර තවමත් මුදල් මහා භාණ්ඩාගාරයේය.ක්‍රීඩා අමාත්‍යවරයා,ජාතික ක්‍රීඩා සභාවේ උපදෙස් පිට ක්‍රීඩාව ස්වාධීන කර ඇති අයුරු එබඳුය.මෙහිදී ඇති වූ තත්තවය සමනය කරගන්න ජාතික ඔලිම්පික් කමිටු ලේකම්වරයාට කරුණු දැක් වූ පසුව ඔහු ද ජාතික ඔලිමිපික් කමිටුවෙන් මිලියනයක මුදලක් පරිත්‍යාග කර ඇත.
දැන් මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා පෙන්වා දෙන කරුණු තව ආකාරයකින් සළකා බැලිය හැකිය.1994 සිට 2005 දක්වා ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකාවන් අතුරුදහන් වී ඇත.එතැන් සිට වසර 18 ක් යන තුරු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදහන් වී නැත.ඒ අකාරයට මලල ක්‍රීඩාවේ පමණක් නොව නැවත අතුරුදහන් වීම් වාර්තා වන්නේ මේ මෑතක සිටය.බර්මින්ග්හැම් හී පොදු රාජ්‍ය මණ්ඩලීය මලල ක්‍රීඩා උළෙලේ සිට ආරම්භවන පැනීම් රටේ සෞභාග්‍යය,ක්‍රීඩාවේ වසන්තය අරභයා 2019 දි පත් කර ගත් රටේ නායකත්වය,සහ මහජන නියෝජිතත්වය යටතේ සිඳුවෙමින් ඇත.බර්මින්ග්හැම් හී දී මාධය වාර්තා නොකළ ඇත්ත පැන ගිය පිරිස අතර මාධ්‍යවේදීන් ද සිටි බවය.


අතරුදහන් ක්‍රීඩකයා ද මේ පොදු සමාජයේ නියෝජනයක්ය.ඔහු විදේශයන්හී විශාල කාලයක් නැවතී පුහුණුව ලැබූ විදේශ තරගවලට තනිවම සහභාගි වූ අයෙක්ය.බොහෝ වෙලාවට යුරෝපයට ඇතුල් වීමේ දොරටුව සේ යොදාගන්නා තූර්කියට ඔහු තනිව ගොස් තරග වැද පැමිණියේය.නමුත් පසුව රටේම සෞභාග්‍ය ප්‍රෙටල් පෝලීම් සහ ගෑස් පෝලිම් වැනි දේ සමඟ මේ රටේ ජීවත්වීමේ දුෂ්කරතාවය සමඟ සකස්කළ පාස්පෝට් පෝලීමේ නැවතිණ.ඒ පුරවැසි ගොන්නේම නියෝජනයක් මිස ග්‍රේෂන් අහසින් පාත් වූ අපේ පොළවට අයත් නැති උල්කාපාතයක් නොවේය.


මේ මොහොතේ රටේ ක්‍රීඩාවේ තත්ත්වය කොහොමද? ක්‍රීඩකයන්ට ක්‍රීඩා කරන්නට පාවහන් පවා නැත.ඒවා ද ගෙන්වීම තහනම් විය.ගණන සිය ගුණයකින් වැඩි විය.ක්‍රීඩකයාට ලැබෙන මාසික වැටුප,අනුග්‍රහ දීමනා එතැනමය.නමුත් ක්‍රීඩාවේ භාවිතාවන් විශාල ලෙස වෙනස් විය.වැරදි වුණත් ජීවත්වීමේ නිදහස සහ අරමුණු හීන වෙනුවෙන් තරුණකම ගත් තීරණය ග්‍රේෂන් ස්විට්ස්ර්ලන්තයේදී ගත්තේය.
දැන් රට යන්න පාරවල් සොයමින් ඉන්න බොහෝ අයට මේවා මාර අවුල්ය.එකම දේ මේ පහසුවෙන් යන්නට ඇති හැකියාව ලබා ගන්නට නොහැකිකමය.හැබැයි පහසුවෙන්ම ගිය බවක් කියන්නට නොහැකිය.විශාල මුදලක් වැය කර ගුවන් ටිකට් පත් ලබා ගෙන,නවාතැන් පහසුකම් සකසා ගෙන ග්‍රේෂන් මේ සංචාරයට එකතු වී ඇත.ඒ සඳහා වීසා ලබා ගැනීම ග්‍රේෂන්ට සහ සාරංගිට පහසු වී ඇත.ඒ ඔවුන් විදේශ කරග සහභාගීත්වය පිළිබඳ අත්දැකීම් ඇති,විදේශ පුහුණුව ලබා ඇති බැවින්ය.එසේ සුදුසුකම් නැති දෙදෙනෙක්ගේ නමට විසා ලැබුණේ ද නැත.


ජාතික ක්‍රීඩා සභාව මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ එක් වී කරන අලුත්ම කාර්යය ක්‍රීඩා සංගමයකින් එවන නිර්දේශ මුදල් අනුග්‍රහ ද නොදෙන තත්ත්වයක කපා දැමීමය.ඒ ආකාරයට ගෙවුණ කොරියානු සංචාරයෙන් කපා දැමූ එක් අයෙක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පාසල් දැරියන් වෙනුවෙන් යොමු කරන ලද නිලධාරිනියකි.අධ්‍යාපන අමාත්‍යවරයා ද මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට තදින් කතා කළ බව ද සත්‍යයකි.ක්‍රීඩාවේ අලුත් තත්ත්වය මත අමාත්‍යංශය යනු වේවැලක් අතට ගත් අයෙක්ය.නිදහස සම්පූර්ණයෙන් අහෝසි වෙමින් ඇත.මේ තත්ත්වය මත ග්‍රේෂන් අහිමි වීම නොව සමහර විට ලංකාවට ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩාවද අහිමි වීමට ඉඩ ඇත.එවිට දැනට පාපන්දු ක්‍රීඩාව කෙරෙන ආකාරයට අරුජුනට සහ ඇමති රොෂාන්ට එක්වී ටොරිංටනය වටේ මලල ක්‍රිඩා තරග පැවත්විය හැකිය.


එසේම වසර 18 ට පසුව පැන යන පිරිසද බර්මින්ග්හැම් හී සිට පැන යන අය ද ගත් විට නව ප්‍රවනතාවය තුළ මලල ක්‍රිඩා නොව අන් ක්‍රිඩාවන්වලද ක්‍රීඩාව සහ රට හැර යන බහුතරයක් හමුදාවන්ට සම්බන්ධ අය ය.අවුරුදු 18 ට පෙර ඉතිහාසය ගත්තද එදත් එසේමය.
සමන් කුමාර ගුණවර්ධන පවසනාකාරයට වඩාත්ම වැදගත් මේ සිදුවීම වන්නේ වසර 18 ට පසුවය.ඒ අතර ක්‍රීඩා තරග 244 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රට නියෝජනය කර ඇත.මේ නිසා වැඩි අවස්ථාවන් ප්‍රමාණයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලැබී ඇත.එහෙත් ඒ අවස්ථාවන් දැන් උදා කර ගැනීම අසීරුය.මෙවැනි වෘත්තිමය නොවන ක්‍රිඩා උළෙලකදී වුව යම් ආකාරයක මූල්‍යමය ගැටළු නිසා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් හොයාගෙන යාමට සිදුවිය හැකිය.මලල ක්‍රීඩා සංගමය මුදල් දුන්නොත් මිස ක්‍රීඩා අමාත්‍යංශය කරන්නේ අනුමැතියට ඉදිරිපත් කරන නම් කැපීමය.සාකච්ඡා කිරීමය.සංචාරය යන්න ඔන්න මෙන්න කියා අනුමැතිය දෙන ලිපිය එවීමය.එහිදී ඒ වන විට සංචාරය සඳහා නම් කර නම ඉවත් කර ඇති අය,ඒ බව නොදැන සංචාරය යන්නට කොළම පැමිණ අවසන්ය.අනතුරුව අවමානය සහ ලැජ්ජාවද සමඟ රාත්‍රී බස් එකක නැවත බඩුභාහිරාදිය ඔසවාගෙන ඔවුන් ගමේ යද්දී තමන් ඒ ලිපිය පමා කර අත්සන් කර හෝ මලල ක්‍රීඩා සංගමයට යොමු කර තිරිසන් ආස්වාදයක් පබන නිලධාරීන් ගොරව ගොරවා නිදිය.


මේ දැන් ජාතික ක්‍රීඩා සභාව,ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයත් මලල ක්‍රීඩා සංගමයත් අතර ඇති සම්බන්ධයය.ඔවුන් එකඟ වූයේ මෑත කාලයේ එකම එක අවස්ථාවකදී පමණි.ඒ කණිෂ්ඨ රිටි පැනීමේ ක්‍රීඩකයාට රිට රැඟෙන යන්නට අවසර නොලැබුණු අවස්ථාවේය.ජාමේ බේරා ගන්නට ඔවුහු විවිධ තර්ක මවමින් හොඳටම ගැලවී තිබූ රෙදි පරඩැල්වලින් වසා ගන්නට උත්සාහයක් ගත්හ.මෙහිදී මේ පැනයාම් ඉහළ යන්නට එක් හේතුවක් වී ඇත්තේ සංචාරවලට සහභාගි වීමට දුෂ්කරතා මතුවෙමින් තිබීම සහ ඒවාට අනුමැතිය ලැබීමට ද, අනපේක්ෂිත ආකාරයට බාධා පැමිණීම් සහ කපා දැමීම්වලට ලක්වීම නිසා, උදා වී ඇති අවිනිශ්චිත තත්ත්වය නිසා බව අප තෝරා ගත යුතුය.එසේම සාමාන්‍ය ජනයා හැතැප්ම ගණන් දිග පෝලිම්වල විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට පෝලිම්වල ලඟින්නේ මේ රටේ ජීවත්වෙන්නට බැරි නිසාය.හමුදාවල ඇත්ත තත්ත්වය කුමක්ද?කී දෙනෙක් මේ වන විට විදේශ ගත වී ඇද්ද?ඒ නිසා ග්‍රේෂන්ගේ පැනීම හමුදාවට මැජික් එකක් නොවේය.


ඔහු ද ගන්න වැටුපෙන් ජීවත්වීමට අපහසු,මහන්සියට අවශ්‍ය අගය හෝ පහසුකම් නොලැබෙන මේ රටේ තරුණ පරම්පරාවේම නියෝජනයක්ය.ඔබ පෝලිමේ හිටිය සහ හිටින ප්‍රශ්න ඔහුටත් ඇත.රට නියෝජනය කරන්නට තමන්ගේ වියදමෙන් ගියත් දරන්නට වන වෙහෙස සහ විදින්නට වන දුක සමහර විට මේ රටේ කෝටි දෙක හමාරක් ජනතාව නියෝජනය කරන්න යන්න දැරිය යුතු නැත.හැට නව ලක්ෂයක් ජනතාවගේ තේරීම මත උදා වී ඇති මේ තත්ත්වයේදී සමහර විට ග්‍රේෂන් ඒ හැටනව ලක්ෂයේ කෙනෙක් වී ඒ ගැන පසුතැවීමක් ඇති තරුණයෙක් වන්නට ද පුළුවන්ය.
තවත් වැදගත් දෙයක් වන්නේ අවුරුදු 18 ට පෙර මෙන්ම අදද හමුදාවන්ට සම්බන්ධ බහුතරය අතුරුදහන් වන්නේ ඔවුන් ක්‍රීඩාවෙන් බලාපොරොත්තු වන ජිවිතය හමුදාවන් විසින් ළඟා කර දී නැති නිසාය.ඒ නිසා මලල ක්‍රීඩාවට පමණක් බල නොපාන මේ තත්ත්වය සමස්ත ක්‍රීඩාවට ද අදාළය.ඒ නිසා වෙනත් ප්‍රවේශ සකස් කර දිය යුතුය.ඒ අතරින් නැවත වැදගත්ම දේ වෙළද සේවා මලල ක්‍රීඩාවන් දියුණු කිරීමය.මලල ක්‍රීඩාවන් නොව සමස්ත ක්‍රීඩාවන්ය.
අර්ජුන රණතුංග ක්‍රිඩා අමාත්‍යවරයාට ජාතික ක්‍රීඩා සභාවේ සිට යෝජනා කළ යුතුව ඇත්තේ මේවා ගැන සැළසුම්ය.නමුත් ඔහු ඉවක් බවක් නැතුව කපන්න යෝජනා කරන නම් අතර වඩාත් සමීප විය යුතු වෙළද සේවා ක්‍රීඩා සංගම්වල නම් ද ඇත්තේය.ඉහළින් පහළට වැටෙන බර දේවල් ඒ වැටෙන ප්‍රවේගයක් සමඟ අපව ස්පර්ශ කරන්නේ වේගයත් බරත් සමඟ වැඩි බරක් අප මත පටවාය.රට අස්ථාවර වී ඇති ප්‍රමාණය නිසා මේ මොහොතේ දකුණු කොරියාවේ පැවත්වෙන නෙට්බෝල් තරග නරඹන්නට යන්නට නෙට්බෝල් කණ්ඩායමේ සිටින ඥාතීන්ට සහ මිත්‍රයන්ට වීසා ලබා ගැනීම වෙනුවෙන් කොරියානු තානාපති කාර්යාලවලින් වෙලාවක් වෙන් කරවා ගැනීමට මේ දක්වාම නොහැකි වී ඇත.පම්පෝරි ගැසුවාට රටේ තත්ත්වය එබඳුය.ඒවාට විසා අයදුම්කරුවන් හෝ මේ පැනයාම් වගකිවයුතු බව සිතා දේශපාලන පාලනාධිකාරයට සුදු රෙදි එලන්නන් ද මේවාට වගකිව යුතුය.රටේ පුරවැසියන්ට රටේ රැදීමේ විශ්වාසය නැති වී ඇත්තේ අහම්බෙන් නොවේය.ඒ පාලකයා විසින් ඇති කරන ලද තත්ත්වයක්ය

.
අවසානයේ අප පිළිගත යුතු ඇත්තක් ඇත.වෘත්තීය ක්‍රිඩකයන්ට ලෝකයේ පවතින තරගවලට ඉල්ලීම් කර සහභාගි වීමේ අවස්ථාව ඇත්නම් එයට සහභාගි වීමට නිදහස තිබිය යුතුය.ඒ සදහා මලල ක්‍රීඩා සංගමයේ අනුමැතියෙන් පමණක් සහභාගි විය හැකි මට්ටමට නීති ලිහිල් විය යුතුය.එහිදි පැන යාමක් වන්නේනම් අමාත්‍යංශය මැදිහත් වුව ද එය සිඳුවන්නේය.එය රටේ සමස්ත පිරිහීමේ ගැටළුවක් මිස පුද්ගලයෙකුගේ පෞද්ගලික ප්‍රශ්නයක් පමණක් නොවේය.එකම ගැටළුව එවැනි සිදුවීම් නිසා වීසා ලබා ගැනීමේ දුෂ්කරතාවය ය.එවැනි තත්ත්වයන් නිර්මාණය වී ඇත්තේ ක්‍රීඩකයින් නිසා ද?රටකට නිදහස් වීසා අවසර දෙන්නේ එරට ක්‍රීඩකයින් සංචාරයකට පැමිණ පැන යා ද නොයා ද කියා සළකා නොවේය.ඒ රටක් එරට පරිමාවෙන් සිතා තවත් රටක් තමන්ට සාපේක්ෂව කිරා මැන බලා දෙන වරප්‍රසාදයක්ය.
එසේම හමුදාව නොවන රැකියා අවස්ථාවන් ක්‍රීඩා කේෂ්ත්‍රයට විවර කර දිය යුතුය.හමුදාවේම අය පනින්නේ හමුදාවේම අය පමණක් ක්‍රීඩා කරන තත්ත්වයට අන් තැන්වල සහභාගීත්වය හැකිලී ඇති නිසාය.රටේ තත්ත්වට අනුව අන් තැනවල අයද සිටියානම් ඒ අයද පනින්නට ඉඩ ඇත.මේ තත්තවයන් වෙනස් කරන්නනම් රැකියා අවස්ථා පුළුල් කළ යුතුය.යහපත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍යය පදනම සහ පසුබිම සැකසිය යුතුය.
මේවා රජය ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ වී පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කර සකස් කර දිය යුතු තත්ත්වයන්ය.නමුත් ආණ්ඩුවම මෑත ඉතිහාසය තුළ හැසිරුණු අමනෝඥ ආකාරය නිසා පෞද්ගලික අංශය හැකිලී වැසී යමින් ඇත.ලංකාවෙන් ආයකන ඉවත්වෙමින් කර්මාන්ත ශාලා වැසෙමින් ඇත.


අර්ජුන රණතුංග වැන්නන් උපදෙස් දිය යුත්තේ නම් කැපීමට නොවේය.නම් වැඩි කර ගැනීමට හැකි මාර්ග සෙවීමටය.අවම කිරීම නොව අදහස විය යුත්තේ උපරිමයට ළගා කිරිමට අවශ්‍යය අත්දැකීම් ලබා දීම සහ දක්ෂතා ඉහළ නංවා ගැනීමට පහසුකම් වැඩි කිරීමට සහ අවස්ථා වැඩි කිරීමටය.මේ විදේශගත ජීවත්වීම් අර්ජුන සම්බන්ධ ක්‍රිකට්වලදී අමුතු නැත.මැත කාලයේ ක්‍රීඩා කරපු අය ද දැන් සිටින්නේ වෙන රටවලය.අර්ජුන රණතුංග ට ද විදෙස් වත්කම් ඇත.ඔහුගේ දරුවන් අධ්‍යාපනය ලැබුවේද විදේශයේය.ඒවා වෙන ක්‍රීඩාවන්ට ද හිමි විය හැකි වටපිටාවක් සකස් කරනාකාරයට වටපිට සකස් කරන්න ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් දීම විනා කකුල් මාට්ටු දැමීම යනු ඒ නිසා පිළිකුල් සහගත ක්‍රියාවක්ය.
මේ වන විට ක්‍රීඩාව මිනිසුන්ගේ මනසේ පමණක් නොව ක්‍රීඩාවේ නියුතු අයගේ ඔළුවේ ද තිබෙන්නේ කළොත් හරි යයිද යන තත්ත්වයකය.ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩා උපකරණවල මිල ගැන දන්නවාද දන්නේ නැත.එසේනම් අඩුම තරමේ ක්‍රීඩා කරන අය වෙනුවෙන් ඒවා අඩු කර දීමට කැබිනට් එකේ සටන් කරනු ඇත.ඒවා පිරිමහගෙන ක්‍රීඩා කරන්නට ලැබෙන දීමනා සහ පඩි වැඩි වී නැත.අඩුම තරමේ වෙනත් තැන්වල පුහුණුවන ජාත්‍යන්තර ජයග්‍රහණ ගෙනෙන අයට ආහාර වියදම දෙන්නවත් කටයුතු කරන්නේ නැත.ඔහුගේ සටන ක්‍රීඩා පනතේ තමන්ට නටන්ට ඇති ඉඩ පිණුම් ගසන්නට පුළුවන් තත්ත්වයකට පත් කර ගැනීමටය.අභිමතානුසාරීව හැසිරෙමින් තමන්ට අරුචි පුද්ගලයින් පරිපාලන පුටුවලින් තල්ලු කිරීමට පියවර ගැනීමය.


ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඉන්න ඇතැම් නිලධාරීන් ලෝකයේ රටවල් දන්නෙත් නැත.අප්‍රිකාවේ රටක තරගාවලියකට ක්‍රීඩා කණ්ඩායමකට අවසර දෙන්නේ දකුණු අප්‍රිකාවේ නගරයක් බව සිතාය.අර්ජුනලා සෙවිය යුත්තේ ඒවාය.ක්‍රීඩා අමාත්‍යවරයා සොයා බැලිය යුත්තේ ඒවාය.එවැනි පරිපාලන ව්‍යහුයක් ඇති තැනක් මුල් වි මෙහෙයවන ලංකාවේ ක්‍රිඩාව මේ තත්ත්වයෙන් හෝ තිබීම ගැන සංතෝශ විය යුතුය.
ඒ නිසා ඒ සතුට අර්ථවත් කරන්නට උපදෙස් දීම සහ උපකාර කිරීම මෙන්ම පහසුකම් වැඩි දියුණු කිරීමත් සමඟ ජාත්‍යන්තර තරග අවස්ථා පුළුල් කර දිය යුුතුය.එය ක්‍රීඩකයාට හුදෙකලාව කරගන්න අපහසුය.
හොඳම උදාහරණය මෑතකදී වූ ජපාන සංචාරයය.එහිදී මැදිහත්කරු සේ කටයුතු කළ මාධව සෙනරත් බණ්ඩාර වැනි චරිත දේශපාලනික වශයෙන් නොසළකා ස්වාධිනව ස්වෙච්ඡාවෙන් සම්බන්ධිකරණ කටයුතුවලට සහභාගි කරවා ගැනීමය.හැබැයි ඒ ස්වාධිනත්වයට ස්වෙච්ඡා කැපවීමට තගරි නොදැමීමට ක්‍රිඩා අමාත්‍යංශය වග බලාගත යුතුය.තවත් මෙවැනි පුද්ගලයින් සොයාගත යුතුය.
වෙළද සේවා ක්‍රීඩා සංගම්වල ප්‍රධානීන් කැඳවා සාකච්ඡා කළ යුතුය.ඉන් අනතුරුව පෞද්ගලික අංශය සමඟ සාකච්ඡාවට යා හැකිය.නමුත් ඒ කිසිවක් නොසළකා කටයුතු කරන තත්ත්වයක් තුළ ලංකාවේ ක්‍රීඩාව කර ජීවත්වෙන්නට,යහපත් ජීවිතයක් ගත කරන්නට ඉඩ සකසා ගැනීම අසීරු බව දැණුන විට ඔවුන් තමන්ගේ සිහින සැබෑ කර ගැනීමට වඩාත් සුදුසු තැනකට සේන්දුවීම වැළක්විය නොහැකි කරුණකි.පැන ගිය ග්‍රේෂන් ගැන කතා කරන පිරිස් නොදන්නා තවත් දේ ඇත.දුර පැනීමේ ශ්‍රී ලංකා වාර්තාලාභියා මේ වන විට මැද පෙරදිග රැකියාවකය.රිටි පැනීමේ ජාතික වාර්තාලාභිණිය මැද පෙරදිග නැනී කෙනෙක්ය.මේ දෙදෙනාටම අදටද ක්‍රිඩාව කරන්නට හැකිය.ග්‍රේෂන් ඒ දෙදෙනාගේ තවත් එක් පියවරක් පමණි.වෙනස විතැන් වූ ආකාරයේය.


ක්‍රීඩාව වෘත්තීය මට්ටමෙන් කරන්න වටිනාකමක් සහිත ජිවිතයක් ලංකාවේ නිශ්චිත නැත.එවැනි පසුබිමක් සැකසී නැත.ක්‍රීඩකයා නොව ක්‍රීඩා සංගම් ද නිදහස් නැත.කිසිම අනුග්‍රහයක් නොදී ක්‍රීඩාවේ දේශපාලන නායකත්වයට සංචාරය කළ යුත්තේ කවුද,නොකළ යුත්තේ කවුද යන්න තීරණය කිරීමට හැකි පරිදි ක්‍රීඩා ඇමතිවරයාට සහ ඔහුගේ නියෝජිතත්වයට තීරණ ගැනීමට හැකිය.මේ පිඩාවන් මැද මොන වෘත්තීය මට්ටම් ද,හිරගෙයින් පළා යාමට ලැබුණු අවස්ථාවක එය ඉටු කර ඇත.සමහර විට ක්‍රීඩකයින් නොව නිලධාරීන්ද විප්‍රවාසී වීමේ උවමනාවෙන් සිටිනවා විය යුතුය.ඉතිං කවුරු ග්‍රේෂන්ගේ පිම්ම ගැන මොනවා කිව්වත් එවැනි පිමිවලට පිටිය සැකසී ඇත.ඒ පිටිය සැකසී ඇත්තේ ක්‍රීඩකයන් සහභාගිවන ක්‍රීඩාවෙන් හෝ ඉසව්වෙන් නොවේය.ක්‍රීඩාවේ පාලකයන්ගේ පටු දැනුම සහ අවබෝධය හේතු කර ගෙනය.


ක්‍රීඩාව කොයි ආකාරයට යොදා ගත යුතු ද කියන දේ ගැන මීට පෙර ක්‍රීඩා ඇමතිවරුන්ට පෞද්ගලිකවම කියා ඇති කතා ඇත.ඒවා නිලධාරි මට්ටමට පැමිණ එහි සේවය කරන නිශ්චිත ක්‍රීඩා පත්වීම්ලාභීන් ළඟට ද නිරෝගීව පැමිණ පසුව ලෙඩ වන බව ද දැක ඇත.එක් උදාහරණයක් වූයේ අධ්‍යාපනය ක්‍රීඩාව සහ රූඵය ආකර්ශණීය තැනෙකට කැදවීමට තිබුණ අවස්ථාවක් ගැන කරපු මතක් කිරීමය.ක්‍රීඩා කරහම කැත වෙනවා.ඉගෙනගන්න බැරි වෙනවා වැනි කරුණුවලට පිළිතුරු ලෙස වරක් මේ ලියුම්කරු යෝජනාවක් කළේ ලංකාවේ අංක එකේ පැසිපන්දු ක්‍රීඩිකාවක් හැටියට කැපී පෙණුන සොලන්ජි ගුණවිජය ශ්‍රී ලංකා රූ රැජිණ වු පසුව ඇයව රටේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරිම සඳහා යොදා ගැනීමට සැළසුමක් සකස් කරන ලෙසය.නමුත් පුටුවලට හිර වී තද වී ක්‍රීඩාව ද ඒවාට බැද තද කරගෙන අපි තමයි ක්‍රීඩාව අපි නැත්නම් නැහැ කියා රඟන නිලධාරීන්ට අලුත් අදහස් නැත.දැන් ඇයත් විදේශයක සේවය කරන්නීය.


මේ කිසිවකින් ග්‍රේශන්ගේ ක්‍රියාව අනුමත කරන්නේ නැත.හැබැයි රටට හානිකරම අප්‍රසන්නම දේ කරේ ග්‍රේෂන් නොවේය.ග්‍රේෂන්ලාට අප්‍රසන්න තීරණ ගැනීමට රට තල්ලු කරන කළ අය හෙට ප්‍රසන්න හිනාවකින් ඔබ අභිමුව සිටගනු ඇත.එවිට ඔබ දෝත දෙපසට විහිදා අත්පොඩි ගසනු ඇත.ගිරිය පුම්ඹාගෙන කෑ ගසා ජය පතනු ඇත.විසිල් ගසනු ඇත.එහෙම පසුබිමක් ග්‍රේෂන්ලාගේ පැනීම්වලට දෙන්නට පුරවැසියන් සේ ඔබ රොක්ව සිටියේනම් ග්‍රේෂන්ලා රට පනිනවා නොව රටින් අපිට සතුටු විය හැකි බොහෝ දේ ගෙනැවිත්ය.රවට්ටන ප්‍රසන්න සිනා ඇති බොරුකාරයන් වෙනුවට ඇත්තටම ඔබේ කදුළු සහ සිනහව සමඟ හඬන සිනාවෙන පාලක පරපුරක්ද නිර්මාණය වී ඇත.ඒ නිසා අපි පුරවැසියන් හැටියට ග්‍රේෂන්ගේ නොනිල පිම්මට දිරි පතා ඇත.මඟ හදා ඇත.එ් දේ තේරුම් ගන්න පුළුවන්නම් ඔබට බොහෝ දේ දැනෙනු ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan