රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වී වසරයි !

Date:

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයා වශයෙන් පත්වී අදට (21) වසරක් සම්පූර්ණ වෙයි.

ඒ මහතා විධායක ජනාධිපති ධුරයෙහි දිවුරුම් දුන්නේ 2022 ජුලි 21 වැනිදා ය.

පසුගිය වසරේ ජුලි මාසය වනවිට රට දරුණු ආර්ථික අර්බුදයක ගිළෙමින් පැවතිණි. කිලෝමීටර් ගණන් දිගට ඇදෙන පෙට්‍රල්, ඩීසල් පෝලිම් මෙන්ම දින ගණන් දිවෙන ගෑස් පෝලිම් එවකට සුලබ දසුනක් විය. දිනපතා පැය ගණනාවක් විදුලිය කප්පාදු කෙරිණි. මෙරටට පැමිණෙන ඉන්ධන නැවක් ගොඩබා ගැනීම සඳහා අවශ්‍ය මුදල ගෙවීමට හැකියාවක් රජයට නොතිබිණි.

ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතරින් ශ්‍රී ලංකාව පැවතියේ දෙවැනි තැනය. ඒ, සිම්බාබ්වේ රාජ්‍යයට පමණක් පහළිනි. වසර ගණනාවකට හිස ඔසවාගත නොහැකි මට්ටමේ ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව ඇද වැටෙනු ඇති බවට ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් අනතුරු හඟවා තිබිණි.

රටේ ජනතාව සිටියේත් අනාගතය පිළිබඳව දැඩි අවිනිශ්චිත භාවයක ගිළෙමිනි. රැකියාවක් කරගැනීමට නොහැකි, දරුවකු පාසල් යවාගත නොහැකි තත්වයක් නිර්මාණය වී තිබිණි. රටේ කර්මාන්ත පැවතියේ දිනෙන් දින කඩා වැටෙමිනි. නීතියේ ආධිපත්‍යය ද බිඳවැටෙමින් පැවතිණි. රටට විදෙස් සංචාරකයින් පැමිණියේ ද නැති තරම් ය.

විදෙස් ණය ගෙවාගැනීමට නොහැකිව බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කර තිබුණු නිසා ශ්‍රී ලංකාවට කිසිදු ජාත්‍යන්තර මූල්‍ය ආයතනයකින් ණයක් ලබාගැනීමට නොහැකි වී තිබිණි. රුපියලේ අගය බරපතළ ලෙස කඩාවැටී තිබුණු අතර විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ද බැංකු හරහා මෙරටට මුදල් එවීම අතිශයින්ම අඩුවී රටට ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය බරපතළ ලෙස පහත වැටී තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ එවන් වකවානුවක ය.

එයින් වසරක් ගිය තැන, අද වනවිට මේ ගැටලු බොහෝ ප්‍රමාණයක් විසඳී ඇති බව ඕනෑම කෙනෙකුට පැහැදිලිවම පෙනේ. අද තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැත. දිනපතා විදුලි කප්පාදුවක් නැත. උද්ධමනය පහළ බැස තිබේ. බැංකු පොලී අනුපාතික පහළ බසිමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමකට යමින් රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ඉදිරියට යමින් පවතී. රටට විදෙස් සංචාරකයින් යළි පැමිණෙමින් ඇත. විදෙස් ආයෝජන ද ලබෙන්නට පටන් ගෙන තිබේ. කර්මාන්ත ක්ෂේත්‍රය දුෂ්කරතා මැදින් යළි හිස ඔසවමින් ඇත. යම් යම් අඩුපාඩු ඇතත් සමස්තයක් වශයෙන් රටේ අනාගතය සම්බන්ධයෙන් යම් සුබවාදී බලාපොරොත්තුවක් ගොඩනැගෙමින් පවතී. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ද ප්‍රයත්නයක් ඉදිරියට ගෙන යමින් තිබේ.

වසරක් තුළ මේ පරිවර්තනය සිදුවීමට රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් දායකත්වයට අදාළ ගෞරවය දේශපාලන කුහකකමින් තොරව ඒ මහතා වෙත ලබාදිය යුතුය යන්න අපේ හැඟීමයි. මෙවන් ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව වේගයෙන් යම් ස්ථාවරභාවයක් අත්පත් කරගත්තේය යන්න ලෝකයටම පෙනුනු සත්‍යයකි.

සිය ජනාධිපති ධුරයේ පළමු පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අපි සුබපතන්නෙමු …

~ Team LNW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ අභාවප්‍රාප්ත වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු හමුදාපතිවරයෙකු වන ජනරාල් හැමිල්ටන් වනසිංහ...

ජුනි පළමු දින 10 ට විදෙස් සංචාරකයින් 44,000ක් ඇවිත් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 ජුනි මාසයේ පළමු දින 10...

ඊශ්‍රායලය විසින් ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර එල්ල කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(13)අලුයම ඊශ්‍රායලය විසින්...

ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් කරයි !

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැඩ තහනම් කර...