*
දේශීය පුවත් විස්තරය: සාරාංශය 09/05
- බාල ඖෂධ ආනයනය කර ඒවා රජයේ රෝහල්වල භාවිත කළ බව ජාතික වෛද්‍ය නියාමන අධිකාරියේ ප්‍රධානී මහාචාර්ය එස්.ඩී. ජයරත්න පිළිගනී: ඖෂධ ආනයනය සහ නියාමනය සම්බන්ධයෙන් රජය මින් මත්තට එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනයෙන් (FDA) උපදෙස් ලබා ගන්නා බව පවසයි: පසුගිය මාස කිහිපය තුළ රෝහල්වල සිදුවූ අභිරහස් මරණ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් විමර්ශනය කරන බව ද පවසයි.
- ජනතාව ඉල්ලූ දේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් පවසයි: ජනතාව ඉල්ලා සිටියේ වැඩි බදු මිස සහන නොවන බව පවසයි: ලංකා වාණිජ මණ්ඩලය, ඉහළ බදු, සහනාධාර ඉවත් කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම සඳහා නිරතුරුව ප්‍රසිද්ධියේ ඉල්ලීම් සිදුකළ බව ද සිහිපත් කළ යුතුය.
- ඉදිරි මැතිවරණයක දී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජයට පත්කළ හැකි එකම පොදු අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
- වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට පළවන ප්‍රකාශ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප කරයි: තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින පසුබිමක තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බවට රාවයක් රැගෙන යාම හමුවේ තම ජීවිතයට තර්ජනයක් සිදුවීමට ඇති අවදානම පිළිබඳව ද කරුණු මතු කරයි: කිසිවකුත් ප්‍රේමදාස ඝාතනය කිරීමට උනන්දුවක් නොදක්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.
- කි.ග්රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 145 කින් රු. 3,127 දක්වා ඉහළ දමන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි: ලාෆ් ගෑස් සමාගම ද මිල සංශෝධනයක් සිදුකරමින් කි.ග්රෑ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රු. 145 කින් රු. 3,835 දක්වා ඉහළ දමයි.
- රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික කර්නල් ඩබ්.එම්.ආර්. විජේසුන්දර විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
- මාස 6ක කාලයක් තුළ රටේ ණය බර 14% කින් දැවැන්ත ඉහළ දැමීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක එස්.එම්. මරික්කාර් චෝදනා කරයි: 2022 දෙසැම්බර් අවසන්වන විට ශ්‍රී ලංකාවේ මුළු ණය ඇ.ඩො. බිලියන 84 වූ මුත් 2023 දෙවන කාර්තුව අවසන් වන විට එය ඇ.ඩො. බිලියන 96.5 දක්වා වැඩි වී ඇති බව ද පවසයි.
- ජනාධිපති රනිල් වික්‍රමසිංහට තර්ජනාත්මක ලෙස ෆේස්බුක් සටහනක් පළකොට එය හුවමාරුකළ බවට ලැබි චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින 19 හැවිරිදි එප්පාවල ප්‍රදේශයේ පදිංචි “චූන් පාන්” වෙළෙන්දකු (ජංගම පාන් බෙදාහරින්නකු) රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි: මෙම පුද්ගලයා අත්අඩංගුවට පත්වන්නේ එළඹෙන සැප්තැම්බර් 07 වන දින ජනාධිපතිවරයා විසින් එප්පාවල ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට කටයුතු සැලසුම්කර තිබෙන පසුබිමක ය.
- ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මාසිකව රු. බිලියන 12ක ලාභයක් උපයා තිබියදී සියලුම නිෂ්පාදනවල මිල ඉහළ දමා ඇති බව සමඟි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි: ඉන්ධන මිල ඉහළ දැමීමට සාධාරණ හේතුවක් නොමැති බව ද පවසයි.
- “ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ ප්‍රහාරය” (Sri Lanka’s Easter Bombings) නම් වැඩසටහනකදී 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කම්පන සහගත හෙළදරව් කිරීම් කිහිපයක් කිරීමට සැලසුම්කර ඇති බව එක්සත් රාජධානියේ ආන්දෝලනාත්මක මාධ්‍ය ආයතනයක් වන චැනල් 4 (Channel 4) පවසයි: පාස්කු ඉරුදින ප්‍රහාරයට ශ්‍රී ලංකා රජයේ නිලධාරියකු “සම්බන්ධබවට” එම වැඩසටහනේ පූර්ව ප්රචාරක පටයෙන් හැඟවෙයි.