*
Sunday, October 6, 2024
spot_img

Latest Posts

පාස්කු ප්‍රහාරයේ සැඟවූ රහස්: කවුද මේ හිටිහැටියේ පහළ වූ විස්ල්බ්ලොවර් අසාද් මවුලානා


විශේෂ ලියුම්කරුවකු විසිනි

පසුගිය වසරේ අවසාන භාගයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරියේ එක් ශ්‍රී ලාංකිකයෙකු පෙනී සිටිමින් තමන් ශ්‍රී ලංකා රාජ්‍යයේ රහස් බොහෝ දේවල් දන්නා බවත් තම ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බවත් කියමින් දින පහක් තිස්සේ එම සංවිධානයේ නිළධාරීන් විසින් අසනු ලැබූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නේය. ඉංග්‍රීසි බසින් සටහන් කරගත් ප්‍රකාශය පසුව යුරෝපීය රටක ජීවත්වන පුද්ගලයෙකු විසින් දෙමළ බසට පරිවර්තනය කොට සාමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය කර තිබුණි.

එම ප්‍රකාශය තුළ ඉතා බරපතළ යැයි හැඟෙන කාරණා සටහන් වී තිබූ නමුත් මුලදී එය යුරෝපීය රටවල ජීවත්වන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයින් කිහිපදෙනෙකුගේ පමණක් අවධානයට යොමු විය. අවාසනාව නම් විදේශයන්හි ක්‍රියාත්මක ශ්‍රී ලාංකික දූත මණ්ඩල හෝ දේශීය බලධාරීන් මේ ගැන එතරම් උනන්දුවක් දැක්වූ බවක් නිරීක්ෂණය නොවීමය. එහෙත් අදාළ ප්‍රකාශය සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වීම ආරම්භ වීමත් සමග ඊට උනන්දුවක් දැක්වූ විශේෂ කණ්ඩායමක් හඳුනාගත හැකිවිය.

එනම් 2019 පාස්කු දිනයේ අයිඑස් මතවාදයෙන් අභිප්‍රේරණය වූ සහරාන් ඇතුළු කණ්ඩායම එල්ල කළ ඒ ම්ලේච්ඡ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතිබව කියමින් එම ඛේදවාචකයේ ඇති සැබෑ සත්‍යය යටපත් කිරීමට උත්සහ කරන පිරිස සහ ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ යුධ අපරාධ සිදුකොට ඇති බව කියමින් බරපතළ සාවද්‍යය මතවාදයක් ලෝකය පුරා ව්‍යාප්ත කරන කණ්ඩායමය. මෙම කණ්ඩායමේ ඇතැමුන්ට එක්සත් රාජධානිය ඇතුළු රටවල පිහිටි ඇතැම් මාධ්‍යය ආයතන වල සේවය කොට පසුව පෞද්ගලික මහජන සම්බන්ධතා ආයතන ආරම්භ කළ අයවලුන් සමග සම්බන්ධතා තිබේ. මෙම සමස්ථ නාටකයේ තිරපිටපත රචනා වන්නේ ඒ අනුවය.

අපගේ කතාවේ ප්‍රධාන චරිතය වන පුද්ගලයා විසින් දින පහක් පුරා  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශේෂ කමිටුව ඉදිරියේ ලබාදුන් ප්‍රකාශය මෙම කණ්ඩායම් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට දැඩි අපවාදයක් එල්ල කිරීමට  කාලෙකට පසුව ලැබුණු උත්ප්‍රේරකයක් විය. එසේම එම පුද්ගලයා විසින් නිර්මාණය කරනු ලැබූ කතාව කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පල්ලිය විසින් ඉස්ලාමීය  මූලධර්මවාදයේ ගැඹුරු යථාර්ථය සහ එහි ප්‍රතිවිපාක විසින් ගෙනදෙන පරාමිතීන් තේරුම් නොගෙන පාස්කු ප්‍රහාරය හුදු දේශපාලන කුමන්ත්‍රණයක් බව කියමින් ලෝකය පුරා ගෙනයන මතවාදය සමග සමපාත විය. මෙම පුද්ගලයාගේ මේ කතාව මානව හිමිකම් කවුන්සලය ඉදිරියේ මෙන්ම ඇතැම් බටහිර ජාතිකයින් ඉදිරියේ විකිණීමට හැකි හොඳ වෙළඳ භාණ්ඩයක් බවට පත්වන්නේ ඒ අනුවය.  මෙම පුද්ගලයා ඔහු හඳුන්වා ගන්නේ අසාද් මවුලානා ලෙසය. එහෙත් ඔහුගේ සැබෑ නම මොහොමඩ් හන්සීර්ය. අසාද් මවුලානා යනු ඔහුට කරුණා අම්මාන් නොහොත් විනයාගමූර්ති මුරලිදරන් විසින් ලබාදුන් ඛේත නාමය වේ.

කොටි සංවිධානයෙන් වෙන් වූ කරුණා ඇතුළු ත්‍රස්තවාදීන් පසුව කොටි සංවිධානයට එරෙහිව සටන් කරන විට එය ක්‍රමෝපායිකව භාවිතා කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සමත්වූහ. එය ඕනෑම යුද්ධයකදී ඕනෑම පාර්ශවයක් විසින් තම සතුරා මෙල්ල කිරීම සඳහා සිදුකරන ක්‍රමෝපායකි. මෙරට ජීවත් වූ ඇතැම් සිංහල  ජාතිකයින් කොටි සංවිධානයේ මතවාදයට  අභිප්‍රේරණය වී මගී ගුවන්යානා උඩුගුවනේදී පුපුරුවා හැරීමට සැලසුම් කළ ඛේදනීය ඉතිහාසයක් අපට තිබේ. එම නීරස ඉතිහාසය ගැන දන්නේ ඉතාම සුළු පිරිසකි. මෙරට ඇති ඛේදවාචකය වන්නේ එම සැකකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට උත්සහ කරන විට ඔවුහු හිටි හැටියේම මානව හිමිකම් ක්‍රියාකරුවන් හෝ සමාජ ශෝධකයින් බවට වෙස්මාරු කර ගැනීමය. මෙම හාස්‍යෝත්පාදක ඛේදවාචකය වෙනත් රටක වීර කතාවක් බවට පත්වී මෙම වෙස්වලාගත් වෘකයින්ට යහමින් වැජඹීම සඳහා ක්‍ෂේම භූමියක් එම රටවල නිර්මාණය වේ. අනුන්ගේ අවාසනාවෙන් තමන්ගේ වාසනාව උදාකරගන්නා මිනිසුන් මොවුහු වෙති. නමුත් අවසාන විග්‍රහයේදී මෙම අනුන්ගේ අවාසනාවන්ත කර්ම වලින් වාසී ලබන පුද්ගලයින්  ලේවැකි අපරාධකරුවන්ය. අසාද් මවුලානාගේ කතාව සහ ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ කතාව වෙළඳ භාණ්ඩයක් බවට පත් කරගන්නා විලාසය විමසා බැලිය යුත්තේ මෙම සන්දර්භය යටතේය.

මවුලානාට තම තිරපිටපත ලිවීම සඳහා විශාල වෙහෙසක් ගැනීමට සිදුවූ බව සත්‍යයකි. ඒ සඳහා විවිධ පාර්ශවයන්ගෙන් සහය ලැබුණු බවද අපේක්ෂා කළ හැකිය. එසේම ඔහුට ඔහුගේ පැරණි කතාවට එනම් අසරණ පුද්ගලයින්ගෙන් කප්පම් ගැනීම සහ ළමා සොල්දාදුවන් යුද්ධයට බඳවා ගැනීම ආදී අපරාධ වලට වඩා ඔහුගේ කටයුතු පාස්කු ප්‍රහාරයට සම්බන්ධව සිදුවූයේ යැයි කියන සිදුවීම් වලට සම්බන්ධ කිරීම අත්‍යවශ්‍යය විය. මොහු වචනේ පරිසමාප්ත අර්ථයෙන් ගත්විට ලෝකෝත්තර කපටියෙකි.

මවුලානා තමන්ට රැකවරණය සහතික වන්නේ පාස්කු ප්‍රහාරය බුද්ධි අංශ මත පැටවීමෙන් බව ඉතා හොඳින් දැන සිටියේය. එනම් කොටි සංවිධානය ගැන හෝ ඉන් පසු කොටි සංවිධානයෙන් වෙන් වී සිදුකළ අපරාධ වලට වත්මන් යුරෝපීය වෙළඳපොලේ වෙළඳ වටිනාකම හීනවී ගොස් ඇති බව ඔහු දන්නේය. නමුත් පාස්කු ප්‍රහාරය දේශපානඥයෙකු බලයට ගෙන ඒම සඳහා ඉහළ මධ්‍යම පන්තියේ පවුල් වලට අයත් මැදිවියේ මුස්ලිම් ජාතික තරුණයින් අටදෙනෙකු පාවිච්චි කරමින් සිදුකළ කුමන්ත්‍රණයක් කියන මතවාදයට විශාල ඉල්ලුමක් තිබේ. එය මවුලානා වඩාත් හොඳින් දැන ගෙන සිටි බව පෙනේ.

මවුලානාගේ ප්‍රකාශය ගැන සරලව විමසා බැලීමට පෙර මෙම පුද්ගලයාගේ ජීවිතය ගැන කෙටියෙන් විමසා බැලීම වැදගත් වන්නේ ඒ නිසාය. 1983 දී උපත ලැබූ අසාද් මවුලානා අම්පාර දිස්ත්‍රික්කයේ මරදමුණේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.  ඔහුගේ පියා වර්දරාජා පෙරුමාල් සමග දේශපාලනය කළ පුද්ගලයෙකු වන අතර ඔහු ඉන්දියාවේදී ඝාතනයට ලක්විය. ඊට අදාළ සේයාරූ තම සමාජ මාධ්‍යය ගිණුම් වල පලකිරීමට මවුලානා ඉතාම යුහුසුළුව කටයුතු කර තිබේ.

මවුලානා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබාගැනීමෙන් පසු ඩග්ලස් දේවානන්ද මහතාට අයත් අමාත්‍යාංශයක් යටතේ කළමනාකරණය වූ කජු සංස්ථාවේ සභාපති ලෙස සේවය කළ ශංකර් නමැති අයෙකුගේ පෞද්ගලික ලේකම් ලෙස  කටයුතු කොට ඇත. කරුණා පාර්ශවයට මොහු හඳුන්වා දෙනු ලබන්නේ ශංකර් විසිනි. ඒ මෙම පුද්ගලයා ඉදිරියේ මූල්‍යමය වශයෙන් සිදුකරන ගනුදෙනු වලදී ප්‍රවේශම් වන ලෙස දැනුම් දීමෙන් අනතුරුවය.

කරුණා පාර්ශවය සමග සම්බන්ධ වන විට විවහා වී පානදුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක පදිංචිව සිටි  මවුලානාට පළමුව මාසයක රුපියල් හයදහසක වැටුපක් සහ ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දෙදහසක් කරුණා පාර්ශවය විසින් ලබාදෙනු ලැබීය. මාස හයකට පසු එම වැටුප රුපියල් දසදහස දක්වා වැඩිකළ අතර ඔහුට අවශ්‍යය ප්‍රවාහන පහසුකම් සඳහා යතුරුපැදියක් මිළදීගෙන ලබාදෙනු ලැබීය. පසුව කරුණා සහ පිල්ලයාන් අතර ඇති වූ ගැටුමේදී මොහු පිල්ලයාන් සමග එකතුවිය. ඉන් පසු මෙම පුද්ගලයා සෑමවිටම අවධානය යොමුකර ඇත්තේ මුදල් වංචාකිරීමට සහ ගැහැණු පාර්ශ්වයන් ඇසුරු කිරීම කෙරෙහිය.

මේ කාරනා සම්බන්ධයෙන් අක්කරපත්තු, වාලච්චේන සහ වැල්ලවත්ත පොලිස් ස්ථාන වල මවුලානාට එරෙහිව පැමිණිලි තිබේ. එසේම මෙරට විවහා නීතිය උල්ලංඝනය කරමින් සයින්දමරදු ප්‍රදේශයේ පදිංචිව සිටි ගුරුවරියක් සමග ද්විත්ව විවහා ලියාපදිංචියක් සිදුකරගත් නිසා ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත. එපමණක් නොව පිල්ලයාන්  නැගෙනහිර පළාතේ මහඇමති වූ පසු ප්‍රදේශයේ පුද්ගලයින්ට රැකියා ලබාදෙන බව පවසමින් අසරණ මිනිසුන්ගෙන් විශාල මුදලක් වංචා කළ බවටද මොහුට චෝදනා එල්ලවේ.  මොහු පිල්ලයාන්ගේ  නඩු විභාගය සඳහා ලක්‍ෂ පනහක මුදලක් ලබාදුන් බව සඳහන් වේ. මෙම පුද්ගලයා මුදල් වංචා කළ බව පිල්ලයාන් පාර්ශවයට අවබෝධ වන්නේ මෙම සිදුවීමෙන් පසුය.

වාලච්චේන ප්‍රදේශයේ එක්තරා පවුලකින් මුළු පවුලම විදේශ රටක පදිංචියට යවන බව පවසමින් රුපියල් කෝටියක මුදලක් වංචා කළ බවට චෝදනා එල්ලවන මවුලානාට එරෙහිව එල්ලවන තවත් චෝදනාවක් වන්නේ ජපානයෙන් ගෙවනු ලැබූ නැවත සකස් කළ බයිසිකල් වලින් සිදුකළ මහාපරිමාණ වංචාවකි. මොහුගේ වත්කම් ගැන විමර්ෂණය කළහොත් මෙම පුද්ගලයාගේ සැබෑ ස්වභාවය ඕනෑම අයෙකුට හඳුනා ගත හැකිය.  වසර කිහිපයක් පුරා පිල්ලයාන්ගේ මාධ්‍යය ලේකම් ලෙස කටයුතු කර මොහුට මොහුගේ මූල්‍යමය වංචා වලට එරෙහිව පක්ෂය තුළ කටයුතු ආරම්භ වීම නිසා “දේශපාලන රැකවරණය පතා” රටින් පැනයෑම ඔහුට තිබූ එකම විකල්පය විය. ඒ සඳහා ඔහුට තවත් පාර්ශවයක් මුලාවේ හෙළිය හැකි කතාවක් අවශ්‍යය විය. පාස්කු ප්‍රහාරයට බුද්ධි අංශ වල සම්බන්ධයක් ඇති බව ඔහු කියන්නේ මේ නිසාය.

ඔහුගේ ඒ කතාව කාදිනල් ඇතුළු කතෝලික පල්ලිය\යේ ඇතැම් පූජකවරුන් සහ  ස්වයං ප්‍රකාශිත මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු කණ්ඩායමේ ආඛ්‍යාන මෙන්ම  අපරාධ විමර්ශන කටයුතු වල නියැලුණු මේවන විට ස්විස්ටර්ලන්තයේ ජීවත් වන පොලිස් පරීක්ෂක (අයිපී) නිශාන්ත සිල්වා වැනි අයවලුන් විසින් මීට පෙර සිදුකර ඇති ප්‍රකාශ සමග යහමින් සමපාත වේ. මවුලානා විසින් ගොතනු ලැබූ මෙම සම්පූර්ණ අසත්‍යට මූල්‍යමය වටිනාකමක් ලැබෙන්නේ ඒ අනුවය. නමුත් මේ පිරිස ඔවුහු ඉපදුනු ජාතියට සිදුකරන්නේ මහා පාපයකි. එය ඔවුන්ගේ හෘදය සාක්ෂිය පිළිබඳ කාරණයකි.

අසාද් මවුලානා මෙම සිදුවීම භාවිතා කරමින්  එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම හෙළීමට සමත් වී ඇත. පළමුවැන්න නම්, මූල්‍යය වංචා රාශියකට සම්බන්ධ ස්ත්‍රීලෝලියෙකු වන මෙම පුද්ගලයාට ඒ සියල්ලම වසා ගැනීමට අවශ්‍යය පහසුකම් සියල්ලම ලැබී තිබීමය. දෙවැන්න නම්, ඔහු විසින් නිර්මාණය කර ඇති මෙම අමූලික බොරුවට අවශ්‍යය ජාත්‍යන්තර ප්‍රචාරය ලැබෙන අතර එමඟින් ඔහුට අවශ්‍යය දේශපාලන රැකවරණය ලබා ගැනීමට හැකිවේ. එහෙත් අවසානයේදී මෙවැනි පුද්ගලයින් නිසා හිරිහැරයට සහ අපකීර්තියට ලක්වන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයයි.  මෙවැනි බොරුකාරයින් විසින් නිර්මාණය කරන අමුලික බොරු සත්‍යය යැයි අනුමාන කරමින් තම පෞද්ගලික එදිරිවාදිකම් පියවා ගැනීම සඳහා පාවිච්චි කිරීම මනුෂ්‍යත්වයේ සියලු සම්මතයන්ට සහ සදාචාරයට එරෙහි වීමකි.

තම ප්‍රකාශයේදී අසාද් මවුලානා තමන්ගේ ගොදුර බවට පත්කර ගනු ලබන්නේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේය. එය මෙම පාස්කු ප්‍රහාරය වටා කතෝලික පල්ලියේ සමාජ හා දේශපාලන ස්වභාවය ඇගයීමෙන් ගන්නා ලද ඉලක්කයක් ලෙස පෙනේ.  මවුලානා සඳහන් කරන ආකාරයට සහරාන් සහ පිල්ලයාන් මඩකලපුවේ බන්ධනාගාර ගත වී සිටින අවධියේදී හමුවී ඇත. එහිදී  සහරාන්ගේ සහෝදරයා වූ රිල්වාන්, අසාද් මවුලානා දැක ඔහු සැබෑ මුස්ලිම්වරයෙක් නොවන බවට චෝදනා කළ බව ඔහුගේ ප්‍රකාශයේ දැක්වේ.  ඉන් පසු මොහු සඳහන් කරන ආකාරයට, පිල්ලයාන් ඔහු සමග ගොස් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ  හබරණ දී හමු වූ බවත් සලේ විසින්  උපදෙස් කිහිපයක් ලබාදුන් බවත් කියන්නේය.

මොහුගේ මෙම දීර්ඝ ප්‍රකාශයේ වැදගත් කාරණයක් වන්නේ මවුලානා සඳහන් කරන සිදුවීම් බොහෝමයක්  ඒ කාලවකවානුවේදී සිදුවී තිබීමය. එහෙත් ඒවායේ වෙනස ඇත්තේ එම සිදුවීම් වලට මොහු මොහුට ගැලපෙන ආඛ්‍යානයන්  සහ පුද්ගලයින් ආදේශ කිරීමය. මේ ලෝකෝත්තර කපටියා තම වාසිය වෙනුවෙන් සත්‍යය කරුණු සියල්ලම විකෘති කොට ඇත්තේ ඒ ආකාරයෙනි.

ඒ සඳහා නිදසුන් දෙකක් ඉදිරිපත් කළ හැකිය. පළමුවැන්න නම්, පිල්ලයාන්ගේ දේශපාලන පක්ෂය විසින් සිදුකළේ යැයි කියන මිනිස් ඝාතන දාමයය. ඔහු එහිදී රවිරාජ් ඝාතනය, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ඇතුළු මිනිස් ඝාතන 120 කට අසන්න ප්‍රමාණයක් පිල්ලයාන්ගේ කණ්ඩායම විසින් සිදුකළ බව පාපොච්චාරණය කරන්නේය. ඒ සඳහා ඔහු කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණත් ඔහුගේ කතාව අසන ඕනෑම අයෙකු තුළ සැකයක් ඇතිවේ. එම සැකය මොහුගේ පතන දේශපාලන රැකවරණයට  වැදගත් උත්ප්‍රේරකයකි.

සහරාන් සහ ඔහුගේ සහචරයින් පුත්තලමේදී හමුවීම ගැන මෙම පුද්ගලයා නිර්මාණය කර ඇති කතාවද ඒ හා සමානය. එනම් ඔහු ජෙනරාල් සුරේෂ් සලේ සමග පුත්තලමට ගොස් එහිදී මෙම ස්වයං ඝාතකයින්ට පුහුණුවීම් වලට අවශ්‍යය ඉඩම් බැලු බවත්  එම හමුව සඳහා සහරාන් කුරුණෑගල සිට පැමිණි බවත් මවුලානා කියන්නේය. එහෙත් මවුලානා ඉදිරිපත් කරන සිදුවීම සිදුවන කාලය තුළදී සුරේෂ් සලේ  මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරමින් සිටියේය.  

නමුත්, මෙම සිදුවීමට සමාන්තරව යන ප්‍රකාශයක් සහරාන්ගේ බිරිඳ වූ හාදියා විසින් අවස්ථා කිහිපයකදී ලබා දී තිබේ. එම ප්‍රකාශයට අනුව, සහරාන් එක්තරා දිනකදී කොළඹ පදිංචි වී සිටින නීතිඥයෙකු පුත්තලමට පැමිණෙන නිසා ඔහු හමුවීමට හදිසියේ පුත්තලමට යෑමට අවශ්‍යය බව පවසමින් පුත්තලමට ගිය බව හාදියා සඳහන් කොට තිබේ. සහාරාන්ගේ දුරකථනයේ එම නීතිඥයාගේ නම එල්එල්බී ලෙස නම් කර තිබු බව හාදියා ප්‍රකාශ කර ඇත.මෙය බරපතළ ප්‍රකාශයක් වුවද කතෝලික පල්ලියේ හෝ වෙනයම් වගකිවයුතු බලධාරියෙකුගේ අවධානය මේ වෙත ඊට යොමු වී නැත.

එසේම මවුලානා ඉදිරිපත් කොට ඇති තවත් කාරණයක් වන්නේ ඔහු ගෝඨාබය රාජපක්‍ෂ මහතා මිරිහානේ  පිහිටි නිවසේදී  හමු වූ බවයි. එය සත්‍යයකි. ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය මූලික කරගනිමින් ගෝඨාබය රාජපක්‍ෂ මහතා විවිධ කණ්ඩායම් හමුවිය. එහි එක් පියවරක් ලෙස පිල්ලයාන් නියෝජනය කළ  දේශපාලන පක්ෂයේ සාමාජිකයින් හමු වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුහු හමුවීමෙන් පසුය. එහිදී කිසිඳු අවස්ථාවක සහරාන් හෝ ඔහුගේ සහචරයින් සමග කතාබහක් සිදුකළ බවක් තහවුරු වන්නේ නැත. එහෙත් මවුලානා එම හමුවීමට සහභාගී වූ බව සත්‍යයකි. පෙර සඳහන් කළ ආකාරයෙන් මෙම හමුවීමද ඉතාම අප්‍රසන්න විලාසයෙන් මවුලානා තාමාගේ වාසිය වෙනුවෙන් පාවිච්චි කොට තිබේ.

එක්සත් ජාතීන් හෝ වෙනයම් කණ්ඩායමක් ශ්‍රී ලංකාව තම අවශ්‍යතාවයන් ඉටුකිරීම සඳහා පාවිච්චි කරන්නේද මෙලෙසය. කාලයක් තිස්සේ සිදුවූයේද මෙයයි. එය එසේ නොවේ නම් කොටි සංවිධානයේ න්‍යාචාර්ය ලෙස කටයුතු කළ ඇන්ටන්  බාලසිංහම් මෙරට පිහිටි එක්සත් රාජධානී මහකොමසාරිස් කාර්යාලයේ රැකියාව කරන්නේ නැත.

මෙරට ජීවත් වන මහජනතාව වෙත සඳහන් කළයුතු කාරණයක් තිබේ. එනම් ඔබ කුමන ආගමකට අයත් වුවත් ඔබ ඉස්ලාමීය  මූලධර්මවාදයක් රටපුරා ව්‍යාප්ත වීමේ අවධානමක් නොතිබූ බව ඔබ පිළිගන්නේද? පාස්කු ප්‍රහාරය ප්‍රයෝජනයට ගනිමින් විවිධ කණ්ඩායම් දේශපාලන වාසී ලබා ගැනීමට කටයුතු නොකරන බව ඔබ සිතන්නේද? ඇතැම් පාර්ශවයන්, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැබෑ පුද්ගලයින් නීතියේ ඇති හිඩැස් වලින් රිංගා තවමත් නිදහසේ සිටිමින්, ඊට කිසිම සම්බන්ධයක් නැති කණ්ඩායම් වරද කරුවන් බවට පත් කිරීමේ අනවරථ උත්සාහයක නියැලෙන බව ඔබ දන්නේද?

චැනල් 4 නමැති නාලිකාව හෝ වෙනයම් නාලිකාවන් භාවිතා කරමින් මොවුන් සිදු කරන්නේ  බළලුන් ලවා කොස් ඇට බෑමක් මිස වෙනදෙයක් නොවේ. මේ ප්‍රෝඩාකාරයින් කිසිවෙකුට පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වින්ධිතයින්ට සදාරණය ඉටුකිරීමේ ශුද්ධ චේතනාවක් නැත.  චැනල් ෆෝ නාලිකාව මීට වැඩි දෙයක් සඳහන් කරණු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය. මොවුන්ට අවශ්‍ය වී ඇත්තේද මේ කුමන්ත්‍රණය න්‍යාය ඉදිරියට ගෙන යෑම සහ සමස්ථ සිදුවීම ඔලුවමත තැබිය හැකි බිල්ලක් සොයා ගැනීමය. එහෙත් ඉර සහ හඳ පායන්නා මෙන් සත්‍යද සදාකාලිකව වැළලිය නොහැකිය.  

මතු සම්බන්ධයි

~ The Leader වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan