“කෙල්ල මැරෙන්න ඇද්ද?”
වතුසුදු සොයිසා ලුනාව හරියෙදි ගිනිකූරක් ගසමින් ඇහුවා. රටාවකට නැග ආ දුම් රොටුවක් මූදු හුළඟ ඇවිදින් ලිහුවා.
“මං කියන්නෙ අද අපි ටැක්සියක යං කියලා. පාර පුරා දැන් බුරුතු පිටින් නරි.”
අපි දැන් ටැක්සියක නැගලා යන්නෙ ‘ධූමලාවණ්‍යාගාරය’ පැත්තට. එනව දැනෙනවා නේද හීත හුළඟක්? නෑ කිව්වත් කමක් නෑ කෙනෙක්. ඒක තමන්ගෙ අවංක උත්තරයක්නෙ. මං මේ කියවන්න පටන් ගන්න කලින් පොඩියක් ඉමෝෂනල් උගුලක් අටවන්න බැලුවේ.
වලස්සුන්ව රූපකයක් කළාම ඒකෙන් මී පැණි ගලනවා වගේ හැඟීමක් කාට හරි දැනුණද? මොකද වලස්සු කිව්වම උං මී පැණිවලට කෑදර නිසා මට එහෙව් හැඟීමක් ඔළුවට කිදා බැස්සා. ඊට පස්සෙ මං ඒ කවිය දිගේ ගස් බඩගාන්න වුණා. මී වදයක් කඩාගන්න තමයි. ඕසෙට මට මීමැස්සො ඇන්නා. උං එකා දෙන්නා කතා වුණේ චණ්ඩි වගේ. හරිම බරපතළයි. නෑ, බයානකයි. රැජින කිව්වෙ මෙහෙම එකක්,
“ඕන වලහෙක් එකයි-මං අනින්නෙ දෙකයි”
රැජිනක් කියන්නෙ එහෙම තමයි. තමන්ගෙ තරම කොතරම් කුඩා වුණත්, තමන් මී මැසි කුලයේ වුණත් රැජිනක් කියන්නෙ එහෙම කෙනෙකුට. නිතර තර්ජන-ගර්ජන. සමහර විට පම්පෝරි. සුළු නෑ ඒ අය.
කවියකින් පරිපූර්ණ චිත්‍රයකට බහින්න ඉඩක් හදාදීම බරසාර වැඩක්. දැන් මේ කවියා අඳින චිත්‍රය ත්‍රීඩී මාදිලියේ එකක්. ඒකෙ සවුන්ඩ්ස් එහෙමත් අන්තර්ගතයි. හැම තිස්සෙම ඔහුගෙ කවිවල මේ ලක්ෂණය දකින්න තියෙනවා. වෙනත් මායාමය හැඟීමක කියවන්නාව පටලවන ගමන්ම ඒකට සමගාමීව වෙනත් යටි පෙළකින් ඊට හාත්පසින් වෙනස් කතාවක් කියනවා. නමුත් කිසිම වෙලාවක ඔහුගෙ රූපමය භාවිතාවට හානියක් වෙන්නෑ. මැවුම්කාර ගතිකය අතරෙම වෙනත් සමාජීය ප්‍රශ්න කිරීමක ඔහු නිරත වෙනවා. මධු ජනපද බිඳ හෙළපු බොහෝ දෙනෙකුව ඔළුවට ටොකු අනිමින් මතකයට ගෙන්නනවා. අපේ වලස් මනස වැඩකාර මී මැස්සන් හෝ රැජිනක් ළඟ නතර කරලා ඔහු යන්න යනවා. මෙන්න මේ කවියා නිතරම ‘යන්න යෑම’ ට මම හරිම ප්‍රියයි. ඒක තුවක්කුවකින් තියපු වෙඩිල්ලක් වගේ. දුන්නකින් විදපු හීයක් වගේ. සැනෙකින් නික්මෙනවා. නැවත අල්ලාගන්න හෝ යථාවට පමුණුවන්න අපහසු වෙනවා. ඔහුගෙ කවිවල කියවන්නා අතරමංවන සුළු ගතිය එන්නෙ මෙන්න මේ ගති ලක්ෂණයෙන් වෙන්න පුළුවන් කියලා මම හිතනවා.
‘කොටළුවෙක් තන බබල්ගම් හපමින්’ යන බවක් තවත් තැනක ඔහු කියනවා. මේවා හරිම රස ගලන යෙදුම්. වචන එකතු කරමින් චලන චිත්‍ර සැකසීම්. යම් හැඟවුමකින් කවියේ සම්පූර්ණ අදහස කනපිට හරවන්න ඔහු හරිම දක්ෂයි. මේ කොටළුවාව කවිය මැදට කැදවන්නෙත් නිකංම නෙවෙයි. ඊළඟටයි ඔහුට ඕනෑ තැනට එන්නෙ.
“අලුත් ආණ්ඩුවෙ උයනේ
මයික්වල රොන් උරයි
පෙර පැවති ආණ්ඩුවේ ඇඟපතේ
පලු මැවූ දළඹුවා”
කියවන්නාගේ ඇග කසන්න අල්ලන්නෙ අන්න එතකොට. සටන් පාඨ, සාප කිරීම්, ආවේග ආදියෙන් කලින් වෙනත් අය කියූ දේවල් බන්ධුජීව කියන්නෙ දානෙ ගෙදරක එන්න කියන පණිවිඩය කියන්නා හේ නිවිල්ලෙන්, උස තැනක හිටගෙන බිම බලමින්. කවි පද අතර ඉතා විශාල ඉඩක් තියමින්. ඒවා තම, තම නැණ පමණින් ඕනෑම කෙනෙකුට පුරවාගත හැකියි.
අනෙක් හැම ගංගාවක්ම දකුණට හරවන්න දත කන රජවරු, ඇමතියො ඉන්න ග්‍රහලෝකෙක කනගරායන් ආරු තමන්ගෙ හිතුමතේ උතුරට ගලං යනවා කියද්දි හිත ඇතුළෙන් බිම් බෝම්බයක් එහෙම පත්තු වෙනවා. ඒකත් මේ නියමිත උපකරණ ඇතිව ගලවන්න උත්සාහ කරපු බිම් බෝම්බයක් නෙවෙයි. සවලකින්, හැන්දකින් ගලවලා අහක් කරන්න ගිහින් පත්තු කරගත්තු එකක්. අපිට තාමත් ඒ මහා යුද්දෙන් ගැලවෙන්න බැරිත් මෙන්න මේ නිසයි. හෘද සාක්ෂි කොහෙන් ගොඩගත්තත් එකයි.
ඊට එහා ඉතිං අර මදුරු දඟරය! සුළුම සුළු දේවල් එක්කහු කරලා ඒකෙන් විචිත්‍ර මල් මෝස්තරයක් හැදීමක් ඒ කවියෙදි වෙන්නෙ. කවියෙ මාතෘකාව ‘ටික ටික’. හැබැයි අපේ ජීවිතේ ගොඩ-ගොඩ ඒක ඇතුළෙ පැටව් ගහනවා. රුවන් චාමර සලනවා. ලවුඩ්ස්පීකර් එකෙන් බණ ටිකකුත් ඒ අව් අස්සෙ ඇහෙනවා. මේ සෝපහාස මල් මෝස්තරය කන්දක් මුදුනට ගෙනැල්ලා ඔහු අතාරිනවා ඉදිකට්ටක් වගේ. ඉතිරි වෙන්නෙ අරවින්දත් මේකට පැටලිලා. ඉතිං කොහේ හිටි අරවින්දයෙක්ද? එහෙම තමයි මිත්‍රයා!! රොන්සුණු බිංදුවක් ඉතිරි වෙන්න නම් බලා ඉන්නෝනා ඔබේ ප්‍රියතම බැල්මෙන්. අන්න එතකොටයි මීදුමේ ටිකෙන් ටික ඇයට පේන්න නොපෙනී යන්න ඕනෑ.
අවසානයේ කන්ද මුදුනෙන් අතාරින මේ ඉදිකට්ට හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්ද? මම දන්නෑ, කියවපු වෙන කෙනෙකුත් ඒ ගැන හිතන්න. මට තව කවි කියවන්නත් තියෙන්න පුළුවන්නෙ. එහෙම තමයි මිත්‍රයා සමහර කියවන්නොත්! ටිකක් හිතුවක්කාරයි.
පෙරේරලා, පෙම්තිලකලා රති කවිය අවුළුවන අස්සේ නෝනගෙ ඉළව් ගෙදර යන්නත් මං පැටලුණා. ඔන්න ආයෙ නරි!!
රූපයා උංට කිතුල් පොල්ලෙන් පතබෑව නිසාත්, මං නරින්ට බය නිසාත් ඉළව් ගෙදරින් පැනලා එන්නම තීරණය වුණා.
බන්ධුජීව කවියට ගේන පෙර කතාව හරිම ඇවිළෙන සුළුයි. යම් තානයකින් ඔහු මුළු කවි පොතම එකට හකුළුවන්නෙ මෙන්න මේ පෙරගමන් කතා දෙකත් එක්කයි. කවියේ සාරය උරන්න ඔහු අනිත් අයට අඬගහන්නෙ ඒ පෙරගමන් කතා ඇතුළෙ ඉදන්මයි.
43 පිටුවෙ කවියෙ මාතෘකාවම එක්තරා කවියක්. සමහර විට ඒක මේ යුගයේ දේශපාලන වීර කාව්‍ය ගනයට වුණත් කෙනෙක් යෝජනා කරන්න පුළුවන්. ‘යටත් වුණි වීරයන් රජයට’ දැන් ඉතිං වීරයෝ ටික රජයට යටත් වුණාට පස්සෙ අහවල් කෙංගෙඩියක්ද? එහෙම යටත් වුණ වීරයන්ගෙ මුහුණු එහෙම ‘සට-සට’ ගාමින් කඳුළු වගේ මතක් වෙන්නත් පුළුවන් නේද? ඕනෑම කාලයක, ඕනෑම භීම සමයක වීරයෝ රජයට යටත් වීමේ සම්භාවිතාවක් තියෙනවා තමයි කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. ඒත් වීරයෝ ගැන අපිට ලැජ්ජා හිතුණම කොහොමද මේ සුමේ ඉදිරියට කරගෙන යන්නෙ?
ඒ අස්සෙ හතරට එලාම් තියලා හෙන්දිරික්කා මලක් හොඳටෝම නිදි. කොළඹ කොටුවෙ බළල්ලුත් වික්ෂිප්තයි. සෙල්ලම් අස්සයෙක් නමක් ඉල්ලනවා. මේ රසාලිප්ත දේ අතරේ කවියකට මොනවද කරන්න පුළුවන් කියන සංවාදෙ මැද්දට පණිනවා. නිකං නෙවෙයි කිණිස්සක් බඩතුරේ හංගගෙන. උත්තර දෙන්න හිටි චණ්ඩි ඔක්කෝම පැනලා දුවලා.
කවියක ආයු කාලය විසින් කවියකට මොනවද කරන්න පුළුවන් කියලා තීරණය කරාවි කියලා මම විස්වාස කරනවා. බොහෝ කවි අඩු වයසින්ම මිය යනවා. තවත් අල්ප කවි දීර්ඝායු වින්ඳනය කරනවා. ජනප්‍රිය නේක රැලි මතින් තවත් කවි වර්ග මේ අවකාශයේම එහා-මෙහා යමින් ඝෝෂා නඟනවා. ඉවසීමෙන් බලා සිටීමෙන් මේ සියල්ල ඔබට අල්ලා ගන්න පුළුවන්. හමාර කවියක් තියෙනවා. ඒක 51 පිටුවෙ මැද්දකින් උපුටා ගත්තේ.
“…ගමනක වෙහෙස මහන්සිය නොව
ගෙවා ඇති දුර පමණි
මැන බලන්නට දන්නේ
අර කිලෝමීටර කණු පෙළ….”
~ කාංචනා අමිලානි
RN