ගාසාවේ මරණ සංඛ්‍යාව 8500 ඉක්මවයි; මේ යුද්ධය සදහා කාලය බව නෙතන්යාහු කියයි

0
203

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයේ හමුදාව එක රැයක් තුළ ගාසා තීරයේ ත්‍රස්තවාදී ඉලක්ක 300කට වැඩි ප්‍රමාණයකටන් ගුවන් ප්‍රහාර එල්ල කළ බව නිවේදනය කර තිබේ.

Palestinians carry a dead person who was found in the debris following Israeli airstrikes on Gaza City, Friday, Oct. 27, 2023. (AP Photo/Abed Khaled)

ඊශ්‍රායල හමුදාව පවසන්නේ තම ගොඩබිම් ප්‍රහාරය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්, උතුරු ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත අවධාරනය යොමු කර ඇති මුත්, අනෙකුත් ප්‍රදේශ වෙතද සිය ප්‍රහාර ක්‍රියාත්මක වන බවත්ය.

ගාසාවේ රජයේ මාධ්‍ය කාර්යාලයට අනුව, ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භයේ සිට අවහිර කරන ලද ප්‍රදේශයට පුපුරණ ද්‍රව්‍ය ටොන් 18,000 කට වැඩි ප්‍රමාණයක් හෙළා ඇති අතර ඔක්තෝබර් 7දා ඊශ්‍රායලට දියත් වූ හමාස් ප්‍රහාරයෙන් පසු මේ වන විට ගාසා හි පුද්ගලයන් 8525ක් මියගොස් දස දහස් ගණනක් තුවාල ලබා 1,870ක් සුන්බුන්වලට යටවී අතුරුදන්ව සිටින අතර, ඔවුන් අතර ළමුන් 1,020ක් බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

ඊශ්‍රායල හමුදාව දිගින් දිගටම සරණාගත කඳවුරු වලට ප්‍රහාර එල්ල කිරීම බොහෝ ජාත්‍යන්තර රටවල කෝපය අවුලුවා ඇති අතර, අල්-ෂිෆා සහ ඉන්දුනීසියානු රෝහල්වල බලශක්ති උත්පාදක යන්ත්‍ර සඳහා ඉන්ධන අවසන් වීමට පැය ගණනක් ඇති බවට පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදන කර ඇති අතර ඔවුන් වැඩිදුරටත් ඉන්ධන සහිත රටවල් වලින් ඉල්ලා තිබුණේ තමන්ට සහයෝගය ලබා දෙන ලෙසයි.

ඉන්ධන නොමැති වීමත් සමග දැඩිසත්කාර ඒකක පවත්වාගෙන යා නොහැකි මට්ටමක ඇති අතර නොමේරු බිළිඳු ඒකකවල දරුවන්ගේ ජීවිත තවත් පැය කිහිපයක්ට රැකෙන බවයි රෝහල ආරංචි මාර්ග සදහන් කරන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මානුෂීය සටන් විරාමයක් වෙනුවෙන් කරන ලද ඉල්ලීම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු ප්‍රකාශ කර තිබුණේ, මෙය යුද්ධය සඳහා කාලය වන බවයි.