සටහන – නිශ්මං රණසිංහ
කොළඹ (LNW): අටවන නීතිඥ ලෝක කුසලානය ලංකාවට පැමිණීමේ වාසිය ගෙන, තුන්වරක්ම අනු සූරතාවයෙන් නැවතුණු ශ්‍රී ලංකාව මෙවර මව්බිමේදීම සූරයන් වීමේ උත්සාහයේ සාර්ථක පියවර තුනක් මේ වන විට නිමා කර අවසන්ය.දෙවන තරගයේදී වර්ෂාව නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහණය ලැබුව ද,පළමු තරගය සහ 2023 වසරේ අවසාන දිනයේ මුහුණ දුන් අවසාන තරගය ජය ගැනීම අපහසුවකින් තොර ව සිඳු කර ගන්නට ශ්‍රී ලංකාව සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම සිය කණ්ඩායම සම්බන්ධයෙන් උපරිම ආත්ම විශ්වාසයකින් කටයුතු කරන අයුරක් දක්නිනට ඇති අතර එය සීමාව ඉක්මවා නොයන තරගකාරී මට්ටමේ පැවතිය යුතු විශ්වාසයේ සීමාවේ රඳවා ගන්නට මේ දක්වා ඔවුන් ගෙන ඇති ක්‍රියාමාර්ග අපූරුය.විශේෂයෙන් දෙසැම්බර් 31 වන දිනා ඔවුන් සිය නිත්‍ය කඩුලු රකින්නා නිත්‍ය පන්දු යවන්නෙක් හැටියට යොදවාගෙන කළ අත්හදා බැලීම සාර්ථක කර ගත්තේ ඔහුගේ පන්දු ඕවර් 7 ලකුණු 22 ට සීමා කරමින්ය.එම තරගයේදී ඔවුන් එකට පුහුණුවෙන් ලද විශ්වාසය සහ බැදීම පදනම් කරගෙන අත්දැකීම් සහිත ක්‍රීඩකයන් පිරිසක්ම එළියෙන් තබා නවකයන් හත් දෙනෙකු සමඟ තරගයට මුහුණ දී ජය ගැනීම කැපී පෙණින.
පොදු රාජ්‍ය මණ්ඩලීය කණ්ඩායම පන්දු ඕවර් 35 තුළ කඩුලු 8 ට ලකුණු 180 ක් ගෙන ජය පැන් බීමට බඳුන් සූදානම් කර ගත්තද,ඒවාට පළමු ප්‍රහාරය එල්ල කරන්නට ආරම්භක පිතිකරු තුසිත් පලිවත්ත සමත් වුණේ පන්දු 33 න් ලබා ගත් ලකුණු 64 ක් සමඟය.පසුව එම ප්‍රහාරයෙන් පිබිදුණු ඉණිම සුරකිමින් සුසිරු රණතුංග පන්දු 39 න් ලකුණු 38 ක් ලබමින් ද,වගකීමේ ඉහළම තත්ත්වයෙන් යුත් ඉණිමක නියැලෙමින් මොහොමඩ් සමීර් නොදැවී ලකුණු 30 ක් ද එක් කරමින් 29 වන පන්දු වාරයේ දෙවන පන්දුවේදී තරගයේ ජය ශ්‍රී ලංකාවට අත් කර දෙන්නට සමත් විය.
ශ්‍රී ලංකාව මුහුණ දුන් ප්‍රථම තරගයේදී කඩුළු 7 ට ලකුණු 293 ක් රැස් කළේ බංගලාදේශ බී කණ්ඩායමට එරෙහිවය.එහිදී නායකත්වයේ ඉණිමක් දියත් කළ එර්ෂාන් ආරියරත්නම් ලකුණු 88 ක් රැස් කළේ පන්දු 66 ක් තුළ ය.ඔහු සමඟ ශ්‍රී ලංකා ඉණිම ගොඩ නැඟීම සඳහා මනා දායකත්වයක් ලබා දුන් පවිත්‍ර බෝලපගේ ලකුණු 67 ක් එක් කළ ද තරගයේ ජයග්‍රහණය සඳහා බංගලාදේශ බී කණ්ඩායමේ කඩුලු 4 ක් 28 ට දවා ගනිමින් ඔවුන් ලකුණු 125 ට සීමා කළ තරිඳු පීරිස් පිත්තෙන් ද නොදැවී වේගවත් ලකුණු 39 ක් රැස් කිරීම නිසා තරගයේ වීරයා බවට තීන්දු කළේය.
දෙවන තරගයේදී බංගලාදේශ ඒ සමඟත් වර්ෂාව සමඟත් කල්පනාකාරීව සහ උපක්‍රමිකව තරග කළ ශ්‍රී ලංකාව ලකුණු 9 න් ජයගත්තේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේය.එහිදී බංගලාදේශ කණ්ඩායම පන්දුවට පහර දීමේදී ලකුණු 141 දී කඩුලු 9 ක් ලබා පන්දු ඕවර් 35 නිමා කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇති කළ පිඩනය නිසාය.එහිදී පෙරමුණ ගත් ජීවන් ෂන්මුගපිල්ලේ තරගයේ වීරයා වෙමින් ලකුණු 17 ට කඩුලු 3 ක් දවා ගත්තේය. ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුත් විශාල ඉණිම් ගොඬ නොනැඟූ නමුත් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ වර්ෂාව පෙනි පෙනී අවශ්‍යය දළ ලකුණු වේගය රඳවා ගැනීමට සමත් විය.
මේ දක්වා ශ්‍රී ලංකා පන්දු රැකීම අන් කණ්ඩායම්වලට සාපේක්ෂව ගත් කළ හොඳ මට්ටමක රදවා ගෙන තිබෙන අතර උඩ පන්දු කිහිපයක් ගිලිහි ගියද සමස්තයක් ලෙස ගත් විට කණ්ඩායමේ පන්දු රැකීම ගැන කියන්නට ඇති සරලම වචනය “හොඳයි” යන්නය.මෙවර කණ්ඩායම පුහුණුකිරීම පැවරී ඇත්තේ තවමත් ශ්‍රී ලංකාවේ පළමු පෙළ ක්‍රිකට් තරග සඳහා ක්‍රිඩා කරන සහ ඉහළ දස්කම් දක්වන දඟ පන්දු යවන්නෙක් වන .ගයාන් සිරිසෝමට ය.කණ්ඩායම තුළ දැකිය හැකි ඔහුගේ අනන්‍යතාවය වන්නේ පන්දු යවන්නන් ඉතා අඩුවෙන් අතිරේක ලකුණු දීමය.නිපන්දු මෙන්ම වයිඩ් පන්දු ඉතා අඩු මට්ටමකින් පවත්වාගෙන පන්දු යැවීමක් දැකීම ප්‍රතිවාදී කණ්ඩායම්වලට පීඩනයක් මෙන්ම වැඩිපුර ලකුණු එකතු කරන්නට වැඩි පුර පන්දු ප්‍රතිවාදීන්ට නොලැබීම ද තරගාවලියේ ශ්‍රී ලංකාවේ සාර්ථකත්වයට විශාල හේතුවකි.
පවතින තත්ත්වය අනුව නව වසරේ පවත්වන තරගවලදී ඔවුන් පකිස්තානය අභිබවා පෙරට ඒමට අවස්ථාව ලදහොත් සිය කාණ්ඩයේ පළමු ස්ථානය දිනූ කණ්ඩායම ලෙස අවසාන පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා කර ගන්නේය.එසේ වුවහොත් වැඩි තර්ජනයකින් තොරව නායක එර්ෂාන් ආරියරත්නම් තරගාවලිය ආරම්භයේදී පැවසූ ලෙසම ශ්‍රී ලංකාව ජනවාරි 6 වන දා අවසාන තරගයේදී දැක ගන්නට අපහසු නැත.මේ වන විටත් ක්‍රිකට් ක්‍රීඩාව හරහා ශ්‍රී ලංංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන නීතිඥ ප්‍රජාව සැළකිය යුතු විදේශිකයන් පිරිසක් ශ්‍රී ලංකාවට කැඳවා රටට ලබා දී ඇති ජයග්‍රහණය තවත් ඉදිරියට ගෙන යමින් පළමු වරට ශ්‍රී ලංකාවට නීතිඥ ලෝක කුසලානය දිනා ගැනීම දක්වා යාමට ද විශාල ඉඩක් ඇත.ශ්‍රී ලංකාවට මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිඟව පවතින සූරතා ජයග්‍රහණය නීතිඥ කණ්ඩායමට පමණක් නොව ජාතික කණ්ඩායමට ද ජයග්‍රහණ කරා යන්නට හොඳ උත්තේජනයක් සපයන සුළු වනු ඇත.එසේම තව දුරටත් පාසල් මට්ටමේ හොඳින් ක්‍රිකට් ක්‍රීඩා කර ඇති නීතිඥවරුන්ගේ ආකර්ශණය ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම වෙත ලැබී, ලෝකයට අභියෝග කරන්නට අවශ්‍යය පසුබිම ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට්වලට ලැබෙනු ඇත.
