සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09, කොළඹ (LNW): සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු දෙකකින් පරාජය කරමින් සිම්බාබ්වේ සමඟ පැවත්වෙන එක්දින තරගාවලියේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකාවට හැකි විය.කාලගුණ අනාවැකිය පරාජය කරමින් තරගය පැවත්වීමේ හැකියාවෙන් පළමු ජයග්‍රහණය හිමි කර ගත් තරගය අඩු ලකුණු සහිත තරගයක් බවට පත් වූ අතර ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ සුවිශාල ගෞරවය සිය දෙවන ජාත්‍යන්තර එක්දින ඉණිම ක්‍රීඩා කරමින් ලකුණු 95 ක් ලැබූ ජනිත් ලියනගේට හිමි විය යුතු වුව ද,ඒ හා සමානම ගෞරවයකින් වගකීම ඉටු නොවුණු පිතිකරු නාමාවලියක පසු පෙළට වැටී නවවන කඩුල්ලට ලකුණු 39 ක නොබිඳි සබඳතාවයක් ඇති කළ දුෂ්මන්ත චමීර ට (නොදැවී 18) සහ ජෙෆ්රි වැන්ඩර්සේ ට (නොදැවී 19) ද හිමි විය යුතුයි.
කාසියේ වාසිය ලද සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙන්නට තීරණය කළ අතර එයට විශාල බලපෑමක් ඇති කළ මහේෂ් තීක්ෂණ අති විශිෂ්ඨ පන්දු යැවීමත නිරත වෙමින් පන්දු ඕවර් 9.4 දී ලකුණු 31 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.එහෙත් තමන් ගත් තීරණය නිවැරදි බව කියන්නට මෙන් සිම්බාබ්වේ නායක ක්‍රේග් එවන්ස් විශිස්ඨ පිතිකරණයක නියැලෙමින් ලකුණු 82 ක් රැස් කළ අතර ඉන් අනතුරුව දකින්නට ලැබුණ හොඳම ඉණිම් වූයේ ජෙරල්ඩ් ගම්බි (30) සහ රයන් බුරල් (31) එකතු කළ ඉණිම් ය.ශ්‍රී ලංකා දඟ පන්දු යැවීම ඉදිරියේ මූලිකව අසාර්ථක වූ සිම්බාබ්වේ ඉණිම පන්දු ඕවර් 44.4 දී ලකුණු 208 සීමා වීමෙන් ශ්‍රී ලංකාවට පැහැදිළි ජයකට යා හැකි සුබ ලකුණු පෙන්වීය.එහෙත් ඉණිම ආරම්භයේ සිටම දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා පිතිකරුවන් කඩුලු වීසි කරන ආකාරයක්ය.
විශේෂයෙන් වමත් වේග පන්දු යවන රිචඩ් එන්ගරාවා පළමු තරගයේදී ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් නොවුණානම් එම තරගයේදී ද ශ්‍රී ලංකා ඉණිමට අත් විය හැකිව තිබූ ඉරණම ගැන පැහැදිළි චිත්‍රයක් අඳිමින් අති විශිෂ්ඨ කඩුලු දඩයමක යෙදුණේ ලකුණු 32 ට කඩුලු 5 ක් දවා ගනිමින්ය.සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක ක්‍රේග් එවන්ස් දියත් කළ ඉණිමට සමාන ඉණිමක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දියත් කිරීමේ වගකීම භාර ගත් ජනිත් ලියනගේ සිය දෙවන එක්දින ඉණිමෙන් ශ්‍රී ලංකාව පමණක් නොව තේරීම් කමිටුවේ අලුත් තෝරා ගැනීම්වලට සාධාරණ හේතු පාඨයක් ද ලියා තබා එකා පිටුපස එකා ක්‍රීඩාගාරයට ඇඳෙන ශ්‍රී ලංකා ඉණිමේ මුරකරු වෙමින් ලකුණු 95 ක් රැස් කරන්නට සමත් විය.
ශ්‍රී ලංකා ඉණිම කඩුලු දෙකකට 16 ක් ව තිබෙන මොහොතේ පිටියට පිවිසි ජනත් ලියනගේ ලකුණු 172 ක් තිබියදී අටවන කඩුල්ල වෙන තෙක් ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දියත් කළ ඉණිම ශතකයක් කරා යාමට නොහැකි වුව ද,ශතකමය වටිනාකමක් සහිත පිතිකරුවෙක් තුළ තිබිය යුතු දක්ෂතාවය මෙන්ම පිරුණු බව සහ දරා ගැනීම මොනවට ඔප්පු කළ ඉණිමක් විය.ඒ විශිෂ්ඨ ඉණිම පරාජයක් වී නැවතීමට තිත තැබීමේ වගකීම අවසානයේ භාර ගත්තේ දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩර්සේ ය.පන්දුවෙන් ද කඩුලු 2 බැඟීන් දවා ගෙන සිටි ඔවුන් දෙදෙනා ජනිත්ගේ ඉණිමට හිමි විය යුතු ජයග්‍රහණය ඉතා අසීරුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ළඟා කරන්නට සමත් ඉවසිලිවන්ත ඉණිම් දෙකක් නොදැවී ක්‍රියාත්මක කරන්නට සමත් විය.

එසේම පන්දු යැවීමෙන් කඩුලු 4 ක් දවා ගත් මහේෂ් තීක්ෂණ පළපුරුදු පිතිකරුවන් ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ජනිත් වටා ජයග්‍රහණය ගොඩ නැඟීම පසෙකලා කඩුලු වීසි කර ලකුණු පූවරුව කඩුලු 6 ට 112 ක් කර තිබියදී පිටියට පිවිස දියත් කළ වගකීම් සහගත ඉණිම ද මිල කළ නොහැකි එකකි.ඒ නිසා 7 වන කඩුල්ලට ශ්‍රී ලංකා ඉණිමේ දකින්නට ලැබුණු එකම අර්ධ ශතකය ඉක්ම වූ සබඳතාවය ප්‍රදර්ශනය කළේය.තීක්ෂණගේ දායකත්වය ලකුණු 18 ක් වුව ද,ජනිත් සහ තික්ෂණගේ සබඳතාවය ලකුණු 56 ක් විය.
අලුත් තේරීම් කමිටුව කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවලට වඩා වෙනස් විය යුත්තේ ආකල්ප බව මේ තරගය හරහා හෝ තේරුම් ගැනීම වැදගත් වනු ඇත.සමහර විට වර්ෂාව විසින් ඇති කළ බලපෑම මත භෞතිකව මෙන්ම අධ්‍යාත්මිකව ද ක්‍රිඩකයන්ට යම් බලපෑමක් ඇති කරන්නට ඇති බව නිදහසට කරුණක් ලෙස නොගත යුතු වන්නේ වෘත්තීයභාවය වෙනස්කම් දරා ගැනීම ලෙස පැවතිය යුතු බැවින්ය.විශේෂයෙන් කණ්ඩායමට අලුත් ක්‍රීඩකයෙක් වූ ජනිත් වගකීම ගෙන ක්‍රිඩා කරන මොහොතක කණ්ඩායම් හැඟීමෙන් ඒ වටා ගොනු වීම කරන්නට ජ්‍යෙෂ්ඨයන් හැටියට ගොනු නොවීමෙන්ම දැකිය හැක්කේ ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු තත්ත්වයක්ය.අවිශ්ක ප්‍රනාන්දු වැනි ක්‍රීඩකයින් කණ්ඩායමට නැවත කැඳවීමට සාධාරණයක් ඉටු කර නැත.දසුන් ශානක නායකත්වය පමණක් නොව කණ්ඩායමේ ස්ථානය ද අහිමි කර ගන්න තත්ත්වයට පත් වෙමින් ඇත.තුන් ඉරියව් පන්දු යවන්නෙක් වූ චාමික කරුණාරත්න වැනි කණ්ඩායම් හැඟීම ප්‍රදර්ශනය කරන සහ හොඳ ඉණිමක් වෙනුවෙන් සහයෝගය උපරිමය ප්‍රකාශ කරන ක්‍රීඩකයෙක් එක්දින තරග තුළ දැක් වූ දක්ෂතා නොසළකා හැරීමේ අඩුව මේ තරගය තුළ ද දකින්නට ලැබිණ.පන්දු යැවීමේ නාමාවලිය සහ පන්දු යැවීමේදී පන්දු යවන්නන්ට දී ඇති පන්දු ඕවර් ප්‍රමාණය සැළකුව ද මතු පිටට පෙනෙන්නේ නිත්‍ය පන්දු යවන්නෙක් අඩුව තබා ගෙන පන්දු ඕවර් ප්‍රමාණය පිරිමහා ගැනීමට අවධානය යොමු කළ බවකි.
ජාත්‍යන්තර තරග පිටියේ ඒ ආකාරයෙන් හැසිරිය හැකිද යන්න සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ද ශ්‍රී ලංකාව වැටෙන අසීරු අඩිය තුළින් දැකිය හැකිය.පිටියට බසින කණ්ඩායම ඒ වෙනුවෙන් ඉටු කළ යුතු වෘත්තීයමයභාවය සහිතව හැසිරෙන්නේ නැති කාරණය ක්‍රිකට් ප්‍රේමීන් ලෙස හැසිරෙන බොහෝ දෙනෙක්ට සිය විරුද්ධ පාර්ශවයන්ට පහර එල්ල කරන්නට හේතු සැපයුවද කණ්ඩායමේ ඇති ක්‍රීඩක වගකීමේ වෘත්තීයමය තත්ත්වය පහළ බැස තිබීම ඉහළ නංවන්නේ කෙසේද යන්න සොයා බැලිය යුතුය.එසේම අභ්‍යන්තර වශයෙන් මෙසේ වගකීම් විරහිත විදිහට හැසිරීමට වෙනත් බලපෑමක් ඇද්ද යන්න සෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් මෙන්ම මෙරට නිති අංශ ද ජාත්‍යන්තර සහය ද ලබා ගෙන කටයුතු කිරීමට අවශ්‍යය වන තැනක් මේ පසුගාමී දක්ෂතා ඇතුළේ දකින්නට ඇත.
දේශිය තරග පිටියේ තණතිලි සැකසීම,එම තරගවලදී ක්‍රීඩකයන්ගේ හැසිරීම යන කාරණා ගැන යම් ප්‍රතිපත්තිමය වෙනස්කම් ක්‍රීඩා සමාජ වෙත බලපෑමක් කෙළ යුතු මට්ටමට වැටී ඇති බවක් ද මේ තරගවල ප්‍රතිපල පෙන්නුම් කරන බව තේරුම් ගත යුතුව ඇත.එසේම මේ ක්‍රීඩකයින්ගේ මානසික අභිප්‍රේරණය කියන කාරණයට ක්ෂණිකව විසඳුම් සැපයීමට අවශ්‍යය පසුබිමක් දකින්නට ඇත.
මේ සියලු කාරණා මේ වචනවලින් ඉවත්ව සිමිබාබ්වේ සහ ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි තරගයේ ලකුණු පූවරුව කල්පනාවෙන් විමසා බලන්නෙකු ඇති විය හැකි හැඟීමක් බව අපි විශ්වාස කරන්නෙමු.ඒ නිසාම පහතින් තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන සබෑඳිය සටහන් කර ඇත.
https://www.espncricinfo.com/series/zimbabwe-in-sri-lanka-2023-24-1412536/sri-lanka-vs-zimbabwe-2nd-odi-1412540/full-scorecard
ජනිත්ගේ තරගයෙන් පසු පැවති අදහස් දැක්වීම ද මේ සටහනට අමුණා ඇත.