හසරංගගේ දඩයමෙන් ශ්‍රී ලංකාවට හසරැල්

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 12 කොළඹ (LNW): ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ හෝ පරාජය කළ නොහැකි වනු ඇතැයි සිතූ පිරිසකි.එම පිරිස ද ඇතුළුව දැන් සිම්බාබ්වේ පරාජය කිරීම ගැන සිම්බාබ්වේ පහසුවෙන්ම පරාජය කළ හැකි යැයි සිතන්නට සහ කියන්නට උත්සාහ කරන පිරිසකි.ඇත්තම තත්ත්ව කුමන කණ්ඩායමක් වුව පරාජය වන්නට ක්‍රීඩා නොකරන බව තේරුම් ගැනීමය.දෙවන එක්දින තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජනිත් ලියනගේ ක්‍රීඩා කළ අති විශිෂ්ඨ ඉණිම නොවන්නට එම තරගය පරාජය වන්නට තිබිණ.එසේම එම උත්සාහය දිය නොවී ජයග්‍රහණයෙන් කෙළවර වන්නට මහේෂ් තීක්ෂණ,දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩර්සේ පිතිකරුවන් වෙතින් ගිලිහි ගිය වගකීම ඉටු නොකරන්නට ද විඳ ගන්නට තිබුණේ පරාජයමය.

එවැනි තත්ත්වයක තෙවන එක්දින තරගයට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහත තරග දෙකේම ක්‍රීඩා නොකළ වනිඳු හසරංග කණ්ඩායමට කැඳවා තිබුණේ ඔහු 14 වන දා සිට පැවත්වෙන විස්සයි විස්ස තරගාවලයේ කණ්ඩායම් නායකයා ලෙස ක්‍රීඩා කරන්නට නියමිත නිසා කලකට පසු තරග අත්දැකීමක් ලබා දෙන්නටය.එසේම ශෙවොන් ඩැනියල් කණ්ඩායමට පැමිණ තිබුණ අතර කලෙක සිටම අසාර්ථක වෙමින් සිටින දසුන් ශානක කණ්ඩායමෙන් පිටමං කර එකළොස් දෙනා අතරට ශෙවොන් ඩැනියල් නම් යෞවනයා කැඳවා තිබිණ.

ඒ අතරින් වනිඳු සිය සම්ප්‍රාප්තිය සැමරුවේ ඉතාම විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින්ය.කිසිඳු කඩුල්ලක් නොබිදී ලකුණු 43 ක් කරා පැමිණ තිබුණ සිම්බාබ්වේ ඉණිම කඩතොළු කරමින් කඩුලු දඩයම ඇරඹූ වනිඳු,සිම්බාබ්වේ ඉණිම සියලු දෙනාම දැවී ලකුණු 96 ටගෙන නිමා කළේ පන්දුවාර 5.5 දී ලකුණු 19 කඩුලු 7 ක් බිඳ දමමින්ය.ශ්‍රී ලංකාවට එරෙහිව පමණක් නොව ලොව බොහෝ කණ්ඩායම්වලට සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරණ හිසරදය බවට පත් වන නායක ක්‍රේග් එවන්ස් ලකුණු නොලබාම ඉවත් කරන්නට වනිදුට හැති වෙද්දී ලෝකයේ සිටින ඉහළම මට්ටමේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන සිකන්දර් රාසා ලකුණු 10 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කරන්නට වනිඳු හසරංග සමත් විය.

සිම්බාබ්වේ ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉණිම අරඹන කඩුලු රකින ක්‍රීඩක රිචඩ් ගුම්බිය.ඔහු ලකුණු 29 ක් එක් කරගෙන තිබිණ.කෙසේ වුව ද,වර්ෂාව විසින් ඇති කරන ලද බාධාවන් මැඩ ගනිමින් තරගය පන්දු ඕවර් 27 න තරගයක් දක්වා පරිවර්ථනය කර දීමට සමත්වීම ගැන ප්‍රේමදාස ක්‍රීඩාංගණ සේවකයන් ද අගය කළ යුතුය.එම හැකියාව වෙනත් න්‍යාය පත්‍ර ඉදිරියේ හකුළුවා තබන්නට වෙර දරණ කුහක අදහස් ඇත්තන්ට නැවත ක්‍රියාවෙන් පිළිතුරු දුන් ක්‍රීඩාංගණ සේවකයන්ගේ කාර්යක්ෂම බව සහ වගකීම් සහගත බව යළිත් ලෝකයේ සිටින හොඳම ක්‍රිකට් ක්‍රීඩාංගණ සේවකයින් ශ්‍රී ලංකාව සතු බව පැහැදිළි කළේය.

පිළිතුරු ඉණිමේ දී යළිත් තමන් සිටින්නේ අසාර්ථක කාලයක බව තහවුරු කළ විස්සයි විස්ස තරගාවලියේ දී ඇති ඉඩ අවදානමට ලක් කර ගත් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු නොලබාම පිටියෙන් ඉවත් විය.ඒ නැවතත් රිචඩ් නගර්වා ඉදිරයේ අසාර්ථක වෙමින් කඩුලු රකින ගුම්බි අතට උඩ පන්දුවක් දෙමින්ය.අලුතෙන් එක්දින වරම් ලද ශෙවෝන් තරගය නිමා කිරිම වෙනුවෙන් කළබල විය යුතු තත්ත්වයක සිටියදි නිරපරාදේ ඔහුගේ කඩුල්ල පූජා නොකරන්නට මේ තරගයේ ජයග්‍රහණය කඩුලු 8 න් නොව 9 ක ජයක් වන්නට හොඳටම ඉඩ තිබිණ.කුසල් මෙණ්ඩිස් පන්දු 51 න් ලකුණු 66 ක් ලැබුවත් නිවැරදිම කුසල් සොයමින් සිටින බව පැහැදිළි විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සිටියේ තරග ජයග්‍රහණ සහ තරගාවලි ජයග්‍රහණ අවශ්‍යය මොහොතක ජයගත හැකිය යන විශ්වාසය නැවත තහවුරු කර ගැනීමට අවශ්‍යය වන තරමේ පීඩනයකින් නැඟිටින්නට උත්සාහ කරමින්ය.එය බැහැර කළ නොහැකි ඇත්තක්ය.එහිදී එම ජයග්‍රහණයේ හසරුල් අපේක්ෂා කළ අයට ලබා දෙන්නට මූලිකවම දායක වූයේ වනිඳු හසරංගය.තරගාවලිය සඳහා කරන ලද කැඳවීමට සාධාරණය ඉටු කළ ජනිත් ලියනගේ තරගාවලියේ වීරයා විය.එසේම මේ තරගාවලියේදි සිය වගකීම ඉහළින්ම ඉටු කිරීම සිඳු කරන මහේෂ් තීක්ෂණ සහ ඩිල්ෂාන් මධුශංක ද අමතක කළ නොහැකිය.

විශේෂයෙන් නම් සඳහන් නොකළ ද,කණ්ඩායමක් වශයෙන් ගොනු වෙන්නට ශ්‍රී ලංකාව මේ තරගාවලිය තුළ උත්සාහ දරමින් සිටින බව පැහැදිළි විය.ඒ තත්ත්වය තව දුරටත් නිරවුල්ව සහතික කර ගැනීම මේ මොහොතේ අවශ්‍යයතාවය වන්නේය.ශ්‍රී ලංකා ක්‍රිකට්වලට පමණක් නොව රටට ද බලවත් හානියක් කළ ක්‍රිකට් තහනම පෙබරවාරි මස ඉවත් කර ගැනීමට අවශ්‍යය පසුබිම සැකසෙමින් සිටින මොහොතක ක්‍රිකට් රටේ ආදායමට දායක කර ගැනීමේදී පිළිපැදිය යුතු සීමා අයිසීසී ය විසින්ම ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරියට හඳුන්වා දී ඇත.එසේම අයිසීසී ය සිය අරමුදල් සම්බන්ධයෙන් සැළකිය යුතු ආකාරය කවරේද යන්නත් ලංකාවේ දේශපාලන අධිකාරියට පවසමින් ඉල්ලා ඇත්තේ ජාත්‍යන්තරව දේශිය ක්‍රිකට් පරිපාලන ව්‍යහුයක හැසිරීම සම්බන්ධයෙන් දේශපාලන තීරණ ගැනීමේදී සැළකිය යුතු සීමාවන්ය.

දේශපාලනිකව එම පිඩාවටම ක්‍රිකට් මුහුණ දුන් රටක් වන සිම්බාබ්වේ හී ක්‍රිකට් පිරිහීමට සමස්ත රට දේශපාලනිකව කඩා වැටීම හේතු වූ බවත්,එයට මුගාබේගේ පාලනය හේතු වූ බවත් පිළිගන්නා ලාකේය ප්‍රේක්ෂකයින්,නීති පද්ධතිය හරහා ද ආර්ථිකය විනාශ කළ බව පිළිගෙන ඇති තත්ත්වයක,ආර්ථික සහ සමාජීය වශයෙන් පිරිහීමට ලක් වූ දේශපාලනික පාලනයන්ගෙන් වූ පොදු විනාශයෙන් ක්‍රිකට් රැකී සිටීම ගැන මවන හීන ක්‍රිකට්මය ආදරයේ අපේක්ෂාවන්ය.නමුත් පොදු බලපෑමේ විනාශය ක්‍රිකට්වලට බල නොපෑ යුතු බව සිතන්නට නොහැකිය.

හාල් කිලෝව සහ එළවළු සමඟ බතක් කන්නට නොහැකි ජනතාවක් සිටින බව කියන රටක ක්‍රිකට් තරග නරඹන්නට දහස් ගණන් වැය කර ක්‍රීඩාංගණයට යා හැකි ජනතාවක් නොසිටීම ගැන පුදුම වන්න දෙයක් නැත.එම තර්ක දෙක එකිනෙකට නොගැලපෙන්නේය.ක්‍රිකට් යනු සමාජ,ආර්ථික සහ දේශාපාලන ධාරාව නියෝජනය වන සර්වඥ කුලකයේම එක් කොටසක් යන්න තීරණය කර ගැනීමට අපහසුනම් අපට ක්‍රිකට් නොව රටම අහිමිවන තෙක් දැනෙන්නේ නැත.ආර්ථික වශයෙන් හුස්ම ගන්නට ඉතිරිව ඇති එක බලාපොරොත්තුවක් වන ක්‍රිකට් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සියල්ල සිතිය යුත්තේ ප්‍රවේශමෙන් පරිහරණය කිරීම ගැනය.ඒ තුළ ගොඩ නැඟෙන ඩොලර්මලුවලට ප්‍රේම කරන්නන්ගේ කෝලාහලය කියවිය යුත්තේ ජනප්‍රිය අපවාද ඔස්සේ නොවන බව අපේ විශ්වාසය වන අතර ඒ නිසා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලද ජය ඔස්සේ සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩාවට වුණ දේ දේශාපාලනිකව කියවා ගනිමින් මේ ජයග්‍රහණය ගැන අලුත් පිබිදීමක බලාපොරොත්තුවක් ලෙස ගැනීමට අපි උත්සාහ ගන්නෙමු.

ලකුණු විස්තරයට පිවිසෙන්න →
https://www.espncricinfo.com/series/zimbabwe-in-sri-lanka-2023-24-1412536/sri-lanka-vs-zimbabwe-3rd-odi-1412541/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...

තවත් ඉන්දීය ආයෝජනයක්!

කොළඹ LNW:දකුණු ඉන්දීයාවේ ප්‍රමුඛතම ශක්තිජනක සහ සිසිල් බීම නිෂ්පාදන...