1150 x 80 px
නොහඳුනන කිවිඳෙකුට.. - සුමිත් චාමින්ද

නුඹේ කවි කියවනා විට මිතුර
නිදි නොමැති රැයක නිදි යහන මත
දැවී යන දුම් වැටියක් දුටිමි
විවර වූ ජනෙල් කව්ළුවක් මත
දැවටෙනා දුහුල් තිරයක් දුටිමි

 

සඳ ගලන මිටියාවතක දුරින්
ඇවිද යන ජායාවක් දුටිමි
අඳුරු කඳු වැටියක සෙවණ යට
දැල්වෙනා ගිනි මැලයක් දුටිමි

ගලා බසිනා නදී තෙරක් මත
නිරුවතින් හඬන දරුවෙකු දුටිමි
නීල පැහැයෙන් දැවෙන ආකහේ
සැරිසරණ ගිජුලිහිණියන් දුටිමි

වෙළඳ මැදුරක උඩු මහලකින්
ලේ සිඳුනු කයක් ගිලිහෙනු දුටිමි
වායු සමනය කෙරුණු අහස මැද
තනිව ගිලිහෙන සුසුමක් දුටිමි

දිරූ පොල් අතු වහලයක් තුළින්
සීතලේ ගලන දිය බිඳු දුටිමි
නිවී යන පහනක එළිය යට
කොපි පොතක අකුරු නලියනු දුටිමි

දුවන දුම්රිය කව්ළුවක් තුළින්
සැලෙන සියුමැලි සුරතක් දුටිමි
උද්‍යානයක තනිව හිඳ සිටින
මහළු දෙනෙතක රිදුමක් දුටිමි

අබලන්ව ගිය පැරණි වීදියක
පන්දු කෙළිනා දරුවන් දුටිමි
වෙරළ තීරයක අඩ අඳුර යට
වෙව්ලනා යොවුන් සිරුරක් දුටිමි

යුදබිමක ගැඹුරු අගලක සැඟව
ලියැවෙනා පෙම් හසුනක් දුටිමි
අනාගතයේ ඉඳන් මග බලන
පැතුම් ඇවිලෙනා දෑසක් දුටිමි

නුඹේ කවි කියවනා විට මිතුර
වචන අතරේ කඳුලක් දුටිමි

 

Top