1150 x 80 px
මේ නිහඬ මොහොතෙහි - වර්ණ රසිකා ගුණවර්ධන

බොහෝ අය බොහෝ දේවල් කරන
මේ නිහඬ මොහොතෙහි
ඔබ සිටියානම් තවමත්
කාලය කෙලෙස ගෙවෙනු ඇතිද ?

 

''පුතා කතා කලාද?
එයාල සතුටින්ද?
ඔයා දැන් ලියන්නෙ නැද්ද?
ඉඳහිටවත් ලියන්න මට කියවන්න.''

'දුව එනවලුද ?
වයිෆ් තවම තරහද?
ඔන්නොහෙ යාලුවෙන්න.
කී කාලයක් ඉඳීද දන්නවද?'

''මට ඕනිවෙලා තිබුණා දෙන්න එක්කම
සමනළ සංධ්වනිය බලන්න
එයාට පංසලේ වැඩක්ලු .
මං ඉතින් තනියම ගියා.
ජෝඩු ජෝඩු ඇවිත් හිටියේ
මට මහ මොකද්ද වගේ.''

'ඔයාට තිබුනේ අද පංසල් යන්න
හෙට ෆිල්ම් එකට යන්න
වැඩ දෙකම කෙරෙනවා
දෙන්නම සතුටිනුත් ඉන්නවා'

''අලවන්න බැරි විදියට
ඉරිලා ගිහින් ජීවිතය
දන්නවද මං ඊයේ හවස
කවිපොත් සේරම ගිණි තිබ්බා
කටු අකුරු කොලත් එක්කම
එයා දැකලත් නොදැක්ක වගේ හිටියා.''

'ඔයාගේ අසනීප කොහොමද?
ඔහොම බීමනම් හොඳ නෑ
සිරෝසිස් කියන්නේ නරක ලෙඩක්
සනීප කරන්න ලේසි නෑ .'

''දන්නවද කුරුල්ලෝ දෙන්නෙක්
අඹ ගහේ කූඩු හදනවා
නිතරම කිචි බිචිය කච බචය .
අසනීප ගැන කතා නොකර ඉමු
ඔන්න මම කතා නොකර හිටියොත්
සතියක් දෙකක් ,මාසයක් හමාරක්
මම ගියා කියල හිතාගන්න.
මං ගැන කවියක් ලියන්න.''

බොහෝ අය බොහෝ දේවල් කරන
මේ නිහඬ මොහොතෙහි
ඔබ සිටියානම් තවමත්
කොතරම් දේවල් කියනු ඇතිද ?

Top