1150 x 80 px
කොවුලෙකුගෙ ජීවිතය - හෂාන් රන්දික ඩයස්

ඔබ දකින තරමට
ලේසි නැහැ මිතුර
කොවුලෙකුගෙ ජීවිතය ....

 

වසන්තය එන දවස්
මෙන්න මේ යැයි කියා
කල් තියා දැන ගත යුතු...

ශ්‍රැති තාල පිහිටුවා
නිවැරදි ස්වර ගයන්නට
දිවා රෑ හඬ පුහුණු කල යුතු...

එකම ගීතය වුවද
මුලු දවස
උගුර ලේ රහ වන තෙක්ම ගැයිය යුතු....

කැදැල්ලක් තනන්නට
කෙවිලිය රකින්නට
පැටවුන් උස් මහත් කරන්නට
ඉස්පාසුවක් නැති බැවින්
අනුන් ලඟ බිජුවට තැන්පත් කල යුතු...

වැඩුණු කල පැටවුන්
උන්ට එලව එලවා පහර දෙද්දි කපුටන්
ඇස කඳුලු පියාපතකින් පිසදාගත යුතු ...

එබැවින් මිතුර
ඔබ දකින තරමටම
ලේසි නෑ
කොවුලෙකුගෙ ජීවිතය ...

Top