1150 x 80 px
ගර්ඩාය; රෝස මල් කොහිදැයි නොසොයන

රෝස පෙති, පෙතිම මිස
යළි කිසි දිනෙක මල් නොවෙන
මඟහැරුණු උයන්දොර
ගර්ඩාය
තවමත් රෝස මල් සුවඳ
එදා මෙන් හඳුනන

 

.හිම කුණාටුවක් දැක කැමැත්තෙන් අතරමං වන
සීතලෙන් සීත වෙන - ඉදින් කම් නෑ සිතන
කායි ය
අඳුරු විශ්වය ඈත
පිසාචයෙකියි දැන සිටින
ඇස'ග රැඳි වීදුරු කැබලි දකින
දැක දැකම - එ' නොදන්නා සේ හිඳින

.
අතුරුදන් රෝස මල් යායෙකි
මග දෙපස වෘක වළසුන් රෑනකි
ඈත හිමගිර මාළිගාවකි
එක්ව විසඳිය යුතුයි පැවසෙන
නොවිසඳුණු හරස්පද ප්‍රෙහේලිකාවකි

.
කායි ය
මිදී යන සීතලම පරම සුවයකි සිතන
අතීතය අමතකව යන
රෝස මල් නාඳුනන බව පවසන
විශ්වයේ ඈත කොණ උණුසුමට ලොබ බඳින
ඉදින් - ඇස'ග වීදුරු කැබලි
රැඳෙන්නට ඉඩ හරින

.
ගර්ඩාය
රෝස මල් මතකයක
සුවඳ පමණක් දැනෙන
නිදහසේ දිවි ගෙවන
ඉඳහිට උයන්දොර දකින
සාංකාව එහිම රඳවන
රෝස මල් කොහිදැයි නොසොයන

* කායි සහ ගර්ඩා යනු හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ ලෝ ප්‍රකට 'The Snow Queen' සුරංගනා කතාවේ එන ප්‍රධාන චරිත දෙක යි.

- සහන් කසීර වික්‍රමසිංහ

Top