1150 x 80 px
රොමාලි කෝ...?- පළමු කොටස

දින 7 ක් මුළුල්ලේ රටේ නමගිය පුද්ගලික රෝහලකින් ලද නේවාසික ප්‍රතිකාරවලින් පසු, රුපියල් හත්ලක්ෂයක (රු. 700,000) රෝහල් බිලකින් ද පසු, 2017 අප්‍රේල් 7 වැනිදා 26 හැවිරිදි රොමාලි ද සිල්වා යුවතියගේ දිවි සොරා ගැනුණේ ඩෙංගු මාරයා විසින් ය යන්න හුදෙක් ඉතිහාසයට එක් වූ කාරණයක් පමණක් නොවේ. එය නැවත නැවතත් විමසා බලා තහවුරු කර ගත යුතු ඛේදවාචකයකි. ලංකා නිව්ස් වෙබ්, ඇගේ කතාවේ සවිස්තරය ඔබ හමුවට ගෙන ඒම මෙසේ ආරම්භ කරන්නේ ලංකාවේ පුද්ගලික රෝහල් කර්මාන්තය හෝ ඇගේ මරණයේ වගඋත්තරකාර වෛද්‍යවරුන් ජනතා අධිකරණයට පැමිණවීමට පමණක්ම නොවේ.

“මම ඩොක්ටර්ස්ලගෙන් ඉල්ලන්නෙ "Don’t judge a patient according to the report. Just come and see the condition of the patient. I think in that way you can save a lot of lives" (“වෛද්‍ය වාර්තා විතරක් බලල රෝගියෙකුගෙ තත්වය විනිශ්චය කරන්න එපා. ඇවිත් බලන්න රෝගියාගෙ ඇත්ත තත්වය මොකක්ද කියලා. ඒ විදිහට කළොත් ගොඩක් ජීවිත බේරගන්න පුළුවන්”) කියලයි.” ඒ කිසිදා නොසිඳෙන කඳුළු ගඟක් අතරින් අප සමග දොඩමළු වූ රොමාලිගේ ආදරණීය මවගේ වදන් ය.

“මම ඩොක්ටර්ස්ලගෙන් ඉල්ලන්නෙ මෙච්චරයි.. "Just feel for everyone!" “සල්ලි තියෙනව, සල්ලි නෑ කියල නෙවෙයි, හැම කෙනෙකුටම එක වගේ සලකන්න. මම ඉල්ලන්නෙ එච්චරයි..’‘

“ඩොක්ටර්ස්ලා රෝගීන්ගේ ජීවිත මේ තරම් සැහැල්ලුවට ගන්න හොඳ නෑ.. මේ වෙච්ච දෙයින් අපිට අපේ දුවව මුළු ජීවිතේට ම නැතිව ගියා..” ඇගේ පියා රොහින්ද්‍ර වරින් වර කතාවට මැදිහත් වෙයි.

“මගෙ මේ දුව ව ලස්සනට බන්දන්න කවදහරි දවසක මට ලොකු හීනයක් තිබුණා..” ඒ තාත්තාට තවත් දරාගත නොහී කටහඬ බිඳී යයි. ඊළඟ නිමේෂයේ ඔහු හඬන්නට පටන් ගනියි. ඔහු මහ හඬින් වැළපෙයි. මේ දුක උහුළන්නෝ ඔවුහු ය. මේ දුක දන්නෝ ඔවුහු ය....

“මං දන්නව රොමාලි ආයෙත් එන්නෙ නෑ. ඒත් මේ වගේ දෙයක් තවත් අම්ම කෙනෙකුට, තාත්ත කෙනෙකුට, පවුලකට වෙන්න දෙන්න නරකයි.”! ඒ ඔවුන්ගේ හඬ ය.

බ්‍රැන්ඩික්ස් i 3 සමාගමේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියක වූ ඈ, අවාසනාවන්ත අයුරින් මෙලොව හැර යන විට යන්තම් 26 හැවිරිදි වූවාය. ජීවිතයේ සුන්දරම වයසේ පසුවූවාය. දහසක් බලාපොරොත්තු පොදි බැඳ සිටි පවුලක එකම දියණිය වූවාය. එංගලන්තයේ නොටිංහැම් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව සහ කළමනාකරණ උපාධි ධාරිනියක වූ ඈ ව්‍යාපාර ප්‍රවර්ධනය පිළිබඳ සිය උපාධියේ අවසන් වසරේ පසුවූවාය.

රොමාලි මේ පුංචි වයසට SOS ළමා ගම්මානයේ දරුවෙකුට මාස්පතා ඉගෙනීමට උදව් කරමින් සිටියාය. සිය රැකියාවේ මුල් අවධියේ පසු වූ බැවින් ඇය විශාල වැටුපක් ලැබුවේ නැත. නමුත් වැටුප් දිනයේ සවස නොවැරදීම ඇය අනාථ නිවාස හෝ මහලු නිවාස වෙත ගියාය. ඒවායේ ජීවත් වන අසරණයන්ට බේත් හේත් ගැනීමට, වෙනත් අත්‍යාවශ්‍ය දේ ගැනීමට සිය අතේ ඇති මුදල ඔවුන් වෙත පරිත්‍යාග කළාය. රොමාලි මිය යන තෙක්ම මේ දෙමාපියන් පවා දියණියගේ හදවත මෙතරම් විසල් බව දැන නොසිටින්නට ඇත.

ඉඳින් ‘දෛවය විසින් ඇගේ දිවිය අකාලයේ සොරාගත්තා’ යැයි කියන්නට අපි නොකැමැත්තෙමු. දැන් මේ අම්මාට, තාත්තාට, මල්ලීට මතු නොව මුළු රටටම අහිමි වී තිබෙන්නේ ලෝකයක් වටිනා එවන් දරුවෙකි. අපේ රටේ රොමාලිලා මෙසේ අකාලයේ ජීවිතයෙන් සමුගෙන යන්නේ මේ රටේ මුල් බැසගත් කාලකණ්නි කම නිසා මිස එයට වඩා අඩු යමක් නිසා නොවේ. එයට වගඋත්තරකාර පාර්ශවයන් නීතිය හමුවට ගෙන එන්නට මේ රටේ නොසැලකිලිමත් නිලධාරිවාදය සහ පුද්ගලික රෝහල් පාලනාධිකාරින් අසමත් නම්, එම වගඋත්තරකරුවන් ජනතාව හමුවේ හෙළිදරව් කරන්නට වගකිව යුතු මාධ්‍යයක් වශයෙන් අපි කටයුතු කරන්නෙමු. අප තරයේ විශ්වාස කරන්නේ මෙය හුදු සිද්ධියක් පමණක් නොවන බවයි. මේ ලිපි මාලාව තුළ අප ප්‍රශ්න කර සිටින්නේ සමස්ත ක්‍රමයේ ඛේදවාචකයයි. රොමාලිගේ මව්පියන්ට ඇතිවූ මේ වේදනාව අන් කිසිවෙකුට අත් නොවනු පිණිස සැබවින්ම සිදුවූයේ කුමක්දැයි අපි මෙහි ලියා තබමු. අප තරයේ විශ්වාස කරන්නේ මෙය දෛවයට, ඉරණමට හෝ කරුමයට භාර කර නිහඬ විය යුතු තවත් එක් කඳුළු කතාවක් නොවන බවයි.

               ****************************

ඇගේ කෙටි දිවිය හයිකු කවියක්

ඇගේ දෙමාපියන් හා සොයුරා සමග අප කතාබස් කළ මේසයට පිටුපස ඈ වෙනුවෙන් ඉදි කළ අල්තාරයකි. ඒ මත නොනිදන පහන් කිහිපයකි. ඒ පහන් වටා සුවඳ මල් කළඹ තබා තිබේ. අල්තාරයට පිටුපස බිත්තිය පුරා ඇගේ කෙටි ජීවන කවිය විදහා දැක්වෙන සමරු සටහන් ය.

ඔව්. ඇගේ ජීවිතය හයිකු කවියකි. එය ඉතා කෙටිය. සුන්දර ය. එතරමටම අරුත් බර ය.....

මේ අහිංසකාවියගේ ජීවන ආදර්ශ පාඨය වූයේ "Live, laugh and love" “ජීවත් වෙන්න, සිනාසෙන්න, ආදරය කරන්න” යන්නයි. ඒ බව සනාථ කරමින්, මේ වියෝ වූ ලස්සන ආත්මය වෙනුවෙන්, ඒ සුන්දර සිනහව වෙනුවෙන් ඇගේ නිවසේ තවත් ස්ථාන කිහිපයක්ම වෙන් කර තිබේ. වෙන කරන්නට දෙයක් ශේෂ වී නැති නිසාවෙන්ම, ඇගේ දෙමාපියන් ඒ ජීවන පාඨය සමගින් සිය ජීවිත ඉදිරියට ගෙන යන්නට සූදානම් ය. පියාගේ හදේ දියණිගේ මතකය කා වැදී ඇති තරම ගැන මේ ලෝකයේ තිබෙන දෘෂ්‍යමාන ක්ෂුද්‍රතම ඉඟිය, රොහින්ද්‍ර ගේ දකුණු බාහුවේ ලැගුම් ගෙන තිබෙන ඒ පාඨය සඳහන් ටැටූ එකකි. එය සැබවින්ම ‘හදේ කෙටූ ටැටූ’ එකකි.

 

               ****************************

‘‘ගෙදර එක්කරගෙන ගිහින් බ්ලඩ් කවුන්ට් එක අඩු වුණාම එන්න!“

2017 මාර්තු 30 වැනිදා වන විට ද රොමාලි යනු ඇගේ වයසේ ඕනෑම යුවතියක් තරමට කෙළිලොල් සහ නිරෝගී යුවතියක් වූවාය. නමුත් එදා සවස ඇය පැවසුවේ සිරුර රිදුම් දෙන බවකි. එනිසා ඇයව ඇගේ ආදරණීය දෙමාපියන් විසින් පුද්ගලික රෝහලක් වෙත රාත්‍රියේ කැඳවාගෙන යනු ලැබිණි. මේ කාලය ලංකාව, ඉතිහාසයේ දරුණුතම ඩෙංගු උවදුරෙන් බැටකන්නට පටන් ගෙන තිබූ අවධියයි. දෛවයේ සරදමකට මෙන්, ඇය මීට පෙර රැකියාව කළ සමාගම විසින් පවත්වාගෙන ගිය dengue.lk වෙබ් අවඩිය භාර දී තිබුණේ ද මේ පුංචි සාවිය හට ය. එනිසාම මේ වසංගතය ගැන ඇයට මනා අවබෝධයක් ද විය. එනිසා ඇය සිය මවට මෙසේ කීවාය. “අම්මි.. මගෙ ඇඟට හරි නෑ. මගෙ ඇඟ ඔක්කොම රිදෙනවා.. අපි කෝකටත් ඩෙංගි ඇන්ටිජන් ටෙස්ට් එකක් කරගත්තොත් හොඳයි නේද...?”!

ඒ වන විට පුංචි සාවිය උදරයේ වේදනාවකින්, හිසේ වේදනාවකින් සහ මස් පිඬු වේදනාවකින් පෙළෙමින් සිටියාය.

එම ඩර්ඩන්ස් රෝහලේ ඇයව පරීක්ෂා කළ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයාගේ මතය වූයේ ද ඩෙංගු රෝගය හැම තැනම පවතින නිසා ඇන්ටිජන් පරීක්ෂාව කරගැනීම හොඳ දෙයක් බවයි. ඔවුහු එදා රාත්‍රියේ නැවත නිවසට ආහ. රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල නිකුත් වන තෙක් ඇයට නොකඩවා පැනඩෝල් දෙන්නට නියම කර තිබිණි. රෑ මැදියමේ, එනම් මාර්තු 31 වැනිදා අළුයම 1.30 ට පමණ රෝහලෙන් නිවසට හදිසි ඇමතුමක් ලැබිණි. එයින් කියැවුණේ ඇන්ටිජන් පරීක්ෂාවේ ප්‍රතිඵල ‘පොසිටිව්’ බවයි. එනම් ඩෙංගු වෛරසයට එරෙහි ප්‍රතිදේහ ඇගේ රුධිර සාම්පලයේ තිබූ බවයි. ඉතා සරල ලෙස පවසන්නේ නම් ඇය ඩෙංගු රෝගයට ගොදුරු වී ඇති බවයි.

දුරකථන ඇමතුම ගත්තේ රොමාලිගේ මව විසිනි. ඇය පුවත අසා බියපත් ව කලබල වූවාය. “බ්ලඩ් කවුන්ට් එක කීයද..? මම දැන්මම දුවවත් එක්කරගෙන එන්නම්..” යැයි ඇය කීවාය. නමුත් රෝහලෙන් පැවසුවේ රුධිර පට්ටිකා ප්‍රමාණය 225,000 ක් වන නිසා කලබල නොවී, දියණිය ඇඳ විවේකයෙන් තබා, පසුදින රෝහලට පැමිණෙන ලෙස ය.

රුධිර පට්ටිකා ප්‍රමාණය අනතුරුදායක මට්ටමට පහළ ගොස් නැතිනම් රෝගියාව නිවසට ගෙන ගොස් ඇඳ විවේකයෙන් තබා, දිගටම රුධිර පරීක්ෂාවට ලක් කර පට්ටිකා ප්‍රමාණය දිගින් දිගටම පහළ බසින්නේ නම් හෝ අනතුරුදායක මට්ටමට ළඟා වන්නේ නම් රෝගියාව රෝහලට ඇතුළත් කරන ලෙස පැවසීම සාමාන්‍ය දෙයකි.

31 වැනිදාට රැය පහන් විය. ඒ වන විට රොමාලි දැඩි උණ ගතියක් ප්‍රකට කරන්නට වූවාය. එය ෆැරන්හයිට් අංශක 104, 105 වැනි පාඨාංකයක් දක්වන්නට විය. ආහාර අරුචිය ද ඇති විය. රොමාලිගේ මව, ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරයා ඇමතුවාය. “කලබල වෙන්න එපා. හවස 2.30 ට වගේ දුවව එක්කරගෙන එන්න..” ඒ අනුව එදින සවස 2.30 ට පමණ රොමාලි ව පවුලේ වෛද්‍යවරිය වෙත කැඳවාගෙන යනු ලැබිණි. නැවත පට්ටිකා පරීක්ෂාවක් සිදුකරනු ලැබීය. පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල ලැබුණු විගස ඔවුන්ව අමතන බව කී පවුලේ වෛද්‍යවරයාගේ ද උපදෙස වූයේ රොමාලිව වෙහෙසට පත් නොකර ඇයව විවේකයෙන් තැබිය යුතු බවයි. රොමාලිට සිදුකළ මේ දෙවන පට්ටිකා පරීක්ෂාවේ දත්ත අනුව දැන් එය 175,000 දක්වා පහත බැස තිබිණි. “කලබල වෙන්න එපා.. රෝහලට ඇතුළත් කරන්න අවශ්‍ය වුණොත් කරමු..” යැයි පවුලේ වෛද්‍යවරිය පැවසීය. ඒ 31 වැනිදා සිකුරාදා දිනය පුරාම ඇගේ උණ අඩු වැඩි වෙමින් තිබිණි. උපදෙස් දී තිබුණේ පැය 8 න් 8 ට පැනඩෝල් ලබාදෙන ලෙස ය. නමුත් පැනඩෝල් බී පැය 4 ක්වත් ගතවන්නට පෙරම නැවත උණ ගතිය උත්සන්න වෙයි. එක් අවස්ථාවක ඇයගේ සිරුර නොකඩවා වෙව්ළන්නට ද පටන් ගත්තේය. ඇගේ මව ඇගේ සයනය අසලින් නොසෙල්වී දියණියගේ සිරුර තෙත මාත්තු කරමින් උණ රකුසා පළවා හරින්නට වෙහෙස වූවාය. පසුදින, එනම් අප්‍රේල් 1 වැනිදාට පහන් විය. පුංචි සාවිය සිටියේ තනිවම හිස ඔසවා ගන්නට පවා නොහැකි තරම් විඩාපත්ව ය. දුබලව ය. ඇයව තවදුරටත් නිවසේ තබාගෙන සිටීම අවදානම් බව ඇගේ මවට දැනුණේය. උදේ 7 වන විට ඇය නැවත පවුලේ වෛද්‍යවරියව දුරකථනයෙන් ඇමතුවාය. “මට මෙයාව ගෙදර තියාගන්න බයයි..” ඇය වෛද්‍යවරිය අමතා කීවාය. පවුලේ වෛද්‍යවරියගේ අදහස වූයේ ද රොමාලිගේ තත්වය තවදුරටත් නරක අතට හැරෙන්නේ පට්ටිකා ප්‍රමාණය තවදුරටත් පහත වැටෙමින් තිබුණු නිසා විය යුතු බව ය. “මේක තමයි වෙලාව දුව ව ගිහින් රෝහලකට ඇතුළත් කරන්න..” යැයි ඇය උපදෙස් දුන්නාය. ඇය තවත් කරුණක් සඳහන් කළාය. “දුවට ප්‍රතිකාර කරන්න හොඳම කෙනා තමයි, ඩොක්ට ආනන්ද විජේවික්‍රම..”

විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අයිඩීඑච් උණ රෝහලේ ප්‍රධානියා ය. අයිඩීඑච් රෝහල ලංකාවේ ඩෙංගු වසංගතය මැඬලීම සඳහා මහත් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටින රෝහලකි. ඒ අනුව වේලාවේ හැටියට කළ හැකි හොඳම දෙය වූයේ එම වෛද්‍යවරයා පුද්ගලික චැනල් සේවයේ යෙදෙන රෝහලකට රොමාලිව ඇතුළත් කිරීමයි. සොයාබැලීමේදී දැනගත හැකි වූයේ කිරුළ පාරේ පිහිටා තිබෙන ආසිරි මෙඩිකල් හොස්පිට්ල් සහ ලංකා හොස්පිට්ල් හිදී පමණක් එම වෛද්‍යවරයා හමුවිය හැකි බව ය. ඒ අනුව ඔවුහු ආසිරි මෙඩිකල් හොස්පිට්ල් වෙත ගියහ.

රෝහල් පර්යන්තයේ මෝටර් රිය නතර කරන්නට ඉඩක් පවා නොතබා ඇය දෙවරක් වමනය කළාය. මෝටර් රියෙන් ඇයව පිටතට කැඳවා ගැනීම පවා අසීරු විය. රෝද පුටුවක් වහා කැඳවිණි. කාමර සියල්ලම පාහේ පිරී තිබූ නිසා ඇයව කැඳවාගෙන ගියේ හදිසි ප්‍රතිකාර ඒකකය වෙත ය. ඇයට වහාම ඩ්‍රිප් එකක් සම්බන්ධ කෙරිණි. ඒ වේලාවේ ද ඇගේ සිරුරේ උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 104 ක් වූ බව ඇගේ මව පවසන්නීය. වහාම කළ යුතු බව පැවසූ තවත් පරීක්ෂණ ගණනාවකට ද රොමාලි ලක්කෙරිණි. ඉන්පසු රොමාලිව නේවාසික රෝගියෙකු වශයෙන් රෝහලට ඇතුළත් කර ගැනිණි. ඒ වන විට දහවල උදා වී තිබිණි.

ආසිරි මෙඩිකල් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාව දුරකථනයෙන් ඇමතීය. ඔහුට ලැබී තිබුණු පිළිතුර වූයේ රුධිර පරීක්ෂාවක් කර ඔහුට ප්‍රතිඵල වාර්තා කරන ලෙසය. දියණියගේ රුධිර සාම්පලය ඉහළ මාලයේ තිබූ රසායනාගාරය වෙත පියා, රොහින්ද්‍ර මහතා භාරදුන්නේය. මෙය ‘හදිසි’ බව කියන්නට යැයි ද වෛද්‍යවරයා ඔහුට උපදෙස් ලබා දී තිබිණි. තමන් පැමිණියේ නිවැරදි තැනට ය යන විශ්වාසය ඔහු තුළ විය. ඔහු දෙවරක්ම රසායනාගාරය තුළට ගොස් සිය දිවි සරි දියණියගේ රසායනාගාර වාර්තාව ඉක්මනින් ගත හැකිදැයි විමසා බැලුවේය. අවසානයේ ඊ මේල් මාර්ගයෙන් එය අදාළ අංශය වෙත යොමු කෙරුණේය. ප්‍රතිඵලය අනුව මේ වන විට රුධිර පට්ටිකා ප්‍රමාණය 144,000 දක්වා පහත බැස තිබිණි. හදිසි රෝග අංශයේ වෛද්‍යවරයා, නැවතත් ඩෙංගු විශේෂඥයා, වෛද්‍ය ආනන්ද විජේවික්‍රම වෙත දුරකථන ඇමතුමක් ගත්තේය. එවිට ඔහු කියා තිබුණේ එම වාර්තාව අනුව රොමාලි ව රෝහලට ඇතුළත් කර ගැනීමට තවම වේලාසන වැඩි බවයි.! එනිසා රෝගියාව ගෙදර ගෙන ගොස්, පට්ටිකා ප්‍රමාණය 100,000 දක්වා පහළ බැසි විට රෝගියාව රෝහලට ඇතුළත් කරන්නැයි ඇගේ දෙමාපියන්ට පවසන ලෙසට ඔහු කියා තිබිණි.

වෛද්‍යවරයා, ඩෙංගු විශේෂඥයාගේ උපදෙස දෙමාපියන්ට දැනුම් දුන් විට ඔවුහු කලබලයට පත්වූහ. සාවියගේ මව එතැන සිටි වෛද්‍යවරයා සමග වාද කළාය. “ඇයි මෙහෙම කරන්නෙ...? මගෙ දුවට ඩෙංගු පොසිටිව්.. වමනෙ දානවා... මම කොහොමද අම්ම කෙනෙක් විදිහට මගෙ දුවව ගෙදර ගෙනිහින් බලාගන්නෙ..?” යැයි ඇය හැඬු කඳුලින් විමසා සිටියාය. “...මම දුවව හොස්පිට්ල් එකට ගෙනාවෙ එයාව ඇතුළත් කරන්න. එහෙම කරන්න කියල මගෙ ෆැමිලි ඩොක්ට කිව්ව නිසා...”

හදිසි ඒකකයේ සිටි තරුණ වෛද්‍යවරයා එවිට මෙසේ කීවේය. ''If you are so concerned, we will give a suppostry to get down the fever.." “එහෙම නම් අපි උණ අඩුවෙන්න සපෝස්ට්‍රි එකක් (ගුද මාර්ගයෙන් ඇතුල් කරන කරලක්) දෙමු..”

“ඔයගොල්ලො දන්නවද ඩෙංගුවලට සපෝස්ට්‍රි එක තමයි නරකම..?” රොමාලිගේ මව ඇසුවාය.

ඔහු එයට කිසිවක් කීවේ නැත. අනතුරුව මෙසේ කීය. “ඔයාලගෙ කැමැත්ත අනුව අපි ඕනෙම නම් වෙන ඩොක්ට කෙනෙක් යටතේ මෙයාව ඇතුළත් කරගන්නම්...”

සිය දියණිය පසු වූ තත්වය අනුව ඇයව ඇතුළත් කර ගන්නා වෛද්‍යවරයා පිළිබඳ විශ්වාසයකින් පසුවීම ඔවුන්ට අත්‍යාවශ්‍ය විය. ඒ අනුව ඔවුන් තීරණය කළේ ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල් වෙත සිය දියණියගේ ජීවිතය භාරකරන්නට ය.

“ඇයි ආසිරි සෙන්ට්‍රල් එක තෝරාගත්තෙ?” අපි ඇසුවෙමු.

එවිට රොමාලිගේ මව මෙසේ කීවාය. “අපිට මේ හොස්පිට්ල් එක ගැන ලොකු විශ්වාසයක් තිබුණා. මීට අවුරුදු හතරකට කලින් මම මොළයේ සැත්කමකට මුහුණ දුන්නා. ඒක කළේ ආසිරි සෙන්ට්‍රල් රෝහලේදි. මට හොඳම ප්‍රතිකාර ලැබුණා. උපරිම අවධානයක් මට ලබාදුන්නා. අපිට උවමනා වුණේ මගෙ දුවට ලංකාවෙ දෙන්න පුළුවන් හොඳම ප්‍රතිකාරය දීල දුවගෙ ජිවිතේ බේරගන්න.. ඒ අනුව අපි ඒ තීරණය ගත්තා..”

එය සැබවින්ම දෛවෝපගත තීරණයක් විය. මේ සිද්ධියේ වගඋත්තරකාර පාර්ශවය බවට පත්වන්නේ මෙම රෝහලයි. අවසානයේ රොමාලිගේ දිවි සොරාගැනුණේ 2011 වසරේ රොහින්ද්‍ර මහතා විසින් සොෆ්ට්ලොජික් ගෲප් හි හත්වැනි කොටස් හිමිකරු වශයෙන් ආයෝජනය කළ මුදලේ ද දායකත්වයෙන් ඉදි කෙරුණු, ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල් හිදීම ය. කෙසේ වෙතත් රොමාලි ව රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විට ඔහු එහි කොටස්හිමියෙක් නොවේ.

මරණයේ සෙවණැල්ල යට...

ඔවුන් රොමාලි ව ආසිරි සෙන්ට්‍රල් වෙත ඇතුළත් කරන තීරණය ගන්නා විට වේලාව පස්වරු 3ට පමණ වන්නට ඇත. රොමාලි ඒ වේලාවේ දුබල හඬින් මෙසේ කීවාය. ''Ammi.., I am not feeling good… take the decision what you'll want to do… මාව ගෙදර ගෙනියන්න එපා..!! ඒත් තීරණයක් ගන්න. මාව කාර් එකට දාන්න කලින් මාව ගෙදරද ගෙනියන්නෙ හොස්පිට්ල් ද ගෙනියන්නෙ කියන ගැන තීරණයක් ගන්න.” රොමාලි සාමාන්‍යයෙන් කිසිම දෙයකට බල කරන දරුවෙක් නොවේ. නමුත් ඇය මෙවර එතරම් අවධාරණාත්මක වූයේ මන්ද?

ඒ පුංචි සාවියට මරණයේ සෙවණැල්ල ඉව වැටී තිබුණාද..?

“නෑ... අපි ඔයාව ගෙදර ගෙනියන්නෙ නෑ..” මව හඬමින් කීවාය. ඇයව නැවත මෝටර් රිය වෙත දමනු ලැබුවේ ද රෝද පුටුවේ තබාගෙන ඒ වෙත පැමිණීමෙන් පසුව ය.

රොමාලිගේ මව අද මෙසේ කියන්නීය. ’‘ඒ වෙලාවෙ අපිට කිව්වා ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම තමයි හොඳම ඩොක්ට කියලා.. එහෙම කියල ආසිරි මෙඩිකල් එකට ගියාම අපිට කිව්වා, ප්ලේට්ලට් කවුන්ට් එක අඩු නැති හින්දා ගෙදර ගෙනිහිල්ලා ගේන්න කියලා. ඉතින් මට ඇත්තටම හිතෙනවා, ඩොක්ටර් ආනන්ද විජේවික්‍රම තමයි මුලින්ම මේකට වග කියන්න ඕනෙ.. ඒ ඩොක්ටර්ට මම ඒ වෙලාවෙ කෑ ගැහුවා. අම්ම කෙනෙකුට විතරයි ඒ දුක දැනෙන්නෙ. මට තේරුණා මගෙ දුවගෙ තත්වය හොඳ නෑ කියලා. වමනෙ දානවා.. උණ.. ඔළුව උස්සන්න බෑ.. විජලනය කියල සේලයින් දුන්නා. මම එතකොට කිව්වා, අඩුම ගානෙ ඩොක්ට ට කියන්න ඇවිල්ල මගෙ දරුව ඉන්න තත්වය බලන්න කියලා. කන්ඩිෂන් එක බලල කියන්න මට ගෙදර ගෙනියන්න කියලා, එතකොට මම ගෙදර ගෙනියන්නම් කියලා..”

පෙර සඳහන් කළ ව්‍යපාරික සබඳතාව නිසා රොහින්ද්‍ර මහතා සහ ආසිරි හොස්පිට්ල් ජාලයේ කළමනාකාරිත්වය අතර හිතවත්කමක් විය. එදින උදෑසන ආසිරි මෙඩිකල් වෙත දියණිය ගෙන යන්නට පෙර ද ඔහු රෝහලේ විධායක නිලධාරියෙකු සමග කතා කර තිබූ අතර එහිදී කියා තිබුණේ තමන් දියණියව ආසිරි මෙඩිකල් එකට ගෙන යන බව සහ, අවශ්‍ය වුවහොත් ඔහුට කතා කරන බව ය. “ප්‍රශ්නයක් නැහැ රොහින්ද්‍ර. මම කාමරයක් ලෑස්ති කරල තියන්නම්... දුවව ඇතුළත් කළාට පස්සෙ අපි ඒ කාමරේට දුවව මාරු කරමු. මේ දවස්වල පේෂන්ට්ස්ල ගොඩක් වැඩියි..” යැයි ද ඔහු පවසා තිබිණි.

රොහින්ද්‍ර මහතා මෙසේ අසයි. “මගෙ දුව වෙනුවෙන් ආසිරි මෙඩිකල් රෝහලේ කාමරයක් ලෑස්ති කරල තිබුණා. නමුත් ඩොක්ට ආනන්ද විජේවික්‍රම යටතෙ දුව ව රෝහලට ඇතුළත් කර ගන්න බෑ කියනව නම් මොකද කරන්නෙ..?”

මේ අනුව ඔවුන්ට තෝරාගැනීමක් තිබුණේ නැත.

එනිසා ඔවුන් දැන් යා යුතුව තිබුණේ ආසිරි සෙන්ට්‍රල් හොස්පිට්ල් වෙත ය. ඒ යන අතරවාරයේ මෝටර් රිය නතර කළ ඔවුහු නැවත පවුලේ වෛද්‍යවරියට ඇමතුමක් ගත්හ. ඇය ඒ වෙලාවේ කාර්යබහුලව සිටින්න ඇත. ඇමතුමට පිළිතුරක් ලැබුණේ නැත. එවිට පියා රොහින්ද්‍ර, පෙර කී විධායක නිලධාරියා හට නැවත දුරකථන ඇමතුමක් ගත්තේය. ඔහු ආසිරි මෙඩිකල් රෝහලේදී සිදුවූ දෙය පැවසුවේය. ඔහු දැනුම් දුන්නේ ආසිරි සෙන්ට්‍රල් වෙත වහාම පැමිණෙන ලෙස ය. එම රෝහලට පැමිණෙන ඩෙංගු රෝගයට ප්‍රතිකාර කරන හොඳ වෛද්‍යවරයෙක් යටතේ දියණිය රෝහලට ඇතුළත් කරමු යැයි ද ඔහු යෝජනා කළේය.

ඔවුන් ගිය වහාම රොමාලිට ඩ්‍රිප්, කැනියුලා ආදී හදිසි ප්‍රතිකාර ලබාදී පැය භාගයක් ඇතුළත ඇයව නේවාසික රෝගියෙක් වශයෙන් ලියාපදිංචි කර රෝහලට ඇතුළත් කර ගන්නා ලදී. රෝහල විසින් මුලින්ම රොමාලිට ලබාදෙන්නට අදහස් කළ වෛද්‍යවරයා දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ බැවින් ඊළඟට දුරකථනයෙන් සම්බන්ධ කර ගැනුණේ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක ය. සිය දරුවාගේ ජීවිතය පිළිබඳ උපරිමයෙන් වද වෙන දෙමාපියන් වශයෙන් ඔවුහු ද වෛද්‍ය පණ්ඩුක කරුණානායක පිළිබඳ පෙර කී විධායක නිලධාරියාගෙන් යම් විමසීමක් කිරීමට ද අමතක නොකළහ. “බයවෙන්න එපා. මගෙ දුවටත් ඩෙංගු හැදිල එයා තමයි හොඳ කරල දුන්නෙ..” යැයි ඔවුන්ට පිළිතුරු ලැබිණි.

ඒ සෙනසුරාදා දහවලේ පටන් පුංචි සාවියගේ ජීවිතය භාරවූයේ විශේෂඥ වෛද්‍ය පණ්ඩුක කරුණානායක මහතා වෙත ය. එතැන් පටන් පුරා දින හතක් මුළුල්ලේ පුංචි සාවියගේ ගිලන් සයනය අසලින් මව සහ පියා නොසෙල්වී සිටියහ.

ඩෙංගු රෝගීන් දිනපතා ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කළ යුතුව තිබියදී මේ දින හත පුරාවටම ඈ වෙනුවෙන් ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී සිදුකෙරුණේ එකම එක ස්කෑන් පරීක්ෂාවක් පමණි. එහි ප්‍රතිඵලය ද වෛද්‍ය බලධාරීන් විසින් අවසන් මොහොත දක්වාම ගණන් ගෙන තිබුණේ නැත.

අවසානයේ සිදුවූයේ කුමක්ද?

ජීවිතයේ කිසි දිනෙක රෝහලකට ඇතුළත් නොවූ ජීවය පිරුණු ඒ පුංචි සාවිය, යළි කිසිදා නොආවාය.

මරණය නිහඬමුත් මළවුන් නිහඬ නැත. වියෝවේ වේදනාව අහස ගුගුරුවමින්, ජීවත්ව සිටිනවුන්ගේ කඳුළු වැසි අතරින් සැමදා කතාකරයි. ඒ කතාව වගඋත්තරකාර පාර්ශවයන්ට කන්කළු නොවන බව අපි දනිමු. නමුත් අප ඒ කතාව හෙළි කළ යුතුය. සෑම පාර්ශවයකටම තමන්ගේ ම කතාවක් ඇති බව ද අපි අමතක නොකරමු. අප පුංචි සාවියගේ කථාන්දරය ලිපි මාලාවක් ලෙස ලංකා නිව්ස් වෙබ් පාඨකයන් වෙත ගෙන එන්නේ එය ද සිත දරාගෙන ය.

දෙවන කොටසින් ඉක්මනින් හමුවෙමු.

සටහන  :- රදිකා ගුණරත්න, හංසනී සම්පත්
ඡායාරූප :- පැතුම් සේනාරත්න

 

Top