1150 x 80 px
සංශෝධිත සුරාබදු පනත සහ බුද්ධ පුත්‍රයන්ගේ BITE එක
කට ගැස්ම හෙවත් Bite එක වුවමනා වෙන්නෙ බොනකොට විතරයි කියල අපි හිතාගෙන හිටියට මිනිස්සුන්ට ජීවත් වෙන්නත් Bite ඕන වෙනවා. ඒ, එක එක කාලයට අනුව ඒ Bite වෙනස් වෙනවා.
ඒ Bite එක නිසාම රටේ මිනිස්සුන්ට තියෙන කප්පරක් ප්‍රශ්න අමතක වෙනවා. වෙනවා නෙවෙයි අමතක කරවනවා. මේ සතියේ අලුත්ම Bite එක තමයි සංශෝධිත සුරාබදු පනත. ඒකත් මරු. Bite ඕන වෙන්නෙත් සුරාපානය කරද්දිමනෙ. දැන් සුරාබදු පනත ම Bite එකක් වෙලා.
 
සුරා බදු පනත සංශෝධනය කරපුඑක Bite එකක් වෙන්නෙ කොහොමද කියල දැන් රටේ හැම දෙනාම දන්න කාරණයක්. ඒ වුනාට අපි ඒ ගැනත් ටිකක් කතා කරන්න ඕන.
 
සංශෝධිත සුරාබදු පනතට අනුව 1912 සම්මත කරපු සුරාබදු පනතට ඇතුළත් වෙලා තිබුණ එක් වගන්තියක් වෙන ‘ස්ත්‍රීන්ට මත් පැන් අලෙවි කිරීම තහනම්’ කියන වගන්තිය මේ සංශෝධිත පනතෙන් ඉවත් කරල තියෙනවා. ඒ කියන්නෙ කාන්තාවටත් පිරිමින්ට වගේම අරක්කු බොන්නත් පුළුවන් (ඉහළ සමාජයේ නම් මේක අලුත් කාරණයක් නෙවෙයි) බාර් එකකට හරි තැබෑරුමකට හරි ගිහින් අරක්කු කාලක්, බාගයක්, බෝතලයක් හරි ඊට වැඩි ප්‍රමාණයක් හරි සල්ලි දීල අරගන්නත් පුළුවන්.
 
අවුරුදු 2500 ක ඊනියා සංස්කෘතියක් ඔළුව උඩ තියාගෙන එතනින් පල්ලෙහා හැම අංගයකින්ම ඒ සංස්කෘතිය, සදාචාරය සහ සභ්‍යත්වය කෙලෙසන සංස්කෘතික මාමකයො දැන් සරම කැහැපට ගහගෙන මේ පනතට එරෙහි වෙන්න පටන් අරගෙන. ඒ විතරක්නම් බැරියැ... රෑට රෑට පන්සල්වලට ගෙනල්ල හොරෙන් හොරෙන් අරක්කු බොන බුද්ධ පුත්‍රයොත් මේ පනතට විරුද්ධව සිවුරු කැහැපට ගහන්න පටන් අරගෙන. දැන් ඒක කොච්චර දුර දිග ගිහින් ද කියනවනම් මේ බුද්ධ පුත්‍රයො ජනාධිපති කාර්යාලයට ගිහින් මුදල් ඇමතිට විරුද්ධව ලිපියකුත් බාර දීල. හැබැයි මේ බුද්ධ පුත්‍රයො ඒ ලිපියෙ ජනාධිපතිතුමාට ආමන්ත්‍රණය කරද්දි ‘‘මෛත්‍රීපාල සිරිසේන’’ කියන්නේ මේ රටේ ජනාධිපතිවරයා කියන කාරණයත් අමතක කරල.
 
මේ ලිපිය ආරම්භ කරල තියෙන්නෙ ‘‘ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා’’ කියල. එතන ‘‘ජනාධිපති’’ කැල්ල හලල දාල. ඊට පස්සෙ තමයි ‘‘අතිගරු ජනාධිපතිතුමනි’’ කියල ලියන්නෙ. එක්කො මේ පිරිස හරියට ම ලිපියක් ලියන්න දන්නෙ නැහැ. එහෙම නැතිනම් හිතාමතාම ලිපියක් ලියන ක්‍රමවේදය අමතක කරල. මොකද ලිපිය අවසානයේ ‘‘පිටපත් ගරු අග්‍රාමාත්‍ය, රනිල් වික්‍රමසිංහ මැතිතුමා’’ කියල සඳහන් කරල තියෙනවා. ගෞරවාන්විත විදියට ලිපියක් ලියනවානම් ඒ ලිපියේ ආමන්ත්‍රණය ලියවෙන්න ඕන ‘‘ගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා’’ කියල.
 
හරි... දැන් අපි ඒ කොටස පැත්තකට දාමු. දැන් බලමු කාන්තාවන්ට මත්පැන් මිලදී ගන්න ඉඩ දුන්නම මොකද වෙන්නෙ කියල. මේ බුද්ධ පුත්‍රයොනම් සඳහන් කරල තිබුණෙ: 1912 සම්මත කරපු පනතෙ කාන්තාවන්ට මත් පැන් අලෙවි කිරීම සහ මත්පැන් අලෙවි සේවා ආයතනවල සේවයට බඳවාගැනීම තහනම් කරපු බව, මේ හේතුවෙන් පවුල් ඒකකයට සහ මාතෘත්වයට විශාල තර්ජනයක් ඇතිවෙන බව සහ කාන්තා හිංසනයට සහ ප්‍රචණ්ඩත්වයට එරෙහිව හඩ නඟන යුගයක මේ විදියට කාන්තාවො විනාශයට තල්ලු කිරීම රටම විනාශයට පත්කිරීමක් බවයි. හැබැයි අපි දන්නවා: මහින්ද රාජපක්ෂ පාලන යුගයේ කන්‍යාවියො 100ක් දූෂණය කරල ඒ වෙනුවෙන් පවත්වපු ප්‍රිය සාදයට එවකට රටේ ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්ෂගෙ පුතාලත් සම්බන්ධ වුණ බව, 71 සහ 87-89, අරගලවලදි කාන්තාවො අමානුෂික විදියට දූෂණය කරල මරල දාපු බව, 83 කළු ජුලියෙදි දෙමළ කාන්තාවො පමණක් නෙවෙයි දෙමළ ජනතාවට ආරක්ෂාව සලසපු සිංහල කාන්තාවො පවා දූෂණය කරපු බව, උතුරු නැගෙනහිර යුද වාතාවරණ කාල සීමාවෙදි තමන්ට හිතෙන හිතෙන අවස්ථාවලදි කාන්තාවො දූෂණය කරල මරල දාපු බව. ඒ විදියට කාන්තාවො පීඩනයට පත්කරපු වුන්ගෙ බිරින්දැවරුන්ට මෙවරත් අපේක්ෂකත්වය දෙද්දි මේ බුද්ධ පුත්‍රයො අද ගොළු බිහිරො වගේ නිසොල්මනේ ම සැතපෙනවා.
 
මම පුද්ගලිකව මත්පැන් පානයට විරුද්ධයි. නමුත් මම විරුද්ධ වුණා කියල රටේ මත්පැන් නිෂ්පාදනය හෝ අලෙවිය නවත්වන්නෙ නැහැ. (එහෙම නවත්වනවානම් ඒකට මම සම්පූර්ණයෙන් ම එකඟයි.) හැබැයි පිරිමින්ට තියෙන ඒ අවස්ථාව කාන්තාවටත් තිබිය යුතුයි. අපේ රටේ මත්පැන් පානය කරන ප්‍රතිශතයට සාපේක්ෂව ගත්තොත්ත්නම් ඒක 5%වත් නැතුව ඇති. හැබැයි ඒ ප්‍රතිශතය අවම වෙලා තියෙන්නෙ කාන්තාවො මත්පැන් පානය කරන්න තියෙන අකමැත්ත නිසා නෙවෙයි. කාන්තාවන්ට දාල තියෙන සංස්කෘතික සහ සදාචාරාත්මක කියන විලංගුව නිසා.
 
මේ විලංගුව බිඳ දමපු කාන්තාවො මත්පැන් පානය කරන්නෙ පිරිමිත් පරදින විදියට. ඒ අතරින් වැඩි ප්‍රතිශතයක් ඉන්නෙ පිටරටවල වහල් සේවයේ නිරත වෙලා ඉන්න කාන්තාවො. ඔවුන් තමන්ගෙ ස්වාමියා, ඥාතියා හෝ සහෝදරයා එහෙමත් නැතිනම් අසල්වැසියා නමැති පිරිමියා නැති තැන තමන්ගේ ස්වාධිනත්වය භුක්ති විඳිනවා. ඒක ඔවුන්ගෙ අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඒකට. ඒ අයිතිය බුදුන් ධරමාන යුගයෙත් තිබුණා. ඒ කාලෙ දඹදිව පැවති ‘ගිරග්ග සමජ්ජ’ කියන සැණකෙළිවලදි කාන්තාවො පවා මත්පැන් පානයෙන් සන්තර්පණය වෙලා විනෝද වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සිදුහත් කුමාරයා ඉදිරියේ නර්තනයේ යෙදුණ කාන්තාවො පවා මත්පැනනින් සංතෘප්ත වෙලා හිටපු බව රහසක් නෙවෙයි. එහෙව් එකේ කාන්තාවන්ට තියෙන අයිතිය ලබා දෙන මොහොතෙ ඒකට විරුද්ධ වෙන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. එහෙමනම් කරන්න ඕන මත් පැන් නිෂ්පාදනය සහ අලෙවිය සම්පූර්ණයෙන් ම නවත්වන්න කියල රාජ්‍යයට බල කරන එක. පිරිමි ගැහැනු වශයෙන් බෙදිල ඉන්න සමාජයේ එක් එක් කාරණා සදහා පිරිමියාට විතරක් ඉඩ-කඩ විවර කරන එක නෙවෙයි. ඒකෙන් වෙන්නෙ ගැහැනිය තව තවත් සමාජයෙන් වියුක්ත වෙන එක.
 
ඊළගට මෙහෙම අනතුරකුත් තියෙනවා. මොකද මේ බුද්ධ පුත්‍රයො සිවුර හද හදා ගිහින් ජනාධිපතිතුමාට මොනවා හරි කිව්වම ඒකෙ හොඳ නරක හෝ සුදුසු නොසුදුසු බව කල්පනා නොකර එතුමගේ බලය පාව්ච්චි කරල මේ පනත් සංශෝධනය ඉවත් කරන්නත් බැරි නැහැ. ඒකට එරෙහි වෙන්න ඕන කාන්තාවොම තමයි. මොකද බොන පිරිමි කවදාවත් කැමති වෙන්නෙ නැහැ තමන්ගෙ බිරිඳ, සහෝදරිය හෝ දියණිය අරක්කු බොනවට. ඒ ඔවුන්ට තියෙන ආදරයට නෙවෙයි. එහෙම ආදරයට විරුද්ධ වෙනවනම් ඉස්සරවෙලාම විරුද්ධ වෙන්න ඕන තමන් අරක්කු බොන එකට. ඒ වගේ ම මත් පැන් කියන්නෙ සංස්කෘතිකාංගයක් වුනත් අපේ අය කරටි කැඩෙන්න ම බොන නිසා ඒක ගනන් ගන්නෙ දුරාචාරයක් විදියට. මම මේක සංස්කෘකාංගයක් කියන්නෙම රුසියාවේ වුනත් අසීරු කාලවකවානුවලදි සිමා සහිත වොඩ්කා ප්‍රමාණයක් ගැහැනු පිරිමි බේදයකින් තොරව සලාකයකට නිකුත් කළා. හරියට සමගි පෙරමුණු ආණ්ඩුව කාලෙ භූමිලේ, පාන්, රෙදි ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ගන්න කාන්තාවො සහ පිරිමි වරුගණන් පෝලිමේ හිටිය වගේ. ඒ කාලෙ ඉක්මනට බඩු අරගෙන ගෙදර යන්න වුවමනානම් කාන්තාවන්ට සිදුවුනා සමුපකාරෙ මැනේජර් එක්ක යහන්ගතවෙන්න. ඒවා ප්‍රසිද්ධ රහස්. දැන් ඒ යුගය ඉවරයි. කාන්තාවො මත්පැන් බොන්න කැමති නම් එයට ඉඩ දිය යුතුයි. ඒ අය කැමතිනම් සෘජුවම බාර් එකකින් මත්පැන් මිලදී ගන්න ඒ අයිතිය ඔවුන්ට තිබිය යුතුයි.
 
කාන්තාවන්ගේ මේ අයිතිය අහෝසි කරන තරමට ම අති ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා අමානුෂික වේවිද කියල බලාගෙන ඉඳිමු.
 
- බුද්ධික ගයාශාන්
Top