1150 x 80 px
අශූචි යනු : ශරීරය ම වන්නේය, චීවරධාරියා යනු : ශ්‍රමණයෝ වන්නාහ.

අතීතයේ දී මිනිසා සිය ශරීරකෘත්‍ය පිණිස විශේෂ ස්ථාන භාවිතා කළ බවක් හඳුණා ගත නොහැකි ය. නමුත් බොදු උරුමය සහිත ආසියානු රටවල පුරාවස්තු කැණීම්වල දී වැසිකිළි කැසිකිළි ස්ථාන හඳුණා ගැනීමට හැකි වී තිබෙන අතර ඒවා භික්ඛු සංඝයාගේ භාවිතය පිණිස ම යොදා ගත් ස්ථාන බව තහවුරු වී තිබේ. එසේ නොවුණ සාමාන්‍ය ජනයා සිය අවශ්‍යතාව 'බැද්දට' වැදී සිදු කර ගන්නට ඇතැයි උපකල්පනය කළ හැක්කේ අද පවා සමහර ගැමියන් එම අවශ්‍යතාව 'බැද්දට' වැදී සපුරා ගන්නා බැවිනි.

 

විහාරාරාම ඇසුරේ වැසිකිළි තැනෙන්නට ඇත්තේ භික්ෂු ගණයා මිනිස් ඇසුරෙන් වෙන්කොට තමන්ගේ ම චර්යා පද්ධතියක් යටතේ පුරුදු පුහුණු කළ ජීවිතයකට ඇබ්බැහි වී සිටීම නිසාය යි සිතිය හැකිය. ඒ කෙසේ වෙතත් පළමු මිනිස් උප්පත්තිය කෙසේ කොතැන සිදු වූවත් එදා සිට මිනිසාට වැසිකිළි කැසිකිළි අවශ්‍යතාව පැන නගින්නට ඇති බව තර්කයෙන් තොරව ස්ථාවර වෙයි.

මේ සටහන අශූචි පිළිබඳ සටහනකැයි දැනටත් ඔබ තීන්දු කර ඇතුවාට සැකයක් නැත. නමුත් මෙය හුදු අශූචි කතාවක් පමණක් ම නොවේ. එසේ නොවන්නේ ද නොවේ. ඒ මන්ද යත් :මෙය භික්ෂූන් පිළිබඳ කතාවක් ද වන හෙයිනි.
ඈත අතීතයක සිට ම භික්ෂූන්හට ශරීරකෘතිය පිණිස වැසිකිළි කැසිකිළි ආදිය තනවා දී බ්‍රහ්ම විහරණයට පුරුදු පුහුණු කොට පරලෝ වැඩ පිණිස ගිහි ඇසුරෙන් දුරස් කොට තබා ගත්ත ද අවසර කල්හි ඔවුහු ගිහි වෘතය ම අනුගමනය කළ බවට ඉතිහාසය සාක්කි දරයි.

කැලණිතිස්ස රජ දවස රජ බිසවට රහස් ආදර හසුන් පතක් රැගෙන ආ ශ්‍රමණයා ද කර ඇත්තේ බෞද්ධ දහමින් මනා ශිික්ෂණයක් ලත් රජතුමාට පවා ඉවසා ගත නොහැකි අන්දමේ වරදකි. එනිසා ම රජතුමා පංචානන්තරිය කර්මය සපුරා ගත්තේ ය. ඒ නිසාම රජතුමා මරණින් පසු අපාගත වන්නට ඇත. ශික්ෂුවක ඝාතනය කිරීම එතරම් බල සම්පන්න වරදකි.

ස්වාමිපුරුෂාභිනන්දනය යහමින් ඉටු කරගත්තේ යයි ඉතිහාසය දක්වා සිටින අනුලා නම් බිසවගේ සැමි පෙරහැරේ එක් සැමියකු ලෙස වටුක නම් ශ්‍රමණයා සිටි බව ඒ ඉතිහාසය ම දක්වා සිටියි. කොතෙක් පහසුකම් ලා ශ්‍රමණාභිරුචිය වැඩීමට තැත් කලත් අවසර කල් රහස් තැන තමන්ගේ ගිහි රූපයට අවතීර්ණ වීමට පසුබට නොවන ශ්‍රමණයෝ එකල්හි ද සිටියෝ ය. අදත් සිටිති. වෙනසක් වී නම් ඒ එදා අල්පය මෙදා පරිපූර්ණත්වයට පත්ව තිබීමයි.

මේ තත්ත්වය නිසා ශ්‍රමණයා යන්නට පර්යාය පදයක් ලෙස 'චීවරධාරියා' යන්න ආරෝපණය වී තිබේ. එය මාධ්‍යය ඔස්සේ සමාජගත වූ නව භාෂාත්මක යෙදුමකි. එය යොදා ගන්නේ භික්ෂුවක විසින් ගිිහි නීති පද්ධතිය යටතේ අපරාධයක් හෝ අපචාරයක් හෝ ලෙස අර්ථ ගැන්වෙන වැරැද්දක් කළ විට එය වාර්තා කිරීමේ දී ය. මේ චීවරධාරීහු හැඳුනුම්පත් ලත් භික්ෂූහු වෙත්. නමුත් සමාජය එය පිළිගැනීම ඇති අකමැත්ත දන්නා මාධ්‍ය උස්තාද්ලා චීවරධාරියා නම් නව චරිතයක් බිහි කරති.

පොදු ජනයා නොවිඳි සුඛ වින්දනය කරමින් වුව අල්පේච්ඡ ජීවිතයකට නැඹුරු කර සිටි කාලයේ සිට බහුභාණ්ඩීය නූතන සමාජ ක්‍රියාවලිය දක්වා විකාශනය වූ කාලය පුරා ඔවුහු උගන්නෝ තුන් සුතුර ය. නැතහොත් පරණ විනය ම ය. පරණ සූත්‍රය ය. පරණ අභිධර්මය ම ය. එනිසා ම ඔවුහු අශූචි යනු කුමක්දැයි අර්ථානුබද්ධ විසන්ධි මගෙහි පිහිටුවා වුව දන්නෝය. නාම ප්‍රකරණයට අදාළ කුදු මහත් විවරණයන් දන්නෝ ය. බලන්න සංඝයා වනපොත් කළ මේ බුදු වදන් :
'ආනන්ද ය. මේ ශාසනයෙහි මහණ තෙමෙ පතුලෙන් උඩ, කෙස් මතුයෙහි යට, සම කෙළවර කොට ඇති මේ ශරීරය නොයෙකුත් අශූචියෙන් පිරුණේ යයි ප්‍රත්‍යාවේක්ෂා කෙරේද? මේ ශරීරයෙහි කේස, ලොම් ය, නිය ය, සම ය, මස් ය, නහර ය, ඇට ය, ඇට මිදුලු ය, වකුගඩු ය, හෘදය මාංසය ය, අක්මාව ය, දලබුව ය, බඩදිය ය, පපුව ය, බඩ වැල ය, අතුනු බහන් ය, අම අහර ය, මල ය, පිත ය, සෙම ය, සැරව ය, ලේ ය, ඩහදිය ය, මේද ය, කඳුළු ය, වුරුණු තෙල ය, කෙළ ය, සොටු ය, සඳ මිදුළු ය, මූත්‍ර ය යන මොවුහු ඇත්තා හ.'

මෙවන් ශරීරයක් කැටුව ගිහි ජීවිතය දරන්නාට නැති කාය හා මනස් සංවරයක් ඇත්තාට භික්ෂුව යයි වහරති. එනිසා ඔවුහු ගිහි ජීවනයට අදාළව වැරදිි යයි අර්ථ ගැන්වෙන කිසිවක් නොකරන්නට දිවුරුම් දී සිටිති. ඒ දිවුරුම බිඳ දැමීම වනාහි ඔහු භික්ෂුවක් විසින් පුරන ලද්දා වූ දහම් විනයට පමණක් නොව හතර වරිගයාම නිවන් දකින පුණ්‍ය කර්මයක චිත්තප්‍රීතියකින් සිටින මවු-පිය ඥාති වරිගයාට කරන අගෞරවයක් ලෙසද අර්ථ ගැන්වෙයි.

අතීතයේ මහණවරය හා සහසම්බන්ධව තිබූ කොන්දේසි හා චාරිත්‍ර-වාරිත්‍රාදිය අදට වලංගු නොවන බව පැහැදිලි ය. නූතන සමාජ ආර්ථික හා දේශපාලන විකෘතිය තුළ ආගමික සංස්ථාවකට පවා ඊට අනුගතව තමන්ගේ අතීත ස්වාධීනත්වය රැක ගැනීම අභියෝගයක් බව පිළිගත යුතු ම ය. එනිසා ම අද වනවිට මවු කිරෙන් අත්හැරි සැටියේම මහණවරය ලැබෙන අරුම පුදුම බුදු දහමක් බෞද්ධ රටවල් ඇසුරේ ක්‍රියාත්මක වෙමින් තිබේ. එයිනිදු මියන්මාරය සහ ලංකාව අවිහිංසක ධර්මයක් ලේපිපාසිත ඇදහිල්ලක් බවට පත් කරගත් අත්දැකීම් ලෙස ලොවට දක්වා සිටිති.

වයසින් මෝරා නොගිිය මෙන් ම පන්සිල් පද පහට අදාළ නිශ්චිත තේරුම පවා නොවැටහෙන ළදරුවන් භික්ෂූන් ලෙස රූපාන්තරණය කිරීම නෙළුමක් බලෙන් පුප්පවනු ලබන්නට සමාන බව නොරහසකි. නමුත් පන්සල් ආරාම ඇසුරේ විසඳා ගත යුතු ශාසනික නොවන බාහිර කාරණා එම තත්ත්වය නිර්මාණය කරමින් තිබේ. පන්සල් ඇසුරේ ක්‍රියාත්මක කුල ක්‍රමය ඒ සදහා මුල් වන බලවත්ම සාධකයකි.

පවුලේ පොල්ම:ක්කාර උරුමය පන්සලේ හතර මායිමට අදාළ ය. පන්සල් පෙට්ටමේ රැස්වන ධනය ශාසනයට නොව පවුලේ අභිවෘද්ධිය පිණිස ම වන බැවින් පවුල ඇතුළත් කුලය ද නඩත්තු කෙරේ. එනිසා පවුලේ පොල්ම:ක්කාර උරුමය පිණිස කුල දරුවන් (කුලය මුල් කොට) පැවිදි කළ යුතුය. දරුවාගේ කැමැත්ත යනු කිසිදු වැදගත්කමක් නැති ගිවිසුමක් බැවින් කිසිවකු කැමැත්තක් නොවිමසති. ඒ සඳහා ඔවුහු කැමැත්තේ අර්ථයවත් නොදන්නා බාලයන් මහණවරයට කැඳවා ගනි.

පසුව චීවරධාරීන් වන්නේ මෙවන් බාලයන් අතරින් ගිහි වෘතයෙහි මිහිර අත්හැර නොගත් බාල විය පසු කරන ලද ගැටවරයින් විසිනි.

බුදු දහම ව්‍යවස්ථාවෙන් රාජ්‍ය ආගම බවට පත් කර ඇති සීමිත රටවල් අතරට ගැනෙන්නකි ලංකාව. ඒ නිසා ම මෙරට භික්ෂු සංස්ථාව දේශපාලන අධිකාරිත්වයක් ආරෝපණය කර සිටින බැවින් තමන්ගේ බල කඳවුරු වන නිකාය යටතේ මහණවරයන් අඛණ්ඩව පොම්ප කිරීම කළ යුතු ම ය. මෙය බෞද්ධ ඉගැන්වීම්වල සාරය සිය ආත්ම විමුක්තියේ පහුරක් කර ගැනීමේ අරමුණින් තරණය කළ යුතු ගංගාවක්, වේල්ලක් බැඳ හරස් කර ජලාශයක් තනා ගැනීමක් බඳු විකෘතියකි. ඒ ජලාශය ගිහි අපේක්ෂාවන්ට සමපාතව ඇත්තේ බැවින් කිසිදු ග්‍රාමවාසී ශ්‍රමණයකුට බුදු දහමේ සාරය අත්පත් කර ගැනීමේ උවමනාවක් හෝ අවස්ථාවක් හෝ නොලැබී යයි.

මේ සිදු වෙමින් තිබෙන්නේ එයයි. එනිසා ඒ අතරින් බොහෝ දෙනා චීවරධාරියා යන පර්යාය පදයට සුදුසුකම් ලබති. නමුත් භික්ෂු හැඳුනුම්පත දරති. නූතන තරුණ භික්ෂුන්ගේ ජීවනය අරුමැසි ය. අධ්‍යාපනික අවස්ථාව කලහකාරි මාවතක ය. බහු භාණ්ඩීය ගිහි අපේක්ෂා සරි ය. ගිහි ජීවනයකට අදාළ සකළ සබ්බ මනාව ම පමණ ඉක්මවා වින්දනය කරති. ස්මාර්ට් ජංගම දුරකතන එකකට වඩා භාවිතා කරති. කොටින් ම කිවහොත් මේ උදවිය සංඝනාමධාරී ගණින්නාන්සේලා ය.

ගණින්නාන්සේලාගේ ජීවනය අපූරුය. හිස නිකට රෝම ගැවසී ය. බිරිඳ පන්සලේ ය. සාධු පියා භූමිකාවට අවසර ය. මේ සියල්ල අතරේ සතර පේරුවේ මතක වස්ත්‍ර පූජාව නිසා වැදුම් පිදුම් ද ලබති. ගිහියන් අත් නොවිඳින අන්දමේ සුඛ විහරණය ම ලබති. ඛාජ්‍ය බෝජ්‍ය ඉස්තරම් ය. ස්මාර්ට් ජංගම දුරකථනය ලෝකයේ සියලු සුඛෝපභෝගී අවශ්‍යතා පිළිබඳ තෘෂ්ණාව වඩවයි. මේ සියල්ලම ඉටු කිරීමේ කරුමය දරන පේරුවේ දායකකාරකාදීන් වෙනුවෙන් අවසාන මතක බණ යුතුකම අමතක නොකරති. ඉතිං මොවුහු චීවරධාරීන් නොවන්නොහුද?

මේ සියල්ල අතරේ මේ බුදුන්ගේ දේශය යයි ඔවුහු කියති. බුදුන්ගේ උප්පතියට නව උප්පැන්න සහතික ලිවීමේ තැත දරති. ලුම්බිනිය කොදෙව්ව තුළ ස්ථාන ගත කිරීමට පාරම් බාති. මෙවැනි ප්‍රවාද අැසුරේ රටේ ඉතිහාසය පවා විකෘති කිරීමේ විකෘති මනසකින් පසු වෙති. අනෝමා ව මේ දූපතයේ ය. ජේතවනය, උපවත්තනය මුහුද පැන මෙහි ඇවිදින් ය. කපුටු බෝ ගස ද ඇසතු බෝ වරම් ලබති. නමුදු මිනිස් වග තුට්ටුවකට නොවටී. උන් පවුකාර ආත්ම ලැබුවෝ ය. ආත්ම විමුක්තිය පතා විහාරාරාම ඇසුරේ භික්ෂුන්ගේ සුඛ උපයෝගිතාව වෙනුවෙන් සියල්ල කඹුරාලිය යුතුය. අහෝ..! සිද්ධාර්ථ නම් උතුම් මිනිසා තමාගේ මුළු ජීවිතයම කැප කොට අවබෝධ කරගත් පරම සත්‍යයය..! එය ධර්ම ග්‍රන්ථ තුළය. ඒවා පන්සල් අල්මාරි තුළ යතුරු ලා ය. උසාවියේ අපරාධකරුවන් බොරුවක් නොකියන බවට දිවුරුම්දීමකට එහා එහි බලය නොපවතී. ගිහියා ධර්මයට බය ය. භික්වෂු ධර්මය තමාගේ සුඛය වෙනුවෙන් දිගට හරහට නවති. නව අර්ථ සම්පාදනය කරති. නමුදු බාල දරුවාට පවා කාමේසු ම්ච්ඡාචාරය අකැප බව ම කියති. සුරාමේරය මච්ඡපමා දට්ඨානා බව පෙන්වති.

මේ අප රටේ නූතන භික්ෂු පරපුරේ බහුතරයකගේ භාවිතයෙහි ස්වභාවයයි. නමුදු ඇදහිල්ලකට මැදිව උතුම් ජීවන දර්ශනයක් මඟ හැර සිටින ගිහි දායකයා සියලු දුක් තමන් ම වළඳමින් සංඝයාට පරම ජීවන සුඛය ම සාදති. රටේ සංස්කෘතික ප්‍රාග්ධනය ගොනුව ඇත්තේද මේ ඇදහිලිකාරක ආයතන ව්‍යුහය තුළය. එනිසා කලාව ඈ සංස්කෘතික නිෂ්පාදන ප්‍රාග්ධන ඌණතාවකින් පෙළී අනිිවාර්ය විකාශනය අඩපන කරගෙන සිටී. නමුත් මේ බුදුන්ගේ දේශය යි. ගිහියා පිළිවෙතින් ඒ වෙනුවෙන් සැදී පැහැදි සිටිය යුතුය. සංඝයා අත්හළ යුතු සියලු දෑ දොතින් ම නොව සකල ශරීරයෙන් ම වැළඳ ගෙන සිටීම ඉවසා සිටිය යුතුය.

මෙවන් පසුබිමක් යටතේ පුවත්පත්වල චීවරධාරියකු හමු වීම සාධාරණය. මන්ද පන්සල්වල තවදුරටත් සඝ ගණයා නොමැති බැවිනි. ඔවුහු සිටිත් නම් ඒ වනවාසී සීමිතයක් ලෙස ය. අන් සියල්ලෝ සිවුරු හැඳි ගිහියන් හෙවත් චීවරධාරීහූ ම ය.

ඒ වගත් මෙසේ ම ය -- සෙස්ස පස්සට

අනුරසිරි හෙට්ටිගේ
2018.01.13

Top