1150 x 80 px
විපස්සනා භාවනා කොට කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි?

බුදු පණිවුඩය - බුද්ධ දර්ශනය 11

සමථ සහ විපස්සනා යනුවෙන් ඇති භාවනා ක්‍රම දෙකෙන් සමථ භාවනාව සම්පූර්ණයෙන්ම හින්දු ආගමික මනස දියුණු කිරීම සහ පාලනය කිරීමට යොදා ගත් දෙයක් බව පෙර ලිපිවල සඳහන් වුණි. බුදු පණිවුඩය මායාව මවන මනසෙන් නික්මීමයි. සත්‍ය සොයා යන්නන්ට, “මම” විසින් දියුණු කරන ලද මනසෙන් මවන මායාවද තව තවත් මායාකාරී වන නිසා ඒ ක්‍රමයෙන් මනසෙන් නික්මී ප්‍රඥා ඇස මතු කරගත නොහැක. ප්‍රඥා ඇස මතුවීමට මනස අතහැරිය යුතුය. මනස දියුණුකොට ප්‍රඥා ඇස මතුකරගත හැකිය යන සමාජයට පූජකවරුන් විසින් දී ඇති අදහස සම්පූර්ණයෙන්ම බුදු පණිවුඩයට අපහාසයකි. එහිදී මනසේ විඥානය ක්‍රියාත්මක වන නිසා නිවනෙන් ඈත් වේ.

විපස්සනා භාවනාව යනු කුමක්ද? එහිදී සිදු වන්නේ මනසින් නික්මීමද? මනස පෝෂණය වීමද? යන්න දැන් සොයා බලමු.

විපස්සනා භාවනාව බුද්ධ දේශනය නොවේ. විපස්සනා යන වචනය බුදු පණිවුඩයේ වැදගත් වුවත්, එම නමින් ඇති භාවනාව තථාගතයන් වහන්සේ විසින් අනුමත කළ දෙයක් නොවේ. මෙම භාවනා ක්‍රමය පටන් ගත්තේ මෑත කාලේදීය. විපස්සනා භාවනාව 1875 දී පමණ බුරුමයේ ලීඩි සයාදෝ යන නමින් සිටි හාමුදුරු කෙනෙකුගේ නිර්මාණයකි. පසු කාලෙකදී මෙම බුරුම නිෂ්පාදනය ලොව පැතිර වූයේද තවත් බුරුම ජාතික ගොයන්කා ය. ක්‍රිස්තු වර්ෂ 1875ට පෙර බුදු පණිවුඩය හදාරන්නෝ විපස්සනා භාවනාවක් නොකළෝය. ඔවුන් එවැනි භාවනාවක් එකල දැන සිටියේ නැත. ලංකාවේද ඊට පෙර එවැනි භාවනාවක් සිදු නොවීය. ලීඩි සයාදෝ හාමුදුරුවන්ගෙන් පසු බුරුමයේ අනෙක් හාමුදුරුවරු මෙම භාවනා ක්‍රමය තව තවත් දියුණු කරන ලදී.

1956 දී සර් ජෝන් කොතලාවල අගමැති සමයේදී ලංකාවේ හාමුදුරුවරුන්ටද මේ භාවනා ක්‍රමය පුරුදු කළ යුතු යැයි තීරණයකොට එය ලංකාවට ගෙන ඒමට අගමැතිතුමාගේ අනුමැතිය ලබා ගන්නා ලදී. මුලින්ම බුදු පණිවුඩය ලංකාවෙන් බුරුමයට ගෙන ගිය කල (ත්‍රිපිටකය ලියා අවුරුදු 500කට පමණ පසු) එහි විපස්සනා භාවනාවක් නොවීය. 1956 දී බුරුමයට ගොස් සිටි සුමතිපාල නම් හාමුදුරු කෙනෙකුට මේ භාවනා ක්‍රමය ඉගෙනගෙන ලංකාවට ගෙන ඒමට අවසර ලැබුණි. ඒ අනුව සුමතිපාල හාමුදුරුවන් මුලින්ම ලංකාවට 1956 දී මේ ක්‍රමය හඳුන්වා පළමුවැනි විපස්සනා භාවනා මධ්‍යස්‌ථානය කඳුබොඩ පිහිටුවීය. එතැන් පටන් අද වන තුරු එම භාවනා මධ්‍යස්‌ථානය ක්‍රියාත්මක වේ.

මෙවැනි දීර්ඝ විස්තරයක් කළේ විපස්සනා භාවනා ක්‍රමය බුදු පණිවුඩය නොවන බවත් මෑත කාලයේ ලංකාවට ගෙනෙන ලද බුරුම නිෂ්පාදනයක් බවත් පෙන්වා දීමටය. දැන් විපස්සනා භාවනාවේ ඇත්ත වශයෙන් සිදු වන්නේ කුමක්දැයි සොයා බලමු.

තථාගතයන් වහන්සේ කොතැනක හෝ විඥානය ක්‍රියාත්මක වී නම් එතන නිවන් මඟ ඇහිරී ඇත්තේය යැයි දෙසූ වදන මෙහිදී අමතක නොකළ යුතුය. විපස්සනා භාවනාවේ නොයෙකුත් අංග ඇත. මෛත්‍රී භාවනාව, සක්මන් භාවනාව, සුසාන භූමිවල කරන භාවනාව, පිළිකුල් භාවනාව ආදී වශයෙන් නොයෙකුත් ක්‍රම තුළින් මේ භාවනාවට ඉහත සඳහන් කළ අන්දමට පිවිසිය හැකිය. මේ හැම අවස්ථාවකම මනසේ සිතිවිලි වැල් කෝටි ගණනක් සිදු වේ. බුදු පණිවුඩය සිතුවිලිවලින් මිදීමයි. මෙම භාවනාවේ විඥානය තදින් පෝෂණය වී ක්‍රියාත්මක වේ. එයින් නිවන් මඟ ඇහිරේ. මේ අනුව බලන විට ඇත්ත වශයෙන්ම සමථ භාවනාවේ ඇත්තේ එක චින්තනයකි. නමුත් විපස්සනාවේ චින්තන කෝටි ගණනින් සිදු වේ. මේ භාවනා ක්‍රම දෙකෙහිම විඥානය ක්‍රියාත්මක වේ. එය නිවන් මඟට අවහිරයකි.

විපස්සනා භාවනාවේ එක් අංගයක් වන පිළිකුල් භාවනාවේ කය පිළිකුල් කිරීමට උපදෙස් ලැබේ. කයෙහි ඇති වැදගත්කම කායනුපස්සනාවෙන් ප්‍රඥා ඇසින් දැක ගැනීම තථාගතයන් වහන්සේ විසින් විස්තර කර තිබියදී එවැනි ප්‍රඥා ඇසක් මතුවන කය පිළිකුල් කිරීමට යෙදවීම බමුණන් බුදු පණිවිඩය විනාශ කිරීමට ගත් උත්සාහයකි. කයෙහි ඇටකටු, දත්, නිය, ලොම් ආදිය සිත සිතා සිටීමෙන් නිවනක් කෙසේ මතු වේද?

මෛත්‍රී භාවනාවද සිතුවිලි කෝටි ගණනින් ඇති කරන්නකි. සියලු සතුන් නිදුක් වේවා යැයි සිත සිතා සිටීමෙන් කිසිදු සතෙකු නිදුක් නොවේ. එවැන්නක් කිරීමෙන් අන් සතුන් නිදුක් නොවන බව දැන දැන එසේ කරන්නේ, අනෙක් සතුන් අල්ලාගෙන නිදුක් වේවා කිව්වොත් තමන්ට ආත්මාර්ථකාමීව හොඳක් වේ යැයි මනසින් සිතමින් විඥානය පෝෂණය කරමින් සිටින්නෝය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා බමුණු විහරණ නොහොත් “බ්‍රහ්ම දත්ත” බව අප කවුරුත් දන්නා කරුණකි. ඒවා බමුණු ආගමේ මූලධර්මයන්ය. එසේ පැවසීම, උඩින් සමාජයට හොඳක් වන බව මායාවක් වශයෙන් මනසට පෙනුණත් විඥානය පෝෂණය වන නිසා නිවන් මඟ වැසේ. එහිදී සිතුවිලි රාශියක් මතුවන නිසා ප්‍රඥා ඇස තවදුරටත් යටපත් වේ.

තවත් විපස්සනා භාවනා ක්‍රමයක් නම් මනසේ ඇති වන සිතුවිලි හොඳද, නරකද යන්න තීරණයකොට නරක සිතුවිලි ඉවත් කිරීමයි. එම ඉවත් කිරීමද සිදු වන්නේ සිතුවිල්ලකිනි. හොඳ නරක තීරණය කරන්නේද මේ මැජික්කරු වන මායාකාරී මනසයි. මෙය හොරාගෙන්ම පේන අහන අවස්ථාවකි. මෙය පෙර තිබූ ජෛන භාවනා ක්‍රමයකි. තවමත් ජෛන පොත්වල මේ භාවනා ක්‍රමය ඇත. මෙයද යම් කලකදී බුද්ධාගමට එකතු වී ඇති බව පෙනේ. එම භාවනාවේද විඥානය තදින්ම ක්‍රියාත්මක වේ.

මෙවැනි දේවල් කරන විපස්සනා භාවනාව බුද්ධ වචනය නොවන බවත්, එය මෑත කාලයේදී (1875දී) බුරුමයේ නිෂ්පාදනය කොට ලංකාවට ගෙන ආ ජෛන භාවනා ක්‍රමයක් බවත් පැහැදිලි විය යුතුය.

විඥානය ක්‍රියාත්මක වන නිසා විපස්සනා භාවනාවෙන් කවුරුත් නිවන් දැක නැත්තේ ඇයි දැයි පහසුවෙන්ම ඉහත සඳහන් කරුණුවලින් තේරුම් ගත හැකිය.

විපස්සනා භාවනා කීරීමෙන් හාමුදුරුවරු නොමග ඇරපු ජනතාව තම තමන්ගේ වටිනා කාලය විනාශ කර ගන්නවා පමණක් නොව මේ ජීවිතයේදී දැකගත හැකි නිවනද අවහිර කර ගන්නෝය.

- ගාමිණී අභය

පසු සම්බන්ධයි.

පෙර ලිපි
බුද්ධ දර්ශනය 1- නිවන් දකින ක්‍රමය අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත.

බුද්ධ දර්ශනය 2- මාර්ගඵලලාභීන් බිහි නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුණාද?

බුද්ධ දර්ශනය 3- බුද්ධාගමෙන් බුද්ධ දර්ශනය පහළ නොවන්නේ ඇයි?

බුද්ධ දර්ශනය 4- බුද්ධාගම පිරිසිදු බුද්ධ දේශනයද?

බුද්ධ දර්ශනය 5- බුද්ධාගමේ පදනම වන දාන, සීල, භාවනාවලින් නිවන් දැකිය නොහැක.

බුද්ධ දර්ශනය 6- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි?

බුද්ධ දර්ශනය 7- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 2 වන කොටස

බුද්ධ දර්ශනය 8- දාන සීල භාවනාවලින් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? 3 වන කොටස

බුද්ධ දර්ශනය 9- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 4 වන කොටස

බුද්ධ දර්ශනය 10- දාන සීල භාවනාවෙන් නිවන් නොදකින බව බුදුන් වහන්සේ පැවසුවේ ඇයි? - 5 වන කොටස

 

Top