1150 x 80 px
සිම්බාබ්වේ රාජ්‍යයේ අවසන් බලාපොරොත්තුව - මෝගන් චැන්ගිරායි මරණය අබියස

‘‘ප්‍රජාතන්ත්‍රවාදය යනු, සිංහයන් දෙදෙනෙක් සහ බැටළුවෙක් විසින් බහුතරයේ කැමැත්තට අනුව, දවල් කෑමට ගත යුත්තේ කුමක්දැයි තීරණය කිරීමයි“!!!

2008 සිම්බාබ්වේ මහමැතිවරණයෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ ගිනි සිළුව දල්වා තැබූ ජන නායකයා ඔහු ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සිම්බාබ්වේ රාජ්‍යයට තිබූ අවසන් බලාපොරොත්තුව ද ඔහු විය.

මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යයේ පවතින දේශපාලන අර්බුදය කෙතෙක් ද යත්, ඔහුගේ බිරිඳ එලිසබෙත් හට ඔහුගේ සුවදුක් බැලීමට රෝහල කරා යාමට තිබූ අවස්ථාව ද චැන්ගිරායිගේම පක්ෂයේ ලොක්කන් විසින් අවලංගු කර තිබේ. පක්ෂයේ උප සභාපති නෙල්සන් කැමීසියා හට චැන්ගිරායිගේ තැන ගැනීම සඳහා උපකාර කළේය යන චෝදනාව මත ඇයට මෙම තහනම පනවා ඇත. ඔහුගේ අසනීප තත්වය මත පක්ෂය ඉදිරියට ගෙන යාම සඳහා උප සභාපතිවරුන් තිදෙනෙක් පත් කර ඇති අතර, කැමීසියා එයින් එක් අයෙකි. චැන්ගිරායිගේ පක්ෂය වන MDC තුළ මේ වන විට ඇති වී තිබෙන අභ්‍යන්තර අර්බුදයේ තරම එයින් වටහා ගත හැකිය. චැන්ගිරායි MDC පක්ෂයේ නායකයා ය. බැලූ බැල්මටම වුව පෙනී යන්නේ සිම්බාව්වේ හිටපු නායකයා සහ වත්මන් විපක්ෂ නායකයා මිය යන තෙක්, ඔහුගේම පක්ෂය දින ගණන් කරන බවයි. මේ අතර චැන්ගිරායිගේ බිරිය සහ ඔහුගේ පවුලේ අය ද පක්ෂයෙන් තනතුරු සඳහා කෑදර ලෙස තරග කරන බවට ද ඇතැම් වාර්තාවක සඳහන් වේ.

මෝගන් චැන්ගිරායි 65 හැවිරිදි ය. ඔහු පෙළෙන්නේ අතුණු බහන් පිළිකාවක් හෙවත් බඩවැළේ පිළිකාවකිනි. ඔහුගේ බර අතිශයින් අඩු වී, අතිශය කෙසඟ වී ජීවිතයේ අවසන් දින කිහිපය ගත කරමින් සිටින බවට වාර්තා බොහෝ ය. සිම්බාබ්වේ රාජ්‍යය තුළදී රෝහල් ගත වී සිටීම පවා කොතරම් අවදානම්දැයි කියනවා නම් චැන්ගිරායි ප්‍රතිකාර ගනිමින් සිටින්නේ රටෙන් පිට ය. දකුණු අප්‍රිකාවේ ය.

MDC යනු Movement for Democratic Change හෙවත් ‘ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් සඳහා වූ පක්ෂයයි. එය චැන්ගිරායිගේ නවාතැන බඳු ය. 1999 වසරේ පක්ෂය පිහිටුවා ගත්තේ එකල කළ යුතුම දෙයක් බව පෙනෙන්නට තිබූ මහා කර්තව්‍යයක් ඉටු කරන්නට ය. එනම්, සිම්බාබ්වේ ආඥාදායක රොබට් මුගාබේ ගේ ඒකාධිපති පාලනය පෙරළාදැමීම ට ය. එකල ඔහු මුගාබේගේ රෙජීමය පළවා හැරීමේ සංකේතය වූයේය. ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනහිතකාමී බව ඔහුගේ ලෙයෙහි සැබවින්ම තිබිණි. අවසානයේ සිදුවූයේ වසරක් ඇතුළත ඔහු ව අත්අඩංගුවට ගැනීමයි. මුගාබේ පාලනය ඔහුට රාජ්‍ය ද්‍රෝහිත්වය පිළිබඳ චෝදනා නැගුවේය. පසුව එම චෝදනා ඉවත් කර ගත් නමුත් නැවත වතාවක් ඔහු ව අත්අඩංගුවට ගැනුණි. ඒ වතාවේ ඔහුට චෝදනා නැගුවේ මුගාබේ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට සහ ඒ සඳහා උත්සාහ ද කළ බවට ය. 2004 වසරේදී ඔහු එම චෝදනාවලින් නිදහස් විය. නමුත් ස්වන්ගිරායි නිරන්තරයෙන්ම මුගාබේ ගේ ගොදුරක් බවට පත්ව සිටියේය. 2007 වසරේ ඔහු ව නැවතත් අත්අඩංගුවට ගැනුණේය. රඳවා තබාගෙන සිටි කාලය තුළ ඔහුට නොසෑහෙන්නට පහර දී තිබිණි. අනතුරුව 2009-2014 අතර කාලයේ මෝගන් චැන්ගිරායි, සිම්බාබ්වේ හි අගමැතිවරයා බවට පත්විය. ඔහු සිම්බාබ්වේ හි දෙවැනි අගමැතිවරයා ය. 2002 වසරේ පටන් මුගාබේ පාලනයට එරෙහිව නැගී සිටි ප්‍රධානතම බලවේගය බවට පත්ව සිටියේ මෝගන් චැන්ගිරායි ය. ඔහු රට අවදි කළේය. ඇමරිකානු ජනපති බරාක් ඔබාමා ආදී ලෝක නායකයන්ගෙන් පවා ඔහුට ලැබුණේ ගෞරවනීය පිළිගැනීමකි. ඔහු රට ශිෂ්ට සම්පන්න කිරීමට වෙහෙසුණේය. නමුත් එයට වැඩි ආයුෂක් තිබුණේ නැත.

ඒකාධිපති බලවේග ඉතා පහසුවෙන් හිස ඔසවයි. ජනතාවට ලෙහෙසියෙන්ම අතීතය අමතක වේ. මේ ලෝකයේ බොහෝ ඒකාධිපතියන්ට නොනැසෙන ‘ජනකාන්ත බව‘ක් ලැබීමේ රහස කුමක් වුවත් එය මුගාබේ සම්බන්ධයෙන් ද ‘වැඩ‘ කළේය. ඇතැම්විට මුගාබේගේ ඒකාධිපතිත්වයට රට වැසියන් රහසින් ප්‍රිය කළා වන්නට ඇත. 2014 වසරේදී මුගාබේ නැවත බලය ඇල්ලුවේය. රටකට හිමිවන්නේ එයට හිමිවිය යුතු නායකයන් ය. බොහෝ විට ඒ රටේ ජනතාවගේ හැටි, ඔවුන් විසින් තෝරාපත් කර ගන්නා නායකයන්ගෙන් පෙනේ.

සිම්බාබ්වේ රාජ්‍යය හෙවත් පෙර හැඳින්වූ නාමය අනුව ‘රොඩේසියාව‘ සුද්දන්ගේ පාලනයෙන් මුදාගත් සටන්කරුවෙකු සහ විප්ලවවාදියෙකු ලෙස අවිවාදයෙන් හැඳින්වුණු රොබට් මුගාබේ බලය ලැබීමත් සමග පරම ඒකාධිපතියෙකු බවට පත්විය. 1980-1987 අතර කාලයේ සිම්බාබ්වේ අගමැතිවරයා බවට පත්වූ ඔහු, 1987 සිට 2017 දක්වාම, එනම් පුරා දශක දෙකක්ම සිම්බාබ්වේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. මෙම ‘ලෙස කටයුතු කිරීම‘ රට වළපල්ලට ගෙන යාමට සමාන පදයක්ම විය. රත්තරන් ආදී ස්වභාවික සම්පතින් ආඩ්‍ය වූ දේශයක් වන සිම්බාබ්වේ, ලෝකයේ දූෂිතම සහ දුප්පත්ම රටක් බවට පත්වූයේ, ගොවීන් කෑම නැතිව ගොවිපොළ අහිමි වී ආහාර පෝලිම්වල පැය ගණන් ලැග සිටින තත්වයක් උදා වූයේ මුගාබේ ගේ පාලන සමයේදී ම ය. ඒ අතරවාරයේ ඔහු එංගලන්තය ඇතුළු යුරෝපා රටවල් ගණනාවකම දේපළ මිලදී ගන්නා, කළු සල්ලි කෝටි ගණන් විදෙස් ගිණුම්වල සඟවාගෙන සිටිනා අන්ත දූෂිත කෝටිපතියෙකු බවට පත්විය.

‘මුගාබේ පැකේජ්‘

මුගාබේ තවදුරටත් බලයේ නැති බව සැබෑවකි. ඔහු යවාගැනීම සඳහා හමුදා පාලනය සහ දේශපාලන හස්තයන්ට මෙගා ඩීල් එකකට එන්නට සිදුවිය. ඒ අනුව මුගාබේ පුටුව හැර යාම සඳහා කොන්දේසි ඉල්ලා සිටියේය. ඒ කොන්දේසිවලින් සමහරක් මේවා ය. මුගාබේට පමණක් නොව ඔහුගේ බිරිඳට ද ධුරයේ සිටි කාලය තුළ කළ කී දෑ කිසිවක් සම්බන්ධයෙන් නඩු පැවරීමක් කළ නොහැක. මේ වනාහී නඩු පැවරීමෙන් විනිර්මුක්තිය (මුක්තිය) ලැබීමයි. තවද ඔහුට මාසයට ඩොලර් ලක්ෂ එකහමාරක විශ්‍රාම වැටුපක් ද ගෙවිය යුතුය. මේ ඉල්ලීම් හාස්‍ය ජනක හෝ සාහසික ලෙස පෙනී යන්නට පුළුවන් නමුත් ඔබ මෙය කියවා ගත යුත්තේ ඒකාධිපතියෙකු ලෙහෙසියෙන් බිම වැට්ටවිය නොහැකි බවට වන සදාතනික දේශපාලන යටිපෙළ ද සමග ය. මුගාබේ ගෙදර යාම සඳහා ඉල්ලා සිටි සහ ඔහුට ලබාදුන් මේ ඉල්ලීම් වලට කියන්නේ ‘මුගාබේ පැකේජය‘ කියාය. සිය පැකේජය ලබාදෙන තෙක් ඔහු නොගියේය.

මේ අනුව ලෝකයම ඇස් දල්වාගෙන බලා සිටි හමුදා කුමන්ත්‍රණයකින් පසුවත් මුගාබේ ගෙදර ගියේ තමන්ගේ පැකේජය ලබාගැනීමෙන් පසුව ය. අවසන් දිනවල පැහැදිලිව දැකිය හැකි වූ කාරණයක් වූයේ මුගාබේ සහ හමුදා කුමන්ත්‍රණය සිදුකළ බව කියන හමුදා ලොක්කන් අතර ඉතාම සුහද හා සමීප සබඳතාවක් තිබෙන බවයි. ඒ නිසාම අවසානයේ ජාත්‍යන්තර මාධ්‍ය විසින් මෙම හමුදාමය මැදිහත්වීම හැඳින්වූයේ Soft Coup එකක් හෙවත් ‘මෘදු කුමන්ත්‍රණයක්‘ කියා ය. මේ මෘදු කුමන්ත්‍රණය කොතරම් ‘සිනිඳු‘ ද කියනවා නම් මුගාබේගේ කෝටිපති බිරිඳ ග්‍රේස් මුගාබේ මේ වන විට නව පක්ෂයක් පිහිටුවාගෙන නැවත ආණ්ඩු බලය ඇල්ලීමට දත කමින් සිටියි. මේ ලොව යන අත එබඳු ය. මුගාබේගේ පක්ෂය වන සානු පී එෆ් (Sanu PF) තුළ දැනටමත් පවතින ඒකාධිකාරයට අභියෝග නොකර ඇය තමන්ගේම වූ  ‘වෙනම ඒකාධිපති ගමනක්‘ යන්නට සැරසෙන්නේ එසේ ය.

අවසානයේ වයස 90 ක් වන දූෂිත නායක මුගාබේ නිදුකින් පසුවන අතර, වයස 65 ක් වන ප්‍රජාතන්ත්‍රවාදී නායකයා, දකුණු අප්‍රිකාවේ රෝහලක පණ අදිමින් සිටියි.

ස්වන්ගිරායිගේ පක්ෂයට මෙවැනි වාතාවරණයක් තුළ රට වෙනුවෙන් ප්‍රමුඛ කාර්යභාරයක් පැවරෙන බව බැලූ බැල්මට කිව හැක. නමුත් ඒ වන විට අද සිදුව තිබෙන්නේ පණ අදින චැන්ගිරායිගෙන් පසු ‘විපක්ෂ නායක‘ බවට පත්වීමේ ‘කෑදර රණ්ඩුව‘ විසින් පක්ෂය වෙළාගෙන ඇති බව ය. එහෙත් එය ද පක්ෂයේ ‘බහුතර කැමැත්ත‘ නම් කුමක් කරන්නද?

දශක දෙකක දූෂිත පාලනයකින් පසුවත් මුගාබේ ගෙදර යන්නට සුපිරි පැකේජයක් ලබාදීමට සිදුවීම, හුදු සිද්ධියක් නොවේ. එය සංසිද්ධියකි. එම සංසිද්ධියේ දේශපාලන කියැවීම මෙසේ ය. මුගාබේ හැමවිටම සිම්බාබ්වේ රාජ්‍යයේ
ජනප්‍රිය නායකයා ය. ඔහු බලයට එන්නේත්, බලයේ සිටින්නේත් බහුතරයේ කැමැත්ත අනුව ය. පිළිගත් දේශපාලන මූලධර්මවලට අනුව ‘බහුතරයේ කැමැත්ත‘, ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ නම් වේ. බහුතරයේ කැමැත්ත එය නම්, එයට හිස නමනවා ඇර වෙන කුමක් කරන්නද? සිම්බාබ්වේ රාජ්‍යය සම්බන්ධයෙන් මුගාබේ ආස්ථානය මෙන්ම චැන්ගිරායිගේ ඉරණම පිළිබඳ ලබාදිය හැකි එක් නිගමනයක් මෙසේ ය. එය බහුතර කැමැත්ත පිළිබඳ, එසේත් නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නූතන ලෝකයේ අර්ථ දැක්වීම ද විය හැක්කේය.

‘‘ප්‍රජාතන්ත්‍රවාදය යනු, සිංහයන් දෙදෙනෙක් සහ බැටළුවෙක් විසින් බහුතරයේ කැමැත්තට අනුව, දිවා ආහාරය ගැනීමට තීරණය කිරීමයි“!!!

- ක්‍රිෂාන්ති රාජපක්ෂ

 

Top