1150 x 80 px
ඈ යන්න (නො)ගියා මැකිලා!!

ඈ සැබවින්ම මැකී නොගියා ය. ලෝකයේ ප්‍රබලම ජාත්‍යන්තර සංවිධානය සේ සැලකෙන ජගත් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා පත්කළ ප්‍රථම නේවාසික සම්බන්ධීකාරකවරිය වූ ඇය, ඌනා මැකොලි, පසුගිය සිකුරාදා (02) දිනයේ සිය භෂ්මාවශේෂයන් බොරැල්ල කනත්ත බිමට එක් කළේ, එසේ කරමින් තම අවසන් නවාතැන වශයෙන් ලක් පොළොව සිප ගත්තේ සමේ පැහැය හෝ ජාතිභේදය  මනුෂ්‍යත්වයට  අදාළම නැති බවට වන සුන්දරත්වයේ අනගිතම පාඩම මේ දේශයට උගන්වා තබමිනි.

54 හැවිරිදි, සුදු පාට ඌනාගේ දෙණට මුලින්ම කර ගැසුවෝ කවරහුද? කළුම කළු පාට තරුණයන් දෙදෙනෙකි. මේ තරුණ අප්‍රිකානුවන් දෙදෙනා ඌනා මෙයට විසි වසරකට පෙර තම සෙවණට කැඳවා ගත් පුතුන් දෙදෙනා ය.

ඇයට ඔවුන් දෙදෙනා හමු වී තිබුණේ සුඩානය, කෙන්යාව සහ ඇංගෝලාවේ යුධ අනාථයන් වෙනුවෙන් ද පැනමාව සහ ටෝගෝ රාජ්‍යය සඳහා යුනිසෙෆ් සංවිධානයේ නියෝජිතවරිය වශයෙන් ද පුරා 17 වසරක සේවා කාලය තුළදී ය. සිත්පිත් නැති වැඩිහිටියන්ගේ ආයුධ සෙල්ලමෙන් ඒ දරුවන් ‘යුධ අනාථයන්’ බවට පත්ව සිටියදී ය. අසරණ දරුවන් ඇසුරේ මනුෂ්‍යත්වය වපුරමින් සිටියදී ය. අවසන, ඇගේ විවාහයේ දායාදය වූ, ඇගේම ලෙයින් මසින් සැදුම්ලත් සුදු සමැති පුතුන් දෙදෙනා පසෙක සිටියදී මේ කලු කොල්ලන් දෙදෙන සිය ආදරණීය සුදු මව් වෙනුවෙන් ලංකාවට පැමිණ, ජයරත්න අවමංගල පරිශ්‍රයේදී ඇගේ දෙණ මත අත තබමින් මේ අවසන් නිමේෂයේ ද තමන්ට ඇය කෙතරම් අරුත්බරද යන්න අපට කියා දුන්හ.

ජගත් සංවිධාන මහලේකම්වරයා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) නියෝජනය කරමින් හවොලියැන්ග් ක්සූ ද, එක්සත් ජාතීන්ගේ සංවර්ධන මෙහෙයුම් සම්බන්ධීකාරකවරිය වන කන්නි විග්නරාජා ද ඌනාගේ ආදරණීය මව, පවුලේ අය ඇතුළු ඇගේ හිත මිතුරෝ රැසක් ද ඇය වෙනුවෙන් දිවයිනට පැමිණ සිටියහ.

ඌනා මැකොලි අකලට මෙලොව හැර ගියා යැයි අප කියන්නේ ඇය තව බොහෝ කල් මේ ලෝකය වෙනුවෙන් ‘වැඩ කළ යුතුව තිබූ නිසා’ හෙවත් ‘ජීවත් විය යුතුව තිබූ නිසා’ ය. ඌනාට ‘ජීවත් වීම’ යනු ‘වැඩ කිරීම’ම වූ නිසා ය.

ඈ පිළිබඳ, ඇය වැඩ කළ ශෛලිය පිළිබඳ දන්නා අප කොයි කවුරුත් ඇයව හඳුන්වන්නේ a pssionate humanitarian හෙවත් ‘ලලාසාවෙන් යුතුව මනුෂ්‍යත්වය වෙනුවෙන් වැඩ කළ කෙනෙක්’ ලෙස ය. එවැනි අය මේ ලෝකයේ ඉතා අඩු ය. මේ ලෝකයේ දැඩි ඌනතාවක් ලෙසින් පවතින්නේ ද ඌනාගේ මාදිලියයි.

එනිසා, ආදරණීය ඌනා, ඔබ නිවී ගියා නොවේ. ඔබේ උරුමය සුදීප්තිමත් ව දැල්වෙන්නට පටන් ගත්තා පමණි.

සටහන:රදිකා ගුණරත්න | ඡායාරූප:අජිත් සෙනෙවිරත්න

පෙර ලිපි: ආදරණීය ඌනා, මේ පොළොවේ ඔබ සුවෙන් සැතපෙන්න

 

Top