1150 x 80 px
මුතු පංතියට ආයුබෝවන් කිව හැකිද?

තෙරක් නොපෙනෙන මහ මුහුද එක් පසෙකින්ය. අනෙක්පස ඇත්තේ ආනවිලුන්දාව රක්ෂිතය හා කලපුවයි. මේ අතර බිම් තීරය හඳුන්වන්නේ ‘මුතු පංතිය’ කියාය.

මුතු පංතිය ගම්මානය තිබෙන්නේ හලාවතය. ගමේ නම ලස්සන වුවත් ගම්වැසියෝ නම් සිටින්නේ මර උගුලකය. ඇතැම් පවුල් තමන්ගේ ගේ දොර අතහැර වෙනත් ප්‍රදේශවල පදිංචියට ගොසින්ය. තවත් පිරිසක් එසේ යාමට හෝරාව එළඹෙන තුරු භීතියෙන් සිටිති. මෙසේ වීමට හේතුව කුමක්ද?

මුතු පංතිය පිහිටා තිබෙන්නේ කලපුවත් මුහුදත් අතර පිහිටි දැවැන්ත වැලිපරය මතය. දැන් මේ වැලිපරය ශීඝ්‍රයෙන් මුහුදට සේදී යන්නේය. මුහුදු ඛාදනය එසේ වේගයෙන් සිදුවීමට පටන් ගත්තේ 2015 වසරේ සිටය. මෙසේ හදිසියේ මේ වැලිපරය සේදී යන්නට පටන් ගත් හේතුව මුතු පංතියේ මිනිසුන්ට නම් නොවැටහේ. ඔවුහු ඒ තත්ත්වයට හේතු නොදැන සිටියත් කොළඹ ඉදිකරන වරාය නගරය මේ හදිසි තත්ත්වයට හේතු වනවාද යන්න සැක සහිතය. මීට පෙර නම් මෙලෙස මුහුදු ඛාදනය සිදු වූයේ අවුරුද්දේ එක කාර්තුවක පමණි. එහෙත් ඊළඟ කාර්තුවේ ඒ ඛාදනය වූ තැනට යළිත් මුහුදු වැලි ගලා ඒම සිදු වූයේය. දැන් නම් එසේ වන්නේ නැත.

muthu panthiya 06

දැනටමත් මීටර් 50ක පමණ සීමාවක් මුහුදු ජලයට සේදී ගොසින්ය. මුහුදු ජලය ගොඩබිමට කඩා නොවදින සේ ඇති වැලිපරයේ තවත් ඉතිරිව ඇත්තේ මීටර් 100 තරම් පළලින් යුතු කොටසකි. මේ වැලිපරය දැන් සිදුවන ශීඝ්‍ර මුහුදු කෑමට තවදුරටත් ගොදුරු වුවහොත් ඉතාම නුදුරේදිම මුුතු පංතිය, සුරුවිල, හේන්කට්ටිය, ආනවිලුන්දාව, පිංකට්ටිය, බත්තුළුව ඇතුළු ගම්මාන මුහුදු ජලයෙන් යට යනු ඇත. මුතු පංතියේ සිට පුත්තලම, කොළඹ ප්‍රධාන මාර්ගය දක්වාම කලාපය මුහුදු ජලයට යටවනු ඇත. හලාවත කලපුව ආශ්‍රිත ඉස්සන් ගොවිපල සියල්ලම මුහුදු ජලයෙන් යටවනු ඇත. මේ භයංකර තත්ත්වය පිළිබඳව මුතු පංතිවාසින් රජයේ බලධාරින්ට කොතෙකුත් ලියා ඇත. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2016 වසරේ මුතු පංතිය සේදී යාම වළක්වනු පිණිස ගල් වැටි ඇතිරුවේ ඒ අනුවය. ඒ ගල් වැටි දැන් පෙනෙන්නට නැති තරම්ය. ඒවා මුහුදු වතුරේ ගිලී නොපෙනී ගොසින්ය. මුහුදු ඛාදනයේ ශීඝ්‍රතාවය මැන ගැනීමට මේ තත්ත්වයම ප්‍රමාණවත්ය. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගල් වැටි දැමුවේ ධීවර ප්‍රජාවගේ හෝ මුතු පංති වාසීන්ගේ උපදෙස් අවවාද නොතකාය. වෙරළ සංරක්ෂණය පොතේ හැටියට සිරස් ගල් වැටි දැමුවත් ඒවා මුහුදට සේදී යන බව මුතු පංති වාසීන් පෙන්වා දුන්නේය. ගල් වැටි යොදන ආකාරය පිළිබඳව වෙරළ සංරක්ෂණ බලධාරින්ට පෙන්වා දුන්නත් ඔවුහු ඒවා තඹේකට මායිම් කළේ නැත. දැන් ඒ ගල් වැටි සියල්ලම වතුරේය. මුහුද සමග සමාන්තරව තිබූ වෙරළ අද අඩි පහ හයක උසින් යුතු ඉවුරක් සේ දිනපතාම ඛාදනය වෙමින් ඇත්තේය. මේ නිසා මුතු පංතිවාසී ධීවර කාර්මිකයන්ට සිය යාත්‍රා නවතා තබන්නට හෝ දියත් කරන්නට නොහැකි තැනක් බවට පත්ව ඇත. නුදුරේදීම මුතු පංතිය යට කරගෙන ගොඩ බිමට කඩාපාත් විය හැකි සුනාමිය පිළිබඳව භීතිය ඇත්තේ මුතු පංතිය ධීවර ජනතාවටය. ඔවුහු වෙරළ සංරක්ෂණ නිලධාරින්ගේ පටන් ජනාධිපතිවරයා දක්වාම මේ අනතුර පිළිබඳව පෙන්වා දී තිබේ. එහෙත් කිසිවෙකු මේ ජනතාව පෙන්වා දෙන පූර්ව අනතුරු ඇඟවීම තේරුම් ගෙන නැත.

muthu antoni web

හැටඑක් හැවිරිදි ඩබ්ලිව්. අන්තෝනි ප්‍රනාන්දු මුතු පංතියේ පැරණි ධීවර කාර්මිකයෙකි. ඔහු මුතු පංතිය පිළිබඳව කීවේ මෙවැනි කතාවකි.

‘‘ඉස්සර අපේ සීයලා මේ හරියේ මුතු ගරලා තියෙනවා. දැනුත් ඉඳහිට මැරුණු මුතු ලැබිලා තියෙනවා. මුහුදු ඛාදනය නිසා ඒ ඔක්කොම වැනසිලා අර පේන ගල්පරයටත් එහායින් තමයි එදා අපි ඔරු නැවැත්තුවේ. ඔහු අපිට අත දිගුකර පෙන්නුවේ වෙරළේ සිට මීටර් සියයක තරම් දුරක මුහුදේ ගිලී ඇති ගල්පරයකි. මුහුදු ඛාදනය නිසා දැන් මේ හරියේ දැල් එලන්න බෑ. ඒ කාලේ පවුල් අසූවක් විතර හිටියේ දැන් පවුල් දෙසීය තිහක් විතර ඉන්නවා. වාරකන් කාලෙට කලපුවේ ඉස්සන් වගා කළා. කලපුවේ රස්සාව කළා අනෙක් කාලෙට මුහුදු ගියා. දවසේ රස්සාව තමයි කරන්නේ. දැන් අවුරුදු තුනක විතර ඉඳලා මුතු පංතියේ වැලි වැටිය හේදෙනවා. 2016 වෙරළ සංරක්ෂණ මහත්තුරු ඇවිත් ගල් වැටි දැම්මා. ගල් ඇදපු නිසා තාර දමලා තිබුණු පාර විනාශ වෙලා ගියා. අඩුගානේ මුහුදු ඛාදනය නතර වුණා නම් පාර පස්සේ හරි හදාගන්න තිබුණා. අන්තිමට ඔක්කොම වතුරේ. අපරාදේ ඒ සල්ලි. මාරියාව ගහනවා දැන් මේ වැලිකන්ද පාමුල. වෙරළ සංරක්ෂණේ මහත්තුරු ඇවිත් බැලුවා බලලා ගියා. අපි කිව්වා රලේ ගහන විදිය අපි කියන්නම් රලේ කැඩෙන විදියට ගල් වැටි දාන්න කියලා. මහත්තුරු කිව්වා ලොකු තැනට ලියන්න කියලා. කවුරුත් කල්මර මර ඉන්නවා තව ටික කාලෙකින් අපිත් ඉවරයි ගමත් ඉවරයි. අවට ගම් ටිකත් මුහුදටම දිය වේවි.’’

muthu nilukshan web

විසි හැවිරිදි නිලුක්ෂන් මධුරංග අපට හමු වූ තරුණ ධීවර කාර්මිකයෙක්. ඔහු කීවේ වෙරළ සංරක්ෂණය සුනාමි ආපු කාලේ ලකුණු කළ මීටර් සීයේ සීමාව දැන් මුහුදට සේදී ගොස් ඇති බවයි.

“ඉස්සර මෙතන තොටුපළක් තිබුණා. එතන බෝට්ටු 50 ක් විතර නවත්තන්න ඉඩකඩ තිබුණා. දැන් එතන මුහුද. මුතු පංතියේ උතුරේ සිට දකුණට ගල් වැටි 30 ක් විතර දැම්මා. එකක්වත් දැන් නැහැ. ඉංග්‍රීසි T අකුරේ හැඩයට ගල් වැටි ටික දැම්මා නම් මෙහෙම වෙන්නේ නෑ. මුතු පංතිය උතුරු කොටසේ ඛාදනය වැඩියි. හොඳ හැටි ගල් වැටි පහක් දැම්මා නම් මුහුදු ඛාදනය වෙන්නේ නෑ. මුතු පංතිය දකුණේ ගල් වැටි දාන්න ගෙනාපු ගල් ගොඩ ගහලා තියෙනවා. දැන් තියෙන්නේ ඒ ගල් ටික ඛාදනය වෙන්නේ කොහොමද කියලා බලලා වෙරළේ තැන්පත් කරන එක විතරයි. ඒක කරන්නෙත් නෑ.’’

muthu nishantha web

හතළිස් හත් හැවිරිදි රොහාන් නිශාන්ත කියන්නේ 2004 සුනාමිය වෙලාවේ මේ ප්‍රදේශයට මේ ආකාරයේ හානියක් නොවූ බවයි. මේ විදියට වැලිපරය හේදිලා ගියොත් මුහුදයි කලපුවයි එකතු වෙලා මේ ප්‍රදේශයේ ඉස්සන් වගාව මුළුමනින්ම නැති වෙලා යාවි. ඔහු පේන නොපෙනෙන මානයේ අනතුර ගැන කීවේය.

මුතු පංතියේ සරත් මෙල්රෝයි කීවේ මෙවැනි කතාවකි.

muthu melroi web
“මාරවිල, තලවිල දාපු ගල් වැටි හොඳයි. ඒත් මුතු පංතියේ දාපු ගල් වැටි ඔක්කොම මුහුදේ. මේ අවුරුදු තුනට මීටර් 20කට වැඩිය මුහුදටම හේදිලා මුහුදෙන් යටවෙලා. මුහුදේ දියවැල් වෙනස් වෙලා එහෙම වුණේ ඇයි කියලා අපි දන්නේ නෑ. කොහොම වුණත් මෙහෙම හේදිලා ගියොත් ලොකු විනාශයක් වෙයි. තව මීටර් පනහක් කැඩුනොත් මුතු පංතිය ඉවරයි.

මුතු පංතිවාසී නිහාල් කිත්සිරි මුහුදු ඛාදනයේ වේගය ගැන කීවේ මෙවැනි නිදර්ශනයකි.

muthu nihal web
“ඉස්සර සුරුවම තිබුණේ අන්න අතන. වැලිපරේ කැඩෙන්න කැඩෙන්න සුරුවම පස්සට ගත්තා. මීටර් 25 ක් විතර ගොඩබිම පැත්තට වෙන්න සුරුවම තිබ්බා දැන් මුහුද එතෙන්ට ඇවිල්ලා. අපි වගේම අවට ගම්වල අයත් ජීවත් වෙන්නේ මුහුදෙන් කලපුවෙන්. දැන් ඒ දෙකම නැතිවෙන්න යන්නේ. වැලිපරේ රකින්න ගල් වැටි දාන්න ගල් ගෙනල්ලා මුතු පංතියට එන පාර නැති වුණා. දැන් පාර් යන්න බෑ. මුහුදත් ගොඩබිමට එනවා. ලොක්කන්ට කීවා. ගස් ගල්වලට කිව්වා වගේ වැඩක් වුණේ නෑ.’’ බලාපොරොත්තු සිඳුන දෑස් අග තෙත් කරමින් හෝ සිය කෝපයත් වේදනාවත් දියකර හැරියේය. මුතු පංතියේ එක තැනක අන්නෙයි වේලක්කන්නි දේවස්ථානයකි. සාන්තියාගෝ අපෝන්සුතුමාගේ සුරුවම තව තැනකය. ලුර්දු මෑණියන්ගේ සුරුවමත් සෙබස්තියන් මුනිතුමන්ගේ සුරුවමත් මේ මිනිසුන්ගේ මේ මහා දුක්ගැනවිල්ල අසා සිටින්නා සේය. අසා සිටිනු හැර මේ ගල් මැටි පිළිම මේ විනාශය වළක්වන්නට කවර ප්‍රතිකර්මයක් කරන්නේද? මුතු පංතියේ වැඩියෙන්ම ඇත්තේ සාන්තියාගෝ අපෝන්සුතුමාගේ සුරුවමය. අශ්වයකුගේ පිට මත නැග සිටින උතුමාණන්ගේ සුරුවම මුතු පංතියට කදිමට ගැලපෙන තරම්ය. ඇත්තෙන්ම මුතු පංතියට තවත් ටික දවසකින් යන්නට සිදුවන්නේ අශ්වයාගේ පිට මතිනි. ඒ තරමට ගමට යන පාර අබලන්ය. එනමුදු තමන් කතිරය ගසා උස් අසුන්වලට පිටත් කර යැවූ දේශපාලකයෝත් උපයන මුදලින් බදු ගෙවා නඩත්තු කරන රජයේ නිලධාරියොත් මුතු පංතියේ විනාශය වළක්වන්නට කටයුතු කරන්නේ නැත. ඉතින් මේ මිනිසුන්ට තමන්ගේ දුක්ගැනවිල්ල උදේ හවා කියන්නට සිදුව ඇත්තේ ගඩොලින් ගලින් මැටියෙන් ඔවුන්ම තැනූ සුරුවමටය.

muthu panthiya 01

muthu panthiya 02

muthu panthiya 03

muthu panthiya 04

muthu panthiya 05

දයා නෙත්තසිංහ
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

 

Top