1150 x 80 px
සිහින වියැකුණු නමුණුකුල ළඟ තෛවානි අම්මගේ හදවත

මාර්තු 08 ලෝක කාන්තා දිනය ලෙස නම් කිරීමට තුඩුදුන් හේතුව වූයේ 1908 මාර්තු 08 වනදා ඇමරිකාවේ ඇඟලුම් කම්හලක තරුණ සේවිකාවන් පිරිසක් එතෙක් පැවති පැය 16ක වැඩමුරය වෙනුවට පැය 10ක වැඩමුරයක් ඉල්ලා කළ ධෛර්ය සම්පන්න සටනය.

එහෙත් මාර්තු 08 ලෝක කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කරන්නේ 1910 කොපර්හේගන් නුවර පැවැත්වුණු ජාත්‍යන්තර සමුළුවකදීය. මේ ගෙවෙන්නේ 108 වැනි ජාත්‍යන්තර කාන්තා දිනයයි. කාන්තාවන්, දරුවන්, කම්කරුවන්, වැඩිහිටියන්, ආබාධිතයන් ඇතුළු සමාජයේ විවිධ ස්තරයන් අරබයා ජාත්‍යන්තර දින නම් කෙරී ඇත. එහෙත් භාවිතාවේ ඔවුන්ගේ අයිතිවාසිකම් හෝ ඉල්ලීම්වලට කුමක් සිදු වී ඇද්ද? තෛවානෙයි උපන්නේ ජාත්‍යන්තර කාන්තා දිනය ප්‍රකාශයට පත් කර වසර දෙකකට පසුය. මේ ඇගේ කතාවයි.

thaivani amma 1

නමුණුකුල ඉකිගසා වැලපෙන්නේය. කඳුළු වැගිරෙන සෑම මොහොතකම මිහිඳුම් සේලයෙන් ඇය මුහුණ වසා ගන්නීය. ඇය හඬා වැලපෙන්නේ අගේ පාමුල වෙසෙන දරුවන් දුක් විඳිනු දැකය. ඉතින් මේ නමුණුකුල මවුන් පාමුල ගහ වැල හැමදාම තෙතබරිතය. තේ දලු මතත් රෝසමල් පියවිලි තුරුලෙහිත් දිදුලන්නේ නමුණුකුල හඬන කඳුළුය. සංසාරය කෙතරම් දිගුද? ඇය එතෙක් හඬනු ඇත. වතු කම්කරු දූ පුතුන් අතරින් නමුණුකුල මාතාවගේ වැඩිමහල් දියණිය අවුරුදු 106 ක් සම්පූර්ණ කර ඇති ‘තෛවානි’ අම්මාය. දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ කොත්තමංගලම් ප‍්‍රදේශයේ උපත ලද තෛවානි දියණිය සිය ගම්බිම් අතහැර නමුණුකුල මවුන් තුරුලට ආවේ වයස අවුරුදු පහේදීය. ඇත්තෙන්ම එතැන් සිට කවා පොවා ඈ ඇති දැඩි කළේ නමුණුකුල මාතාවය. ඉතින් ඇගේ කලදවස ගැන අදත් නමුණුකුල මාතාව වැලපෙන්නීය; කාටවත්ම නෑසෙන්න වැලපෙන්නීය. ඇතැම් දිනවල ඉකි ගසා වැලපෙන්නීය. අපි ඒ කඳුළු මහ වැසි ලෙස දකින්නෙමු. ඇය හදා වඩා ගත් දහස් සංඛ්‍යාත දරුවන් අතර තෛවානි දියණිය පිළිබඳව අපි ලියන්නේ ඇගේ කතාව තුළ මේ සියලු වතු කම්කරුදූ පුතුන්ගේ ජීවිතය සටහන් වී ඇති බැවිනි; ශෝකය සටහන් වී ඇති බැවිනි.

thaivani amma 8

උම්බලකඩ වතු සහ පරිප්පු කඳු

තෛවානි අම්මාගේ අම්මා කරුපායී තිරුමතිය. පියා රාමසාමිය. තෛවානිට අමතරව ඔවුන් දෙපළට තවත් දරුවන් පස් දෙනෙකු සිටියේය. ගස්වැල්වල පිරී ඉතිරී හැදෙන උම්බලකඩ වතු ගැනත් ඇළ දොළේ පාවී එන පරිප්පු කඳු ගැනත් ඇසූ අපූරු දිවයින සොයා ඔවුන් දකුණු ඉන්දියාව අතහැර නැව් නැඟුණේ 1920 දීය. තලෙයි මන්නාරමෙන් ගොඩබට මේ නඩය එතැන් සිට දුම්රියෙන් බදුල්ලට ආවේය. සුරංගනා කතාවල කී දිවයින වෙනුවට ඔවුන්ට තේ වත්තේ ඉතා කුඩා ලැයිම් කාමරයක් හිමි වූයේය. පසු දා සිටම වත්තේ වැඩට යා යුතු විය. 1915 උපත ලද තෛවානි දියණියගේ එවකට වයස අවුරුදු 05 කි. නමුණුකුලට නුදුරු වේවැස්ස වතුයායේ කාලයක් ගත කළ ඔවුහු ඉන් පසුව නමුණුකුල කඳු පාමුල ස්ප‍්‍රිංවැලි වතු යායේ පදිංචියට ගියහ. ඒ කිසිම තැනෙක මිහිරි යැයි කිව හැකි කිසිවක් හමුවූයේ නැත. සෑම උදෑසනකම තෛවානිගේ මවත් පියාත් කඳු පාමුල සිට කන්ද ඉහළට තේ දලු නෙළුවෝය. ආයෙත් හවසට කඳු මුදුනේ සිට පල්ලම් බැස්සෝය. කඳු නැගීම, පල්ලම් බැසීම, තේ දලූ නෙළීම, උදුළු ගෑම, ජීවිතයේ කොටසක් නොව ජීවිතයම වූයේය. සීතල උණුසුම හෝ අනෝරා වැසි අදාළ වූයේ නැත. තෛවානි පුංචි සුරංගනාවිය....! වයස අවුරුදු අටේ දී සිය ළමා වියට සමුදුන්නාය. ගණපතිට, සරස්වතියට, ලක්ෂ්මීට පහන් දැල්වූ ඇයට එකදු දෙවියකු ‘නුවණ’ දෙන්නට ඉදිරිපත් වූයේ නැත. අඩුම තරමේ ඇයට සිය අත්සන තැබීමට තරම්වත් සාක්ෂරතාවක් ලැබුණේ නැත. ඇගේ පාසල වූයේ වත්තය. ‘තෛවානි’ දියණිය වත්තේ තේ දලු නෙළන්නට ගියේ වයස අවුරුදු අටේදීය. තමන්ට වඩා වයසින් වැඩි, උසින් වැඩි තේ ගස් හැර ඇගේ පාඩම්වල අන් කිසිවක් වූයේ නැත. ඇතැම් දිනවල හරිහැටි තේ දලු නොමැති නිසා කංකානිගේ වේවැල් පහර කන්නට සිදු වූයේය. ඉතින් නමුණුකුල පාමුල තේ වත්ත ඇගේ පාඩම් පොත වූයේය. තේ ගසට වඩා ඉහළට ඇගේ හිස මතුවෙත්ම ඇය දක්ෂ තේ දලු නෙළන්නියක වූවාය. සෙල්ලම් අශ්වයන් ගැන, බෝනික්කන් සහ ගිරවුන් ගැන ඇගේ සිහින සියල්ලම තේ දලු අතර වියැකී ගියේය. රෝස මල් පෙති මෙන් තිබූ දෑත තැනින් තැන පුපුරා ලේ ගැලුවේය. ඒ දෑත මතම කංකානිගේ වේවැල් පහර ද පතිත වූයේය.

thaivani amma 2

තෛවානිගේ දුකට හඬන නමුණුකුල

“සමහර දවස්වල මම තේ ගහට උස නැති නිසා කංකානි ඇවිත් අත් දෙකෙන් උස්සලා දලූ කඩපු තේ ගස්වල ඉතුරු දලූ කඩන්න කිව්වා. සමහර දවස්වලට වේවැල් පහරකුත් දීලා තමයි එහෙම කළේ. කංකානි මට ගහනකොට අම්මා ඇඬුවා”. සියවසක් ඉක්ම වූ තෛවානි අම්මා සිය අතීතයේ ඉගෙනගත් පාඩම් පොත අප හමුවේ දිගහැරියාය. තේ දලු අතරම සිරවූ දෑතත් වත්තටම ගෙවී ගිය දෙපයත් යොවුන් වියට පිවිසියේය. 1931 දී තෛවානිට විවාහ වීමට සිදු වූයේය. එවකට ඇගේ වයස අවුරුදු 16 කි. මනමාලයා දැක්කේ විවාහ වීමට නියම කළ දිනයේ උදෑසනය. මනමාලයා තෛවානි සොයා ගත් තරුණයෙකු නොවේ. අතිශයින්ම තීන්දුව තෛවානිගේ මව්පියන්ගේය. ලූණු මිරිසක්, රොටියක්, බතක්, පොල් සම්බෝලයක් උයා පිහා ගැනීමට වැඩි සූප ශාස්ත‍්‍රයක් ඇය සතු වූයේ නැත. විවාහයෙන් පසුව දරුවන් පස් දෙනෙකු ඇයට ලැබුණත් ඉන් දෙදෙනකු අඩු වයසින්ම ජීවිතයෙන් සමුගත්තාය. ඉතිරි වූයේ දූවරු දෙදෙනෙකු සහ එක් පුතෙකි. මේ සමයෙහි තෛවානි සමඟ ලංකාවට පැමිණි සහෝදර සහෝදරියන් සියල්ලත් මවත් පියාත් නැවත සිය උපන් ගම්බිම්වලට ගියෝය. 1942 ඔවුන් සියල්ලෝම තමිල්නාඩු ප‍්‍රාන්තයේ කොත්තමංගලම්හි නැවත පදිංචියට ගියේය. විවාහ වී දරුවන් සමඟ සිටි තෛවානි නමුණුකුල කඳු පාමුල ස්ප‍්‍රිංවැලි වත්තේම බින්න බැස්සාය. සිය සමීපතමයන් සියල්ලන්ගේ නික්ම යාමත් දරුවන් දෙදෙනෙකු සදහටම ජීවිතයෙන් සමුගැනීමත් තෛවානි තුළ ඇති කළ කම්පනය අදත් ඇස්වලින් එළියට පනින්නේය. ඉතින් නමුණුකුල නාඩා සිටින්නේ කෙලෙසකද? තවත් ටික කලකින් තෛවානිගේ පුතා තමිල්නාඩු ප‍්‍රාන්තයේ නීලගිරි දිස්ත‍්‍රික්කයේ පන්දලර් කොට්ඨාසයේ අම්බල මුලාවිල්හි පදිංචියට ගියෝය. ඇය සමඟ ඉතිරි වූයේ දියණියන් දෙදෙනා පමණි. ඉන් පසුව ඉතිරි වූයේ දැඩිතර ශෝක මාලයකි. 1953 තෛවානි අම්මා සිය පියා බැලීම සඳහා තමිල්නාඩු බලා පිටත් වීමට තීරණය කළාය. ඒ සඳහා ඇය බදුල්ල දුම්රිය ස්ථානයට ගොස් ගමන් බලපත‍්‍රය ලහිලහියේ සාදවා ගත්තේය. පාස්පෝර්ට් එක හෙවත් ගමන් බලපත‍්‍රය ඇගේ අතට ලැබීමත් සමඟ බදුල්ලෙන් කොච්චියේ නැග පොල්ගහවෙලෙන් බැස තලෙයිමන්නාරම් දුම්රියට නැග තලෙයිමන්නාරමෙන් නැව් නැඟුණාය. අහෝ ඇය සිය පියා දැකීමට ආසාවෙන් බලා සිටියත් ඇය තමිල්නාඩුවට යන විට දැකගන්නට ලැබුණේ සිය පියාගේ මළකඳය. තෛවානිට පාස්පෝර්ට් එක ලැබුණු දිනයේම තමිල්නාඩුවේ සිටි පියාගේ දෑස පියැවී තිබිණි. ඉතින් නමුණුකුල නාඬා සිටින්නේ කෙලෙසකද?

thaivani amma 4

දියණිවරු වෙනුවෙන්ම කැප වී

නැවත ලංකාවට පැමිණි ඇය සිය දියණියන්ගේ විවාහ කටයුතු සූදානම් කරන අතරතුර තෛවානිගේ සැමියා හදිසියේම ජීවිතයෙන් සමුගත්තේය. ඒ 1965 දීය. බදුල්ල රෝහලේ දී දෙනෙත පියා ගත් සැමියාගේ අවසන් කටයුතු නිම කිරීමෙන් පසුව දියණියන්ගේ විවාහ කටයුතු කෙරෙහි ඇය උනන්දු වූවාය. එක මොහොතක් විවේකයෙන් නොසිටි මේ මාතාව තමන් ඉගෙන නොගත් දැනුම දරුවන්ට ලබා දීම සඳහා අපමණ වෙහෙසක් ගත්තීය. ඒ සඳහා ඔවුන් වතු පාසල්වලට පිටත් කර හැරියාය. දියණියන් දෙදෙනා හත්වන කැලෑසිය තෙක් ඉගෙන ගත්තාය. මවට බැරි වුණත් යමක් කියවා ගන්නටත්, ලියන්නටත්, අත්සන් කරන්නටත් ඔවුහු දැන ගත්හ. වයස අවුරුදු 72 දීත් වතුවල වැඩට ගිය තෛවානි අම්මා ඉන් පසුව සිය දරු මුණුපුරන් පෝෂණය වෙනුවෙන් ශ‍්‍රමය වැගිරීය. ඇගේ අතපය හරියට වාරු නොවීමත් කඩිසරව වැඩ කිරීමට අපහසු වීමත් නිසා 1980 රස්සාව අතහැර දියණියකගේ නිවසේ නතර වූවාය. දැන් ඇගේ වයස අවුරුදු 106 කි. සියවසක් ඉක්මවූ මේ මාතාව වතු ආශ‍්‍රිත ඉතිහාසය කියන පුරාවෘත්තයක් බඳුය. මුළු ජීවිත කාලයම මෙරට ආර්ථිකය සවිමත් කිරීමට අරගල කළ මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියාට ගරු නම්බුනාම සම්මාන හෝ තෑගි ලැබුණේ නැත. සුදු ආණ්ඩුකාරවරුන් අශ්වයාගේ පිටින් බසිනු, ගමන් බිමන් යනු සියැසින් දුටු අවසන් පරම්පරාවට තෛවානි අම්මා අයිතිය. ඉතිහාසය පුරා සිදු වූ විවිධ හැලහැප්පීම් ඇයගේ මතක ගබඩාව තුළ තැන්පත්ව ඇත්තේය. එදා සුද්දන් තනා දුන් අඩි අටයි දහයේ කාමරයක සියවසක් ඉක්මවා ජීවත් වන තෛවානි අම්මා දරුවන් ලොකුමහත් කිරීම වෙනුවෙන් බාගෙට කුස පුරවා ගත් අතීතයක් ඇයට ඇත්තේය. මස් හෝ මාළු ප‍්‍රිය නොකළ මේ අම්මා කඩල, මුංඇට, කුරක්කන්, මෑ ප‍්‍රියකරන බව කියයි. බත් ස්වල්පයක් සහ තේ කෝප්පය අදත් ඇයගේ ප‍්‍රධාන ආහාර වේලය. වයස අවුරුදු 106 ක් වුවත් උපැස් යුවළක් පාවිච්චි නොකර ලෝකය දකින්නට ඇය වාසනාවන්තය. එමෙන්ම සැරයැටියේ වාරුවෙන් තවමත් ගමන් බිමන් යන්නීය. වෙදකම් කරන්නීය. කුලප්පු වූ ගවයෙකු ඇනීමෙන් 1996 දී ඇගේ උගුරුදණ්ඩ සිදුරු වූයේය. නියමිත ප‍්‍රතිකාරවලින් පසුව ඇය යළිත් නිරෝගි වූවාය.

thaivani amma 5

ගැහැනු පිරිමි වටිනාකම

එතැන් සිට මේ දක්වාම ඇය වතුවල කානුවල වැටෙමින් තුවාල ලබමින් සුව වෙමින් මහත් පරිස්සමකින් දිවි ගැටගසා ගත්තාය. ඉන්දියාවේ සිටින ඥාතීන් සමඟ ස්කයිප් ඔස්සේ සම්බන්ධ වෙමින් සැප දුක විමසන්නීය. තාක්ෂණයේ මහිමය ඇයට ඇගේ සමීපතමයින් මුණගැස්සවීම කෙතරම් නම් භාග්‍යයක්ද? ඉන්දියාවේ වෙසෙන තෛවානි අම්මාගේ මුණුපුරන් ඇයට ‘මඟුල් කාඞ්’ එවීම අතීතය මතක් කරදීම මහත් අස්වැසිල්ලක් සේ ඇයට දැනෙන්නේය. මෙරට වතු ඉතිහාසයේ තිබූ විනය සහ සංස්කෘතිය පිරිහී ගොස් ඇති බව ඇය කියන්නේ කනස්සල්ලෙනි. තවමත් නිරෝගී මේ අම්මණ්ඩි සැර බීම ජාතිවලින් ඩ‍්‍රැම් එකක් පාවිච්චි කරයි. එසේ අඩියක් ගැසූ දවසට ලැයිම් කාමරවල දරුවන් වට කරගෙන මහා භාරතයේ සහ රාමායණයේ ප‍්‍රවාද කෙළවරක් නැතුව කියවන්නීය. මේ ලැයිම් කාමරවල වෙසෙන වැඩිහිටි පිරිමි සහ ගෑනු ඉතිහාසය අසා දැනගන්නේද ඒ වෙලාවටය. අසා පුරුදු කවි ගීත කියවා තෙහෙට්ටු වී සිටින පිරිස නිවාසනහන්නට මේ ගුරුතුමිය තවමත් හරිහපන්ය. රෝහලකට යාමට තරම් හැකියාවක් නොතිබූ මේ මාතාව සියලූම දරුවන් ප‍්‍රසූත කළේ ඇගේ නිවස තුළමය. වින්නඹු අම්මණ්ඩි කෙනෙකු ඒ සියලූ දරු උපත්වලට වගකීවාය. ඇය පිරිමි සහ ගැහැනු දරු උපත්වල වටිනාකම පිළිබඳ හරි අපූරු හෙළිදරව්වක් ද කළාය.
”ඉස්සර ඉස්පිරිතාලෙ දි දරුවෙක් ලැබුණොත් සුද්දා එනවා බලන්න. පිරිමි දරුවෙක් වුණොත් රුපියලක් අතේ මිට මොළෝනවා. ගෑනු දරුවෙක් වුණොත් ශත පනහක් අතේ මිට මොළෝනවා. වත්්තේ වැඩට පිරිමි ඕන නිසා වෙන්න ඇති දෙගුණයක් දුන්නේ”. තෛවානි අම්මාගේ මේ හෙළිදරව්ව තුළ කියැවෙන ගැඹුර කුමක්දැයි වටහා ගැනීම ඔබට බාරය. තෛවානි අම්මා මහන්සියෙන් උපයා ගත් ධනයෙන් ඇය යොවුන් වියේ දී පවුම් නවයක බරකින් යුතු කරාබු ජෝඩුවක් පැලඳුවේය. ඇගේ ලඹ සවන් ඒ අතීතය සාක්ෂාත් කරන්නේය. කොපමණ දුගී වුවත් පිළිවෙළ පිරිසිදුකම ඇගේ ජීවිතයේ කොටසක් වී ඇත්තේය. කඩිසරව වැඩ නොකරන පිරිමි සහ ගෑනුන්ට ඇය අකැමැතිය. එමෙන්ම තමන් ජීවිතයෙන් පොහොසත් කළ තේ ගසට ඇය තවමත් අතිමහත් ගෞරවයක් දක්වන්නීය. ඇය වයසින් කොතෙක් දුබල වුවත් වත්තේ සංගුව පිඹින නාදයට ඇහුම්කන් දෙන්නීය. වැඩට යන ගැහැනු පිරිමි දකින ඇයගේ සිත ප‍්‍රීතියෙන් පිරී යන්නේ සිය අතීත මතක සටහන් සිත තුළ නලියන නිසා විය හැකිය. නවසිය හැත්තෑවේ ඇගේ කායික දුබලතාව හේතුවෙන් වත්තේ වැඩ නොදුන්නත් ගමේ වැඩට ගිය තෛවානි අම්මා හවසට දරු මුණුපුරන්ට පාන් ගෙඩියක් හෝ රැුගෙන නොආ දවස් දුලබය. කෙසේ වුව ද ජීවිතයේ පෙළහර පෑ සමය දැන් ගෙවී ගොසින්ය. තමන්ගේ යැයි බිම් අඟලක් හෝ නැතිව වත්තේ වැඩ කළ තෛවානි අම්මාගේ වත්මන් පරම්පරාව ගැන ඇයට ඇත්තේ දුකකි. පරම්පරා ගණනක් කළ කැප කිරීම්වලට ඉඩමක් හෝ හිමිවන්නේ මිය ගියායින් පසුවය. ඒ වැළලෙන සොහොන් බිමය. එනමුදු පරම්පරා හතරකට පහකට වැඩි ඉතිහාසයක් පුරා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට වලි කෑ නමුණුකුල මාතාව පාමුල වතු කම්කරු දූ පුතුන්ගේ සහ ඇය හතර වටින්ම දකින වතු කම්කරු දූ පුතුන්ගේ ඉරණම එකක්මය.

thaivani amma 7

අවසන් උරුමය

බඹර දෙබර ප‍්‍රහාරවලට ගොදුරු වූ කඳුබෑවුම්වලින් ලිස්සා වැටී අතපය බිඳුණු, තේ කෝටු ඇනී ඇස් අන්ධ වුණු. වක් වූ, කොර වූ, තුවාල වූ, අංගවිකල වූ දූ පුතුන් පිරිවරක් මේ වතු නිවාසවල අඳුරු කාමර තුළ දිවි ගෙවන්නේය. තෛවානි අම්මා සියවසක් පුරා මේ මහා දුක් කඳ උපේක්ෂාවෙන් විඳ දරා ගත්තාය. සත්තකින්ම නමුණුකුල මාතාව සේම සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගත්තාය. ඇතින්නියකගේ මෙන් රැුලි වැටුණු මුහුණක්, පුළුන් රොදක් සේ ධවල පැහැයෙන් දිදුලන ශිර්ෂයත්ලෙ හෙනෙකුගේ පාද මෙන් සිනිඳු දෑතත් ඇගේ අතීත කැපකිරීම්වල උදාරත්වයේ සලකුණු බඳුය. දෙමළ භාෂාව පමණක් දැන වත්තේ වැඩට ගිය ඇය අවට ගම්මානවල සිංහල ජනතාවගෙන් සිංහල බස ව්‍යවහාර කරන්නට හුරු පුරුදු වූවාය. දැන් ඒ මතකය ද දුබල වී ඇත්තේය. බොහෝ කාලයක් නිවාස අඩස්සියේ මෙන් ගෙවන ජීවිතය ඇය ප‍්‍රිය කරන්නේ ද නැත. එනමුදු කරන්නට අන් කිසිත් නැත. තමන්ගේ පරම්පරාව විඳි කටුක අත්දැකීම් යළි යළිත් දැකීම මේ සන්ධ්‍යා සමයේ තෛවානි අම්මගේ හිතට බර වැඩිය. ඊටත් වැඩිය නමුණුකුල මාතාවට ද ඉවසන්නට බැරිය. ඉතින් නමුණුකුල සංසාරය ගෙවෙන තුරුම හඬන්නේ ඒ නිසාය.

thaivani amma 9

thaivani amma 10

thaivani amma 11

thaivani amma 12

thaivani amma 13

thaivani amma 14

thaivani amma 3

thaivani amma 15

දයා නෙත්තසිංහ
ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

Top