1150 x 80 px
කාන්තා දින සැමරුමෙන් අමතක කෙරෙන තවත් කඳුළු කලාපයක්

සරෝජිනී,
ඇය උපන්නෙ මහනුවර. මට සරෝජිනී හමුවෙනකොට ඇය ජීවත්වුණේ සුන්දර නුවරඑළියෙ. නුවරඑළිය සුන්දර වුණත් සරෝජීනි කියපු කතාව නම් සුන්දර නැහැ. ඔබත් එක්ක බෙදාගන්න කියලා සරෝජිනී මගේ අතට ගුලි කරපු ඇයගේ ජීවිතය මට සිළුටු නැහැ.

සරෝජිනී අදටත් දඟයි. ඇයත් එක්ක තරගෙට වගේ දඟ කරන්නෙ ඇයගේ සුරතල් දියණිය. සරෝජිනීට දැන් වයස 52 යි. ඇයගේ දියණිය ප්‍රියංවදාට දැන් වයස 12යි.

සරෝජීනි උපතින් බෞද්ධ ද හින්දුද කියන්න ඇය දන්නෙ නැහැ. සරෝජිනීගෙ අම්ම සිංහල, තාත්තා දෙමළ. උප්පැන්න සහතිකයේ තියෙන්නෙ දෙමළ කියල. ඒත් සරෝජිනී දන්න දවසෙ ඉදලම කතා කළේ සිංහල. බීලා වැඩිවෙලා අම්ම එක්ක රණ්ඩු වෙද්දී නම් තාත්තාගෙන් දෙමළ කුණුහරුප ටිකකුත් අහගන්න පුළුවන් වුණා. අම්මයි තාත්තාගෙයි අඩදබර මැද්දෙ ගෙවුණු සරෝජිනිගෙ ජීවිතේ පුංචිකාලෙ ඉදළම ටිකක් අමුතුයි. වත්තෙ ඉස්කෝලෙ චණ්ඩි ගොඩක් හිටියට ඒ චණ්ඩි ඔක්කොටම චණ්ඩි රැජින කිරුළු පැළැන්දුවෙ සරෝජිනී. දෙමළ ලැයිම් පේළියේ හිටපු සෙල්වට නාහෙන් කටින් ලේ ඇවිල්ල මූන සමතලා වෙන්න නෙළුව දවසෙන් පස්සෙ නූරි වත්තෙ ළමා චණ්ඩිය සෙල්වගෙ ඔටුන්න නිකම්ම සරෝජිනීගෙ ඔළුවට පැළැන්දුනා. පුංචි ළමයි අසාධාරණයක් වුණාම සරෝජිනී අක්කට කියන්නම් කියල අනිත් ළමයි බය කරද්දී වත්තෙ ගෑණු ළමයි නැලෙව්වෙත් සරෝජිනී ලව්ව බය කරල.

වයස අවුරුදු 15ට ඔන්න මෙන්න තියලයි සරෝජිනී ගෙට වුණේ. එහෙමත් නැත්නම් ගමේ භාෂාවෙන් කිවුවොත් ජම්බු ගහෙන් වැටුණෙ. එදා ඉදළ අම්මා සරෝජිනීට එක එක තහංචි දැම්මත් දඩබ්බරකම් කරන්නම හිතෙන ඇගේ හිතට වෙට්ටු දමන්න අම්මටවත් බැරිවුණා. ලොකු ළමයෙක් වුණාට පස්සෙ හරිම වේගයෙන් උස් මහත් වුණ ඇයගෙ පස්සෙ නූරි වත්තෙ නෙවෙයි අනෙක් වතුවල කොල්ලොත් පිස්සු වැටිල වගේ ආවට උන් ගැන මෙලෝ හැඟීමක් සරෝජිනීට දැනුනෙ නෑ. කොටින්ම කිවුවොත් රංජනීල, ගීතා ලා කියන විදියට කොල්ලො එක්ක යාළු වෙන්න, උන් එක්ක තේ පඳුරු අස්සෙ රිංගන්න රංජනීට හිතුණෙම නැහැ. ඒත් ගීතා කොල්ලො ගැන ඕනවට වැඩියෙන් කියවද්දී ඒ කොල්ලො ගැන ලොකු වෛරයක් වගේම ගීතා ගැන තරහකුත්, තමන්ගෙ හිතට කොච්චර තේරුම් කරල දෙන්න හැදුවත් තේරුමක් නැති තමන් ගැන ලොකු ආත්මානුකම්පාවකුත් ඇති වුණා.

වයස 16-17 වෙත්දී වත්තෙ එක එකීලා එක එකාලා එක්ක කූටාලි වෙලා සමහර එවුන් වත්තෙම ඉද්දී, සමහර එවුන් වත්ත දාලා යද්දී සරෝජිනීගෙ හිත ඒ කිසිම දෙයක් ගැන අමුතුවෙන් තැවුණෙ නෑ. ඒත් ගීතා කසාද බැදල යන දවසෙ නම් සරෝජිනී මුළු ජීවිතේටම නැති තරම් ඇඬුව. ගීතා මනමාලියක් වෙලා පිරිමියෙක්ගෙ අතේ එල්ලිලා ඉන්නවා දකිද්දී නූරි වත්ත බිමට සමතලා වෙන්න තරම් සුසුම් සරෝජිනීගෙන් පිටවෙන්න ඇති. නූරිවත්ත නාය යන්න තරම් කඳුළු හළන්න ඇති. තමන් ආදරය කළ තරමට නැතත් ගීතත් තමන්ට ආදරය කරපු බව ඇය දැනගෙන හිටියා. හැමදාම එකට එකතුවෙලා ජීවත්වෙන්න පුළුවන් විදියක් දන්නේ නැතිවුණත් සරෝජීනි හැමදාම හීනෙන් දැක්කෙ ගීතව. ගීත දෙමළ සින්දුවක් කිය කිය නටද්දී ඒ හීනෙ සරෝජීනි සිංහල සින්දුවක් කිවුව. නූරි වත්තෙ සරෝජිනීයිගෙයි ගීතගෙයි අනවශ්‍ය පෙම්හබය නූරි වත්තෙ සමහර කෙල්ලො කොල්ලො අතර හොඳ කතාබහක් වුණත් කොණ්ඩෙ වවන්න කැමති නැති, කට්ට කළුත් නැති තළෙළුත් නැති සරෝජීනීට හැමෝම බයයි. වත්තෙ ගෑනු කියන විදියට සරෝජිනීට කාලි අම්මගෙ දිෂ්ඨිය වැහිල තිබුණෙ. ඒකයි කොල්ලෝ පේන්න බැරි. කොහොමෙන් කොහොම හරි අම්මගෙයි තාත්තගෙයි අවුරුදු ගාණක යුද්ධ ප්‍රකාශ කිරීම්, ගුටි බැට දීම්, බැණ වැදීම් සියල්ලටම පස්සෙ සරෝජීනි හිත හදාගත්තා පිරිමියෙක්ව කසාද බඳින්න. බලපු බලපු හැම පිරිමියාටම බැහැ කියපු සරෝජිනී අන්තිමට එපාම වෙලා හිටපු වෙලාවක අන්තිමට ආපු මිනිහට කැමති වුණා.

ළඟ පාත වත්තක දළු ටැක්ටරේ එළවපු පියසේන තමයි සරෝජිනීගෙ මහත්තයා. ගමටම මඟුල් කියල පියසේන සරෝජිනීව කැන්දන් ගියෙත් දළු ටැක්ටරෙන්. වෙලාවට පියසේනටම කියල පුංචි ගේ කෑල්ලක් තිබුණ නිසා නැන්දම්මලාගෙ කරදරෙන් බේරෙන්න සරෝජිනීට පුළුවන් වුණා. මගුල් සාරි ගලෝලා චුට්ටක් තැන්පත් වුණාට පස්සෙයි මතක් වුණේ ජීවිතේ පළමු වතාවට ගෙදරින් පිට ඉන්නෙ කියල. එකත් මීට කලින් සැරයක් දෙසැරයක් විතරක් දැකපු කට්ට කළු, බීඩි උරන මිනිහෙක් එක්ක. ගෙට පිටිපස්සෙන් තියෙන වතුර බැරල් එකෙන් නා කියාගෙන එහෙම පියසේන නම් සූදානම් වුණේ මධුසමය ගත කරන්න. සරෝජිනීගෙ හිත ඇතුළෙන් විදුලි පිට විදුලි කොටමින් තිබුණෙ. නාගෙන ඇවිල්ල, පියසේනගේ මහගෙදරින් එවපු බත් එක දෙන්නත් එක්ක බෙදාගෙන කාලා සරෝජිනී කළේ දොරකඩ ළඟට වෙලා ලේඬි හූරන එක. පියසේන දෙතුන් සැරයක් පෙරැත්ත කරලා අන්තිමට ටිකක් බැන්නට පස්සෙයි සරෝජිනී පියසේනගේ ඇඳට ගියේ. කිරි කිරි ගාන යකඩ ඇඳට සැවැන්දරාද මොනවාද දාපු අලුත් බෙඞ්ෂීට් එකක් දමල තිබුණ. කොට්ටෙට අලුත් උරයක් දාලා තිබුණත් උරේට යටින් පෙනුන කොට්ටෙ නම් පැල්ලම් ගොඩයි. බෙඞ්ෂීට් එකෙයි, කොට්ට උරෙයි සුවඳ කපාගෙන වගේ කුණු කෙළ ගඳක් කොට්ටෙ අස්සෙන් ආවා. එහෙන් මෙහෙන් අත පය දැම්මත් නිසොල්මනේ හිටපු සරෝජිනීගෙ තාපස ස්‍යෙයාව ඇල්ලුවේ නැති පියසේන බලෙන්ම වගේ සරෝජිනීගෙ ඇඟට නැගල උත්සාහ කළේ ඒ වෙනකොට ගිණියම් වෙලා තිබුණ තමන්ගෙ පිරිමි සිත කසාද සහතිකයෙන් නීත්‍යනූකුලවම අයිති වුණ සරෝජිනීගෙ ගැහැණු සිතෙන් නිවාගන්න. ඒ වෙත්දී අප්පිරියාවෙයි, බයෙයි, අකමැත්තෙයි ගින්නෙන් සරෝජීනී පිච්චිලා අළුවෙලා යන්න ඔන්න මෙන්න හිටියෙ. දාඩිය දාලා, පපුව වේගයෙන් ගැහෙද්දී සරෝජනීට දැනුනෙ ලොකු බයක්, අප්පිරියාවක්. බයටයි අප්පිරියාවටයි සරෝජිනිගෙ ශරීරය දරදඬු වුණේ පියසේනට සරෝජිනීගෙ ශරීරයට ඇතුල් වෙන්න බැරිවෙන්නම වේලිච්ච දරකොටයක් වෙලා. කසාද සහතිකෙන් නීත්‍යනුකූලව ලියල දීලා තියෙද්දිත් ගෑනිගෙ කැමැත්ත අකමැත්ත මොකටද කියල හිතල සරෝජීනිගේ ශරීරය එක්ක ඔට්ටුවෙලා මට්ටු වෙච්ච පියසේන අන්තිමට පරාජය බාරගත්තෙ තොල් පැලෙන්න සරෝජිනිගෙ කම්මුලට අතුල් පාරවල් දෙකක් ගහල.

දවස් ගාණක් ගියාට පස්සෙ එක දවසක නූරි වත්තම හේදිලා යන වැස්සක් මැද්දෙම පියසේනගෙ අතින් සරෝජිනි ගෑනියෙක් වුණා. වේලිච්ච දරකොටයක් වගේ පියසේනට ඉඩ දුන්න සරෝජිනී හිත ඇතුලෙන් දස දහස් වාරයක් ලෝකෙටම සාප කළා. එදා ඉදලා දවස් ගාණක් පියසේන සරෝජීනිව දූෂණය කළේ කසාද සහතිකය බිල්ලට තියලා.

ගෙදර ඉන්න කම්මැලිකමට සරෝජිනී සීතාඑළියෙ පැත්තෙ පොඩි ගාමන්ට් එකක මහන්න ගියාමයි, මිනිහ මැරිලා වැන්දඹුවක් වෙලා හිටපු ඈන් හම්බුණේ. ඈන් උපතින් වගේම දර්ශනයෙනුත් තනි ක්‍රිස්තියානි. තඩිම තඩි කුරුසයක් බෙල්ලෙන් පහළට එල්ලුණාට ඈන් ගාව හරිම අපුරු සුන්දරත්වයක් තිබුණා. දෙන්න දෙන්නා ගැන ප්‍රශ්න කතාකරන්න ගත්තාම දෙන්නට දෙන්න නොදැනීම යාළුවො වුණා. තවත් කාලයක් යද්දී යාළුකමට එහා ගියපු ආදරයක් දෙන්නගේම හිත්වල මෝදුවෙන්න ගත්ත. බයක් සැකයක් නැතිව , අඩුවක් පාඩුවක් නැතුව සරෝජිනී මුළු හදවතින්ම ආදරය කළේ ආදරය ලැබුවෙ ඈන්ගෙන්. සරෝජිනි ඈන්ට ළංවෙන තරමටම ඇයට පියසේන වහකඳුරු වගේ වුණා. පියසේන දවස ගානෙ සරෝජිනීව ඉව කරන්න පටන්ගත්තා. මුලදි මුලදී සරෝජීනි හරි සතුටින් ඉන්නෙ පිරිමියෙක් ඇගේ ජීවිතේට ඇවිල්ල නිසා කියල හිතල කොච්චර රැකල හිටියත් සරෝජිනී පිරිමියෙක් හමුවෙන්න තියා පිරිමියෙක් දිහා බලනවා වත් පියසේනට අල්ලගන්න බැරිවුණා. මේ හැමදෙයක්ම එක දවසක පුපුරලා ගියේ වැඩට නොගිය දවසක පියසේනගේ වහළ යටදිම තනිවෙච්ච සරෝජිනියි ඇන් දෙන්නව පියසේන අතටම අල්ල ගත්ත දවසෙ. එදා පියසේන සරෝජිනීට විතරක් නෙවෙයි ඈන්ටත් මදි නොකියන්න පහර දීලයි ගෙදරින් දොට්ට බැස්සෙ. රෑට කන්න උයන්නෙත් නැතුව බඩගින්නෙ ගැහි ගැහී සරෝජීනි ගෙදරට වෙලා හිටියෙ රෑට ඇවිල්ල ගහල ගහල මරල දැම්මත් පියසේන කසාද මනුස්සයා නිසා.

රෑ 11-12 ත් පහුවුණා. සරෝජිනී බඩගින්නෙම නිදාගත්තා. මර නින්දෙන්ම කඳුළු බිබී නිදාගත්ත සරෝජිනී ගැස්සිලා නැගිට්ටුණේ කවුරු හරි ඇයගේ ශරීරය අතගානවා දැනිලා. කුප්පි ලාම්පුවෙ මළානික එළියෙන් ඇය දැක්කෙ පියසේන නෙවෙයි. තව පිරිමි තුන් හතර දෙනෙක්. වෙන්න යන දේ ඉවෙන් වගේ තේරිලා කෑගහන්න හදද්දීම සරෝජිනීගෙ කට දැඩි අතකින් වැසුනා. පළවෙනි පිරිමියා එක්ක හපාගෙන, කෑගහලා, කොනිත්තලා කොච්චර බේරෙන්න හැදුවත් හතරවෙනි පිරිමියත් සරෝජිනීගෙ ශරීරයෙන් ඉවතට යද්දී ඇය මළ මිනියක් ගාණට හිටියෙ. පුංචි කාලෙ ගහගත්ත සෙල්වත් එතැන හිටිය කියල සරෝජිනීගෙ ඇස් දෙක දැක්ක.

“ගෑනුත් එක්ක බුදියන්නෙ පිරිමින්ගෙ රහ දන්නෙ නැති නිසානෙ. ඔන්න අද රහ තේරෙන්න ඇති නේද” කියල පියසේන කිවවෙ හරි උජාරුවෙන්.

එදායින් පස්සෙ සරෝජිනී හැමතිස්සෙම උත්සාහ කළේ ජීවිතය දාලා යන්න. මැරෙන්න එක එක ක්‍රම හොයපු සරෝජිනීට අන්තිමට පිහිටට ආවෙ ඈන් එක්කගෙන ආපු පල්ලියක සිස්ටර්ස්ලා දෙන්නෙක්. සිස්ටර්ස්ලා දෙන්නත් එක්ක ජීවිතේ හොයාගෙන ආපු සරෝජීනි අද ජීවත්වෙන්නේ නුවරඑළියෙ සංචාරකයොන්ට ඇයගේම අතින් වවන ස්ට්‍රෝබෙරි විකුණලා. පල්ලිය උදවු කරල ඇයට පුංචි ගෙයක් හදල දුන්න. පිරිමි පහක් එක්ක ඔට්ටුවෙලා සරෝජිනීට පිරිමි සංහතියම එපා වුණා වගේම තමන් සමරිසි ගැහැණියක් කරල උපද්දවපු ස්වභාව ධර්මයට වෛර කරන්න පටන්ගත්තා. සමරිසි වෙලා ඉපදුණ නිසා කට වහගෙන සියල්ල දරාගන්න වුණ, අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න බැරි අපරාධකාරී රටක ජීවත්වෙන්න වුණ එක ගැන ඇය සමාජයට දොස් නගනවා. තමන් ඉල්ලපු දෙයක්වත්,බෝ කරගත්ත දෙයක්වත් නොවෙන තමන්ට දැනෙන හැඟීම ගැන ඇය සාප කරනව. ඒත් කාලි මෑනිගෙ අවතාරෙ කියල ගමේ කියපු සරෝජිනීව එළිවෙනකම් පිරිමින් හතරදෙනෙක් දූෂණය කරාට පස්සෙ ඇයට ලැබුණ දායාදය ප්‍රියංවදාට විතරක් ඇය ආදරය කරනව. ප්‍රියංවදාගෙ තාත්ත කවුද සරෝජිනී දන්නෙ නැහැ. ඒත් පුංචි කාලෙ සෙල්ලමට වගේ නාහෙන් කටින් ලේ දාන්න ගහපු සෙල්ව ප්‍රියංවදාගෙ ජාතක තාත්ත වෙන එක හොඳයි කියල ඇය හිතනව.

ගෑනුන්ගෙ අයිතිවාසිකම් ගැන කෑගහන අද වගේ දවසක කාන්තා ක්‍රියාකාරීනියන්ටත් සරෝජිනිලා වගේ අය අමතක වෙලා. ගෑනුන්ගෙ සමාජ, සංස්කෘතික, දේශපාලනික අයිතිවාසිකම් ගැන කතා කරන එන්.ජී. ඕ වල ලොකු නෝනලාට සමරිසි ගෑනු කියන්නෙත් ගෑනුම තමයි කියන එක අමතක වෙලා. උපතින් පිරිමි විදියට ඉපදිලා මනසින් ගැහැණු වෙන පාපයට වන්දි ගෙවන සංක්‍රාන්ති සමාජභාවීය ගෑනු කියන්නෙත් ගෑනු කියල අමතක වෙලා. 2018 වර්ෂයේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් තේමා පාඨය වී ඇත්තේ “Press for Progress”යන්නයි. ටොන්ග් නැමැති සමාජ විද්‍යාඥවරිය දක්වන ආකාරයට “ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු සමාජයීය වශයෙන් කාන්තාව හා පුරුෂයා යන දෙදෙනා අතර බෙදාහදාගත් චර්යාවන්, වගකීම්, පාලනයන් හා මෙහෙයවීම් ඇතුළත් සංකල්පයේ. එහි ප්‍රධාන මෙවලම වන්නේ අන්‍යෝන්‍ය සාධාරණත්වය හා සාමුහික චින්තනයයි”. පිරිමින්ට ගෑනු අමතක වෙලා තියෙන එකට වඩා ගෑනුන්ට ගෑනු අමතක වෙන එක බරපතලයි කියලයි මට නම් හිතෙන්නෙ. ලෝකවාසී සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවනි. ඔබට සුබ කාන්තා දිනයක් වේවා!

පසුසටහන - මෙය සත්‍ය කතාවකි. මනංකල්පිත වන්නේ නම් ගම් පමණි.

- තුෂාර මනෝජ්

Top