1150 x 80 px
ගාමිනි බහින්න.. මානෙල් බහින්න.. - උසාවි සාවිය 3

මා නැරඹු මුල්ම චිත්‍රපටය “මංගලිකා” බව මට හොඳින් මතක තිබේ. එකල කොළඹ වතු ජීවිතය හා සසඳා බලද්දි මා ඊට පෙර අනිවාර්යෙන් ම සිංහල හෝ හින්දි හෝ දෙමළ හෝ චිත්‍රපට නරඹා තිබෙන්ට ඇතැයි මට සිතේ. ඒ එකල කුඩා දරුවන් ද සමඟ වැඩිහිටියෝ සති අන්තවල කොළඹ පුරා ඇති සිනමා ශාලාවලට ගොස් චිත්‍රපට නැරඹීමේ පුරුද්දක නියලී සිටියෝ බැවිනි. එහෙත් මට මතක මංගලිකා ය. එහි රුක්මනී දේවි රඟපෑ බවත් ඇය අනාථ තරුණියකගේ භූමිකාවක් රග දැක් වූ බවත් මට මතකය.

චිත්‍රපට හා සම්බන්ධ සුවිශේෂ සැමරුම් දෙකක් මගේ අතීත ඔලගුවේ රැඳී තිබේ. ඉන් පළමු වැන්න මා මුලින් කී චිත්‍රපටය පිළිබඳ මතකය යි. දෙවැන්න හවසට බීමතින් නිවසට එන තාත්තා මහ හඬින් “ලස්සන රත්තරන් බබෝ.. මුතුඇටයක් නේද බබෝ..” ගීතය ගායනා කිරීමේ මතකය යි. එම ගීතය “සැමියා බිරිඳගේ දෙවියා ය” චිත්‍රපටයේ ගීතයක් බව මට මතක ය. සන්තබස්තියම් වීදියේ සිට අපේ වත්තට හැරෙන පටු මාවතෙන් ඇරඹෙන තාත්තාගේ ගීතය නිමා වන්නේ අපේ කුඩා ඉස්තෝප්පුවේ එලා ඇති පැදුරක වැතිරී ඔහු නින්දට වැටුණ පසු ය. ඉන් අනතුරු ව නින්ද මා කරා එනතුරුම මගේ මුවග රැඳී ඇත්තේ එම ගීයේ ස්වරයන් ය.

එකල කොළඹ වතු ජානපදිකයන්ගේ ප්‍රබල විනෝදාස්වාදන මාර්ගය වූයේ සිනමා පට නැරඹීමයි. නැතහොත් ‘බයිස් කෝප්’ නැරඹීමයි. රාත්‍රී 9.30 දර්ශනය පවා “හවුස් ෆුල්” ය. කුඩා අපට “අයිස් චොක්” එකක් කන්නට ලැබෙන්නේ සිනමා ශාලාවේ දි ය. දරුවන් ලබන්නට දින ගණන් කල් පිරූ ගැබිනියන් චිත්‍රපට නරඹමින් සිටියදී විලි රුදා උත්සන්නව රෝහල් කරා රැගෙන ගිය බවත් මම අසා ඇත්තෙමි. අලුත් සිනමා පටයක මංගල දර්ශනය නැරඹීමට තරුණ මහලු කවුරුත් පොදි කන්නේ එදින නගරයේ ප්‍රධාන සිනමා ශාලාවට එහි රඟන නළු නිළි කැළ පැමිණෙන බැවිනි.

ගාමිණි ෆොන්සේකාගේ සිංහල චිත්‍රපටයක් හෝ එම්ජීආර්ගේ ඉන්දියානු දෙමළ චිත්‍රපටයක් තිරගතවන විට ටිකට් පෝලිමේ ඇතිවන ගැටුම් මිනිමැරුම් වලින් නිමාවූ යුගයක්ද එකල දැකිය හැකි විය. එකල ඇති වූ එවැනි ගැටුමකට මැදිවූ “කැපිටල්” සිනමා ශාලාවේ කළමනාකරු පිහියා ඇණුමකින් මිය ගිය බවත් මට මතකය. මේ ගැටුම් කොතරම් උත්සන්න වී ද යත් සිනමා ශාලාවල රැකවලුන් ලෙස නගරයේ සුප්‍රකට මැරයන්ගේ සේවය ලබා ගැනීමටත් සිදුව තිබිණ. අප ගැටවර වියේදී බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාවේ සේවය කළ බෝම්බයක් පිපිරීමෙන් දකුණතේ භාගයක් අහිමි කරගත් රළු පෙනුමැති මිනිසා දෙස එක එල්ලේ නොබැලීමට තරම් අපි පරිස්සම් වූයෙමු.

කොළඹ නගරය කේන්ද්‍රිය වූ මේ ජනප්‍රිය කර්මාන්තයේ විශාලත්වය අවබෝධ කර ගැනීමට නගර සීමාවේ පිහිටුවා තිබූ සිනමා ශාලාවල ගණන ප්‍රමාණවත් යයි හඟිමි.

ඔබ මීගමු පාරේ බසයකින් පැමිණ කොළඹට ඇතුළු වන්නේ නම් තොටළඟ වික්ටෝරියා පාලම (දැන් ජපන් මිත්‍රත්ව පාලම) තරණය කළ යුතු ය. එතැන් සිට ඉදිරියට ඇති බස් නැවතුම් කිහිපයේ “සෙයින්ස්තාන් ” බහින්න.. “අසෝකා” බහින්න.. “කිංස්ලි” බහින්න.. යයි කොන්fදාස්තර ළමයා මොරදෙනු ඔබට ඇසෙයි. ඒ එම මාර්ගයේ ඇති සිනමා ශාලාවල නාමයන් මුල් කොටය. නුවර පාරේ පැමිණ නව කැලණි පාලමෙන් නගරයට ඇතුළු වූ පසු යම් යම් ස්ථානවලදී “කැපිටල්” බහින්න.. “ක්‍රවුන් ” බහින්න,.ත් රත්නපුර පාරේ පැමිණ ඔරුගොඩවත්තෙන් කොස්ගස් හන්දියට පැමිණෙද්දි ”ජෙසීමා” ත් රාජගිරිය පසු කොට එද්දී “ඉම්පාලා”ත් බොරැල්ලේදී “රිට්ස්” සහ ලිඩෝ” ත් මරදානේදී “එල්ෆින්ස්ටන් ” සහ “සෙන්ට්‍රල්” මෙන් ම ගාලු පාරේ එනවිට වැල්ලවත්තේ “සැපයාර්” සහ සැවෝයිත්” බම්බලපිටියේ දී “මැජෙස්ටික් ” වලදීත් ඔබට බසයෙන් බැසීමට කොන්fදාස්තරවරයා අඬ ගසනු නිසැකය. 120 බස් මාර්ගයේ පාමංකඩ දී “ඊරෝස් ” සහ ඉබ්බන්වල හන්දියෙන් ඩාලිපාර පසු කරද්දී “ගාමිණි”ත් ඔබට හමු වනු ඇත.

එපමණක්ද? නැත. 138 මාර්ගයේ කොම්පඤ්ඤ වීදියෙන් එද්දී “නවා” “රියෝ” සහ “රීගල් ” සිනමා ශාලා ඉදිරිපිට දෙස් විදෙස් සිනමාවේ දැවැන්තයන් ඔබ දෙස බලා සිටිනු ඇත. මරදානේ සිට කොටහේන දෙසට යද්දී “ටවර්” “කැපිටල්” “ගෙයිටි” සහ “සෙල්ලමහල්” ද කොච්චිකඬේ අතුරු පාරක දී “මයිලන්” සහ “මුරුගන්” ද ඔබට හමුවනු ඇත. එසේම බොරැල්ලේ සිට දෙමටගොඩ ඔස්සේ එද්දී “මානෙල්” සහ “සමන්තා” ඔබ එනතුරු බලා සිටිනු පෙනෙයි. ඉබ්බන්වල මුත්තයියා පාර්ක් එක සමීපයේ “එම්පයර්” හුදෙකලාව වුව සිටින්නේ ඔබ පතා ය.

මේ සුවිශල් සිනමා ශාලා ජාලය ඔස්සේ එදා නාගරිකයා සහ සිනමා කර්මාන්තය අතර වූ අවියෝජනීය බැඳීම ප්‍රකට නොවෙත් ද?

සිනමාව පිළිබඳ මතක පොත අවදි වෙද්දි මගේ අම්මා 1970 දශකයේ මුල් යුගයේ දී මා කැටිව ගොස් කැපිටල් සිනමා ශාලාවේ දී නැරඹූ “කෝමාදා එන් කුලමාදා” (ගව මෑණියෝ මගේ කුල මාතාවයි) සිනමා පටය ගැන මතකය අවදි වෙයි. එය කුඩා දැරිවියක් හා අපූරු සබඳතාවක් පවත්වා ගන්නා වැස්සියක පිළිබඳ කතාන්දරයකි. දෙමළ චිත්‍රපට පිළිබඳ මගේ උන්දුව වැඩුවෝ මගේ මෑණියෝ ය. ඇය ආදර්ශමත් දේව කතා සහිත දෙමළ හින්දි චිත්‍රපට නැරඹමට මා කැටිව ගියා මට මතකය. ඒ පුරුද්දට ගෙදරට රහසින් “ඇම්ජීආර්” සහ සිවාජී ගනේෂන්”ගේ චිත්‍රපට නැරඹීමට පුරුදු වූයෙමි. මා චිත්‍රපට පිස්සකු කළේ අම්මා බව කීම නිබොරු ය.

කොටහේන මධ්‍ය මහ විද්‍යලයේ නමවනි ශ්‍රේණියට ඇතුළු වූ පසු මගේ චිත්‍රපට නැරඹීමේ පිස්සුව උග්‍ර වූයේ පන්ති සගයකු ලෙස මුණ ගැසුණ “ජින්තුපිටි වීදියේ ආනන්ද” නම් මිතුරා නොම්මර එකේ දෙමළ චිත්‍රපට පිස්සකු වීම නිසා ය. පාසල නිමවී සතියකට වතාවක් දෙකක් අප දෙදෙනා අවට ඇති සිනමා ශාලාවල ප්‍රදර්ශනය කරන දෙමළ චිත්‍රපට සැමකක් ම නරඹන්නේ ගැලරි පෝලිමේ තැලී පොඩි වී මිරීකි සිට ගන්නා ටිකට් පතිනි. ඒ සඳහා එකල අම්මා මට දවසේ වියදමට (කෑමට) දෙන රුපියල දෙක හොඳටම සෑහෙන්නේ ගැලරි ටිකට් පතක් සත පනහක් පමණක් මිල වන බැවිනි.

සිනමාව කර්මාන්තයක් ලෙස දියුණුව තිබූ එකල සිනමාව හා සම්බන්ධ අතුරු අදායම් මාර්ගද බිහිව තිබිණ. බැනර් කටවුට් ව්‍යාපාරය එකල අතිශය ප්‍රබල ව්‍යාපාරයක් විය. ප්‍රේම් ජයන්ත් නම් නළුවා එහි ප්‍රමුඛයාය. මගේ මතකය නිවැරදි නම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මඩුව තිබුණේ ලෙයාර්ඞ්ස් බ්‍රෝඞ්වේ හී අසෝකා සිනමා ශාලා භූමියේ ය. 1974 අපොස සා.පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්තරයට උත්තර නොලියා විභාග ශාලාවෙන් පිටතට ආ මම අසෝකා සිනමා ශාලාවේ 1030 දර්ශනය ආරම්භ වනතුරු ප්‍රේම් ජයන්ත්ගේ චිත්‍ර කටයුතු දෙස බලා සිටියා මට මතකය.

තමන් ඉදිරියේ ඇති විශාල රාමු මත සවි කළ ඝණ රෙදි පිටක නළු නිළියන් ජීවමාන කිරීම අපූරුය. තමා අත ඇති කුඩා පින්තූරයේ සමාන කොටු ඇඳ තිබෙන අතර විශාල රෙදි රාමුවේ ඊට විශාල සමාන කොටු ඇඳ අඟලේ පරිමාණයේ ගුණිතයකින් ඔවුන් එම රූප නිමවන්නේ අප සිත් විස්මයෙන් අලලවමිනි.

එපමණක්ද? සිනමා ශාලා අසල ටිකට් පෝලිමේ උන් අපව සිනා සයුරේ ගිල්වමින් නළුනිළියන් අනුකරණය කරන්නෝ ද අතමිට සරු කර ගත්හ. අලුත් චිත්‍රපටයක් පෙන්වන විට “බ්ලැක් මාර්කට් ටිකට්” අලෙවි කොට දිනයේ ආදායම සරි කරගත් පිරිස් ද එකල සිටිය හ. සිනමා ශාලාවල කළමනාකරුවන් සමඟ සබඳතා ඇති “නගරංකාරයෝ”මේ වෘත්තියේ නිරත වූ හ. නළුනිළි පින්තූර විකුට එදාවේල සරි කරගත් අයත් ටිකට් පෝලිමේ සිටිනාවුන්ට සරුවත් අඹ අච්චාරු විකුණා දිවිය සරි කර ගත් අයත් එකල බහුලව දක්නා හැකි විය.

සිනමාව පිළිබඳ මගේ මේ මතක ඉව ඔස්සේ ඇවිද යන අද දවසේදී මට “සෙයින්ස්තාන්, ජෙසීමා, ගෙයිටි, මුරුගන්, රුක්මනී, එම්පයර්, ගාමිනී, මානෙල් ක්‍රවුන් සැපයර් සහ සෙන්ට්‍රල් ” යන සිනමා ශාලා දැකිය නොහැකි විය. ඒ තැන්වල දැන් ඇත්තේ වෙනත් ගොඩනැගිලිය. නැතහොත් පරණ ගොඩනැගිල්ලේම වෙනත් කර්මාන්තයකි. රිට්ස්, ලිඩෝ වැනි සිනමා ශාලා එදා තමන් සතුව තිබූ ඉඩකඩ අහුරා අතපය හකුලා සිටින්නේ තමන්ද ළඟදීම ඉවත්ව යන බව සන් කරමිනි.

මේ තත්ත්වය අපට පසක් කරන්නේ එදා දැවැන්ත කර්මාන්තයක් වූ සිනමා කර්මාන්තයට අද අත්ව තිබෙන ඛේදවාචකයේ තරමයි. අද දවසකට ඇත්තේ සිනමා දර්ශන දෙකක් හෝ තුනක් පමණී. එසේම ඒ ඒ දර්ශනවල වෙනත් වෙනත් චිත්‍රපට ප්‍රදර්ශනයන් ය. සිංහල චිත්‍රපටයක දැන්වීමට අනුව සිනමා ශාලාවට ගියත් එහි පෙන්වන්නේ දමිල හෝ ඉංග්‍රීසි චිත්‍රපටයකි. සිනමාව අයාලේ ගිය සැටියකි. එදා බයිස් කෝප් යුගයේ සිනමාවත් සමඟ ක්‍රියාත්මක වූ බාහිර ක්‍රියාකාරකම් නැත තරම් ය. සිනමා පුවත්පත් හෝ සිනමා ගීත අඩංගු පොත් පිංචවල් හෝ ඇහැට දකින්නටවත් නැත. පසුම්බියේ සිට කමිස සාක්කුව දක්වා මිනිසාගේ කුදු මහත් ජීවනය ආවරණය කරගත් සිනමා තාරකාවන් අද නැත. එනිසා ම සිනමාවක් ද අද දක්නා නොලැබෙන බව විශ්වාස කළ යුතු ම ය.

1983 දී දෙමළා සතු ව්‍යාපාර විනාශ කොට දෙමළ ජාතික ගැටලුව ජයගැනීමේ මුග්ධ ප්‍රයත්නයත් 1977 දී සිරිමා පරාද කර ආහාර පෝලිම් සංස්කෘතිය ජය ගැනීමටත් ගත් උත්හාසය නිසා සිනමාව අද පවතින විනාශය කරා ගමන් කළ බව පිළිගත් මතයකි. ලෞකික ජීවනයක් සහිත පුරවැසියාගේ සිට ලෝකෝත්තරය පිණිස ජීවනය ගෙවන මිනිසා දක්වා රූපාන්තරණය වූ මිනිස් සමාජයක සෞන්දර්ය සාධක අවසන් ව යන්නේය. ඒ බව මොනවට පසක් කරමින් සිනමාව ද අප හැරයමින් සිටින බව විශ්වාස කළ යුතුය.

අද එම නමින් කිසිවක් එහි නැතත් තවත් බොහෝ කාලයක් යනතුරු බස් සේවකයන් “ගාමිනී බහින්න.. මානෙල් බහින්න..” යයි කියනු ඇත්තේ අපට කොතැන හරි වැරදී ඇති බව මතක් කරනු පිණිස නොවේ ද?. සිතා බලත්වා!

- අනුරසිරි හෙට්ටිගේ
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

උසාවි සාවිය පෙර ලිපි:

උසාවි සාවිය - 01මඩමේ සිට Day Care දක්වා 
උසාවි සාවිය 02 - සරුංගල් ලුහුබඳින්නෝ - Kite Runners

 

Top