1150 x 80 px
මුරුගයා ශ්‍රී ලංකාව යළි දෙවනත් කරයි - තිසරණී ගුණසේකර
'උන්ගේ වෛරය මොන තරම්ද යත්, උන් ලෝකය කීතු කීතු කරනු ඇත' - ආතර් මිලර් (මගේ ඔක්කෝම පුත්තු)
මුස්ලිම්වරුන් සහ ඔවුන්ගේ ගේ-දොර, බුද්ධාගමේ නාමයෙන් විනාශ කෙරෙමින් තිබේ. ඒ, බුදුන්ගේ දන්ත ධාතුවෙන් හූවක දුරකිනි. දළදාවේ භාරකාර මල්වතු සහ අස්ගිරි උභය පාර්ශ්වයේ මහනායක හිමිවරුන් තමන්ගේ කවුළුවලින් පිටතට හිස යොමා බැලුවොත්, ගින්න සහ ගිනි තියන්නන් නොපෙනුණත්, ගින්නෙන් නැගුණු දුම බාගවිට ඔවුන්ට පෙනෙනු ඇත.
 
බුද්ධාගමේ නාමයෙන් මිනිසුන් ඝාතනය කිරීම තරම් බුද්ධාගමට වැදිය හැකි තවත් හෙනයක් නැත. කිසිම ආකාරයක හිංසනයක්, කිසිම ආකාරයක සාධාරණ හෝ යුක්ති සහගත යුද්ධයක්, කිසිම ආකාරයක පලිගැනීමක් හෝ කිසිම ආකාරයක අපරාධයක් සඳහා කිසි ඉඩක් බුදුන්ගේ කිසි දේශනාවක් තුළ නැත. ඉහත කී මහනායක හිමිවරුන් බුදුන් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් නම්, ඔවුන් කෝලාහලකරුවන් අතරට ගොස් සන්සුන් වන්නැයි ආයාචනා කරනු ඇත. එහෙත් මේ මොහොතේ නුවර පෙදෙසේ ඇහැට-කණට පෙනෙන්නට සහ ඇසෙන්නට සිටින්නේ, ගින්නට පිදුරු දමමින් සිටින බවක් පෙනෙන භික්ෂූන් පිරිසකි. මහනායක හිමිවරු සහ වෙනත් අනුනායක හිමිවරු මුනිවත රකිති. හෙලාදැකීමේ වචනයක්, යෝනිසෝ මනසිකාරය සහ සමාදානය පිළිබඳ ආයාචනයක් ඔවුන්ගෙන් නෑසේ. නුවර මෙසේ ගිනි ගෙන තිබීම ශ‍්‍රී ලංකාවේ බුද්ධාගමේ අසාර්ථකත්වය පෙන්නුම් කරන්නක් නම්, අර කී හිමිවරුන්ගේ නිශ්ශබ්දතාව, එම අසාර්ථකත්වය ඇති වුණේ කෙසේද යන්න කියාපායි.
 
1983 ජූලි මාසයේදීත් මේ මහනායක හිමිවරු කිසිවක් නොකීහ.
 
ඒ කලු ජූලියේ එක් රූපකයක් මගේ මරණය දක්වා මා සමග ගමන් කරනු ඇත: ගිනිගෙන ඇවිළෙන කිරුළපොන සාප්පුවක් තුළට, මදාවි රැලක් දෙමළ කාන්තාවක්ව ඔසවා වීසි කරනවා මම දුටුවෙමි. පොලීසිය එ් දෙස බලා සිටියේය. ඇගේ රුව මට තාම මතකයි. අතරින්පතර සුදු හිසකේ ඇති, සාරියක් හැඳ සිටි, උස නැති, කෙට්ටු ගැහැනියක්. මට ඇගේ මුහුණ නොපෙනුණි. විලාපය නෑසුණි.
 
මේ සිද්ධිය මා දුටුවේ බසයක යමින් සිටියදීය. බසයෙන් පැන ගත්තත්, ඇයව ගලවා ගැනීමේ ඉඩක් මට නොවුණි. එහෙත් එම තර්කය, එක දිගට මට වදදෙන ඒ දර්ශනයෙන් සහ මගේ අසාර්ථකත්වයෙන් ගැලවීමට මට පිළිසරණක් නොවේ. දැන් නැවතත් ඒ සහගහන අපරාධය සිදුවෙමින් තිබේ. මෙවර ඊට ඉලක්ක වන්නේ වෙනත් ජනප‍්‍රජාවකි. එ් ඉදිරියේ අපි, අපරාධකරුවන් සිය අපරාධ කිරීම සඳහා භාවිත කරන නාමයේ හිමිකරුවන් වන අපි, එ් මදාවියන්ව නතර කිරීමට අසමත් වන්නෙමු. අපරාධයට ගොදුරු වන වින්දිතයන්ව ආරක්ෂා කිරීමට අසමත් වන්නෙමු. අඩු වශයෙන්, කාටත් ඇහෙන්නට කෑගසා එය හෙලාදැකීමට අසමත් වන්නෙමු.
 
තෙල්දෙනියෙන් පටන් ගෙන මහනුවර අරා රජයන්නේ ආගමික කෝලාහලයක් නොවේ. කෝලාහලයක් කී සැණින්, එකිනෙකා හා ගැටෙන දෙපාර්ශ්වයක් ගම්‍ය වෙයි. එහෙත් ගිය සතියේ අම්පාරේදී මෙන්ම මේ සතියේ තෙල්දෙනියේ සහ නුවරත් දකින්නට ලැබෙන්නේ, සන්නද්ධ අපරාධකරුවන් රැලක් සහ නිරායුධ වින්දිතයන් පිරිසකි. මාර්තු 4 වැනිදා රෑ තෙල්දෙනියෙන් ඇරැඹුණු හිංසනය අහඹුවක් නොවේ. හිංසනයේ වේලාව නියම වීම සහ එහි ගමන් පථය තුළ සිදුව ඇති කිසිවක් අහඹු නොවේ.
 
පෙබරවාරි 20 වැනිදා, තෙල්දෙනියේදී ත‍්‍රීවීලරයක් සහ ලොරියක් අතර සුළු රිය අනතුරක් සිදු විය. සිද්ධිය නිමා වුණේ දරුණු ප‍්‍රහාරයකිනි. ත‍්‍රීවීලරයේ සිටි හතර දෙනා ලොරි රියැදුරාට තිරිසන් ලෙස පහර දුන්හ. මේ ප‍්‍රහාරකයෝ මුස්ලිම් ජාතිකයන්ය. පහර කෑ කෙනා සිංහලය. පවුලේ නඩත්තුව සඳහා ජීවිකාව ඉපැයූ එකම කෙනා ඔහුය. එහෙත් මෙහිදී, ප‍්‍රහාරකයන්ගේ හෝ ප‍්‍රහාරයට ලක්වු කෙනාගේ ජාතිය/ආගම සහ එම ගැටුම අතර සහසම්බන්ධයක් ඇතැයි කීමට කිසි සාක්ෂියක් නැත. එය, දීර්ඝකාලීන යුද්ධයක් සහ සන්නද්ධ නැගිටීම් දෙකකින් පසු සමාජය අරක්ගෙන පවතින සාමාන්‍ය ක‍ෘෘරත්වයේ තවත් නිරූපණයකි.
 
සිංහල ජාතික වින්දිතයා වහා රෝහල්ගත කෙරුණු අතර මුස්ලිම් ජාතික ප‍්‍රහාරකයන්වත් වහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. (ඔවුන් තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය) මෙහිදී පොලීසිය තම රාජකාරිය ඉටු කිරීමේදී වැනුණේ නැත. අපරාධකරුවන් බේරා ගැනීමට දේශපාලඥයන් ඉදිරිපත් වූයේ ද නැත. සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි ලොරි රියැදුරා මාර්තු 3 වැනිදා මරණයට පත්විය. තෙල්දෙනියේ හටගත් මුස්ලිම්-විරෝධී කලකෝලාහල, මේ සිද්ධිය අරභයා වන කෝපය පිටාර ගැලීමක් නම්, එය සිදුවිය යුතුව තිබුණේ, එක්කෝ පහරදීම සිදු වූ දවසේය. නැත්නම්, ලොරි රියැදුරා මියගිය දවසේය. එහෙත් මාර්තු 4 වැනිදා සවස් වන තෙක් තෙල්දෙනිය පිපිරුවේ නැත.
 
මාර්තු 4 වැනිදා හැන්දෑවේ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව මළ ගෙදර ගියේය. ඉන් පැය කිහිපයක් ගියතැන ප්‍රථම පහරදීම් පටන් ගැනුණි. මුස්ලිම් දේපල විනාශ කෙරුණි. ගිනි තැබුණි. පොලීසිය මැදිහත් වී කැරලිකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. මේ අවස්ථාවේ ආණ්ඩුව මැදිහත් වී, අමතර බලසේනා කැඳවා, සීමිත ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත්කොට, කලහකාරීත්වය තවදුරටත් නොඉවසන බව ක්ෂණික සහ දැඩි ක‍්‍රියාකාරීත්වයක් තුළින් රටට පෙන්නුම් කෙළේ නම්, පසුව ඇති වූ ඛේදවාචකය වළක්වා ගත හැකිව තිබුණි. එහෙත් ආණ්ඩුව කිසිවක් නොකෙළේය. එහි ප‍්‍රතිවිපාකය වුණේ, අළුත් කලු ජූලියක් පිළිබඳ සිහිනය දකිමින් සිටි සිංහල-බෞද්ධ අන්තවාදීන්ට පිටිය විවර වීමයි.
 
5 වැනිදා උදෑසන පොලිස් ස්ථානය වටකළ කලහකාරී පිරිස්, අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කරන ලෙස ඉල්ලූහ. ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව, සාම දූතයෙකු සේ රඟපාමින්, ඒ පිරිස සමග සිටියේය. ඔහු ඇත්තෙන්ම කෙළේ එ් කලහකාරී කල්ලියට තම නමේ සහ සිවුරේ ආරක්ෂාව සැපයීමයි. එතැන සිටි, (මඩකලපුවේ මංගලාරාමයේ ආන්දෝලනාත්මක විහාරාධිපති විය හැකි) තවත් භික්ෂුවක්, පැයක් ඇතුළත් ‘අපේ අයව’ එළියට ගන්නා බවට, කලහකාරීන්ට පොරොන්දු වෙනු දක්නට ලැබුණි. අවශ්‍ය වුවහොත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාවත් මේ සඳහා සාකච්ඡාවට කැඳවන බව ඔහු කීය. දණ්ඩමුක්තිය (දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති හැකියාව) අවසන් කරන බවටත්, නීතිය අකුරට ක‍්‍රියාවේ යොදවන බවටත් ආණ්ඩුව මොන තරම් පාරම්බෑවද, මෙවැනි චීවරධාරී අපරාධකරුවන් තවමත් දරණ බලය එයින් මොනවට පෙන්නුම් කෙරේ.
 
එදා හවස, කලකෝලාහලවල දෙවැනි වටය ඇරැුඹිණ.
 
අම්පාරේ සිට තෙල්දෙනියට
 
83 ජූලි කාලයේ වේවා, අද දවසේ වේවා සිදුවන ප‍්‍රචණ්ඩකාරීත්වය උමතු සුළු පිරිසකගේ වැඩක් බවට නැගෙන තර්කය ඇත්තය. එහෙත් ඒ කතාවේ අදාළත්වයක් නැති බව ද ඇත්තය. සිංහලයන්ගෙන් බහුතරය කළු ජූලියට සහභාගී නොවූහ. එසේ කිරීමේ අවශ්‍යතාවක් ඔවුන්ට නොවුණි. ඔවුන්ට කිරීමට තිබුණේ, අහක බලා ගැනීම පමණි. මේ උපේක්ෂාව/උදාසීනත්වය, මධ්‍යස්ථ නැත. දයාන්විත නැත. ඒ උපේක්ෂාව නිසා මිනිසුන් ඝාතනය කෙරේ. දේවල් විනාශ කෙරේ. 1983 දී මුළු රටක්ම ගිනි ලෑ සුළු පිරිසක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කෙරුණේ, ඒ නිශ්ශබ්ද බහුතරයේ ගොළුවතිනි.
 
ඒ සාමූහික උපේක්ෂාව පෝෂණය කෙරුණේ, ආවේණික මිථ්‍යාවන් සහ බොරු ප‍්‍රවෘත්තිවලිනි. ඒවා අතර, ‘දෙමළුන් විභාගවලින් හොර ලකුණු ගනිමින් අපේ විශ්ව විද්‍යාල ආක‍්‍රමණය කෙරෙන’ කතා, ‘අපේ රැකියා අවස්ථා සහ ඉඩකඩම් ඩැහැගැනීම්’ පිළිබඳ කතා, ‘හාවුන් සේ බෝ වෙමින්, අපට තිබෙන එකම රට අත්පත් කර ගැනීමට යන’ කතා ආදියෙන් සමන්විත විය. මේ රකුසා පිළිබඳ කතාවට පාරිශුද්ධත්වයක්, වාස්තවිකත්වයක් සහ විශ්වසනීයත්වයක් ආරෝපණය කිරීමට ඉපැරණි කතා සහ ව්‍යාජ සංඛ්‍යා ලේඛන පාවිච්චියට ගැනුණි. එ් බිජුවට නොවන්නට, කළු ජූලියක් ද ඇති නොවන්ට තිබුණි.
 
එම මුසාවාදම අද මුස්ලිම්වරුන් අරභයා යළි මතුරනු ලැබේ. බිය දනවන කතා ඒවා ඇසීමට ආසා කරන කන්වලට යොමු කරමින්, රාජපක්ෂලාගේ අනුග‍්‍රාහකත්වයෙන් යුතුව 2012 දී මේ උමතුව පටන් ගත් බොදුබල සේනාව, අපේ ඊළඟ හතුරා බවට, අපේ අළුත් ‘අනෙකා’ බවට, මුස්ලිම්වරුන්ව භෞතීස්ම කෙළේය. ඒ බිජුවට නොමැතිව, අම්පාරක් හෝ තෙල්දෙනියක් හෝ නුවරක් හෝ ඇති නොවන්නට තිබුණි.
 
අම්පාඳො⁄4 පුංචි කෝලාහලය හටගැනුණේ, වඳ පෙත්තක අවසරය යටතේය. මුස්ලිම් ආපන ශාලාවක කොත්තුවක් කමින් සිටි පාරිභෝගිකයෙකු විසින් එය සොයාගන්නා ලදැයි කියැවුණි. මේ කෙබරය ලත් තැනම ලොප් කරමින්, ලෝකයේ කිසි තැනක කිසි වෛද්‍යවරයෙකුට, කිසි ඖෂධ නිෂ්පාදකයෙකුට, කිසි පර්යේෂකයෙකුට එවැනි වඳ පෙත්තක් සොයා ගැනීමට මේ දක්වා හැකි වී නැති බව පෙන්වා දෙමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සෞඛ්‍ය අමාත්‍යවරයා වහා නිවේදනයක් නිකුත් කළ යුතුව තිබුණි. අමාත්‍යාංශය එවැනි නිවේදනයක් නිකුත් කළ බව ඇත්තයි. එහෙත් ඒ සතියකට ආසන්න කාලයක් ගතවීමෙන් අනතුරුව ය. ඒ වනවිට, වඳ පෙත්ත පිළිබඳ මිථ්‍යාව, පොදු සමාජයේ පිළිගත් සත්‍යයක් බවට පත්ව තිබුණි.
 
පොලීසිය වැනි වැනී සිටියේය. ආණ්ඩුව ආතක්පාතක් නැතිව සිටියේය. සමාජය ඊට වඩා යහපත් වුණේ නැත. වඳ පෙත්ත පිළිබඳ බොරුව ගෙල ග‍්‍රහණයෙන් ගත හැකිව සිටි යෝග්‍යතම වෘත්තිකයන් වූ වෛද්‍යවරු බොහෝසෙයින් කටවල් පියාගෙන උන්හ. එඩිතර කිහිප දෙනෙකු පමණක් එ් ගැන කතා කළත්, බහුතරය සිටියේ නිශ්ශබ්දවය. (රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු) විවිධ වෛද්‍ය සංගම් මේ කාරණයේ සත්‍යතාව සමාජයට පහදා දෙන්නට ඉදිරිපත් වුණේ නැත. ඔවුන්ගේ නිශ්ශබ්දතාව, ජනතාවගේ අනවබෝධය ඇවිළුවේය. සතියකටත් වැඩි කාලයක් ගතව ඇතත්, තවමත් ඔවුන් නිහඬය. (එය කැටි ගැසුණු පිටි ගුලියක් බව, ඊයේ (7) ප‍්‍රකාශයට පත් රජයේ රස පරීක්ෂක වාර්තාවේ සඳහන් විය- පරිවර්තක)
 
ආඛ්‍යානය ලිවීමට සේම එය අත්පත් කර ගැනීමටත් අන්තවාදීන්ට ඉඩ හැරීම භයානකය. පූජනීය සිවුරක හයිය මත දණ්ඩමුක්තියක් නායක අන්තවාදීන්ට අතමාරුවට ලැබෙන විට, අනතුර වැඩි වන්නේය. මේ පරණ පුරුදු සහ ප‍්‍රයෝග, 2015 ජනවාරියෙන් අවසන් විය යුතුව තිබිණැයි සැලකුණි. චීවරධාරී මදාවියන් භුක්ති විඳින දණ්ඩමුක්තිය, සිරිසේන-වික්‍රමසිංහ පාලනය තුළ ඉවරයක් වෙනු ඇතැයි විශ්වාස කෙරුණි. අපේක්ෂා කෙරුණි. සෑම මාදිලියකම අන්තවාදයට තිත තැබීමේ ප‍්‍රතිපත්තියක්, තවත් අළුත්ගමක් යළි කිසිදා ඇති නොවන තැනට වගබලා ගන්නා ප‍්‍රතිපත්තියක්, ඔවුන්ගේ අපේක්ෂා කෙරුණි.
 
මේ ආණ්ඩුව ජාතිවාදී නොවන බව, ඔවුන්ට ගෞරවයක් පිණිස, කිව යුතුය. එහෙත් ඔවුන්ගේ පාලනයේ වැඩි කාලයක් තිස්සේ, විශේෂයෙන් අවසාන දෙවසරක කාලය තිස්සේ, දේශපාලනික සහ සදාචාරමය ධෛර්යයේ මුඩුම හීනතාවක් ඔවුන්ගෙන් පළවුණි. සකලවිධ අන්තවාදයන්ට එරෙහිව කෙලින් සිටගන්නවා වෙනුවට, භික්ෂූන්, පූජකයන් සහ මුල්ලාවරුන් ඉදිරියේ යට වෙන පුරුද්දකට ඔවුහූ ඇබ්බැහි වූහ. ආණ්ඩුව අන්තවාදීන්ව නිර්මාණය කෙළේ නැත. එහෙත් අන්තවාදයේ දත් ගලවමි යි සිතා, අන්තවාදීන්ගේ තැරැව්කාරයන් බවට ඔවුහු පත්වූහ. මේ දේශපාලනික බෙලහීනත්වය සහ සදාචාරමය නිවටත්වයට අන්තවාදයේ දත් ගැලවිය නොහැකි විය. එ් වෙනුවට ඇත්තෙන්ම සිදුවුණේ, අන්තවාදයේ දත් විසකුරු දළ බවට පත්වීමයි.
 
සාමය සහ ආරක්ෂාව සැපයෙතැයි යන අපේක්ෂාවෙන් මුස්ලිම් ප‍්‍රජාවෙන් අති බහුතරයක් මේ ආණ්ඩුව සඳහා ඡන්දය පාවිච්චි කළහ. ආණ්ඩුව ඔවුන්ගේ විශ්වාසය බින්දේය. දැන් කාව නම් ඔවුන් විශ්වාස කරන්නද ? ඔවුන්ට යළි කිසි දවසක, ආරක්ෂාව පිළිබඳ හැඟීමක්, මේ ගිනි නිවී යාමෙන් පසුව වුව, ඇති කර ගැනීමට හැකි වේද ? කෙසේ නම් එසේ හැකි වන්නද ? ඇරත්, එසේ ඔවුන් විශ්වාස කළ යුත්තේ ඇයි ?
 
හැත්තෑවේදී සියපණ නසා ගැනීම
 
මාසයකට කලින් ශ‍්‍රී ලංකාව සිය 70 වැනි නිදහස සැමරුවේය. සත්තකින්ම සමරන්නට තරම් දෙයක් නැත. අප ශ‍්‍රී ලාංකිකයන් වන්නේ නමින් පමණි. එක්සත්භාවය යනු හුදෙක් වචනයක් පමණි. අපට ඇත්තේ, ඉතා සුළු සිද්ධියකින් පවා විනාශයට පත්විය හැකි අස්ථිර සහජීවනයකි. අප වනාහී, අනෙකාගේ ආගම ගැන මෙලෝ දානයක් නොදන්න, බෞද්ධයන්ගෙන්, හින්දූන්ගෙන්, කිතුණුවන්ගෙන් සහ මුස්ලිම්වරුන්ගෙන් සමන්විත රටකි. අපෙන් වැඩි දෙනෙකු අධ්‍යාපනය ලබන්නේ භාවිතයෙන් එකිනෙකාගෙන් වෙන් කොට තැබෙන පාසල්වලය. අදිසි තාප්පවලින් වටවුණු වටපිටාවකය.
 
මෙය තමන්ගේ රට යැයි සලකන වාර්ගික සහ ආගමික කණ්ඩායම්, දුර්මත දුමාරයකින් එකිනෙකාගෙන් වෙන් කෙරේ. අපේ පාසල්වල තුලනාත්මක ආගම් යනුවෙන් විෂයයක් නැත. ගෙදරදී ඉගෙන ගන්නා සහ පාසලේදී නැවත ඉගෙන ගන්නා සකල අගතීන්, මාධ්‍ය තුළ අසන කියවන දේවල් තුළින් තවත් ශක්තිමත් කෙරේ. මෝහය සහ භීතිය රජයන තැන, කවදත් ප‍්‍රචණ්ඩත්වයට වැඩි දුර නැත. ඕනෑම දෙයකට ගින්න ඇවිලිය හැකිය. (ගිය වසරේ දඹුල්ලේදී සිදු වුණා සේ) වැරදි ආහාර ඇණවුමක්, වඳ පෙත්තක මිථ්‍යාවක්, මුරුග අපරාධයක් විය හැකිය.
 
මේ දුර්මත දුමාරය දුරලීම සඳහා විධිමත් ප‍්‍රයත්නයකට උරදීම ආණ්ඩුවට පැවරෙන එක් කාර්යභාරයකි. පිස්සු භික්ෂූන්ට, පූජකයන්ට සහ මුල්ලාවරුන්ට එදිරිව නැගී සිටීමක් අවශ්‍ය නොකරන එම කාර්යභාරය පවා මේ ආණ්ඩුවෙන් ඉටු වුණේ නැත. ප්‍රතිවාද නැති තැන, රජ වුණේ බොරුවමය. උදාහරණයක් වශයෙන්, ‘ලංකා සී නිව්ස්’ නැමැති වෙබ් අඩවියක මෑතක පළ වූ ප‍්‍රවෘත්තියකට අනුව, මීට දශක කිහිපයකට පෙර 72% ක් වූ සිංහල-බෞද්ධ ජන ප‍්‍රතිශතය අද වන විට 67% දක්වා පහළ වැටී තිබේලු. මේ සංඛ්‍යාව තනිකර කෙබරයකි. මුලින්ම 1883 දී කරන ලද ජන සංගණනයේ පටන්, 2012 වන තෙක් කිසි විටෙක සිංහල-බෞද්ධ ජන ප‍්‍රතිශතය 70% ඉක්මවා නැත. ලංකාවේ අවසාන වරට සංගණනය කෙරුණේ 2012 දීය. එම සංගණනයට අනුව, සිංහල-බෞද්ධ ජන ප‍්‍රතිශතය 70.1% කි.
 
එබැවින්, සිංහල-බෞද්ධයන්ගේ සංඛ්‍යාවේ වේගවත් කඩා වැටීමක් සිදුව ඇතැයි යන ‘ප‍්‍රවෘත්තිය’ ප‍්‍රබන්ධයකි. සිංහල-බෞද්ධයන් තුළ අනාරක්ෂාව පිළිබඳ හැඟීම ජනිත කරවනු වස් ගොතන ලද කෙබරයකි. ඊටත් වඩා භයානක දෙය වන්නේ, එ් ගිනි අවුලන දූසමානයේ මූලාශ‍්‍රය වශයෙන් ඉහත කී වෙබ් අඩවිය උපුටා දක්වන්නේ, දකුණු පළාතේ ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරව වීමයි. තමන්ගේ රෙද්ද අස්සේ අළුත් සිරිල් මැතිව්ලාව රැකබලා ගනිමින් සිටින බව ආණ්ඩුව නොදන්නවා විය හැකිය. එහෙත් ඒ නොදැනුවත් බව නිදහසට අවසරයක් නොවේ. රටේ ඉරණමත්, මිනිසුන්ගේ ජීවිතත් පරදුවට වැටෙන තත්වයක, එය නිදහසට කරුණක් වන්නේම නැත.
 
නුවර දිගටම ගිනි ගත්තොත්, වැඩි කල් නොගොස් මුස්ලිම්-විරෝධී වසංගතය, කොළඹ ඇතුළු වෙනත් පළාත්වලටත් පැතිරෙනු ඇත. එසේ වෙතොත්, ආගමික යුද්ධයක ව්‍යසනයෙන් ගැළවීමට ශ්‍රී ලංකාවට නොහැකි වනු ඇත. දෙමළ සන්නද්ධ අරගලය තුළ මුල් තැන ගැනීමට එල්.ටී.ටී.ඊ. සංවිධානයට හැකි වුණේ 1983 කළු ජූලිය නිසාය. දකුණේ ප‍්‍රචණ්ඩකාරී සිංහල අන්තවාදයේ ජයග‍්‍රහණය, උතුරේ ප්‍රචණ්ඩකාරී දෙමළ අන්තවාදයේ ජයග‍්‍රහණයට පාර කැපුවේය. ඒ තරගකාරී අන්තවාදයන් විසින් මුදා හල මහා සන්ත‍්‍රාසයෙන් ශ‍්‍රී ලංකාවටත්, එහි වෙසෙන ජනතාවටත් තවමත් ගොඩ ඒමට හැකි වී නැත. දැන් අප යන්නේ, එ් ඓතිහාසික අපරාධය මුස්ලිම්වරුන් සමග ප‍්‍රතිනිර්මාණය කිරීමටය.
 
ජාතික න්‍යායපත්‍රය අන්තවාදීන් විසින් සනිටුහන් කරනු ලබන රටක සාමයක් පැවතිය නොහැක. සිවුරුකාර මදාවියන් නීතියට ඉහළින් සිටිමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටත් නියෝග දෙන මොහොතක, නීතියේ ආධිපත්‍යයක් ගැන කතා කිරීම විහිළුවකි. මේ අන්තවාදීන් මොන ජාතියකට අයත් වෙතත්, මොන ආගමක් අදහතත්, මොන දේශපාලන පක්ෂයකට සහාය දක්වතත්, ඔවුන්ගේ මාරක වෙළඳාමේ යෙදීමට ඔවුන්ට ඉඩ හැරීම භයානක සෙල්ලමකි.
 
බහු-වාර්ගික සහ බහු-ආගමික රටක් වශයෙන් අපේ පරම සතුරා වන්නේ අන්තවාදයයි. තරගකාරී අන්තවාදයන් අතරින් වඩාත් භයානක වන්නේ බහුතර ප‍්‍රජාවේ අන්තවාදයයි. සිංහල-බෞද්ධ උන්මත්තකයන්ට සෙල්ලම් කිරීමට ඉඩ දුන්නොත් ඔවුන් රටම ගිනි තියනු ඇත. අහිංසක ජීවිත විනාශ කරන අතරේම, සුළුතර ප‍්‍රජාවන් තුළ සිටින අන්තවාදීන්ව ශක්තිමත් කරනු ඇත. භික්ෂූන්, පූජකයන් සහ මුල්ලාවරුන් සම්බන්ධයෙන් එකසේ දැඩිව සිටිමින්, අන්තවාදය සපුරා නොඉවසන ප්‍රතිපත්තියක් භාවිතයේ යෙදිය යුත්තේ එබැවිනි. ශ‍්‍රී ලංකාවේ අතීතයට වඩා අනාගතය යහපත්වීමට නම්, ජාතික න්‍යාය පත‍්‍රය හැඩගැස්වීමට සහ ජාතික ගමන් පථය තීන්දු කිරීමට අන්තවාදීන්ට ඉඩ හැරීමේ පුරුද්ද අත්හල යුතුය.
 
එසේ කිරීමට නොහැකි වන තරමට ආණ්ඩුව ඔතෑනි නම්, ඒ ඉල්ලීම සහ බල කිරීම පැමිණිය යුත්තේ, දැන් දිග හැරෙමින් පවතින අනාගත ගමන්මගේ බියකරු බව දැකීමට තරම් සිහි බුද්ධියක් ඇති සිංහල-බෞද්ධයන්ගෙනි. නුවර ගිනිලෑවේ අපේ නාමයෙනි. මේ අපරාධකරුවන්ට ඊළඟ මියන්මාරයක් බවට ශ‍්‍රී ලංකාව පත් කිරීමේ උවමනාවක් තිබේ. අප නිශ්ශබ්දව සහ අක‍්‍රීයව සිටියොත්, නැවතත් අපට උරුම වනු ඇත්තේ ලජ්ජාවත්, වරද සහගත හෘද සාක්ෂියත්ය. සිංහලයන් වන අප, දෙමළ ජනතාවගේ අපේක්ෂා බිඳවූ ආකාරයෙන්ම මුස්ලිම් ජනතාවගේ අපේක්ෂාවනුත් බිඳියි නම්, ඉතිහාසය අපට සමාව නොදෙනවා පමණක් නොව, අළුත් සහ වඩාත් බියකරු යුද්ධයකින් අපට දඬුවම් ද කරනු ඇත.
 
2018 මාර්තු 7 වැනි දා ‘ශ‍්‍රී ලංකා ගාර්ඩියන්’ වෙබ් අඩවියේ පළවූ, තිසරණී ගුණසේකර ලියූ, 'The Beast Rides Again in Sri Lanka' නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. 
Top