1150 x 80 px
නූතන ජාතික-රාජ්‍යය: දිගනින් ප‍්‍රහාරයක් - අමීන් ඉසඩීන්

ශ‍්‍රී ලංකාවේ ජාතිය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය, පෙනෙන්ට ඇති පරිදි, විගඩමක් බවට පත්ව ඇත. රාජ්‍යය ගොඩනැගීමේ ක‍්‍රියාවලිය අලකලංචියක් වී ඇත. පසුගිය දින දහයක පමණ කාලයක් තුළ, මුලින් අම්පාරේත්, ඊළඟට මහනුවර දිගනත් ඇති වු ජාතිවාදී ආතතිය, දශක තුනක බෙදුම්වාදී යුද්ධයක් සහ දශක හතක වාර්ගික අසමගියක පසුබිම සමග එකට ගත් විට කියාපාන කතාව වන්නේ, ශ‍්‍රී ලංකාව තවමත් නූතන ජාතික රාජ්‍යයක් වී නැති බවයි.

 

ජාතියක සංවර්ධනය තක්සේරු වන්නේ අහස උසට නැගුණු ගොඩනැගිලිවලින්වත්, පාරතොටේ යනෙ’න සෝබමාන රථවාහනවලින්වත් නොව, එරටේ ජනතාව අතරේ මනුෂ්‍යත්වය උත්තුංගත්වයේ ලා සැලකීමට තරම් වන සාමූහික අධිෂ්ඨානයක් ඇත්නම් සහ ජාතිය, ආගම, කුලය හෝ දෘෂ්ටිවාද වැනි කණ්ඩායම් අනන්‍යතා මත පදනම් වූ වෙනස්කම්වලට ඉහළින් සිටිය හැකි ජනතාවක් සිටී නම් ය. ඕනෑම රාජ්‍යයක් ශිෂ්ටත්වයේ ඉස්මත්තට එන්නේ, එම රාජ්‍ය සීමාවේ වෙසෙන සෑම මනුෂ්‍යයෙකුම, වෙනත් සෑම මනුෂ්‍යයෙකුගේම ක‍්‍රියාවන්ගෙන්, වචනවලින් සහ අදහස්වලින් පවා, ආරක්ෂා වන්නේ නම් ය. ශිෂ්ටාචාරයේ ඒ පරමාදර්ශී මට්ටමට ලෝකයේ වඩාත් ලිබරල් රාජ්‍යයන් පවා තවම පැමිණ නැතත්, යම් රටක් ඒ අරභයා ප‍්‍රයත්නයක් ගන්නේ නම්, එයම ප‍්‍රගතියකි. අනිත් අතට, ජාතිවාදයට සහ සමාජ අගතීන්ට ඉඩ හරින හෝ අනුබල දෙන යම් රාජ්‍යයක් වෙයි නම්, එය ශිෂ්ටාචාරයේම පරිහානියකි.

ජඩ ජාතිවාදයෙන් නිදහස් වීමට තවමත් ශ‍්‍රී ලංකාව අසමත්ව සිටින තත්වයක් තුළ, අම්පාර සහ දිගන වැනි තැන්වල පසුගිය දා ඇති වූ සිදුවීම්, සියලූ ජන කොටස් ඒකරාශී කරගන්නා ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවක් හෙවත් ‘‘සියල්ලට කලින් මම ශ‍්‍රී ලාංකිකයෙකු වෙමි’’ යන තත්වය ඇති කර ගැනීමේ ආයාසයට එල්ල වුණු මරු පහරක් බව කිව යුතුය.

ජාතික රාජ්‍යයක් එරටේ බහුතර ප‍්‍රජාව මත පදනම් වෙමින් අර්ථකථනය වීම, එම මිණුම තුළ පවතින ගතානුගතික සහ වැඩවසම් ආකෘතියට අමතරව, අතිශය අමානුෂික ය. ජාතික රාජ්‍යයක නූතන නිර්වචනය, බහු-වාර්ගික, බහු-සංස්කෘතික සහ ලෞකික එකකි. 1948 නිදහස ලබා ගත් තැන් පටන් ශ‍්‍රී ලංකාව, නූතන බහු-වාර්ගික ජාතික රාජ්‍යයක් ගොඩනගා ගැනීම සඳහා වන බරසාර පියවර ගෙන නැත. ඒ වෙනුවට, නිදහසෙන් පසු බලයට පත් ශ‍්‍රී ලංකාවේ නායකයන් ජාතිවාදී දේශපාලනය භාවිතයට ගෙන ඇති අතර, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, තිස් අවුරුදු යුද්ධයක් තුළ රට ගිලී ගොස්, ගත වූ වසර ගණනාවක් තිස්සේ, සිංහල ජාතිවාදී කල්ලි සහ මුස්ලිම් ප‍්‍රජාව අතර වාර්ගික ආතතීන් ඇති කොට තිබේ. නිදහසේ පටන්ම ‘ශ‍්‍රී ලාංකික භාවය’ අත්කර ගැනීමට අප අසමත්ව ඇති අතර, කුසලතා-තන්ත‍්‍රයක් (සුදුසුකම්වලට පමණක් තැන දෙන ආණ්ඩුවක්* ඔස්සේ ස්වකීය ජාතික අනන්‍යතාවක් ගොඩනගා ගනිමින් ආදර්ශමත් නූතන ජාතික රාජ්‍යයක් බවට පත්ව ඇති සිංගප්පූරුව වැනි රටක් බවට පත්වීමට අපට නොහැකි වී ඇත. ගිය වසරේ, ලෝක ප‍්‍රකට මුස්ලිම් දේශකයෙකුට වීසා නිකුත් කිරීම සිංගප්පූරුව ප‍්‍රතික්ෂේප කෙළේය. මන්ද යත්, තමන්ගේ උත්සවවලදී මුස්ලිම් නොවන අයට ආශිංසන කිරීම, ආගමික නියෝග අනුව, ‘නිර්-ඉස්ලාමීය’ වන බව, එම දේශකයා කියා තිබීම නිසා ය. ඔහුගේ එම අදහස්, ආගමික අසමගිය වර්ධනය කරති යි සිංගප්පූරු ආණ්ඩුව තීරණය කෙළේය.

වාර්ගික දේශපාලනය සිංගප්පූරුව ඉවත ලා ඇති අතර, කෙටිකාලීන පටු දේශපාලනික වාසි තකා අපේ දේශපාලඥයන් ජාතිවාදය පාවිච්චියට ගෙන ඇත. ඒ කෙටිකාලීන වාසි, දීර්ඝ කාලීනව රටේ අභිවෘද්ධියට විනාශකාරී වී තිබේ.

ජාතිවාදී අගතිය, කෙනෙකු සමාජයෙන් අත්කර ගන්නා ආකල්පයකි. කිසි ප‍්‍රජාවක උපත ලබන කිසි දරුවෙකු වෙනත් ප‍්‍රජාවක් කෙරෙහි වන අගතියක් සහජයෙන් ඇති කරගන්නේ නැත. ඒ අගතිය ඔවුන්ගේ ඔළුවලට පටවන්නේ, දෙමාපියන්, වැඩිහිටියන්, දේශපාලඥයන්, ගුරුවරුන්, මාධ්‍යවේදීන් සහ ආගමික නියෝජිතයන් ය. දැන් සමාජ මාධ්‍යය අරක්ගෙන සිටින ආධානග‍්‍රාහීන් ද ඊට එක්ව තිබේ. වෙනත් වචනවලින් කිවහොත්, කෙනෙකු ජාතිවාදියෙකු බවට පත්කරන්නේ පොදුවේ සමාජය විසිනි. කෙනෙකු ජාතිවාදී අගතියකට ගොදුරු වන පරිමාව තීරණය වන්නේ, ඔහු හෝ ඇය ජීවත් වන සමාජය මොන තරම් සබුද්ධික ද යන්න මතයි. සබුද්ධික වාතාවරණයක් තුළ, විශේෂයෙන් ගෙදරදොරේ සහ පාසලේ සබුද්ධික වාතාවරණයක් තුළ දරුවන් ඇතිදැඩි කෙරේ නම්, ඔවුන් ජාතිවාදයට ගොදුරු වීමේ ඉඩකඩ අඩු ය. අධ්‍යාපන ක‍්‍රමය හරහා සබුද්ධික සමාජයක් ගොඩනැගීමට මෙතෙක් බලයට පත් සෑම ආණ්ඩුවක්ම අසමත්ව ඇතිවා පමණක් නොව, ආණ්ඩුවල ඇතැම් ප‍්‍රතිපත්ති සමාජ අගතීන් සහ ජාතිවාදය පෝෂණය කිරීමටත් දායක වී තිබේ.

අගතිය පිළිබඳ පවතින සමාජ විද්‍යාත්මක පැහැදිළි කිරීමක් වන්නේ, ඒවා රැුකියා සහ සමාජ සම්පත් සඳහා වන තරගයත්, දේශපාලනික මතභේදත් නිසා හටගන්නා බවයි. මේ දේවල්වලට විවිධ කණ්ඩායම් තරග කරන විට, බොහෝ විට ඔවුහූ අනෙකා කෙරෙහි උරණ වෙති. අගතිය පිළිබඳ පවතින සමාජ-මනෝවිද්‍යාත්මක පැහැදිළි කිරීමක් වන්නේ, විවිධ ප‍්‍රශ්නවලට මුහුණදෙන පුද්ගලයන් ඒ ඔස්සේ අසහනයට පත්වන විට, තමන්ගේ ප‍්‍රශ්නවල වරද ඒ මොහොතේ සැබෑ ලෝකය තුළ අප‍්‍රසාදයට පත්ව සිටින යම් ජන කණ්ඩායමක් මත ඔවුන් විසින් පටවනු ලබන බවයි. (උදාහරණයක් වශයෙන්, වාර්ගික සහ ආගමික සුළුතරයන් මත වගකීම පැටවීම ගත හැකිය*. ඒ අනුව, බහුතරයේ අවාසනාවේ සැබෑ මූලාශ‍්‍රය වෙනුවට, මෙකී සුළුතර ජන කණ්ඩායම්, අන්‍යදෝෂධාරී-ආදේශකයෙකු (වෙනකෙකුගේ වරද පැටවීමට යොදාගන්නා දඩමීමා* බවට පත්වෙයි. තුන් වසරක් තුළ යුරෝපා ජනගහනයෙන් තුනෙන් පංගුවක් වනසා ලූ 14 වැනි සියවසේ මහමාරිය වසංගතයේ වරද පැටවුණේ යුදෙව්වන් මත ය. ජර්මනියේ ආර්ථික අවපාතයේ වරද පැටවුණේත් යුදෙව්වන් මත ය. ඒ ආකාරයෙන්ම ලංකාවේ සිංහලයන්ගේ ජනගහන වර්ධන අනුපාතිකයේ අඩුව පිළිබඳ වරද අද පැටවෙන්නේත් මුස්ලිම් ප‍්‍රජාව මත ය.

අප අද මුහුණදී සිටින මේ අවාසනාවන්ත තත්වයෙන් සෑහෙන කොටසක වගකීම සුළුතර ප‍්‍රජාවනුත් භාර ගත යුතුය. බහු-වාර්ගික සමාජයක් තුළ ජීවත් වන සුළුතර ප‍්‍රජාවන් තමන්ගේ සංස්කෘතික සහ ආගමික අනන්‍යතා ආරක්ෂා කර ගන්නා අතරේම, ඒවාට එරෙහි අගතීන් ඇති කිරීමට මහ ජාතියට ඉඩ නොතබන අතරේම, වාර්ගික සමගියේ නාමයෙන්, පුළුල් සමාජය සමග අනුයෝජනය වීමේ වගකීමක් සුළුතර ප‍්‍රජාවන්ට තිබේ. මේ සම්බන්ධයෙන් ගත් විට, මුස්ලිම් සමාජයේ ඉතා සුළුතරයක් ප‍්‍රකෝපකාරී ලෙස හැසිරී ඇති බව කිව යුතුය. උදාහරණයක් වශයෙන්, ශ‍්‍රී ලංකාව පකිස්ථානය සමග ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ තරග වදින විට මේ මුස්ලිම් කණ්ඩායම් පකිස්ථානයට සහයෝගය පෑම දැක්විය හැකිය. එවැනි ජාතික-විරෝධී විපරීත හැසිරීමක් ක‍්‍රීඩා පිටියක සහ සජීවී රූපවාහිනී ප‍්‍රචාර ඔස්සේ දැක ගැනීමට ලැබුණු අවස්ථාවේ මුස්ලිම් ප‍්‍රජාවෙන් බහුතරයක් එය හෙලාදුටුවත්, පොදුවේ සමාජයේ පවතින මුස්ලිම්-විරෝධී අගතිය නිසාම සමස්ත මුස්ලිම් ප‍්‍රජාව ජාති-භ‍්‍රෂ්ටයන් වශයෙන් හංවඩු ගැසුණි.

ජාතිවාදය සහ වාර්ගික අගතිය එක් ජන වර්ගයකට පමණක් විශේෂිත වන්නක් නොවේ. ඒවා, සකල සමාජාර්ථික බාධකයන්ම මැඩගෙන ගමන් කරයි. එසේ තිබියදී, ‘අනෙකාව’ පමණක් ගර්හාත්මක අච්චුවකට ගැනීම, ඉහත කී වාර්ගික අගතියේම කොටසකි. ජාතිය, කුලය හෝ ආගම මත පිහිටා උත්තම භාවයක් ආරෝපණය කර ගැනීමත් එසේමැ යි. මෙවැනි අගතීන් තුළ ගැලී ගිය බහු-සංස්කෘතික සමාජයක, බහුතරවාදය විසින් සමාජගත කරනු ලබන්නේ, සුළුතරයන් වනාහී ඉවරයක් කළ යුතු හෝ පන්නා දැමිය යුතු ජන කොටස් වශයෙනි. මේ තත්වය, රෝහින්ග්‍යා සුළුතරය වාර්ගිකව වනසා දැමෙමින් පවතින මියන්මාරයේ දැන් ක‍්‍රියාත්මක වෙයි.

මෙවැනි අගතීන් අර්ධ වශයෙන් ක‍්‍රියාත්මක වන බහු-සංස්කෘතික සමාජයක, බහුතරවාදයෙන් නියෝජනය කෙරෙන අදහස වන්නේ, සුළුතරයන්ට මහ ජාතිය සමග රටේ එකට විසීමට හැකි මුත්, ඔවුන් දැනට භුක්ති විඳින ඕනෑම අයිතියක් හෝ වරප‍්‍රසාදයක් එසේ ඔවුන්ට ලැබෙන්නේ මහ ජාතියේ කැමැත්ත සහ ආශීර්වාදය මත පමණක් ය යන්නයි. අද නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියාව එවැනි රටකි. ඔහුගේ පාලනය යටතේ ඉන්දියාවේ ජීවත් වන මුස්ලිම් ජාතිකයන්ට හැෙඟන්නේ තමන් එරටේ දෙවැනි පුරවැසියන් වන බවයි.

අනිත් අතට, සබුද්ධික බහු-වාර්ගික සමාජයක නම් එහි පවතින බහුතරවාදය තුළ නියෝජනය වන්නේ, දෙමහල්ලන්ගෙන් උරුම වන යම් දේපලක් ඇතොත් එය බාල සහෝදරයන් සමග සමව බෙදාහදා ගැනීම සඳහා කැප වන දයාබර වැඩිමහල් සහෝදරයෙකුගේ තත්වයකි. උදාහරණ වශයෙන් ගතහොත්, හිජාබ් ඇඳුමින් සැරසුණු කාන්තාවක් ජනාධිපති වශයෙන් සිටින සිංගප්පූරුවත්, ලන්ඩන් නුවර නගරාධිපති වශයෙන් සහ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයා වශයෙන් මුස්ලිම් ජාතිකයෙකු සිටින බි‍්‍රතාන්‍ය ඇතුළු තවත් යුරෝපා රටවල් කිහිපයකුත් දැක්විය හැකිය.

ශ‍්‍රී ලංකාවේ බහුතරවාදය තුළ මේ සියලූ ආකෘතීන් දක්නට ලැබේ. අලූත්ගම, ගිංතොට, අම්පාර සහ නුවර ඇති වූ ප‍්‍රහාරයන් පසුපස වාර්ගික-ශෝධනය (එක් වර්ගයක් අතුගා දැමීම* ඇතුළත් බහුතරවාදයක් දක්නට ලැබුණු අතර, බාල සොහොයුරන් ගැන හිතන පතන දයාබර අයියන්ඩියකගේ මනෝ භාවය, සනත් ජයසූරිය, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර වැනි ක‍්‍රිකට් යෝධයන් වෙතින් සහ පාර්ලිමේන්තුවේදී අනුර කුමාර දිසානායක කළ වේගවත් කතාව ආදියෙන් නිරූපණය කෙරුණි.

කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව සබුද්ධික සමාජයක් කිරීම, සිවිල් සමාජයට පමණක් පැවරෙන වගකීමක් නොවේ. ආණ්ඩුවට, ජාතිය ගොඩනැගීම සඳහා වන කැපවීම, සියල්ල එක්සේසත් කර ගත් ශී‍්‍ර ලාංකීය අනන්‍යතාවක් බිහි කර ගැනීම සඳහා වන කැපවීම, තිබිය යුතුය. සංහිඳියාව සඳහා කටින් බතල සිටුවීමෙන් හෝ ජාතික ඒකාග‍්‍රතාව සහ සංහිඳියාව සඳහා වෙනම අමාත්‍යාංශ පිහිටුවීමෙන් හෝ පමණක්, ජාතිය ගොඩනැගීමේ ක‍්‍රියාවලියට සිදුවන සුගතියක් නැත. ඇත්ත වශයෙන්ම දේශපාලඥයන්, අනාගත දැක්මක් සහිත රාජ්‍ය තාන්ත‍්‍රිකයන් බවට පත්විය යුතුය.

අද මුස්ලිම් ජනතාවටත්, ඔවුන්ගේ දේපලවලට සහ ආගමික ස්ථානවලටත් කෙරෙන ප‍්‍රහාරයන් මගින් යළි අවුළුවන්නේ, 1983 දී දෙමළ ජනතාවට එරෙහිව දියත් වූ මහා සංහාරය පිළිබඳ මූසල මතකයන් ය. සමාජයේ සබුද්ධික කොටස් වෙතින් නැගුණු අවවාද නොපිළිගත් ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, දෙමළුන්ට අමතක නොවන පාඩමක් ඉගැන්වීම සඳහා, රට පුරා ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කිරීම එදා හිතාමතාම කල් දැම්මේය. මේ සතියේ ඇති වූ ප‍්‍රහාරයන් මැඩපැවැත්වීම සඳහා රජය පැනවූ ඇඳිරි නීතිය සහ හදිසි නීතිය තිබියදීත්, නොනැවතී එක දිගටම ප‍්‍රහාරයන් දියත් වීම යනු, ආණ්ඩුවේ අක‍්‍රීයත්වයත්, නීතිය හා සාමය බිඳ වැටීමත් පිළිබඳව නැගුණු බරපතල අධි-චෝදනාවක් වැන්න.

මේ ජාතිවාදී ප‍්‍රහාර පසුපස දේශපාලනික කුමන්ත‍්‍රණයක් පැවතුණා වන්නටත් බැරි කමක් නැත. මන්ද යත්, මෙය, 2020 ජනාධිපතිවරණයක් පිළිබඳ නූල් සූත්තර ඇදෙන කාලයක් වන බැවිනි. මෙවැනි නීච ක‍්‍රියා, වත්මන් ලෝකයේ ප‍්‍රධාන ආගම් හතරේ ආශිර්වාදය ලත් 21 වැනි සියවසේ රටක් තුළ සිදුවීම, අප ගිලී සිටින අඳුරේ ගැඹුර කියාපායි. අප වනාහී, සහජීවනය සහ ජාතිය ගොඩනැගීමක් සඳහා තරම් නොවන, අසමත් රාජ්‍යයක් ද?

2018 මාර්තු 9 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Modern Nation - State : A blow from Digana නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

Top