1150 x 80 px
අනුර බණ්ඩාරනායක.... මහපොළොව උරාගත් ඉහිරුණු මීවිත

ගෙවී ගිය මාර්තු 16 වැනිදාට අනුර ප්‍රියදර්ශී සොලමන් ඩයස් බණ්ඩාරනායක මහතා මියගොස් හරියටම වසර 10 කි. ඔහු සිටියාද කියාවත් මතක නැති දේශයකට ඔහු මිය ගොස් දශකයක් පිරුණු බව අමතක වීම පුදුමයක් නොවේ.

මැණික් ගල් ගිලී ගොස් ගොම රිටි උඩ පාවෙන අද්‍යතන දේශපාලන යථාර්ථයක් තුළ අනුර බණ්ඩාරනායක යනු සාපේක්ෂව ඉතා ලිබරල් මිනිසෙක් වූ බව පවා බොහෝ දෙනෙකුට අද අමතක ය. මේ ගතවූ වසර 10 සඳහාම ඔහු පිළිබඳ කිසිදු සාධනීය විචාරයක් හෝ විශ්ලේෂණයක් සිදුවී නොමැති බව අපගේ විශ්වාසයයි.

අනුර බණ්ඩාරනායක ලාංකේය දේශපාලනය තුළ ‘චරිතයක්’ බවට පත්වන ප්‍රධාන හේතුවක් වන්නේ ඔහු කිසිදිනෙක ජාතිවාදී, ආගම්වාදී හෝ ගෝත්‍රවාදී ආස්ථානයක නොසිටීමයි. ඔහුගේ පියා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක ගත් ඒ මග ඔහු කිසිවිටෙක නොගත්තේය. එනම් බණ්ඩාරනායක තාත්තාගේ සිංහල බෞද්ධ ව්‍යාධිය පුතාට කිසිවිටෙක නොවැළඳුණේය. ඇත්ත වශයෙන්ම එස්ඩබ්ලිව් හෝ සිරිමා ද කිසිවිටෙක සිය දරු තිදෙනා එම ආස්ථානය වෙත ඇද නොදැමූ බවට ඉතිහාසය මෙන්ම වර්තමානය ද සාක්ෂි දරයි. කෙසේ හෝ ජාතිවාදී භූතයා බෝතලෙන් පිටතට ගත් පවට සොලමන් ඩයස් ජීවිතයෙන් වන්දි ගෙව්වේය. අවසානයේ ජාතිවාදය සිංහල ජන සමාජය සමග නින්දිත ලෙස නිදන්ගත වීම ඇරඹුණේය. නමුත් අනුරලා, සුනේත්‍රලා පමණක් නොව චන්ද්‍රිකාලා පවා ඒ සමග කිසිදා යහන්ගත නොවූහ.

77 වසරේදී බහුපක්ෂ ඡන්ද ක්‍රමයෙන් මස්කෙළිය ආසනයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අනුර බණ්ඩාරනායක අවසානයේ 2008 වසරේ අවලංගු කාසියක් සේ පෙනී ගිය නරක කාලයක අවසන් හුස්ම හෙළුවේය. ඒ අතර කාලය තුළ 2000-2001 කාලය තුළ ගරු කථානායකවරයා වශයෙන් කටයුතු කළේය. 93-94 කාලයේ උසස් අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් කටයුතු කළේය. 2004-2007 අතර කාලයේ සංචාරක ඇමතිවරයා වශයෙන් ද, 2007 වසරේ ජාතික උරුම අමාත්‍යවරයා වශයෙන් ද, 2005 වසරේ කෙටි කාලයකට විදේශ අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කළේය. 83-88 අතර සමයේ විපක්ෂ නායකයා වූයේ ද ඔහු ය.

අනුර බණ්ඩාරනායක යනු වියත් කථිකයෙකි. ඔහු පාර්ලිමේන්තුවේදී සිදුකළ සාරගර්භ දේශන විමසමින් ඒ පිළිබඳ දීර්ඝ ලෙස සටහන් කරන්නට මෙය අවස්ථාව නොවෙතත්, අනාගතයේදී එය යම් කිසිවෙකු විසින් කළ යුතුම කාර්යයකි. ඔහු තුළ සිටි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදියා ඉස්මතු කර ගන්නට එම කතා කිහිපයක් පමණක් දීර්ඝ වශයෙන් විශ්ලේෂණය කිරීම ප්‍රමාණවත් වනු ඇත. ඔහු කිසිදු විටෙක ජාතිවාදී ආස්ථානයන් අල්ලාගෙන ලකුණු දමානොගත් දේශපාලකයෙක් බව ද එවිට පැහැදිලි වනු ඇත.

අනුර බණ්ඩාරනායක දැඩි ලෙස සුරාවට ලොල් වී සිටි බව නොරහසකි. එය ද ඇතැම්විට ඔහු තුළ තිබූ ලිබරල් අංගයේම කොටසක් විය හැකිය. ලිබරල් මූලයකින් පැවත එන පවුලක් දේශපාලන උගුලට කැමැත්තෙන් හසු වී සිංහල බෞද්ධ වුවද, අනුර අප පෙර කී පරිදි කිසිම අවස්ථාවක ඊනියා සිංහල බෞද්ධකමක් කරපින්නා ගත්තේ නැත.

එදා ජනපති බවට පත්ව සිටි මහින්ද රාජපක්ෂ මරණ මංචකයේ-ගිලන් සයනයේ සිටි අනුර බණ්ඩාරනායක වෙත දුරකථන ඇමතුමක් ලබාදී සෝපහාසයෙන් යුතුව මෙසේ කෝචෝක් කළ බව ඉතිහාසගත ය. “අනුර මොකක්ද මේ කියන්නෙ...? මේ ජෙයරාජ්ල කියන්නෙ ඔයා මේ සමූපකාර ඇමතිකම ඉල්ලනව කියලා...?” කෝපයෙන් නිරුත්තර වූ අනුර බණ්ඩාරනායක දුරකථනය විසන්ධි කර එය පොළොවේ ගසා තිබිණි.

එදා මේ කෘතහස්ත දේශපාලකයා ‘සමූපකාර ඇමතිකමක් ඉල්ලන බව’ කියමින් ජීවිතයේ අසීරුම අවස්ථාවක ඔහුව සරදමට ගත් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ද ඔහුට වඩා මාසයක්වත් ජීවත් වීමට වරම් ලැබුවේ නැත. අනුර බණ්ඩාරනායක 2008 මාර්තු 16 වැනිදා අසනීප වී මිය ගිය අතර ජෙයරාජ් අප්‍රේල් 6 වැනිදා බෝම්බයක් වැදී මිය ගියේය.

එයින් දස වසරක් ඉක්ම යන්නට පෙර අනුරට කෝචෝක් කළ මහින්ද රාජපක්ෂ රාජ ඌෂ්ණයේ උපරිමය වැදී ගෙදර ගොස් ඉතිහාසයේ කුප්‍රකට ලෙස කුජීත වූුණේ සමූපකාර ඇමතිකම නොව කුලියාපිටියෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීකම ඉල්ලන බව ප්‍රකට වීමත් සමග ය.

වයස අවුරුදු 59 දී මිය යන විට ද, අනුර බණ්ඩාරනායක හට සම කළ හැකි ‘බර තැබිය හැකි’ කථිකයෙක් ලංකා දේශපාලනය තුළ සිටියේ නැත. එසේම අනුර බණ්ඩාරනායක යනු අතිශයන්ම බරපතළ ලෙස පොත් පත් කියැවූ අයෙකි. ඔහු කුඩා කල පටන්ම පොත් ලෝලියෙකු වූ බවට පුවත් බොහොමයකි. ඔහු තුළ වූ විරල ගණයේ කථන ප්‍රතිභාවේ ද රහස එය විය යුතුය. නමුත් සැබවින්ම උත්කර්ෂයට නැංවිය යුතු මේ චරිතයේ අත් පහස ලත් පොත් පවා අද තිබෙන්නේ කොතැනකදැයි මදක් සොයා බලන්න. මෙයට වසර කිහිපයකට පෙර බුකියේ පොත් කියවන්නන් සඳහා වෙන් වූ එක් ගෲපයක පළ වූ ඡායාරූපයක දැක්වුණේ “චන්ද්‍රිකා අක්කාගෙන් අනුර මල්ලීට” ඔහුගේ උපන් දිනය දා තෑගි දුන් බව කියන පොතක පළමු පිටුවේ ඡායාරූපයකි. එම ඡායාරූපය බුකිගත කර තිබුණේ එම පොත, පරණ පොත් කඩයක දැක අහම්බෙන් ඇස ගැටී මිලදී ගත් පාඨකයෙක් විසිනි. අනුරගේ පොත් සම්භාරයටම, ඔහුගේ මුළු පුස්තකාලයටම පාහේ ඔහුගේ මරණයෙන් පසු අත් වී තිබුණේ මේ ඉරණම ය. ඉතින් අනුර බණ්ඩාරනායකගේ උරුමය රැක ගැනීම ගැන කවර කතාද...?

අනුර බණ්ඩාරනායක තුළ තිබූ ලිබරල් බව ‘පාලනයකින් තොර අසීමිත ලිබරල් බවක්’ විය. පාලනයකින් තොර අසීමිත ලිබරල් බව යනු හැමවිටම මහා විනාශයකි. එයම ඔහුට විණ කැටුවේය. ජේ්‍යෂ්ඨ සිවිල් පරිපාලන නිලධාරී බ්‍රැඩ්මන් වීරකෝන් මහතා විසින් රචනා කළ Rendering Unto Caesar කෘතියේ එක් තැනෙක සොලමන් ඩයස් බණ්ඩාරනායක තාත්තා විසින් අනුර ප්‍රියදර්ශනයට වැරැද්දූ තවත් තැනක් ගැන මැනවින් දැක්වේ. එම ඡේදය පටන් ගන්නේ මෙසේ ය.

“අනුරට අවුරුදු හත අටක්ව සිටියදී ක්‍රිකට් ක්‍රීඩාවට මහත් උනන්දුවක් තිබිණ. ඔහු හා සෙල්ලම් කිරීමට ගමෙන් ගෙනා කොලුවා අනුරට වඩා අවුරුදු තුන හතරක් වැඩිමහල් විය. මේ ගැමි දරුවාගේ වේගවත් බෝලවලට අනුරගේ කඩුලු එකපිට එක බිඳ වැටුණි.” තණනිල්ලේ ක්‍රිකට් ගැසූ අනුර මේ පරාජය දරාගත නොහැකිව මේ ගැන බණ්ඩාරනායක තාත්තාට පැමිණිලි කළේය. එවිට ගෙයින් පිටතට පැමිණි බණ්ඩාරනායක මහතා ගමෙන් ගෙන ආ කොලුවාට තරවටු කර තිබුණේ ඔහුව කොළඹ කැඳවාගෙන ආවේ අනුර සමග සෙල්ලම් කරන්නට මිස අනුරව පරාජය කරන්නට නොවන බවයි.

මෙහි කදිම සමුදයර්ථයක් තිබේ. සැබෑ ජීවිතයේ දී ද අනුර, ඔහු අසල සිටි අය විසින් ඔහුව දිනවන තෙක් බලා සිටියේය. ඔහු වටේ සිටි අය ඔහු සමග සෙල්ලම් කරනවා මිස ඔහුව පරදවන්නට සෙල්ලම් කරන බව ඔහු සිතුවේ නැත. එනිසා ඔහුට කිසිවිටෙක වෙහෙස මහන්සි වී බලය අල්ලා ගැනීමට ලෝභ කමක් ඇති වුණේ නැත. මහින්ද රාජපක්ෂ යනු, ඒ අර්ථයෙන් අනුර බණ්ඩාරනායකගේ විරුද්ධ රූපකයයි. යම් හෙයකින් එදා අනුර බලය ගැන උනන්දු වී ඒ වෙනුවෙන් වෙහෙස වූවා නම් මහින්ද රාජපක්ෂ නමැති බලලෝභී, විනාශකාරී පාලකයාට ලංකාව එදා නතු වන්නේ නැත.

අනුර බණ්ඩාරනායක යනු සැබවින්ම නැවත කියවිය යුතු චරිතයකි. ලංකාවේ ලිබරල්වාදීන් වෙත් නම් ඔවුන්ට අනුර බණ්ඩාරනායක විසින් ලබාදුන් සම්මුඛ සාකච්ඡා, ඔහු පාර්ලිමේන්තුවේ පැවැත්වූ සාරගර්භ කථා යනාදිය විමසා බලා මේ පිළිබඳ ගැඹුරු ප්‍රවේශයක් ලබාගත හැකිය. මේ කෙටි සටහන, ඒ සඳහා පෙරවදනක් පමණි.

අනුර බණ්ඩාරනායක...

අපතේ ගිය සඳ එළිය
නොපිපීම පරව ගිය
මදාරා කුසුම
මහපොළොව උරාගත් ඉහිරුණු මීවිත - ‘නිහඬ තණපතකි මම’ කාව්‍ය සංග්‍රහයෙන්.

- රදිකා ගුණරත්න

Top