1150 x 80 px
මෝඩයා හත්පොලේ ගාගනී - රංජිත් හේනායකආරච්චි
පැරණි ප්‍රස්ථා පිරුළුකින් කියවෙන්නේ නුවණැති අයෙකුට අසූචි ගොඩක් පෑගුණ විට ඔහු කරනුයේ වහාම තම පය තණ බිස්සක පිස දැමීම හෝ වතුරෙන් සෝදා ගැනීම බවයි. ඒත් මෝඩයෙකුට එය පෑගුණ විට ඔහු එය මුලින්ම අනෙක් කකුලේ තවරා ගනී. ඉන්පසු අතේ ඇඟිලිවල ගාගෙන ඉඹ බැලීමට ගොස් නහයේද ගාගනී. පිටි අත්ලෙන් නහය පිසදමා පිටි අත්ල ඇඳුමෙන් පිසදා ගනිමින් අසූචි හත්පොලේ තවරා ගනී. අද ලංකාවේ රාජ්‍ය නායකයින්ගේ ක්‍රියාදාමය මෙයට සාක්ෂි සපයයි.
පුද්ගලික ආරවුලක් මුල් කර ගනිමින් දිගන තෙල්දෙණිය ඇතුළු නුවර පළාතේ සංවිධානාත්මක මැර කණ්ඩායම් මෙහෙයවමින් කඩසාප්පු, කොල්ලකමින්, ගෙවල් දොරවල් පල්ලි ගිනි තබමින්, සාපරාධී ලෙස ප්‍රචන්ඩත්වය දියත් කරනු ලැබීය. පොලිස් නිලධාරීන් මුණිවත රකිමින් බලා සිටියහ. මෙවැනි අවස්ථාවක රටේ විධායක බලය හිමි ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ වහාම පොලිස් සේනා ආරක්ෂක ප්‍රධානීන්ට මෙම කලහකරුවන් අත්අඩංගුවට ගෙන වින්දිතයන්ට ආරක්ෂාව සපයන ලෙස විධානය කිරීමයි. නමුත් එම ක්‍රියාදාමය හරියාකාරව සිදු නොවිණි. දින ගණනාවක් යනතුරු මැර කල්ලි මුස්ලිම් දේපළ කොල්ල කෑහ. විනාශ කළහ. අන්තිමට ජනාධිපතිවරයා කරනු ලැබුවේ සිංහල ජාතිවාදය පැතිරවීමට ප්‍රසිද්ධියක් උසුළන ඇල්ලේ ගුණවංශ සහ ඉත්තෑපානේ සද්ධාතිස්ස නම් චීවරධාරීන් සමග එම පෙදෙසට ගමන් කිරීමයි. එක ජනවර්ගයක් විසින් තව ජනවර්ගයකට පහරදෙන මෙවැනි මොහොතක රටේ ජනාධිපතිවරයා ජාතිවාදයට නම් දැරූ හාමුදුරුවරුන් සමග එහි යාමෙන් (ජාතිවාදයට එරෙහිව නායක හාමුදුරුවරුන් බොහෝ සිටියදී) ප්‍රශ්නයට මුහුණ දී සිටින වින්දිත ජනයාට දෙන පණිවිඩය කුමක්ද? ජාතිවාදී අසූචි ගොඩ පෑගී තිබෙන විට මෙතුලින් ජනාධිපතිවරයා කරනුයේ එය හත්පොලේ ගා ගැනීම ඇරඹීමයි. නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට දඬුවම් කර  නීතිය ක්‍රියාත්මක කිරීමට බල කර සිටීම වෙනුවට ජනාධිපතිවරයා ක්‍රියා කරනුයේ මෙම මැර කල්ලි සැනසීමේ පිලිවෙතක් අනුගමනය කිරීමයි.
 
රටේ අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ ද සිද්ධිය ආරම්භයේදී  කඩිනම් පියවර ගැනීම වෙනුවට මන්දගාමී පිලිවෙතක් අනුගමනය කළේය. නමුත් තමනට අසූචි ගොඩක් පෑගී ඇති බව ඔහුගේ පක්ෂයේ අය පෙන්වා දෙන විට තමාගේ පයේ අසූචි පෑගී ඇති බව ඔහු වටහා ගත්තේය. ඒ අනුව ප්‍රශ්නයට මුහුණ දී සිටින වින්දිතයන්ගේ නිවෙස්වලට යමින් ආගමික සහ ජනනායකයන් සමග සාකච්ඡා කරමින් සිදුවී ඇති විනාශයට වන්දි ගෙවිය යුතු බව පැවසීය. ඒ වාගේම කලහකාරීන් සහ මෙම සිද්ධිය මෙහෙයවූ අය අත්අඩංගුවට ගැනීමට පොලිසියට අණ කළේය. ප්‍රශ්නයට මුහුණ දී සිටින වින්දිනයාට ඇහුම්කන් දෙන ඔහු ජාතිවාදීන් පිලිකෙව් කිරීම තුල තම පයේ පෑගී ඇති අසූචි සෝදා ගැනීමට උත්සාහ කලේය.
 
නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ඉහත කාර්යන් නොනැවතී අසූචි හත්පොලේ නොව සර්වාංගය පුරාම ගා ගැනීම අරඹමින් ජාතිවාදය වැපිරීම පිළිබඳව කුප්‍රකට චීවරධාරී දාමරිකයෙකු වන ඥාණසාර මුණ ගැසෙයි. ඥාණසාර නිකම්ම ජාතිවාදියෙකු පමණක් නොව මැරයෙකි. ඔහු සන්ධ්‍යා එක්ණැලිගොඩට උසාවිය තුළදීම තර්ජනය කිරීම ගැන චෝදනා ලද්දෙකි. අලුත්ගම ඇතුළු ස්ථාන ගණනාවකම ජාතිවාදය අවුස්සා ජනයා කුපිත කර මැර ප්‍රහාර මෙහෙයවීම ගැන නීතිය ඉදිරියේ නඩු ගණනාවක් ඇති අතර එක් හෝ තවත් වතාවක් උසාවියෙන් වරෙන්තු නිකුත් කළ ජාතිවාදී මැරයෙකි. නූතන මුස්ලිම් විරෝධය සහ ඥාණසාර එකට ඇඳී ඇති නිවුන්නුන් වැනිය. මෙවැනි අයෙකු මෙසේ ප්‍රශ්නකාරී තත්වයක් රට තුළ පවතිද්දී ජනාධිපතිවරයාව මුණ ගැසීම ඇදහිය නොහැකි පහත් සිදුවීමකි.
 
මෝඩකමට සීමාවක් නොමැතිකම නැත්නම් ලැජ්ජාවක් නැතිකම සියල්ල පරදන බව මේ සිදුවීමේ ප්‍රකාශනයයි.
 
මේ අතර මේ පිළිබඳව හෙලිදරව්වීමත් සමග ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා ඥාණසාර මුණ ගැසෙන්නේ අහම්බයකින් බව පවසයි. මෙය එසේ විය හැකිද? රටක ජනාධිපතිවරයෙකු තවත් රටකට ගිය පසු ඔහු මුණ ගැසීමට හැම කෙනෙකුටම හැකියාවක් තිබේද? රටක නායකයෙකු වෙනත් රටකට ගියවිට එහිදී ඔහු හෝ ඇය ක්‍රියාකරන්නේ සැලැස්මකට අනුවය. ඔහු සමග පවතින සියළුම රැස්වීම් සංවිධානය කිරීම නාමලේඛණ සහිතව ආරාධනා සහිතව (ආරක්ෂක හේතූන් මත) සිදුවෙයි. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර අය එහි එන අය ගැන පූර්ණ දැනුමක් ඇතිව මේ රැස්වීම් සංවිධානය කරයි. කළයුතුයි. තානාපතිවරයා ඇතුළු නිලධාරීන් ඒවා සැලසුම් කරති. රටේ නායකයා එම රැස්වීමට ඒමට පෙර ඔහු දැනුවත් කළ යුතුය. මෙසේ ජනවර්ග අතර ආරවුලක් රට තුල පවතිද්දී රට තුළ ඇඳිරි නීතිය පවා ක්‍රියාත්මක වෙද්දී මෙවැනි කුප්‍රකට ජාතිවාදය අවුලවන්නෙකු ‘අහම්බයෙන්' හමුවූවානම් එක්කෝ ලංකා තානාපතිවරයාගේ සිට ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාර නිළධාරීන් දක්වා දැන දැන ඔහුව වලක දැමීමට ක්‍රියාකර ඇත. එසේ නැතිව ජනාධිපතිවරයා දැනුවත්ව මුණ ගැසුනේ නම් එය හැදින්වීමට වචන නොමැත.
 
කෙසේ වුවද ලංකාවේ දිගින් දිගටම පවතින ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ජනවර්ග අතර ආරවුල් මතු කිරීම සඳහා වැරදි මත ප්‍රචාරය කරන කලකෝලහල කරවන මැර ක්‍රියාවන් හා ඒවාට නායකත්වය දී මෙහෙයවන්නන්ට කිසිදිනක නීතිය ක්‍රියාත්මක නොවීමයි. නිදහසින් පසු ලංකාවේ දිගින් දිගටම ජනවර්ග අතර කුපිත කරවීම් සහ සාපරාධී ප්‍රහාරයන් තුලින් සිදුවූ ජනජීවිත සහ දේපළ හානිය අතිමහත්ය. නමුත් ඒවායේ යෙදෙන දාමරිකයන්ට කිසිදිනෙක දඬුවම් නොදුන්නා පමණක් නොව මෙවැනි වර්ගවාදී ප්‍රචන්ඩත්වයන් කුපිතකරවන්නන් වන ඥාණසාරලා අද වන තුරුත් වැදුම් පිදුම් ලබමින් මැති ඇමතිවරු සමග සැරිසරනු ලබති. එය එසේ වන විට ජාතිවාදී ම්ලේච්ඡ ක්‍රියාවන් සාපරාධී වැරදි වැඩ යැයි  ඊළඟ පරපුරේ දරුවන්ට තේරුම් යයිද?
 
මා දකින විදියට රටේ ඇති ප්‍රධානම ප්‍රශ්නය දණ්ඩ මුක්තියයි. මෙය නිදහසින් පසු ලංකාවේ ටිකෙන් ටික මෝරා විත් මහින්ද රාජපක්ෂ යුගයේ එහි හිනිපෙත්තටම ලඟා විය.
 
ලංකා රාජ්‍ය විසින් එහි වැසියන් අතුරුදහන් කරවීමට නම් දැරූ ඉතිහාසයකට හිමිකම් කියති. 71 හෝ 87/88 හෝ උතුරුකරයේ 80-2009 දක්වා හෝ අතුරුදන් කළ වැසියන්ගේ ප්‍රමාණය දස දහස් ගණනින් වෙති. රජයේ දත්තයන්ම මෙයට සාක්ෂි දරති. උතුරේත්, දකුණේත්, ලිදක්වත් තැනිය නොහැකි ලෙස සමූහ මිණී වළවල් මතුවෙති. 83 වැනි ජාතිවාදී ප්‍රහාරයන් වලට වගකිවයුතු අය කිසිදිනෙක නීතිය හමුවට පමුණුවා නැත. මෙසේ සාපරාධී අපරාධයන්ට වගකිවයුතු අය හිර ගෙවලට යනවා වෙනුවට ඔවුන්ව සමාජයේ ඉහළම තලයට ඔසවා තබනු ලබයි.
 
පවතින රජය බලයට එන්නේම මෙම දණ්ඩ මුක්තිය අවසන් කරන බවට ප්‍රධාන පොරොන්දුවක් දෙමිනි. නමුත් එදා මහා පරිමාණයේ දූෂණයන්ට සහ මිනීමැරුම්වලට වගකිවයුතු කිසිවෙකු මෙම රජය අත නොතැබූ අතර යම් යම් අයව නීතිය ඉදිරියට ගෙන ආවේ රථවාහන අවභාවිතාව වැනි සුළු වැරදිවලට මිස මහාපරිමාණ දූෂණයන්ට එරෙහිව නොවේ. දැන් වසර තුනක් ගෙවී හමාරය. තවදුරටත් වැරදිකරුවන් නීතිය ඉදිරියට නොපැමිණවීමෙන් පෙන්වන්නේ පාලකයන් දූෂිතයන් සමග අත්වැල් අල්ලාගෙන ඇති බවකි.
 
වරක් හිටපු අධිකරණ ඇමතිවරයා ‘මම අධිකරණ ඇමතිව සිටින තෙක් ගෝඨාභය උසාවියට ගෙන ඒමට ඉඩ නොතබමි'  යනුවෙන් පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වරක ‘මම කිසිදිනෙක රණවිරුවන් උසාවි ගෙන ඒමට ඉඩ නොදෙමි' යනුවෙන් පවසයි. යම් කිසිවෙකු වැරදිකර ඇත්නම් ඔවුන්ට තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණවීම යහපාලනයේ ප්‍රධාන අංගයකි. මෙවැනි ප්‍රකාශ තවත් මැති ඇමතිවරුන් විසින් ප්‍රකාශ කරනු පසුගිය අවුරුදුවල දක්නට ලැබුණි. රටක නීතියක් පවතින්නේ එම රටේ ජනාධිපතිට හෝ මැති ඇමතිලාට කැමති විදිහට එය ක්‍රියාත්මක කිරීමට නොවේ. නීතිය ස්වාධීන සෑම අයෙකුටම එක හා සමාන විය යුතුය. ජනතාවට තමාට ආරක්ෂාවක් ඇති බව තහවුරු වනුයේ එසේ වූවිට පමණි. ජනාධිපතිවරයාත් අධිකරණ ඇමතිවරයාත් කළ ඉහත ප්‍රකාශයන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක  වන රටක කළානම් පසුදිනම ඔවුනට ඉල්ලා අස්වීමට සිදුවනු ඇත. නමුත් ලංකාවේ එය එසේ නොවේ.
 
මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීම සිදුවන්නේ දිගු කලක් තිස්සේ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ ක්‍රියාදාමයන්ගෙනි. එහිදී එජාපය, ජවිපෙ, ඇතුළු දේශපාලන බලවේගයන් එකතුවෙන් පොදු අපේක්ෂකයෙකු පත් කර ගැනීමෙනි. මෛත්‍රීපාල එදා ඒ පොදු අපේක්ෂකයා වී බලයට එන්නේ මෙම බලවේග සහ දෙමළ, මුස්ලිම් ඡන්ද මුල්කරගෙනයි. නමුත් මෛත්‍රීපාල අද තමන් ජාතිවාදීන් සමග එකට හිට ගනිමින් කරනුයේ එදා තමා රජ කරවූ අයට මූනට මඩ ගැසීමකි. සිංහලයා පැවතෙන්නේ වංග රටින් පලවා දැමූ හොරෙක් වන විජයගෙන් බවට අපම උදම් අනමු. ඔහුට බලයට ඒමට අතදුන් කුවේණිය සහ ඔහුට දාව උපන් දරුවන්ද තමා රජවූ පසු එළවා දමන්නේ අති නින්දිත අයුරිනි. අද සිරිසේන මුස්ලිම් ජනයාගේ වේදනාව ඉදිරියේ ඥණසාරලා සමග එකට හිට ගැනීමෙන්, හොරුන් සමග අත්වැල් බැඳගැනීමෙන් පෙන්වන්නේ පැහැදිලිවම ඔහු විජයගෙන් පැවතෙන බව විය යුතුයි.
Top