1150 x 80 px
විමර්ශන කොමිෂන් සභා පිළිබඳ ලංකාවේ ගැටළුකාරී අතීතය: අපි පරණ වැරදිම නැවතත් කරමින් සිටිමු ද ? භවානී ෆොන්සේකා
2015 ඔක්තෝබර් මාසයේ අංක 30/1 යටතේ සම්මත කරගන්නා ලද්දා වූද, 2017 මාර්තු මාසයේ අංක 34/1 යටතේ දීර්ඝ කරගන්නා ලද්දා වූද, ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව තුළ අඩංගුව පැවති ඉටු කළයුතු පොරොන්දු සම්බන්ධයෙන් සහ ශ‍්‍රී ලංකාවේ වර්තමාන මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා 2018 මාර්තු 21 වැනිදා එම කවුන්සිලය වෙත වාචික යාවත්කාල කිරීමක් ඉදිරිපත් කරනු ඇත. ‘අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය’ මෑතකදී ක්‍රියාන්විත කිරීමත්, බලහත්කාරී අතුරුදහන් කිරීම් අපරාධ සේ සැලකෙන නීති පනවා ගැනීමත්, උතුරු නැගෙනහිර යම් සීමිත ඉඩම් ප්‍රමාණයක් ඒවායේ අයිතිකරුවන්ට නිදහස් කිරීමත් ඇතුළුව යම් ප‍්‍රගතියක් එ් කරුණු සම්බන්ධයෙන් මේ ආණ්ඩුව ඇති කරගෙන තිබුණත්, තව බොහෝ පොරොන්දු ඉටු කිරීමට තිබේ. එසේම, වගවීම සම්බන්ධයෙන් වන තවත් දේවල් තවම පටන්ගෙන පවා නැත.
මහ කොමසාරිස්වරයාගේ කරුණු ඉදිරිපත් කිරීම සිදුවන්නේ, මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කර ගනිමින් මෑතක ඇති වූ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවලියෙන් අනතුරුව දක්නට ලැබෙන ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ගණනාවක් ඇති පසුබිමක්ය. නුවර දිස්ත‍්‍රික්කයේ සහ ශ‍්‍රී ලංකාවේ වෙනත් පළාත්වල ඇති වූ ප‍්‍රචණ්ඩත්වය මගින් කියාපෑවේ, මුස්ලිම් ප‍්‍රජාව ඉලක්ක කොට දියත් කෙරුණු වාර්ගික සහ ආගමික වෛරය සහ හිංසනය ඇවිල වූ සැහැසි ජනයා මෙල්ල කිරීමට ආණ්ඩුව දැක්වූ නොහැකියාවයි. අවාසනාවකට, මේවා හුදෙකලා සිදුවීම් නොවන අතර, මෑත වසර කිහිපය මුළුල්ලේ එක දිගට දිග හැරුණු යම් මාදිලියක නිශ්චිත කොටසක් වන්නේය. සිංහල-බෞද්ධ ජාතිකවාදයේ වාගාලංකාර මගින් අවුස්සන ලද සැහැසි ජන කල්ලිවල ප‍්‍රහාරයන්ට සංඛ්‍යාත්මක සුළුතරයන් ලක්වීම ඒ මාදිලිය තුළ කැපී පෙනුණි. ඒවාට අදාළ අපරාධකරුවන් නීතිය ඉදිරියට පැමිණවීම සඳහා අවශ්‍ය සැබෑ පියවර, පැවති ආණ්ඩුව මෙන්ම වර්තමාන ආණ්ඩුවත් විසින් නොගැනීම තුළ, එ් සැහැසි ව්‍යාපාරය තවත් ශක්තිමත් වී තිබේ.
 
මේ සන්දර්භය තුළ, නුවර සහ වෙනත් පළාත්වල ඇති වු ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවන් ගැන සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිසමක් පත්කරන ලෙස ආණ්ඩුවේ සමහරෙකු ඉල්ලා ඇති බව වාර්තා විය. හිතාගත නොහැකි කඩිනමින් ඊට ප‍්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා, එවැනි ත්‍රිපුද්ගල කොමිසමක් තමා පත්කරන බව ප‍්‍රකාශයට පත්කොට තිබේ. ආණ්ඩුව පැත්තෙන් එවැනි කඩිනම් ප‍්‍රතිචාරයක් දැක්වීම, නුවර හිංසනකාරී තත්වයක් ඇතිව තිබෙන බව පිළිගැනීමට පවා සහ අනතුරුව එය හෙලාදැකීමට පවා මේ ආණ්ඩුව සුනංගු වූ ආකාරය සමග එකට ගෙන බලන විට, කෙනෙකුව පුදුමයට පත්කරවයි. ප‍්‍රචණ්ඩකාරී හිංසනය සිදුවන අවස්ථාවේ සහ එම දිනවල එය මැඩලීම අරභයා ආණ්ඩුව පැත්තෙන් දකින්ට ලැබුණු ප‍්‍රමාදය, නොහැකියාව සහ ඇල්මැරුණු ගතියට අමතරව, අතීතයේ කොපමණ නම් මෙවැනි විමර්ශන කොමිෂන් සභා පත්කොට තිබේද යන්න ගැනවත්, තවත් එවැන්නක් දැන් ඉල්ලා සිටින අය දැනුවත්ද යන්න ප්‍රශ්නයකි. එවැනි කොමිෂන් සභා සඳහා අතීතයේ ගතකොට ඇති කාලය, ඒවා සඳහා වැය කොට ඇති මුදල් කන්දරාව සහ අවසානයේ එවැනි කොමිෂන් සභා විසින් යෝජනා කරන ලද නිර්දේශ සම්බන්ධයෙන් බලයේ සිටි ආණ්ඩු කටයුතු කොට ඇති දියාරු ආකාරය ගැන මේ අය සිතා ඇත්ද යන්න ප‍්‍රශ්නයකි.
 
කොමිෂන් සභා පිළිබඳ අතීත උරුමය
 
‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ සහ ‘පරණගම කොමිසම’ ඇතුළු තවත් එවැනි කොමිෂන් සභා, වින්දිතයන්ගේ අපේක්ෂා එදා දල්වාලීය. එහෙත් ඒවායේ ප‍්‍රකාශිත අභිප‍්‍රායන් ප‍්‍රකාරව අවසානයේ කටයුතු සිද්ධ නොවන විට, වින්දිතයන් තුළ නැවත නැවතත් ඇති කෙළේ කෝපයත්, අපේක්ෂා භංගත්වයත්ය. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ ඇතුළු වෙනත් එවැනි කොමිෂන් සභා ඉදිරියට පැමිණි කිසිවෙකුට, අතීත අපයෝජනයන් සම්බන්ධයෙන් යුක්තියක් ඉෂ්ට වුණේ නැත. ඒ ආකාරයෙන්ම, ‘පරණගම කොමිසම’ ඉදිරියට ගිය අයට, තවමත් තමන්ගේ අතුරුදහන් වූ ආදරණීයයන් පිළිබඳ පිළිතුරක් ලැබී නැත. මේ කොමිෂන් සභා දෙක මගින් උතුරේ පවත්වන ලද සැසි වාරවලට පැමිණි බොහෝ වින්දිතයන් දුරුකතර ගෙවා, තමන්ගේ දෛනික ආදායම පවා අහිමි කරගෙන එහි ගියේ විනාඩියකට දෙකකට හෝ තමන්ගේ දුක්ගැනවිලි කියාපෑමටය. ඒ දුක්මුසු අත්දැකීම් කියාපෑමේදී ඉන් බොහෝ දෙනා භාෂා ප‍්‍රශ්නයටත් මුහුණ දුන්හ. ඊට හේතුව, ඒවායේ භාෂා පරිවර්තන පහසුකම්, විශේෂයෙන් දෙමළ භාෂා පරිවර්තන පහසුකම් නොතිබීමයි. තවත් සමහරු තර්ජනවලට මුහුණදුන් අතර, මේ කොමිෂන් සභා ඉදිරියට පැමිණෙන අවස්ථාවේදි සහ ඉන් පසුවත් ආරක්ෂක අංශවල නිරන්තර සෝදිසියට ඔවුහූ ලක්වූහ. සමහර කොමසාරිස්වරුන් සහ කොමිසමට සහාය වන්නන් මතු කළ අසංවේදී ප‍්‍රශ්නවලින් තවත් අය බලවත් පීඩාවටත්, නිගරුවටත් පත්වූහ. බිහිසුණු ප්‍රචණ්ඩත්වය අත්දටු හෝ අත්විඳි වින්දිතයන් පත්ව සිටි කම්පිත ක්ෂතිය ගැන මේ බලධාරීන් දැන සිටියේ නැත. නැත්නම් තැකුවේ නැත. එහෙත් පිළිතුරු සොයමින් සහ යුක්තිය අපේක්ෂාවෙන් ඔවුන් පත්ව සිටි අසරණ තත්වය කෙතෙක් දුක්ඛිත වී ද යත්, බොල් පොරොන්දු මැද්දේ පවා ඔවුහූ නැවත නැවතත් මේ කොමිෂන් සභා ඉදිරියට ආහ.
 
යෝජනා වී ඇති පරිදි තවත් කොමිෂන් සභාවක් පත්කළොත් මේ කටුක පාඩම නැවත දිග හැරෙනු ඇත. වැඩියත්ම එසේ වන්නේ, වින්දිතයන් වාර්ගික/ආගමික සුළුතරයකට අයත් වන බැවිනි. පසුගිය ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියාවලිය තුළ විවිධ ආකාරයෙන් සහ විවිධ මට්ටම්වලින් රාජ්‍යය එම ප‍්‍රචණ්ඩකාරීත්වයේ සහායකයන් වී තිබුණු තත්වයක් තුළ, රාජ්‍ය ආයතන ගැන සැක කිරීමට තරම් හේතු කාරණා එම ජනතාවට කොපමණවත් ඇත. විවිධ කොමිෂන් සභා පිළිබඳ ශ්‍රී ලංකාවේ ඉතිහාස උරුමය වින්දිතයන් සම්බන්ධයෙන්වත්, යුක්තිය සම්බන්ධයෙන්වත් සාධනීය එකක් නොවීම කණගාටුවකි. එසේ නම්, තවත් දිග්ගැස්සෙන එවැනිම ක්‍රියාවලියක් පිළිබඳව, වින්දිතයන්ව නැවතත් පීඩාවට පත්කළ හැකි එවැනිම ක්‍රියාවලියක් පිළිබඳව සහ එම විමර්ශන අවසානයේ නිකුත් කෙරෙන පතරංග වාර්තා කිසිවෙකු නොකියවන සහ වැඩිකල් නොගොස් ඒ සියල්ල අමතක වන ක්‍රියාවලියක් ගැන මෙතරම් උනන්දුවක් කුමටද ? අතීතයේ පැවති කොමිෂන් සභා සේම මේ කොමිෂන් සභාවත් කිසිවෙකුට එරෙහිව නඩු පැවරීමකට තුඩුදෙතැයි සිතිය නොහැක. එය තවදුරටත් ශ‍්‍රී ලංකාවේ දණ්ඩමුක්ති සම්ප‍්‍රදායට (දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති හැකියාවට) තවත් දායකත්වයක් පමණක් සපයනු ඇත.
 
දණ්ඩමුක්තිය පිළිබඳ ප‍්‍රශ්නය විසඳා ගැනීම
 
මේ දණ්ඩමුක්ති සංස්කෘතිය වර්තමාන ආණ්ඩුවට අතීතයෙන් උරුමවූවකි. වගවීම පිළිබඳ ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම ඇතුළු පොරොන්දු ගණනාවක් මේ ආණ්ඩුව 2015 දී මේ රටේ ජනතාව ඉදිරියේ තැබුවත්, එ්වායින් බොහොමයක් තවම සාර්ථක කරගෙන නැත. දූෂණයට එරෙහිව කටයුතු කිරීමටත්, එ්වාට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමටත් මේ ආණ්ඩුව එදා පොරොන්දු වුවද, එවැනි දූෂිතයන් බොහොමයක් දෙනා තවමත් නිදැල්ලේ සිටින අතර, අත්අඩංගුවට ගත් කිහිප දෙනෙකුත් ඇප මත නිදහස් කර හැර තිබේ. මේ අතර තවත් නඩු ගණනාවක් පමා වෙමින් තිබේ. මේ රජය බලයට පත්වූ දා සිට අද වනතෙක්, ආගමික හෝ වාර්ගික වෛරය වැපිරීමේ වරදට නඩු අසා කිසිවෙකු හිරේ යවා නැත. අපරාධකරුවන්ව නීතිය තුළ කොටු කර ගැනීමට අසමත් වන එවැනි තත්වයක් තුළ, මේ ආණ්ඩුව යටතේමත් වාර්ගික සහ ආගමික වෛරය උසිගැන්වීම් ඉහළ ගොස් තිබේ. ඒ සමගම, අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරමින්, නීතියේ බලය පාවිච්චි කොට හිංසනයේ ව්‍යාප්තිය මැඩලිය යුතු බවට, දැනුවත් පිරිස් විසින් පොලීසියෙන්, නීතිපති දෙපාර්තමේන්තුවෙන් සහ වෙනත් අදාළ බලධාරී ආයතනවලින් කෙරෙමින් පවතින ඉල්ලීම් ද අනන්තවත්ය.
 
මෙවැනි අඳුරු තත්වයක් ඇති වී තිබෙන්නේ එවැන්නක් මැඩලීමට තරම් ප්‍රමාණවත් නීතිරීති සමුදායක් රටේ පවතින තත්වයක් තුළය. පොලිස් ආඥාපනත, අපරාධ නීති සංග‍්‍රහය සහ ‘සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තිය’ මෙහිදී රටේ සේවයට ගත හැකිව තිබේ. එසේම ඉහත කී ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් වන අවශ්‍ය තරම් සාක්ෂිද නොඅඩුව තිබේ. එබැවින් තවත් ජනාධිපති කොමිෂන් සභාවක් ඉල්ලා උදක්ම හඬ නගන අයවළුන්, ඊට කලින්, මේ කියන මාර්ග ඔස්සේ නීතිය පසිඳලීමට බැඳී සිටින ආයතනවලින් සහ පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ රාජකාරි නිසියාකාරයෙන් ඉටු කරන ලෙස ඉල්ලා සිටිය යුතුව තිබේ. තවත් දීර්ඝ පරීක්ෂණ ක‍්‍රියාවලියක් සඳහා, අවසානයේ කිසි සුගතියක් අත් නොවන පරීක්ෂණ ක‍්‍රියාවලියක් සඳහා, නැවත වරක් රටේ බදු මුදල් නාස්ති කරනවාට වඩා එය ප්‍රයෝජනවත්ය.
 
නායකත්වය සහ ප‍්‍රතිසංස්කරණ සඳහා ඇති අවශ්‍යතාව
 
අමතක වීමේ බරපතල රෝගයකින් මේ ආණ්ඩුව පෙලෙන්ට ඇති ඉඩකඩ සැලකිල්ලට ගෙන, 2015 ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ඔවුන්ට නිරන්තරයෙන් සිහිකැඳවීමේ වගකීම පුරවැසියන්ට පැවරේ. මේ ආණ්ඩුුවට ජනවරම ලැබුණේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහාය. පිරිසුදු ආණ්ඩුකරණයක් සහ යහපාලනයක් ඇති කිරීම සඳහාය. ඥාති සංග‍්‍රහය ඉවරයක් කිරීම සඳහාය. වගවීමෙන් බැඳී සිටීම සඳහාය. එසේම සුළුතර ප‍්‍රජාවන්ගෙන් අතිබහුතරයකගේ සහාය ලැබුණේ ජාතික ප‍්‍රශ්නයට දේශපාලනික විසඳුමක් සෙවීම සඳහාය. අතීතයේ සිදු වු ප‍්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වගවීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීම සඳහාය. එහෙත් එ් කිසිවක ප‍්‍රගතියක් දක්නට නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලියත්, සංක‍්‍ර්ති යුක්ති ක්‍රියාවලියත් මේ වනවිට ඉතා සීග්‍රයෙන් පල්ලම් බසිමින් තිබේ. මෑතකදී ඇති වු ප්‍රචණ්ඩකාරී රැල්ල නිසා, හිංසනය තවදුරටත් පැතිරීම වැලැක්වීමේ සහ සුළුතර ප්‍රජාවන්ට ආරක්ෂාව සැලසීමේ හැකියාවක් මේ ආණ්ඩුවට ඇත් ද යන්න පිළිබඳව ඇත්තේ බරපතල කුකුසකි.
 
යුද්ධයෙන් පසුව ශ‍්‍රී ලංකාවේ අතිශය විනාශකාරී හිංසනයක් ඇති වී සති දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති තත්වයක, රටේ ආරක්ෂාව සහ ස්ථාවරත්වයත්, එවැනි සිදුවීම් යළි ඇති නොවීමට වගබලා ගත හැකි ශක්තිමත් සහ තීරණාත්මක නායකත්වයක් සඳහාත් ඇති අවශ්‍යතාව බොහෝ පුරවැසියන්ට දැනෙමින් තිබේ. මේ අවස්ථාවේ තමන්ගේ විවේචකයන් වැරදි බව ආණ්ඩුව ඔප්පු කළ යුත්තේ, එවැනි නායකත්වයක් ආදර්ශයෙන්ම රටට පෙන්වීමෙනි. මොනම තත්වයක් යටතේවත් ඉහත කී ආකාරයේ හිංසනයක් නොඉවසන සහ අපරාධකරුවන් වහා නීතිය ඉදිරියට පමුණුවන නායකත්වයකට උර දීමෙනි. හුදෙක් පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීම් පමණක් ඊට නොසෑහේ. පවතින නීති ප්‍රකාරව ඔවුන්ට එරෙහිව නඩු පවරා වරදකරුවන් කළ යුත්තේය.
 
ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නියෝජිත පිරිස මේ සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ තමන්ගේ සාර්ථක වැඩ කටයුතු ගැන පැහැදිළි කරලීමටත්, ඉතිරි කාර්යයන් ඉදිරියේදී කරන බව සපථ කිරීමටත් නියමිතය. එහෙත්, සුළු ජන ප‍්‍රජාවන් බියෙන් වෙසෙන, අපරාධකරුවන් තවමත් නඩු විභාග කොට වැරදිකරුවන් කොට නැති රටක් ඉදිරිපත් කරන එවැනි වාර්තා හුදෙක් වාගාලංකාර පමණක් වනු ඇත. තමන් පොරොන්දු වූ කාර්යයන් ඉෂ්ට කිරීමේ වගකීම ආණ්ඩුවට තිබේ. කිසි වැදගැම්මකට නැති තවත් ජනාධිපති කොමිෂන් සභා පත්කරමින්, යුක්තිය මගහැරීමේ ව්‍යාජ අවසර අස්සේ හැංගෙනවා වෙනුවට, දුන් පොරොන්දු දැන්වත් ආණ්ඩුව ඉටු කළ යුතුව තිබේ. මේ තීරණාත්මක මොහොතේ එසේ කිරීමට මේ ආණ්ඩුව අසමත් වෙතොත් එයම ඔවුන්ගේ ඉරණම තීන්දු වීමට හේතු වනු ඇති අතර, ශ‍්‍රී ලංකාවේ අතීතයෙන් පාඩම් උගෙනීමට තිබූ වටිනා අවස්ථාවක් නාස්ති කර ගත්තාද වන්නේය.
 
2018 මාර්තු 19 වැනි දා ‘ග‍්‍රවුන්ඩ්වීව්ස්’ වෙබ් අඩවියේ පළවූ, භවානී ෆොන්සේකා ලියූ, ‘Sri Lanka's Problematic Past with Commissions of Inquiry: Are We Repeating Mistakes ?’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. 
Top