1150 x 80 px
විත අස පත 3 - සිදුවිය නොහැක්කක් නැත !

මේ ඕස්ට්‍රේලියානු මහද්වීපය පැත්තෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සංවේගජනක කඳුළු කඩා හැලෙන මොහොතක්. ඒ අතර මැද්දෙන් පැනලා මම ඔබට යෝජනා කරනවා මාත් එක්ක අවුරුදු පහළොවක් අතීතයට යමු කියල, ඒකත් කිසිම හේතුවක් නැතුව. එකඟයිද? ඔව් ! හැම දේකටම අපි හේතු හොයන්නෙ මොන එකකටද?

2003 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පැවැත්වුණේ අප්‍රිකානු මහාද්වීපයේ. හරියටම කිව්වොත් දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව කියන රටවල් තුනේ. මේ තරගාවලියේදී සිද්ධ වුණු විශේෂ සිදුවීම් කීපයක් තියෙනවා. සත්කාරක, ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට පළවෙනි වටයෙන්ම ගෙදර යන්න වුණා. 'සුදු විදුලිය' කියල විරුදාවලිය ලබපු ඇලන් ඩොනල්ඩ් කියන අතිවිශිෂ්ට දකුණු අප්‍රිකානු වේග පන්දුකරුවා එදා ක්‍රීඩා පිටියෙන් සමුගත්තෙ හැඬූ කඳුළින්. මිනිහට 'සුදු විදුලිය' කියල කියපු එකේ කිසිම පුදුමයක් නැහැ. පොඩි හරි සැකයක් තියනවා නම් නිකමට යූ ටියුබ් එකේ ඇලන් ඩොනල්ඩ් කියල ගහල සර්ච් කරල බලන්න. ඒත් මිනිහ අඬද්දී නම් හරි කැතයි. පොඩි ළමයෙක් වගේ.

ශ්‍රී ලංකාවටත් මේක අමතක නොවන තරගාවලියක් වුණා. ඒ ආධුනික කෙන්යා කණ්ඩායම හමුවේ ලබපු අනපේක්ෂිත පරාජය නිසා. ඒ කාලෙ 'අපි නොදන්න ලයිව්' කියන ටීවී ප්‍රෝග්‍රෑම් එක කරපු චූටි මල්ලියි, පොඩි මල්ලියි මේක හැඳින්නුවේ 'මාර පරාජය' කියල. ඇත්තටම ඒක 'මාර' පරාජයක් තමයි. මේ තීරුව ලියන ලියුම්කරුට - ඒ කියන්නෙ මට - අනුව ලංකාවෙන් බිහි වුණු සුපිරිතම පිතිකරුවා වන, අරවින්ද ද සිල්වාගේ අවසාන තරගාවලිය වුණෙත් මේ ලෝක කුසලානය. තමන්ගෙ ක්‍රීඩා ජීවිතේ අග්ගිස්සෙ ඉඳගෙනත් අරවින්ද එදා මැග්‍රාත්ලට, බ්‍රෙට් ලීලට එල්ල කරපු දැවැන්ත හයේ පාරවල් තාමත් ඇස් ඉස්සරහ මැවි මැවී පේනවා. මාර පරාජය අමතක කරන්න ඒකම වුණත් ඇති.

හරි ! දැන් වටේ ගියා ඇති. ඕනේ කරන තැනට එමු. එදා තරගාවලියේදී සිද්ධ වුණු තවත් සුවිශේෂී දෙයක් තියෙනවා. ඒක ක්‍රීඩාවට එහා ගිය දේශපාලනයත් එක්ක බැඳුනු කාරණයක්. ඒ දවස්වල සිම්බාබ්වේ කණ්ඩායමේ හිටපු ප්‍රබලම ක්‍රීඩකයෝ දෙන්නෙක් වුණු ඇන්ඩි ෆ්ලවර් සහ හෙන්රි ඔලොන්ගා මේ තරගාවලියේ තරගවලට සහභාගි වුණේ කමිස අතේ කලු පටි බැඳගෙන. ඔවුන් එහෙම කළේ එවකට සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේගේ අත්තනෝමතික පාලනයට විරෝධය දැක්වීමක් විදියට. ඔවුන්ගේ මේ නිර්භීත ක්‍රියාව දිහා එදා සෑහෙන්න ජාත්‍යන්තර අවධානයක් යොමු වුණා තමයි. නමුත් ඒකෙ අවසාන ප්‍රතිඵලය වුණේ ෆ්ලවර්ටයි ඔලොන්ගාටයි ජීවිත කාලෙටම ආපහු කවදාවත් සිම්බාබ්වේ හතර මායිමේ පස් පාගන්න නොලැබිච්ච එක. තමන්ගෙ ක්‍රීඩා ජීවිතේටත් නැවතීමේ තිත තියල දෙන්න අන්තිමට ගිහින් නතර වුණේ එංගලන්තෙ. මුගාබේ කිසි කරදරයක් නැතුව තව අවුරුදු ගණනාවක් රට පාලනය කළා. ඔන්න ඔය රොබට් මුගාබේ තමයි දැන් ටික කාලෙකට කලින් සිම්බාබ්වේ රටේ ජනාධිපතිකමෙන් පහ කෙරුණේ.

ක්‍රිකට් වගේම දේශපාලනේත් හරිම අවිනිශ්චිතයි. එදා සිම්බාබ්වෙන් එංගලන්තෙට ගිය ඇන්ඩි ෆ්ලවර් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වෙලා අවුරුදු ගාණකට පස්සෙ එංගලන්ත කණ්ඩායමට 'අළු බඳුන' තරගාවලියක් ජයග්‍රහණය කරන්න පුරෝගාමී වැඩ කොටසක් ඉටු කළා. අවුරුදු තිස් ගාණක් එක දිගට බලයෙ හිටපු, හැමදාම තමන්ට බලයෙ ඉන්න පුළුවන් කියල හිතපු රොබට් මුගාබේ කවුරුවත් හිතපු නැති වෙලාවක අවලංගු කාසියක් වෙලා එළියට වීසි කෙරුණා. දේවල් සිද්ධ වෙන්නෙ එහෙම තමයි. අපේ රටේ වුණත් ඔයිට ළඟින් යන උදාහරණ නැතුවම නෙවෙයි. හෙට මොනවා වෙයිද කියල කවුද දන්නේ?

තණ තීරුව කලින් පරීක්ෂා කරලා ඒක වැඩිපුර වාසිදායක පිතිකරුවන්ටද, වේග පන්දු යවන්නන්ටද, දඟ පන්දු යවන්නන්ටද කියල කියනවා වගේ ජීවිතේ ගැන අනාවැකි කියන්න පුළුවන් කාටද?
'සිදුවිය නොහැක්කක් නැත' කියන සුප්‍රසිද්ධ කියමන ඔබ අහල ඇති. මං හිතෙන්නේ අපිට තව හිතන්න දේවල් හුඟක් තියෙනවා.

- කසුන් සමරතුංග

පෙර තීරු ලිපි

විත අස පත 01 - ආරම්භක කොලම

විත අස පත 02 - චූල සිරුරක මහා හදවත!

 

 

Top