1150 x 80 px
සොඳුරු මරණය 01 - ජීවිතය සහ මරණය

ජීවිතය සහ ජීවිතයේ බොහෝ දේ ගැන කතා කරන ප්‍රමාණයටම මරණය ගැන කතා කෙරෙනවානම් ලෝකයේ හැඩය, මනුස්ස ගනුදෙනුවල ස්වභාවය හුඟාක් වෙනස් වෙන්න ඉඩ තිබුනා..

ඒත්, මරණය ගැන නිදහසේ කෙරෙන කතාබහක් අපිට ලේසියෙන් අහන්න ලැබෙන්නේ නැහැ. ඇත්තම කිව්වොත් ඒ ගැන කතා නොකරන තරම්. මරණය ගැන කතා කරන්න මතක් වෙන්නේ හදිසියේ නෑයෙක්, යාලු මිත්‍රයෙක් හෝ අසල්වැසියෙක් මිය ගියාම. නැත්නම් කාගේ හෝ මියයෑමක් විශේෂ සිදුවීමක් ලෙස ප්‍රවෘත්තියක් වශයෙන් සඳහන් වුනාම... ඒ කතා කරන්නෙත් මියයාමක් යනු සිදු නොවිය යුත්තක් විදියට... මේ කිසිත්ම සිදුවීමක් නැති අවස්ථාවක 'මරණය' ගැන කතා කළොත්

ඇත්තටම මරණය කියන්නේ ඉතාමත් ඛේදනීය අහම්බයක් ද? විශ්වාස කළ නොහැකි පුදුමයක්ද?

මට හිතුනා ජීවිතය විතරක් නෙවෙයි, අපි කතා කරන්න අකමැති 'මරණය' අද මගේ මාතෘකාව කරගන්න.

මරණය නොවූවානම්! මෙතැනයි මරණයේ සුන්දරකම තියෙන්නේ.. මරණය නොවුනානම් අපි වෙනත් කිසිවෙකුට ආදරය නොකරනවා විතරක් නෙවෙයි තමා තමාටවත් ආදරය කරන එකක් නැහැ. කිසි දෙයක් ලබාගන්න උත්සාහ කරන එකක් නැහැ. මොකට ආදරය කරන්නද! මොනවට ලබාගන්නද! මේක කිසිදා නිම නොවන වදයක් වූ විට! කාටහරි අදහසක් එන්න පුළුවන් අපි ආදරය කරන අය ලැබුනාම හැමදාම වුනත් ජීවත්වෙන්න හැකියි නේද කියලා.. නැත්නම්, අපිට ඕනෑ කරන දේවල්, අපි හඹා යන දේවල් ලැබුනොත් කොච්චර කාලයක් වුනත් ඔහේ ඉන්න පුළුවන් නේද කියලා.. පොඩ්ඩක් නැවතිලා කල්පනා කරලා බැලුවොත් හොඳයි ඒක එහෙමමද කියලා. අපි ආශාවෙන් ලබාගත් කිසිම කිසි දෙයක් මෙතෙක් වූ ජීවිත කාලය තුළ එක හා සමාන අගයකින් තිබුනාද, එසේ ලබාගත් දේ අතර කොපමණක් දේ මේ වනවිටත් එපාවී, අවශ්‍යතාවය නැතිවී පමණක් නොව වදයක් වී තිබේද? මේ තත්වය භාණ්ඩ පිලිබඳව වූවක් පමණක් නෙවෙයි, කෑම බීම පිළිබඳව පවා මේ සත්‍යය මෙසේම නොවේද? යාලු මිත්‍රකම් හෝ ආදර සබඳතා වැනි කාරණාවන් සම්බන්ධයෙන් ද තත්ත්වය මෙයම නොවේද? මින් අදහස් වන්නේ අපේ වුවමනාවන්, ආශාවන්, ඇගයීම් පවා ඇතිවෙමින් නැතිවෙමින් යන්නක් බවයි. කෙටියෙන් පැවසුවහොත් ඒ අපේ කෙළවරක් නැති සිතුවිලි ප්‍රවාහයේ යම් මොහොතවල් පමණක් බව කිව හැකියි...ඉතින් මියයාමක් නොමැති විටක සිදුවිය හැක්කේ කුමක්ද? අපගේ පියවි ලෝකයේ සීමිත වපසරියක ගැවසෙන මේ මනස තෙහෙට්ටුවට පත්වීම. අපේ කලකිරීම පවා නිමනොවන්නක් වීම!

එහෙනම් , පටන් ගන්න තියෙන්නේ 'මරණය කෙතරම් සුන්දර සිදුවීමක්ද' කියන තැනින්.... ඒත්, මේ තරම් සුන්දර වූ, නැතිව බැරිවූ, අනිවාර්යයෙන් සිදුවන්නාවූ මේ 'මරණය' කෙරෙහි අප මෙතරම් බියක් දක්වන්නේ ඇයි? මෙතරම් වෛර කරන්නේ ඇයි?

මේ ප්‍රශ්නවලට උත්තර සෙවීම දැනට පසෙක තැබුවත්, එහෙම නැත්නම් උත්තර නොසොයාම සිටියත් අපිට අනිවාර්යයෙන් පිළිගන්න සිද්ධවෙන කාරණය තමයි අප සියල්ලන් මියයාමට නියමිත බව. කොතෙක් අකමැති වූවත්, දමා යාම ප්‍රතික්ෂේප කලත් , හැකිතාක් කලක් අල්ලාගෙන සිටීම සඳහා කළ හැකි සියල්ල කලත්, මරණයෙන් මිදීමක් නොමැති බව. ඉතින්, ඒ අතින් බැලුවත් කල යුතු හොඳම දේ මරණයට ආදරය කිරීමයි!

මරණය යනු උපත සමගම අපට මුණගැහෙන පැහැදිලි සත්‍යයයි. මරණය යනු උපතේ හේතුවයි කිව්වත් කිසි වරදක් නැහැ. මොකද විශ්වයේ කිසිවක උපතක් හෝ මරණයක් නොමැති බවත්, ඇත්තේ වෙනස් වෙමින් යන ගමනක් පමණක් බවත් නූතන විද්‍යාවේ පවා පිළිගත් සංසිද්ධියක්. ජීවිතයක් කියන්නෙත් විශ්වයේම කොටසක්, තව විදියකට කිව්වොත් විශ්වයමයි. ඒ බව පිළිගන්නවානම් ජීවිතයෙත් ඇත්තේ උපතක් හෝ විපතක් නැති වෙනස් වෙමින් යන ගමනක් බව අපට පිළිගන්න වෙනවා. කවුරු හරි මෙතැනදී අහන්න ඉඩ තියෙනවා ජිවිතයක් කියන්නේ විශ්වයම වෙන්නේ කොහොමද කියලා. ඒක විස්තර කරන්න මම එකම එක උදාහරණයක් දෙන්න කැමතියි. සාගරයේ එක ජල බිඳුවක් යනු මුළු සාගරයම කැටිවූ අවස්ථාවක් නොවේද? කොහොම වුනත් අපි ඉපදුනු මොහොතේ පටන්මත් සිදුවෙමින් පවතින්නේ වෙනස් වීමක් පමණමයි. අපි ජීවත්වෙනවා කියන්නේ මේ වෙනස් වෙමින් යාමට. අපේ ශරීරය පමණක් නොව සිතුවිලි පවා වෙනස් වෙමින් යාමකට..

එතකොට මරණය ප්‍රතික්ශේප කරන අපි තබා ගැනීමට කැමති වන්නේ මේ ශරීරයේ කොයි මොහොතද? මේ සිතුවිලි ප්‍රවාහයේ කොයි මොහොත ගල් ගැසුනොත් අපිට ඒක සදාකාලයකට පවත්වා ගැනීමකට තරම් වටීවිද? එපා නොවී තිබේවිද? එසේ ෆ්‍රීස් කොට තබා ගත්තක් මමියක් පමණක් නොවන්නේද? නැතහොත් ප්‍රතිමාවක්? මේ සාකච්ඡාවෙන් හැරෙන්නට සිදුවන්නේ නැවතත් 'ජීවිතය සහ/ජීවිතය මෙන්ම මරණය සුන්දරයි' යන්නට බවයි මගේ අදහස. මන්ද සැබෑවට ජීවත් වන්නට, ජීවිතය අත්විඳින්නට, මේ මොහොතේ සම්පූර්ණව ජීවිතයට මුහුණ දෙන්නටනම් මරණයට ආදරය කරන්නම වෙන නිසා..

මරණයට ඇයි මෙතරම් භීතියක් යන ප්‍රශ්නයට නැවත පැමිණියහොත් අපිට හේතු කිහිපයක් ගැන දීර්ඝව කතා කරන්න හැකි වේවි.

1. අපි තාමත් ජීවිතයට ආදරය කර නැති බැවින්, හෝ ජීවිතයට ආදරය කරන්නට නොදන්නාකමින්
2. ජීවිතය යනු වෙනස් වෙමින් පවතින්නක් බව පිළිගැනීමට ඇති අකමැත්ත
3. 'මම' යන්නට දී ඇති සුවිශේෂී තත්ත්වය
4. වෙළඳපොළ විසින් ජීවිතය හා ජීවිතයේ අර්ථයන් ද ජීවිතයේ වටිනාකමද හැසිරවීම
5. මරණය පිළිබඳව කතා නොකිරීම නිසා එය ආගන්තුක/බියකරු සතුරෙක් ලෙස හැඟීම

ඕනෑනම් තව බොහෝ හේතුද කාරණා ද ලියාගෙන යාමට හැකිවේවි, මන්ද එකිනෙකාට මේ පිළිබඳව දැනෙනා දේ විශාල වපසරියක පැතිරී ඇති බැවින්.

අදට මේ සාකච්ඡාව අවසන් කරන්නට පෙර මම කැමතියි මගේ ආච්චි අම්මා ගැන යමක් ලියා තබන්නට. ඇය පිළිබඳ මගේ මුල්ම මතකයන් ඇත්තේ ඇයගේ වයස අවුරුදු පණහ හැට පමණ කාලය අතර. ඒ කාලයේ පටන් මගේ ලෝකයේ වීරවරිය වූයේ ඇයයි. ඇයගේ හැසිරීම්, ප්‍රකාශයන්, මිනිස් සම්බන්ධතාවන්හි ස්වරූපයන් යනාදිය නිසාම ජාති ආගම් කුල බේදයක් අප දැන නොසිටි අතර මේ සමාජය පුරුෂ මූලික වූ සමාජයක් බවවත් කිසි දිනෙක මට දැනී තිබුනේ නැහැ. ඇය ඇගේ ජීවිතයෙන් පූර්ණ ප්‍රයෝජනයක් ගත් බව මට හැමවිට හැඟී තිබුණා. අවුරුදු 95දීත් ඇය තනිව ජීවත්වූයේ ජල කරාම හෝ විදුළිබලය නොතිබූ ඉතා සරල නිවසක. වයස 96දී ඇය මිය ගියා. ඒ වනවිටත් කිසිදු අසනීපයකින් නොපෙලුනු ඈ මරණය බලාපොරොත්තුවෙන් බලා සිටියා. මා මුණගැසුණු හැම වරෙක ඉතා සුහද කතා බහක නියැලුණු ඇය අවසානයේ සිනාසෙමින් පැවසීමට පුරුදුව සිටියේ 'තාම යන්නේ නෑ වගේ නේද බන්?' යන්නයි.

- කුමාරි කුමාරගමගේ

 

 

 

 

Top