1150 x 80 px
දීප්තිගේ කිවිදා කොලම 01 - අමාවක; පුරාණ මුඩු දැක්ම

- දීප්ති කුමාර ගුණරත්න

පසුගිය දිනක ජර්මන් සංස්කෘතික ආයතනයේදී ප්‍රදර්ශනය කළ විජිත ගුණරත්න සිනමාකරුවාගේ නවතම චිත්‍රපටය වූ ‘අමාවක’ විසින් ප්‍රේක්ෂක අපට ඉදිරිපත් කරන ආකෘතිය (Form) පිළිබඳ ගැටලුව අපූර්වය.

චිත්‍රපටයේ කතා තේමාව සරලය, සුගමය. ඈත ගමක සේවය කරන රජයේ සේවකයෙක් කොළඹට මාරුවක් ලැබී අගනුවරට පදිංචිය සඳහා පැමිණෙයි. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින අතර පිරිමි ළමයාව නිල මට්ටමින් පාසලකට ඇතුල් කිරීම දුෂ්කර වෙයි. චිත්‍රපටයේ උච්ච ස්ථානය වන්නේ අධ්‍යාපන සේවයේ ඉහළ නිලධාරියෙකුට ලිංගික සේවයක් සපයා දරුවා පාසලට ඇතුල් කිරීමට දරුවාගේ මව උත්සාහ කිරීමයි. ඉන්පසු කතාවේ පිපිරීමක් අපට හමුවෙයි. අප කලින් බලාපොරොත්තු නොවූ පරිදි හෝටල් කාමරයේ දොර අසළ දී අදාළ නිලධාරියා පොලීසියට හසු වෙයි. ඊට සමාන්තරව දිව යන තවත් ආඛ්‍යානයකට අනුව මේ පිරිමි දරුවා දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ඔහුට ජාත්‍යන්තර සම්මාන පවා හිමි වෙයි. එහි ඵලයක් ලෙස දරුවාට ‘රාජකීය’ වැනි හොඳ පාසලකට ඇතුළත් වීමේ වරය ඉබේටම හිමි වෙයි. කතාව සියලුදෙනාගේ එකඟතාවය පරිදි අවසානයට ලක් වෙයි.

මෙම චිත්‍රපට ආඛ්‍යානයේ මූලික පරස්පරය කුමක්ද? එක පැත්තකින් එය නූතන ශ්‍රී ලාංකීය සමාජ බල රටාව තුළ දරුවකු රජයේ පාසලකට ඇතුළත් කිරීමේ තදබල අපහසුව සහ තෙහෙට්ටුව ඉදිරිපත් කරයි. චිත්‍රපටය තුළම දිගහැරෙන දෙවන කතාව මගින් පිළිඹිබු වන්නේ දක්ෂතා ඇති කුඩා දරුවකුට මෙම සමාජ-ක්‍රමය තුළ කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් වීමේ වරමක් ඇති බවයි. එපමණක් නොව ආකල්පමය වශයෙන් එවැනි දරුවකු රාජකීය විද්‍යාලයට ඇතුල් වීමට පෙර දෙමටගොඩ වැනි කොළඹ පාතාලයක ජීවත් වන දරුවන් ඇසුරේ හැදී වැඩිය යුතුය. ‘අමාවක’ චිත්‍රපටය තුළ ඇති විරුද්ධාභාසය මෙසේය.

(A) එය එක පැත්තකින් මෙම පවතින ක්‍රමයට වෛර කරයි. කාසියේ උඩ පැත්ත එයයි.

(B) එය තවත් පැත්තකින් මෙම පවතින ක්‍රමයට ආශා කරන සහ බැඳෙන පැත්ත අවධාරණය කරයි. මේ කාසියේ යට පැත්තයි.

ලංකාවේ පවතින නොදියුණු ධනවාදී සමාජ ක්‍රමය සහ ඒ ගැන විවේචනයක් ඇති ඕනෑම වාමාංශිකයකුගේ ලෝක දැක්ම සකස් වී ඇත්තේද ඉහත ආකාරයටය. චිත්‍රපටයේ සිත්ගන්නාසුලු දෘෂ්ටිවාදී අන්තර්ගතය සකස් වී ඇත්තේ ඉතා අපූර්ව ආකාරයකටය. චිත්‍රපටයේ අධ්‍යක්වරයාට අනුව එහි කතා තේමාව සමකාලීනය. ඔහුට අනුව අකිල විරාජ්ගේ යුගයේදී පවා ඉහත ආකාරයේ දේවල් සිද්ධ විය හැකිය. නමුත් චිත්‍රපටයේ අන්තර්ගතය දෙස බැලූ විට අප දකින්නේ 80 දශකය මුල ජීවත් වන පහළ-මැදපන්තික පවුලකි. 80 දශකයේ මහා අනෙකාට අනුව චිත්‍රපටයේ අන්තර්ගතය සකස් වී ඇත. අප දකින නිවස සකසුරුවම්ය. එහි පියාගේ චරිතය අපිස් ගතිගුණ ඇති තවුස් දම් පුරන කෙනෙකි. චිත්‍රපටයේ ප්‍රධාන ස්ත්‍රී භූමිකාව රඟ දක්වන සුරංගා රණවක නම් නිළියගේ ශරීරය අපට සිහිපත් කරවන්නේ 80 දශකයේ ප්‍රදීපා ධර්මදාසගේ ශරීරය පිළිබඳ මතකයයි. කෙටියෙක් කිවහොත් චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාගේ දැක්ම සකස් වී ඇත්තේ 80 දශකයේ මුල රෝහණ විජේවීර පන්නයේ සිතන්නකු මූලික කොටගෙනය. චිත්‍රපටයේ අන්තර්ගතය පූර්ණ ලෙස සකස් වී ඇත්තේ විජේවීරගේ 80 දශකයේ හර පද්ධතියට අනුවය. රාණි සබන් ඇඟ ගා බටර්නයිලෝන් සාරියක් ඇඳගෙන පිරිමියකු වසඟ කළ හැකි යුගය දැන් අවසන් වී ඇත.

නමුත් චිත්‍රපටය විසින් යම් ප්‍රාතිහාර්යයක් ඉටු කරයි. ස්වීඩනයේ ස්ටොක්හොම් නුවර දශක 3ක් පමණ වාසය කළ විජිත ගුණරත්න සිනමාකරුවා නිර්මාණය කළ ‘අමාවක’ නම් චිත්‍රපටය ‘කොළඹ’ සිනමාවක් බවට පරිවර්තනය කර ඇත. චිත්‍රපටය නැරඹූ එක් ප්‍රේක්ෂකයෙක් චිත්‍රපටය ගැන තම අපුල ප්‍රකාශ කරමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “මේ ෆිල්ම් එක හරියට වෙසක් නාට්‍යයක් වැනිය’’ චිත්‍රපටයේ ආකෘතිය වටහා ගැනීමට අවශ්‍ය වන්නේ මෙම මංසන්ධියේදීය. එය සමාජ දේශපාලන ප්‍රශ්නයකි. 80 දශකය ‘අමාවක’ තුළ සාර්වත්‍රික වන්නේ මෙතැනදීය.

පැරණි සමාජවාදී පරමාදර්ශ පිළිගන්නා විශ්වයක ජීවත් වන පුද්ගලයකුගේ සාරධර්ම පද්ධතිය අප විසින් නූතන ශ්‍රී ලාංකීය ධනවාදී පරිභෝජන සමාජයක් තුළ ස්ථාපිත කළහොත් අපට ඇති වන්නේ ජුගුප්සාවකි. චිත්‍රපටය අපට වෙසක් නාට්‍යයක් තරම් සරලව පෙනෙන විට අපට එහි දේශපාලන මානය අමතක වී යයි. සෞන්දර්ය සහ කලා තාක්ෂණය පැත්තෙන් මේ අදහස නිවැරදිය. අපට ශ්‍යාම් ප්‍රනාන්දු විසින් රඟ දක්වන පහළ මැදපන්තික උදාසීන පිරිමියා අතීත ඓතිහාසික සැකැස්මකට අයිති බව වහා වටහා ගත හැක. නමුත් මෙම අදහස දේශපාලන සන්දර්භයකට රැගෙන ආ විට තත්ත්වය අප හිතනවාට වඩා විසංවාදීය.

වෙනත් යුගයක මහාඅනෙකකු අප දෙස බලා සිටිනවා කියා පරිකල්පනය කළ විට අපට හමු වන්නේ විජිත ගුණරත්න ඉදිරිපත් කරන පවුලයි. චිත්‍රපටය නරඹන සමකාලීන අපට මේ පවුල ගැන ඇත්තේ අපුලකි. ප්‍රධාන චරිතයට උදාරි වර්ණකුලසූරිය හෝ නදීශා හේමමාලි තෝරාගත්තේ නම් අප ඊට ෆැන්ටාස්මැතිකව කැමතිය. ගෘහය ලෙස දෙමටගොඩ අඩු ආදායම්ලාභී තට්ටු නිවසක් තෝරන්නේ නැතිව Fareway තට්ටු නිවාසයක් තෝරාගත්තේ නම් අප සමකාලීන මහා අනෙකාට සමීප වෙනු ඇත. නමුත් චිත්‍රපටය එසේ වී නැත. එය සියදිවි නසා ගන්නා නිර්මාණයකි. මෙවැනි චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයන්ගේ විජේවීර යුගය අවසන් වී ඇත.

80 දශකයේ මහාඅනෙකා මිය ගොස් බොහෝ කාලයක් ගත වී ඇති මුත් ජනතා විමුක්ති පෙරමුණේ සිට අනෙක් සියලුම වාමාංශික සංවිධාන තුළ තවම 80 දශකයේ මහාඅනෙකා ජීවමානය. ඔවුන්ගේ පක්ෂ සංවිධාන, කාඩර්වරු තෝරන විදිහ, කාර්යාල පවත්වාගෙන යන විදිහ, තෝරාගන්නා ස්ත්‍රීන්ගේ හැඩරුව, ඔවුන්ගේ දේශපාලනයට ආකර්ෂණය වන ස්ත්‍රීන්ගේ ආකල්ප යන මේ කී නොකී සියලු සාධක තහවුරු කරන්නේ ඔවුන්ගේ දැක්ම (Gaze) ස්ථානගත වී ඇති යුගයයි. ඒ අර්ථයෙන් ගත් විට විජිත ගුණරත්නගේ චිත්‍රපටයේ ආකෘතිය ලංකාවට සාර්වත්‍රික අදහසක් ජනනය කරයි. සරලව කිවහොත් අපට ඔහුට සිනහා වීමට පහසුය. නමුත් දේශපාලනය කරන අපගේ ශරීර සහ දෛනික ජීවිතය ඉදිරිපිටට ඔහු කැඩපතක් එල්ලයි. ලිංගික අල්ලසක් දීමට පරිණත නැති පවුලක් අපි සෞන්දර්යය තුළ දකින්නෙමු. නමුත් සමාජ ආකල්ප වෙනස් කිරීමට නොහැකි වාම සංවිධාන රටාවක අප හිර වී සිටින බව අපට වැටහෙන්නේ නැත. ‘අමාවක’ චිත්‍රපටය ඒ සඳහා කැඩපතකි.

 

Top