1150 x 80 px
විත අස පත 04 - සනාතන හන්දියේ සදාතන වේදනා !

"සනාතන බහින්න, සනාතන බහින්න." කොන්ද කෑගහනවා. මං තාම ඔන් ද වේ!

"බහිමු." මට කියවුණා.

කියවෙනකොටම හැරවුණා, මූණ, සීට් එකේ එහා පැත්තෙ වාඩි වෙලා හිටපු අන්කල් දිහාට. අන්කල් මගේ දිහා බලාගෙන ඉන්නවා. මට කටඋත්තර නෑ. ඒ මූණේ තිබුණෙ මොනවගේ හැඟීමක්ද? පුදුමයක්, අපහාසයක්, උපහාසයක්, තරහක්, කණගාටුවක්, අන්ද මන්ද වුණු ගතියක්! මොකක් වුණත් අනිවාර්යෙන් ඔය පහ හයෙන් එකක් තමයි. සමහරවිට කීපයක් වෙන්නත් පුළුවන්. නැත්නම් මේ ඔක්කොමද? ඔව්, එහෙම වෙන්න බැරිකමකුත් නැහැ.සොරි කියනවද, නැද්ද, මොකටද? කල්පනා කරන්න තරම්වත් වෙලාවක් ලැබුණෙ නැහැ.

"සනාතන බැහැගන්න." කොන්ද අවසාන නිවේදනය නිකුත් කළා.

මං සීට් එකෙන් නැගිට්ට. බස් එකෙන් බැහැගත්ත. තනියම! මේ තමයි සනාතන හන්දිය. අනාත කාලෙක වුණත් වනාතෙ වගේ නොකර හිනාවෙන් විතරක්ම අපිත් එක්ක ගනුදෙනු කරපු සනාතන හන්දිය! මේ හන්දියට කතා කරන්න පුළුවන් නම් ඔබ හිතන්නෙ මොනව කියයිද? මං හිතන්නෙ මොනවත්ම කියන එකක් නැහැ. වචනවලින් කියල පැහැදිලි කරන්න පුළුවන් අතීතයක් නෙවෙයි ඒක. අනිත් එක හන්දියක් නම් කතා නොකර නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳම වැඩේ!

අන්තිමට දැකපු වතාවට පස්සෙ සනාතන හන්දියේ කිසිදෙයක් වෙනස් වෙලා නැහැ. මං හෝල්ට් එක ළඟ කණුවකට හේත්තු වෙලා කල්පනා කරන්න පටන් ගත්තා. අන්තිම වතාවට මං හන්දිය දැක්කෙ ඊයෙ හවස! ඒ කියන්නෙ මීට පැය දොළහකට - පහළොවකට විතර කලින්. දෙයකට වෙනස් වෙන්න ඒ වෙලාව මදිද? අවුරුදු පහළොවක් විස්සක් විතර යන්නම ඕනෙද? නැහැ, ඒ වෙලාවත් වැඩියි. සමහර වෙලාවට තත්ත්පරෙත් ඇති. හරියට අපේ මහසෙන්ට වුණා වගේ. උගේ අතිනුත් තත්ත්පරේක මිස්ටේක් එකක් වුණේ. දැන් කසාද බැඳලා පොඩි දුවෙකුත් ඉන්නවා!

මං හෝල්ට් එක ළඟින් පාරට බැස්ස. ඇවිදගෙන යන්න පටන් ගත්ත. මොන තරම් දේවල් ලිව්වත්, කිව්වත්, හිනා වුණත් සනාතන හන්දිය හැමදාම මගේ පපුව පහුරු ගානවා. ඒක සදාතනික වේදනාවක්. බොරු කියන්නෙ මොකටද? මාත් දැන් ඒකට හොඳටම හුරු වෙලා. ඉතින් මං හැමදාම සනාතන හන්දියෙන් බස් එකෙන් බහිනවා. ටිකක් වෙලා ඉඳල, ආපහු බස් එකකට නගිනවා.

- කසුන් සමරතුංග -

පෙර තීරු ලිපි

විත අස පත 01 - ආරම්භක කොලම

විත අස පත 02 - චූල සිරුරක මහා හදවත!

විත අස පත 03 - සිදුවිය නොහැක්කක් නැත !

 

 

Top