1150 x 80 px
ඔක්කොම තිරිසන්නුන්ට - ජීවිත වලින් වන්දි ගෙවන සිරියාවේ මිනිස්සු

ඉකුත් සතිඅන්තයේ, සිරියාවේ ගැටුම් උඝ්‍ර‍ වූ අතර, ඩූමා හා ඩමැස්කස් වලට එල්ල වූ රසායනික අවි ප්‍ර‍හාර හේතුවෙන් ළමා ලපටින් ද කාන්තාවන් ද ඇතුළත් වන පරිදි, එරට සිවිල් වැසියන් 79 ක් පමණ මියගොස් ඇති බවත්, විෂ වායු ශරීරගත වීම හේතුවෙන් 300 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව ත් වාර්තා විය. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ඩූමා හි වූ මෙම ආසන්නතම රසායනික පහරදීමට පසුවත් දිගින් දිගට ම එම ප්‍රදේශයේ සහ යාබද කාන්තාර වල ද නිරන්තරයෙන් පිපිරීම් සිදුවන බව ය...

රසායනික ප්‍ර‍හාරවලට ලක්වන ඩූමා නගරය

 

කෙසේ වෙතත්, ඩූමා හි දරුණු ඛේදවාචකයේ වගකීම, මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නොමැති අතර, සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද් පවසන්නේ, එහි වගකීම ඇමරිකාව විසින් භාර ගත යුතු බවත් ය... ඇමරිකාව එය ප්‍ර‍තික්ෂේප කරන අතර, සිදුවීමෙන් පසුව ඊට අදාළ ව, සිය ට්විටර් ගිණුමෙහි සටහන් කිහිපයක් ම තබන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් පවසන්නේ, ‘සිරියාව සහ අල්-අසාද් මේ සම්බන්ධයෙන් විශාල වන්දියක් ගෙවීමට සැරසිය යුතු බව‘ ය... එමෙන් ම එහි දී ට්‍ර‍ම්ප්, බෂාර් අල් අසාද් ට ‘තිරිසනා‘ යනුවෙන් ඇමතීමට ද අමතක කළේ නැත... මෙහි දී සිරියාවේ අල්-අසාද් ගේ රෙජීමයට අනුග්‍ර‍හය දක්වන ඉරානය සහ රුසියාව සහ හිස්බුල්ලාවන් එක් පිළකට ද ඇමරිකාව සහ ඊශ්‍රායෙලය එක් පිළකට ද ආදී වශයෙන් බෙදී ‘ඇසට - ඇස සහ දතට - දත‘ න්‍යායෙන් සටන් වදින්නට පටන් ගෙන ඇති අතර, ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටින ‘ඉසිස්‘ ත්‍ර‍ස්තවාදීන් මේ සියලුම ගැටුම් මැද සිය ආරක්ෂාව තහවුරු කරගැනීම වෙනුවෙන් සිරියානු සිවිල් මිනිසුන් සිය ‘ප්‍රාණ ඇපකරුවන්‘ ලෙස පාවිච්චි කරමින් සිටී...

කෙසේ වෙතත්, මේ වන විට ලෝකය ම එකට පැටලී යුද වදින, අමු සොහොන බවට පත් ව ඇති සිරියාව, මේ දරුණු ව්‍යසනයට මුහුණ දෙමින් සිටින්නේ, 2011 මාර්තු සිට ය... එය එක් අතකට ‘අරාබි වසන්තයේ‘ ම දායාදයක් වන අතර ‘මානව හිමිකම් පිළිබඳ සිරියානු නිරීක්ෂකයින්‘ (Syrian Observatory for Human Rights,) ගේ නවතම වාර්තාව අනුව, 2018 මාර්තු වන විට සිරියාවේ යුද්ධයට වන්දි ගෙවමින් මියගිය සංඛ්‍යාව 3,53,900 කි... ඊට අමතරව, මිය ගියේ යැයි විශ්වාස කළ හැකි නමුත්, සිරුරු හමු වී සනාථ නොකළ බැවින්, අතුරුදන් වූවන් ලෙස සැල කෙන සංඛ්‍යාව 56,900 කි... මේ අතර පවත්නා යුද්ධය සිරියාවේ වර්තමානය මෙන් ම අනාගතය ද එකවර විනාශ කරන බව පෙන්වා දෙන ‘UNISEF ‘ ආයතනයේ ගනණ් බැලීම අනුව, මිය යන සෑම සිවිල් වැසියන් හතරදෙනෙකුගෙන් ම එක් අයෙක් සිරියානු දරුවෙකි...

සිරියාවේ යුද්ධයෙන් මියගිය සහ අතුරුදන්වූවන් පිළිබඳ දත්ත සටහන

 

මේ අතර මිලියන 22 ක් වූ සිරියානු ජනගහනයෙන්, මිලියන 13.5 ක් ම එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ඉල්ලා සිටින අතර, ඉන් මිලියන 5 ක් පමණ රටින් බැහැර සරණාගතයින් ලෙස ජීවත් වේ. ඉතිරිය සිරියාව තුළ ම ‘අභ්‍යන්තර අවතැන්වූවන්‘ ලෙස යුද්ධයට ද මුහුණ දෙමින්, දුප්පත්කමින් ද සාමාන්‍ය ජන ජීවිතය අහිමිවීමෙන් වන දහසකුත් එකක් ප්‍ර‍ශ්න වලින් ද පීඩා විඳිමින් සිටී... රටින් බැහැරව සිටින සිරියාවේ වැඩිම සරණාගත ප්‍ර‍ජාව ජීවත් වන්නේ තුර්කියේ ය... එම පිරිස මිලියන 3 කට අධිකය... මේ අතර අනාරක්ෂිතව බෝට්ටු මඟින් සහ කන්ටේනර් මඟින් තුර්කියට ඇතුලත් වීමට උත්සහ කරද්දී මිලිටරි ප්‍ර‍හාරයන්ට ලක්ව මිය යන පිරිස ද සුළු පටු නොවේ... ඉකුත් දා අන්තර්ජාලයේ ප්‍ර‍සිද්ධ වූ, රටින් පළා යමින් සිටියදී තුර්කි වෙරළේදී ඝාතනය වන්නට සිදු වුණු ‘රතු කමිසය හැඳගත් දරුවා‘ගේ ඡායාරූපය ඔබට මතක ද...?

සිරියාවෙන් පලා යමින් සිටියදී තුර්කි වෙරළේ මැරී වැටුණු සිරියානු සරණාගත දරුවා

 

එය සිරියාවේ යුද්ධයෙන් සරණාගතයින් බවට පත්වන්නන්ගේ සංකේතයක් බවට පත් විය... එහෙත් ඇත්ත ම කාරණය, පසුගිය දවසක එම දරුවාගේ පියා විසින් මාධ්‍යයට පවසා තිබිණි... එහිදී ඔහු පවසා තිබුණේ මෙසේ ය...

‘‘ලෝකයේම අවධානය දිනාගත් මියගිය මගේ දරුවාගේ පිංතූරයට කළ හැකි වූයේ කුමක් ද...? කිසිවක් නැහැ...‘‘

මීට අමතර ව, ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ඇමරිකාවේ ජනාධිපතිවරයා බවට ඡන්දයෙන් තේරීපත් වීමටත් පෙර දී ම ඔහුට විවෘත ලිපියක් ලියමින්, යුද්ධය හේතුවෙන් සිරියාවෙන් පිටතට සංක්‍ර‍මණය වී සිටි ‘දැරිය ට්‍ර‍ම්ප්ගෙන් කළ ඉල්ලීම ඔබට මතක ද...?

ට්‍ර‍ම්ප්ට ලියූ දැරිය

 

ඇය පවසා තිබුණේ මෙවැන්නකි...

‘‘ට්‍ර‍ම්ප් මහත්මයා, මම සිරියාවේ යුද්ධයට මැදිවුණ තවත් එක් දරුවෙක්... අලප්පෝවේ මගේ පාසලට බෝම්බ වැටුණා... මගේ යහළු යෙහලියන් සමඟ කෙළිදෙලෙන් එහි ගත කළ ජීවිතය මට නැති වුණා... දැනට මම තුර්කියේ නිරුපද්‍රිතව ජීවත් වුණත්, තවත් සිරියානු දරුවන් මිලියන ගණන් අනාරක්ෂිතව එහිම වෙසෙනවා... වැඩිහිටියන්ගේ වරද වලට වන්දි ගෙවන්නේ අප වැනි කුඩා දරුවනු යි... ඔබ දිනන බවට සැකයක් නැහැ... ඇමරිකාවේ මී ළඟ ජනාධිපතිවරයා බවට පත් වන ඔබෙන් මට ඉල්ලීමට ඇත්තේ එකම එක දෙයයි... සිරියාවේ දරුවන්ටත් සාමයෙන් ජීවත්විය හැකි අනාගතයක් හදන්න... ඔවුනුත් ඔබේ ම දරුවන් බව අමතක නොකරන්න...‘‘

නමුත් ‘ලෝක පොලිස්කාරයා‘ බවට පත්ව සිටින ට්‍ර‍ම්ප් පසුගියදා විනාශයෙන් පසුව පවා ප්‍ර‍සිද්ධියේ කරමින් සිටින ‘ප්‍ර‍කාශ‘ සහ පෙන්ටගනයට දෙන්නේ යැයි කියන ‘උපදෙස්‘ දෙස බලන විට, සිරියානු දැරිය ඔහුට ලියූ වචනත් අපරාදේ නොවේ ද...?

සරණාගත කඳවුරක්
තවදුරටත් ප්‍ර‍හාර වලට ගොදුරු වෙමින් සිටින සිවිල් වැසියන් සහ ළමයින්

කෙසේ වෙතත්, සති අන්තයේ සිදු වූ මහා රසායනික ප්‍ර‍හාරයෙන් පසුව තව දුරටත් උත්සන්න වී ඇති සිරියාවේ යුද ගැටුම් පිළිබඳ වහාම රැස්වීමක් කැඳවා තිබෙන ‘එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය‘ තවත් එක් රැස්වීමක් ලෙස අවසන් වූ අතර, අවම වශයෙන් සියලු පාර්ශවයන් එකඟත්වයෙන් ‘සටන් විරාම කාලයක්‘වත් ප්‍ර‍කාශයට පත් කරගැනීමට නොහැකි වීම ඛේදවාචකය කි...

ට්‍ර‍ම්ප් - පුටින් - අල් අසාද් හෙවත් සිරියාවේ තුන්බිය

 

සිරියාවේ මිනිස්සුන්ට සාධාරනයක් නොකරන - ආරක්ෂක කවුන්සලයේ සාකච්ඡා මේසය

 


අවසාන වශයෙන් කිව හැක්කේ, කිසිසේත් ම නිවැරදි යැයි කිව නොහැකි සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද් පමණක් නොව, මේ යුද්ධයට වගකිවයුතු ඇමරිකාවේ ට්‍ර‍ම්ප් - රුසියාවේ පුටින් - ඉරනයේ රව්හානි - ඊශ්‍රායෙලයේ රිව්ලින් මෙන් ම ඉසිස් නායක භග්දාදි ලා යන සියලුම ලොකු ලොක්කන් සියල්ලම ‘තිරිසන්නු‘ සේ හැසිරෙන බවත්, ලෝක බලවතුන්ට එරෙහිව ‘කෙළින් තීරණයක්‘ ගන්නට බැරි එක්සත් ජාතීන්ගේ සංවිධාන වලට ඒ පැත්තට මේ පැත්තට වැනෙන්නට සිදු වී ඇති බවත් ය...

ට්‍ර‍ම්ප් කිව්වත් නැතත්, සිරියාවේ මිනිස්සු දැනටමත් තමන්ගේ ලේ වලින්, ජීවිත වලින්, වර්තමානයෙන් පමණක් නොව ආනාගතයෙනුත් ‘මහා වන්දියක්‘ ගෙවා අවසාන ය...

- සුරේඛා සමරසේන | outboundtoday.com

 

Top