1150 x 80 px
නොකියූ-නොලියූ මේ සෙනෙහසේ කතාව අහන් ඉන්න.. අහගෙන ඉන්න...

“අනේ අපටත් ජීවත් වෙන්න පුංචි ඉඩක් දියල්ලා”

නෙළුම්යාය පදනමේ අප ‘මිහිමව සුරකින හරිත දියණියෝ’ දීප ව්‍යාප්ත වැඩසටහන සමග අප්‍රේල් 8 වැනි ඉරිදා මිහින්තලයට ගියේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන ක්‍රියාවට නැංවීම සඳහා ය. වැව් තාවුල්ලට ඔබ්බෙන් වාපියෙන් හමන සිහිල් සුළං රැල් නොතකා, අඩ බිත්තිවල කම්බි ගැසූ විවර මැදින් ඇදී ආ චණ්ඩ හිරු තාපයෙන් ශාලාව ගිනියම් වෙද්දී එක්තරා සුවිශේෂී දරු තිදෙනෙක් අපට ජීවිතයේ අරුමය කියා දුන්හ. මනුෂ්‍යත්වයේ සිසිලෙන් හදවත් ශීතල කළෝය. මහා තැවුල් මැද වුව නොනැසී සිටින’යුරු පෙන්වන පහනක් දැල්වූහ.

වැඩසටහන මැදදී පැමිණ ශාලාවේ ඉදිරිපෙළ අසුනක හරිබරි ගැසී වාඩි වූ ඈ කණකොක් පැහැයෙන් සැරසුණු මනාලියක බඳු වූවාය. ඇගේ සහයට පැමිණියේ තවත් සුරතල් පෙනුමැති දරුවෙක් සහ දැරියකි. ඒ, වැඩසටහන අවසන් කිරීම සඳහා යෝජිතව තිබූ අංගයේ කථා නායක නායිකාවන් ය.

ඩවුන්ස් සහලක්ෂණයෙන් ඉපදුණු දා පටන් බැටකමින්, ‘මොංගල්’ දරුවන් යැයි ජීවිතයේ වරක් නොව සිය දහස් වරක් ගැරහුම්-නින්දා විඳි මේ දරුවන් නොකියා කියන කතාව, ඉදිරිපත් කළ ඒ රංගනය ඔබ ඇසිය යුතුමය. දැකිය යුතුමය.

ඊටත් වඩා ඔබ ඇසිය යුතු, දැකිය යුතු වන්නේ මේ දරුවන්ගේ පසුතලයේ සිටින අම්මාවරුන් දෙපළ ය. ඔවුහු නිරතුරුව කඳුළු සැළූහ. ඒත් ඒ කඳුළ පිටුපස ඇති දෝංකාරය ඔබට ඇසුණාද...?

ඒ මව්වත්කම ඉපදෙන්නේ අසීමාන්තික දාරක ස්නේහය නිසාම පමණක් නොවේ. මෙලොවට බිහිවූ දා පටන්, ඒ බිහිවුණේ සාමාන්‍ය දරුවන් නොවන බව දැනුණු දා පටන් ඔවුන් ‘මිනිසුන්’ කරන්නට හෙළූ අපමණ දහදිය, කඳුළු සහ රුහිරු ඒ මව්වත්කම තුළ සැඟව තිබේ. ඒ අම්මා විටෙක තොල් සපාගෙන කඳුළු සිරකර ගන්නීය. ඒ අම්මා විටෙක දියණිය නැළවෙන තාලයට පසෙක සිට අභිනය පාන්නීය. කෑ ගසා හඬන්නට බැරි කමට ඉවත බලාගෙන දෑස් රතු කර ගන්නීය.

මේ දරු තිදෙනා අද වන විට මුතුහර රූපවාහිනී ළමා සමාජය ඔස්සේ දස්කම් දැක්වූ, සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණයන් ගණනාවකට හිමිකම් කියති. සුන්දර මනාලියක සේ සැරසුණු දැරිය මනා ලෙස ඉංග්‍රීසි බස ලිවීමේ කියවීමේ හැකියාවෙන් ද යුක්ත බව ඇගේ අම්මා අප සමග කඳුළු සළමින් කීවාය. “මම මගෙ දරුවට පුළුවන් උපරිම විදිහට උගන්නනවා...මම පුළුවන් හැම දෙයක්ම දෙනවා..” යැයි ඇය අප සමග කීවාය. ඇවිදින්නට නොහැකි අශක්නුතාවකින් පෙළෙන නිසා පමණක් පුටුවේ අසුන්ගෙන සිටින දැරිය ද, ඇයට හැකි පමණින් නර්තනයට දායක වූවාය. සුරතල් පෙනුමැති පුංචි පුතා, නිතරම ප්‍රේක්ෂකාගාරය තුළින් සෙව්වේ ඔහු සමග සුහද සිනා පාන මිනිස් මුහුණකි. චිත්‍ර කලාවෙන් සමස්ත ලංකා ජයග්‍රහණ පවා දිනාගෙන ඇති මේ පොඩිත්තා මිනිස් සමාජයෙන් ඒ සොයන්නේ සෙනෙහස මිස අන් දෙයක් නොවේ. “අනේ අපටත් ජීවත් වෙන්න පුංචි ඉඩක් දියල්ලා” නමැති පුංචි ආයාචනය ඒ සුරතල් දෑස්වල නිරතුරු තැවරී තිබිණි.

මෙයට පෙර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහා ‘මිහිමව සුරකින හරිත දියණියෝ’ වැඩසටහන පැවැත්වීමෙන් අනතුරුව අප බෝවත්ත ප්‍රදේශය වෙත ගිය ගමනක් මගේ මතකයට නැගේ. එහිදීද අපට හමුවූයේ ඩවුන්ස් සහලක්ෂණයෙන් පෙළෙන යුවතියකි. සිය දිවියේ ගෙවා තිබූ දශක තුන තුළ මුහුණදුන් හදවත් සැත්කම් කිහිපයේ සලකුණු ලෙසින් ඇය සිය ළැම මත කැළැල් රාශියක් දරා සිටියාය. ඊට අමතරව මව් ගෙදර නැති වේලේ ගෙට වැදුණු පාපතරයෙකු විසින් ඉතිරි කර ගිය තුවාළ කැළැල් රාශියක සලකුණු ද ඇගේ ළැම මත ඉතිරි වී තිබිණි. ඒ දූෂණයෙන් උපන් පිරිමි දරුවා අද මානසික රෝගයකින් පෙළෙන තරුණයෙකි. ඇගේ මව සිය දියණිය වයස එකොළහේදී කෙළසුණේ තමන්ගේ වරදකින් යැයි සිතමින් සදාකාලිකව සිතින් ආතුර වී සිටින්නීය.

ඉපදුණු විගස නිරෝගී දරුවන් පවා කසළ ගොඩට විසි කර දමන සමාජයක, මෙවන් දරුවන් දෙපයින් සිටුවන්නට වෙර දරන ඒ අම්මාවරුන්ගේ මව්වත්කමට අප සිය දහස් වරක් ආචාර කළ යුතුය. එනිසා ඔබ මේ වීඩියෝව නරඹද්දී ඒ අම්මලාගේ දෑස් කියවන්නට අමතක නොකරන්න... මව් නැති දිනෙක මේ අනාරක්ෂිත පවිටු සමාජය තුළ ඒ දියණිවරුන්ට යන කල දවස ගැන උපන් මහා ශෝකයක සලකුණු ඒවායේ නැතැයි ඔබට-මට කිව හැකිද...?

සෙනෙහස මහ මෙරක් බව කියමින් අපේ හදවත්වලට බර තැබූ මේ දරු දැරියන් තිදෙනා අපට සිතන්නට ඉතිරි කරන කථාන්දරය, මිනිස් ප්‍රජාවේ සාමාජිකයන් වශයෙන් ඔවුන් පිළිබඳ පුද්ගලිකව සහ සාමූහිකව අපට ඇති වගකීම, අපට ඇති යුතුකම ගැන කියා දුන් මහා පාඩමක්මය.

සටහන   : රදිකා ගුණරත්න
ඡායාරූප : අජිත් සෙනෙවිරත්න

 කියවන්න..

'මිහිමව සුරකින හරිත දියණියෝ' සමග නෙළුම්යාය අනුරාධපුරයට

‘මිහිමව සුරකින හරිත දියණියෝ’ සමග නෙළුම්යාය, ආර්තව දිළිඳුකම පිටුදැකීමට මුල පුරයි.

 

Top