1150 x 80 px
සොඳුරු මරණය 02 - නොවිඳ විඳවීම

අපි ඉන්නේ දුවමින්. නතර වෙන්නේ බොහෝවිට ඇක්සිඩන්ට් එකකින්.

නිකමට, මොහොතක් නතරවෙලා හිතුවොත්.. මොකටද, මොනවා ලබාගන්නද, කොහේද අපි මේ මෙච්චර පණ කඩාගෙන දුවන්නේ කියලා? අපිටම පුදුම හිතෙයි. ඒකයි ගෞතම බුද්ධ කිව්වේ 'දුඛ' කියලා. දුඛ කියන්නේ දුකට නෙවෙයි. ඒක 'දුක' කියලා තේරුම් ගත්ත නිසයි අපි 'ජිවිතේ දුකයි, ජිවිතේ දුකයි' කියමින් සතුටට බියවන්නේ. ඒකත් අපි වරද්දගෙන. දුඛ කියන්නේ නිකම්ම නිකන් දුකයි කියනවාට වඩා එහා ගිය කතාවක්. සෑහීමකට පත් නොවීම, තෘප්තිමත් නොවීම. අන්න ඒ අතෘප්තිය, අසහනය, සෑහීමකට පත්නොවීම නිසා තමයි කොයි වෙලාවකවත් තියෙන දේ විඳින්නේ නැතිව අළුත් දේ සොයමින් දුවන්නේ, නැත්නම් තියෙන දේ මදි නිසා ඒක පසෙක තබා තව තවත් සොයමින් දුවන්නේ. දිවීම මොහොතකට නතර කරලා මේ මොහොතේ, මෙතැන ජිවිතේ විඳින්න පුළුවන් වුනු මොහොතක තේරේවි ජිවිතේ දුකක් නොවන බව, ජිවිතය බොහෝ සුන්දර බව .

අපිට බොහෝවිට සිද්ද වෙන්නේ මේ සුන්දරකම අත්නොවිඳා මැරෙන්න වීම. කන්නේ නැතිව අරන් තියලා අරන් තියලා අන්තිමට කන්න හිතද්දී ඩයබිටික් හැදිලා වගෙයි. අපරාදේ! දැන් ඉතින් කන්නයැ! පුංචි ළමයින්ගේ ජීවිතය දිහා බලාගෙන හිටියොත් තේරෙනවා මේ මොහොත කොච්චර පූර්ණව සුන්දරව විඳින්න හැකිද කියලා. හැබැයි දැන් කාලෙනම් පොඩිවුන්ටවත් අපි ජීවිතය විඳින්න ඉඩ දෙන්නේ නැහැ තමයි. දුවන්න හැකි වුන මොහොතේ පටන් උන්වත් දුවවනවා. සමහර පොඩිවුන් කෑම කන්නෙත් දුවන ගමන්! ඒ මදිවාට දැන් කාලෙ පොඩිවුන් හිනාවෙන්න දන්නෙත් නැහැ. උන්ට උගන්වලා තියෙන්නේ 'හිනාවෙවී ඉඳලා කාලය නාස්තිකාරගන්නේ නැතිව දුවපන්' කියලයි. අපි හිනාවුනොත් බුම්මාගෙන අම්මා දිහා බලනවා, අම්මා හිනාවුනොත් වැඩේ හරි හිනාවෙන්න පුළුවන් කියලයි බලන්නේ. අම්මා කිසිදිනෙක මහමග කිසිවෙකු සමග හිනාවෙන බව පොඩි එකා දැකල නැහැ. හිනාවෙනවා කියන්නේ තමන්ගේ සතුටෙන් සැහැල්ලුවෙන් බිඳක් තවකෙකු සමග බෙදා හදා ගැනීමකට. මේ කාලෙනම් හිනාවෙන අය මුණගැහෙනවා හරිම අඩුයි. එක්කෝ මේ කිසිකෙනෙකු තුල බෙදා ගැනීමට තරම් වූ සතුටක් හෝ සැහැල්ලුවක් ඇත්තේ නැහැ, නැතිනම් තමා සතු ඒ සතුට තව කෙනෙක් භුක්තිවිඳියි කියල භීතියක් ඇතිවෙලා. කිසි දෙයක්, කිසිම කිසිදෙයක්, අඩුම වශයෙන් සිනහවක් හුවමාරු කරනොගෙන තමන්ගේ වැඩක් බලාගැනීම හා තමාගේ ආඩම්බරකම පවත්වා ගැනීමේ වැදගත්කම තමයි මේ වනවිට අපේ වැනි සමාජ තුල පිළිගත් මතය වී ඇත්තේ! අන්තිමට සිද්ධ වෙන්නේ මනුස්ස ගනුදෙනුවක්වත් නොතිබුණු කෙනෙක් ලෙස මියයාමට සිදු වීම. අන්තිමට මරණය විතරක් නෙවෙයි ජීවිතයත් දුකක් වෙලා! මෙහෙමත් කියන්න පුළුවන්, ජීවිතය විතරක් නෙවෙයි මරණයත් දුකක් වෙලා!ඒක හොඳටම තේරෙන්නේ මරණය දකිමින් ලෙඩ ඇඳක යම් කාලයක් ජිවත් වෙන්න සිදු වුනොත්!

ජිවිතයේ සුන්දරබව අත්විඳින්නට නම් මරණයට ආදරය කිරීම කරන්නම වෙනවා! මරණය පිළිගැනීම! මරණය පැමිණෙන බව දැනුවත්ව ජීවත්වීම!

මට ආයිමත් අපේ ආච්චිඅම්මලා ගැන යමක් ලියන්න හිතෙනවා. ආච්චි අම්මලා උපත විතරක් නෙවෙයි ඒ එක්කම එතැන් සිට සිදුවන මුළු ක්‍රියාදාමයම ඉතාම සරලව නිදහස්ව බාරගත්ත අය. ඒ නිසා වෙන්නැති වයසට යාම එයාලට මහ අමුතු, පුදුම, බිය ගෙනෙන දෙයක් වුනේම නැහැ. එයාල සුදු හිසකෙස්වලට ගරු කලා. කටේ දත්ටික ප්‍රශ්නයක් වීගෙන එද්දී කරදරෙන් ගැලවෙන්න දත් ටික ඔක්කොම ගලවලා දැම්මා. සමහරුනම් හපන්න පහසුවට කියලා දත් සැට් එකක් පාවිච්ච් කලා. ආච්චි අම්මා තීරණය කලා හපන්න අපහසු කෑම නොකා ඉන්න! එයාල ජීවත්වුනේ දකින අයව නැත්නම් වටේ ඉන්න අයව පහසු කරන්න නෙවෙයි, තමන්ගේ ජිවිතයට පහසු ලෙස, ජිවිතයේ සියල්ලට සැබවින් මුහුණ දෙමින්!

ඒත් අපි! උපත, වැඩිහිටියන් වීම, විවාහය, දෙමව්පියන්වීම, ඔය අතරවාරේ සිදුවන තව බොහෝ දේ ඉතා ආශාවෙන්, අගයමින්, කෑදරකමින් පිළිගන්නා අපිට 'ඔයා වයසට ගිහින්' කියල බොහෝ කලකින් දැකපු යෙහෙලියක් කිව්වොත් එහෙම මොනවයින් මොනවා වෙයිද? දුටු පළමු සුදු කෙස් ගස ගලවා විසි නොකළ අයෙක් අපේ ජීවිතකාලවල හොයාගන්නත් අමාරු තරම්. කෙස් ගසකට පවා මෙතරම් භීතියක්! පැරණි වේද ග්‍රන්ථවල කියල තිබුනේ පළමු සුදු කෙස් ගස දුටු විට 'සොයන්න' කියලයි. ඒ ජිවිතේ තුන්වෙනි තත්ත්වය. පළමු තත්ත්වයේදී ඉගෙන ගැනීම, දෙවැනි තත්ත්වයේදී ගොඩනැගීම හා 3 දී සෙවීම! කෙතරම් අරුමද! හතර අතහැර යාම හෙවත් සන්නාසි ජීවිතය! ඒ මුළු කොන්ඩයම සුදු වුනාම කල යුතු දේ.. මේ කියන්නේ ජීවිතය ස්වාභාවිකව මුළුමනින් ජීවත්වෙමින් හා මරණයට සූදානම් වෙන්න කියලයි...
එතකොට, ඇයි අපි මේ වයසට යාම මහා ප්‍රශ්නයක් කරගන්නේ? ජීවිතය කියන්නේ වෙනස්වෙමින් යන ප්‍රවාහයක්නම් වයසට යාමක් කියන්නේ ඒ ප්‍රවාහයේම මොහොතවල් නම්???? සමහරවිට මේ බිය ගෙනෙන්නේ 'වයසට යාම' කියන සංකල්පය වෙන්න පුළුවන්. ඒ සංකල්පය පාවිච්ච්කරන්න ගත්තේ වෙළඳපොල, අපිට සිද්ධවුනේ භයානක ලෙස ඒකට යටත්වීමට!

වෙළඳපොලට අවශ්‍ය වන්නේ ගොරක වලට වේලලා හරි හොඳ පාරිභෝගිකයෝ කොටසක් රැකගන්න. වයසට යාම පිළිබඳ භයානක සංකල්පය එක්ක සිදුවෙන අපේ අරගලයට වෙළඳපොල උත්තර හොයනවා. තනියමනම් නෙවෙයි, බටහිර වෛද්‍යක්‍රමයේ මාෆියාවත් එකතු කරගෙන! මහළු පෙනුම නැති කරන ඒවා, මූනේ රැලි මකන ඒවා, ඇස් වටේ විඩාපත් පෙනුම අයින් කරන ඒවා, එක සුදු කෙස් ගහක්වත් ඉතිරි නොකරන ඒවා, කෙස් හිටවන ඒවා, බඩ ෆ්ලැට් කරන ඒවා, පියයුරු උස්සන ඒවා, පස්ස පුරවන ඒවා, මොනවද නැත්තේ! තරුණකම සුන්දරකම රැකගන්න බෙහෙත් කරල්! ලේසර් ට්‍රීට්මන්ට්ස්, ප්ලාස්ටික් ශල්‍යකර්ම. 18 කෙනාගෙයි 60 කෙනාගෙයි වෙනසක් හොයාගන්න බැරි තරම්! ප්‍රශ්නයක් නැහැ, අපි ඉන්නේ පුර්ණ දැනුවත් බවකින්නම්. ඉපදීමක් සමග අනිවාර්යයෙන් වන්නේ වයසට යාම බවත්, මේ ශරීරය නොයෙක් ලෙඩ රෝගවලට ගොදුරු වීමට ඉඩ ඇති බවත්, අවසානයේ මියයාමට නියමිත බවත් දැනුවත්ව පිළිගෙන නම්. මේ කී නොකී බොහෝ දේ පසුපස ගියා වුවද, ජීවිතය නම් වෙනස් වෙමින් පවතින ක්‍රියාදාමයෙන් පැන යාමට හැකියි යන මිත්‍යාවෙන් ගැලවී නම්. සියල්ල ගැන දැනුවත්නම් මොනවා කරගත්තාම අපේ මොකෝ!

ඒත් මේ වෙළඳපොළට යටත් වීමෙන් ඇත්තටම වෙන්නේ අපි මොනවාදෝ මිස් කරගන්න එක. ඒ තමයි ජීවිතය. අපි මිස් කරගන්නේ මරණයට පෙර විඳිය යුතු වූ ජීවිතය! වයසට යාමේ/පරිනතවීමේ අසිරිය විඳ ගැනීමට නොලැබීම! ආඩම්බරයෙන්, සුන්දරව වයසට යාමට නොහැකිවීමම නැත්නම් අකමැතිවීමම ජීවිතයේ විඳීමට ඇති විශේෂ අවස්ථාවක්/ විශේෂිත මොහොතවල් ගණනාවක් විනාශකර දැමීමක් නොවෙයිද? අනික, වයසට යාම සියලු දෙනාට විඳින්නට ලැබෙන භාග්‍යයක් නොවන විට! අපෙන් පසුව එන්නන් එය විඳීවිදැයි අප නොදන්නා කොට! ඇයි අපි අපට ලැබෙනා ඒ අසිරිමත් මොහොත නොවිඳ විඳවන්නේ?

පෙර ලිපිය:
සොඳුරු මරණය 01 - ජීවිතය සහ මරණය

Top