1150 x 80 px
දීප්තිගේ කිවිදා කොලම 02 - අමාවක චිත්‍රපටයෙන් අටවක පුත්තු දක්වා

ගිය සතියේ අප සාකච්ඡා කළ ''අමාවක'' චිත්‍රපටයේ අපූර්ව ආකෘතිය තවදුරටත් විභාග කරන්නේ නම් ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපෘතිය මඟින් යෝජනා කරන විනෝද සාධකය වටහා ගත හැක.

''අමාවක'' චිත්‍රපටය සංවාද කරන්නේ රටේ සමාජ ගැටලුවක් ගැනය. චිත්‍රපටය මඟින් ඉදිරිපත් කරන විච්ඡේදනයට අනුව ලංකාවේ ජනප්‍රිය පාසලකට ළමයෙකු ඇතුළත් කර ගැනීමට රජයේ පරිපාලන මට්ටමේ නිලධාරීන් ලිංගික අල්ලස් ඉල්ලා සිටිනු ලැබේ. අප ගිය සතියේ සාකච්ඡා කරන ලද්දේ චිත්‍රපටයේ අන්තර්ගතයට 80 දශකයේ දැක්ම ආදේශ වී ඇති ආකාරයයි. එමඟින් චිත්‍රපටය සමකාලීන ප්‍රේක්ෂකයාට දිරවා ගත නොහැකි ආහාරයක් බවට පත් වී ඇත.

අද අප සාකච්ඡා කරන්නේ චිත්‍රපටය විසින් ඉදිරිපත් කරන තවත් පරස්පරයක් ගැනය. චිත්‍රපටයේ ආරම්භයේ සිට එක්තරා නිශ්චිත මොහොතක් දක්වා දරුවාගේ පියා දරුවාව ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට වෙර දරයි. එම ක්‍රියාව එක්තරා මොහොතකට පසු අසමත් වෙයි. මෙම තත්ත්වය මඟින් නිරූපණය වන්නේ පියාගේ සංකේතීය කාර්යය අවසන් බවයි. ඉන්පසු ගැටලුව විසඳීම සඳහා අසල්වැසි නිවසක බර්ගර් පන්නයේ කාන්තාවක් සහ දරුවාගේ මව මැදිහත් වෙයි. පියාගේ නාමකරණය අවසන් වූ පසු අප ඇතුල් වන්නේ මවගේ ගුප්ත ආශාව නම් අඩවිය වෙතටය. අවසානයේ ආශාවේ අයිතිකරුවාට වැරැද්ද භාර ගැනීමට සිදු වෙයි.

බර්ගර් පන්නයේ කාන්තාව වන ඩේසි විසින් පළමුව දරුවාගේ මවගෙන් අසන්නේ තෝරාගත යුතු හෝටලය කුමක්ද යන්නය. එතැන් සිට ඔවුන්ගේ ව්‍යාපෘතිය ආරම්භ වෙයි. චිත්‍රපටයේ සාකච්ඡා වන සමාජ ගැටලුව ඉන්පසු ඇතුල් වන්නේ ෆැන්ටසිය නම් කලාපයටයි. පිරිමි ප්‍රේක්ෂකයන් වන අප මේ මොහොතේ සිට එක්තරා නිශ්චිත අවසානයක් දක්වා බලාපොරොත්තු වන්නේ රජයේ නිලධාරියා සහ දරුවාගේ මව අතර වන රහසිගත රමණයකි. රමණයකින් කෙළවර වන්නේ යයි අප සමපෙක්ෂණය කරන චිත්‍රපට දර්ශනය වඩා තහවුරු කිරීමට අවශ්‍ය අන්තර්ගතය චිත්‍රපට ආඛ්‍යානය විසින් මැනවින් සම්පාදනය කරයි. මේ සඳහා චිත්‍රපටකරුවා දරුවාගේ මව එක්තරා අවස්ථාවකදී දුහුල් නයිටියකින් පවා සන්නද්ධ කරයි. අපට චිත්‍රපටකරුවා හඳුන්වා දෙන්නේ සමාජයේ පවතින දේශපාලන ගැටලුවකි. එනම් දරුවෙකු පාසලකට ඇතුළත් කරගැනීමට මවකට ලිංගික අල්ලස් දීමට සිදු වීමේ අභාග්‍යයයි. නමුත් සිනමා කතාන්දරයේ එක්තරා මොහොතකට පසු අපට සිදු වන්නේ යතුරු හිලක් අස්සෙන් රමණ දර්ශනයක් නැරඹීමට සූදානම් වීමටය. තිරයෙන් පිටත අපගේ පරිකල්පනය එයයි.

චිත්‍රපටය නරඹන්නේ ප්‍රේක්ෂිකාවක් නම් ඇයට දැන් ඇසිය හැකි යථාර්ථවාදී ප්‍රශ්නයක් ඇත. ''මම මෙතනට ආවේ රටේ එක්තරා සමාජ ස්ථරයකට අදාළ සමාජ ගැටලුවක් ගැන සංවේදී වෙන්න. නමුත් දැන් මට සිද්ධවෙලා තියෙන්නේ අසභ්‍ය ලිංගික දර්ශනයක් රහසිගතව නැරඹීමේ වරයක්.'' මෙම තත්ත්වය මිනිස් චින්තනය පැත්තෙන් පරස්පරයක්.

චිත්‍රපටය විසින් ඉදිරිපත් කරන ආඛ්‍යානයේ එක් මොහොතක් දක්වා අපට ඉහත අශ්ශීල ෆැන්ටසිය රස විඳීමේ වරය හිමි වෙයි. චිත්‍රපටයේ ඇති මනෝ ලිංගික අල්ලස වන්නේ රමණ දර්ශනයේ සංස්කරණ අයිතිය අපට පවරා ගැනීමේ අයිතියි. චිත්‍රපටයේ මෙම කොටස ඇතුළත අපට කැමති තරම් අශ්ශීල ලෙස විනෝද විය හැක. නමුත් චිත්‍රපටයේ අවසානය කරා ළඟා වන මොහොතේදී අපගේ අදහස කණපිට හරවන්නට චිත්‍රපටකරුවා උත්සහා කරයි.

චිත්‍රපට කැමරාවේ මෙහෙයුමට අදාළව කාමරයක් තුළ සිදුවීමට නියමිත රමණ දර්ශනයක අශ්ශීල විපරීත වින්දනය පොරොත්තුවෙන් ප්‍රේක්ෂක අප හෝටල් කාමරයේ දොර අසලට ගොස් දොර විවර කිරීමට උත්සහ දරන මොහොතේදී ම එතනට පොලිස් නිලධාරීන් කඩා පාත් වෙයි. ධර්මසිරි බණ්ඩාරනායකගේ '' හංස විලක් '' චිත්‍රපටය ආරම්භ වන්නේද මෙවන් හෝටල් කාමරයක් තුළට පොලීසිය කඩා පැනීමෙනි. ආශාව විනාශ වී යන්නට මොහොතකට පෙර පොලීසිය විසින් ආශාව ගලවා ගනියි. පොලීසිය නොමැතිව තහනම් ආශාව අර්ථකථනය කිරීමට අපට නොහැකිය.

අපට මේ මොහොතේදී මුඛ්‍ය දේශපාලන ප්‍රශ්නයක් මතු කළ හැකිය. කාමරයේ දොර අරින මොහොත දක්වා චිත්‍රපටය සතු සියලු ශක්‍යතාවයන් යෙදවෙන්නේ දරුවාගේ මව සහ රජයේ ඉහළ නිලධාරියා අතර රමණ දර්ශනයක් නිපදවන්නටය. නමුත් අවසන් මොහොතේදී අපගේ බලාපොරොත්තුව කඩ කරමින් චිත්‍රපටය අවසාන වන්නේ රජයේ නිලධාරියා චූදිතයකු කිරීමෙනි.

ලිංගික අල්ලසක් හෝ ලබා දී තමන්ගේ දරුවා කොළඹ ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට දරුවාගේ මව දරන වෑයම අවසන් වන්නේ සුචරිතවාදී ලෙස රජයේ නිලධාරියා පොලීසියට අල්ලා දීමෙනි. මෙම තත්ත්වය චින්තනය තුළ ඇති කරන්නේ පරස්පරයකි. එක පැත්තකින් තිබෙන්නේ ලිංගික අල්ලසක් හෝ ලබා දී ළමයා පාසලට ඇතුළත් කිරීමේ වරය ලබා ගැනීමයි. අනෙක් පැත්තෙන් තිබෙන්නේ දරුවා පාසලට ඇතුළත් කිරීම පසෙකට ගොස් අල්ලස - දූෂණයට එරෙහිව තනි පුද්ගල වීර වික්‍රමයකි. චිත්‍රපටය විසින් යෝජනා කරන මෙම සදාචාර විනිශ්චය මඟින් ව්‍යාකූල කරන්නේ අප කලින් කී රමණ දර්ශනයෙන් කුල්මත් වූ පුද්ගලයාවය.

තත්ත්වය මෙසේ නම් මෙවැනි පන්නයේ සිනමා තාක්ෂණයක් අපට යෝජනා කරන්නේ කුමක්ද? මේ සඳහා පැති දෙකක් ඇත. එක පැත්තකින් මෙසේ සිතිය හැක. ලිංගික වශයෙන් දැඩි ඒකාකාරීත්වයක පැටලී සිටින තරුණ මවක් තම මර උගුලෙන් ගැලවීමට ලිංගික ත්‍රාසයක් ෆැන්ටසිකරණය කරයි. නමුත් යථාර්ථයක් තුළ චිත්‍රපටයක් සඳහා එවැනි අවකාශයක් නැත. නැතිනම් මෙසේ සිතිය හැක. දැඩි, මර්දිත ලිංගික අන්තර්ගතයක සිර වී සිටින තරුණ මවක් තම දරුවා පාසලට ඇතුළත් කිරීමේ මුවාවෙන් ලිංගික තෘප්තියක් ෆැන්ටසිකරණය කරයි. දෙවැන්න යම් වාරණයක් සහිතව ආශාවට ඉඩ දීමකි. චිත්‍රපට කලාවේ අපූර්ව තාක්ෂණය වන්නේ තරුණ මවගේ අශ්ශීල ආශාවට යම් වාරණයක් (මර්දනයක්) සහිතව ආශාවට ඉඩ දීමකි. වාමාංශිකයන් රටේ සමාජ ප්‍රශ්නයක් ලෙස අවබෝධ කරගන්නා ගැටලුව වනාහි ස්ත්‍රියගේ ආශාවේ පැත්තෙන් ගත් කල අශ්ශීල විනෝදයකි.

- දීප්ති කුමාර ගුණරත්න

දීප්තිගේ කිවිදා කොලම පෙර ලිපි:

දීප්තිගේ කිවිදා කොලම 01 - අමාවක ...

Top