1150 x 80 px
ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා - උසාවි සාවිය 8

අපේ‍්‍රල් මාසයේ 13 හෝ 14 දින මුල් කොට ගෙන ලාංකිකයන්ට උදාවන අවුරුදු සමය පොදු වහරේ සිංහල අවුරුද්ද ලෙසින් වැහැරෙතත් එය සිංහල-දෙමළ අවුරුද්ද ලෙස කොළඹ ළමයින් වූ අපි දැන සිටියෙමු. මන්ද අප පරිසරයේ ආගමික අනන්‍යතා සහිතවිවිධ උත්සව ඇතත් බක් මාසයේ උදාවන අවුරුද්ද නම් සිංහල දෙමළ අප කාටත් අවුරුද්දක් ම වූ බැවිනි. ඈපා පඤ්ඤංග ලිතෙත් කළෙයිමගල් පංඤ්ඤංගයෙහිත් එකම නැකත භාවිත වන්නේ මේ ජාතික මහෝත්සවය උදෙසා ම පමණි. එනිසා එය කාලාන්තරයක් තිස්සේ සිංහල- දෙමළ අවුරුද්ද වූවා මිස ‘තනිකර සිංහල අවුරුද්ද’ක් නම් නොවිණ.

 

සියල්ල වෙළඳ ප‍්‍රචාරණයෙහි ගොදුරු බවට පත්වෙද්දි මුලින්ම අපහරණයෙහි යෙදුවූයේ සම්ප‍්‍රදායික මිනිස් ලාලසාවට අදාළ කොන්දේසි බැවින් සිංහල අවුරුද්ද ‘වණික් අවුරුද්ද’ බවට රූපාන්තරණය වී දශක තුනකටත් වැඩිය. එනිසා ම දැන් මේ අගනා ජාතික සංහිඳියාවේ නිමිත්ත වෙළඳ භාණ්ඩයක මුහුණුවර මිස අපේක්ෂිත ජාතික කාර්යයෙන් දුරස්ථ කර ඇතැයි අපට සිතේ. එහි බියකරුකම කොතෙක්ද කියතොත් අද වනවිට සිංහල අවුරුද්ද ලෙස එකකුත් දෙමළ අවුරුද්ද ලෙස තවකකුත් එකම නැකත මුල්කොට පවත්වා ගැනීම කරා ගමන් කර තිබේ. 1948 පෙර රජයේ නිවාඩු දින ලේඛනයේ අපේ‍්‍රල් 13 ගැන සඳහන්වන්නේ ‘හින්දු අවුරුද්ද’ ලෙසින් වුවත් අදවනවිට එය හින්දුන්ගෙන් පැහැරගත් ‘සිංහල අවුරුද්දක්’ බවට පත්වූයේ කෙසේද යන්න වෙනම කතා කළ යුතු මාතෘකාවක් ලෙස හඟින බැවින් එය පසුවට තබමි. කෙසේ වෙතත් අපට අදාළවපසරිය තුළ බක් මාසය යනු විවිධාංගකරණයේ මිහිරියාවත් සාංකාවේ ශෝකයත් කැටි කරගත් මාසයක් බව නොකියා ම බැරිය.

කොළඹ ළමයින්ට බක් මාසයේ කොහා හඬන්නේ එක්කෝ කපුටු බෝ ගසක සිටය. නැතිනම් කණාටු පොල්ගහක, ගොඩනැගිල්ලක වහළක් මත හෝ නොදන්නා කොහෝ දෝ ඈතක සිටය. එනමුදු එ් කොහාද ගමේ කොහා මෙන් අප අමතන්නේ ‘කොහෝ.. කොහෝ.. කියා ය. අපි ද ඔහුට ‘කොහෝ.. කොහෝ..’ කෑ ගසන්නෙමු.

කොළඹ වතු ජනපදිකයින් බොහෝමයක් කරිජ්ජ වලාමේ සිට පැමිණිය වුන් බැවින් ඔවුන් විසින් රැුගෙන එන ලද්දා වූ සිංහලයන්ට ආවේනික චාරිත‍්‍ර-වාරිත‍්‍ර, සුචරිත්- දුසරිත්, ඇවතුම්-පැවතුම්අමිශ‍්‍ර ගුණයකින් එකල පැවති බව අපට මතකය. එනිසාම සිංහල දෙමළ අවුරුද්ද සමරණ දෙජාතික මිතුරු හවුලේ පවා සාම්‍යයන් මෙන්ම අසමානතා සහිත විවිධාංගිකරණයක් දක්නා විය.

සිංහල-දෙමළ අප නිවෙස් අවුරුද්දට සුදු පිරියම් වෙයි. සමහර නිවසක් වර්ණවත් පාටින් හැඩවෙයි. අවුරුද්දක මකුළු දැල් එක දවසකින් කැඩෙයි. දෙමළ නිවසක ඉදිරිපිට සහල් සහ පිටි මිශ‍්‍ර වර්ණවත් රූ රටා ඇඳෙයි. මේ සියල්ල අතරේ පාසල් නිවාඩු කාලය බැවින් වැඩිහිටියන්ගේ මේ කාර්යයන්ට බාදා කෙරෙමින් අපේ දඟ වැඩද වැඩිවෙයි.

පෙර අවුරුදු සතියේ කොළඹ නගරයේ මැනිං වෙළඳ පොළත් කෙළින් වීදියේ සහ හරස් වීදිවල රෙදි පිළි කඩ සාප්පුත් ජනී ජනයාගෙන් පිරී යයි. භාණ්ඩ අලෙවි කරන, මිලදී ගන්නා, නරඹන මුදල් ඇති, නැති, සිංහල, දෙමළ, මුස්ලිම් කවුරුත් මේ මහා කලබලය තුළ හැසිරෙති. සියල්ලෝම තමාගේ ජීවන කලාපයට කඩා පාත්වන සතුටේත් සාංකාවේත් ආරම්භක මොහොත උදාව ඇති බව දැන සිටිති.

කොළඹ නගරයේ රැකියාවලනියුතු බොහෝ දෙනා අවුරුද්දට ගමේ යන්නේ වාර්ෂික කුටුම්භගත වතාවතක උරුමය අත් නොහරිමිනි. මාසික වැටුප් ඇත්තෝ අවුරුදු පඩි ලබද්දී දෛනික ආදායම් මාර්ග ඇති අය ණයට හෝ සිය අවශ්‍යතා සපුරා ගනිති. වෙළෙන්දන් යනු මේ කාලයේ බලවත්ම සහ කඩිසරම මිනිස් කණ්ඩායම බවට පත්ව ඇත්තේ අවුරුදු අසිරිය ඔවුන් බාරයේ ඇති බැවිනි. මුදල් දී එය ගත් විට අසිරිය නිවෙස් තුළට කඩා වදී. එනිසා නාගරික වෙළෙන්දන්ගේ ඉක්මන් ආදායම් සරුවීමේ තෘෂ්ණාවට බොහෝ මිනිසුන් හසුවී අවුරුද්දෙහි අසිරිය සීමා කර ගන්නා අවස්ථාද නැතිවා නොවේ. එසේම තැරැව්කාරයන් හෝ පික්පොකට්කාරයන්ට හෝ හසුවී සිය අවුරුද්ද අහිමි කර ගන්නා මිනිස්සුද සිටිති. කොසේ වෙතත් අවුරුද්ද කොළඹ ළමයින්ට විස්මයක් වන්නේ මැ යි.

මගේ පියා මහ ඉඳුරුවේ උරුමය තදින් සුරැුකුවෙන් අප නිවෙසේ අවුරුද්ද තරමක අසිරියකින් යුක්ත වෙයි. මන්ද ඔහු රජයේ සේවකයකු වූ බැවින් අවුරුදු අත්තිකාරම් ද ලබන බැවිනි. එසේම මාගේ පවුලේ තුන් වෙනි අය්යා වූ හෙට්ටිගේ හේමචන්ද්‍ර (මියගිය* වසරක් පුරා මැනිං වෙළඳ පොලේ වෙළෙඳාමෙන් දෛනිකව ලැබෙන මුදලින් කීයක් හෝ කැටයක එකතු කර අපේ අම්මා අතට එය බාර දෙන්නෙ මේ කාලයේ ය. එ් මුදල එකල දහදෙනකුගෙන් යුතු පවුලක දෙමව්පියන්ගෙන් රැකෙමින් සිටි අප හයදෙනකුට අවුරුදු අසිරිය කැඳවීමට මහඟු සහායක් වූ බව අම්මා වරින් වර කී කතා මට සිහි කරයි.

මං මේ මතක් කරන අවුරුද්දේ නැකැත් චාරිත‍්‍ර යෙදී තිබුණේ උදා කාලයකය. එ් 1969 වසර විය යුතුයි. අප කුඩා නිවසේ සාලයේ දිගු ස්ටූලයක් මත පොල් තෙල් පහනක් දැල්වීමට සියල්ල සූදානම් කොට තිබිණ. ඒ වටා ‘රූපා පස්ගෝරසයෙන්’ මුදල් ගත් කැවුම්, කොකිස්, ආස්මි, මුං කැවුම් පමණක් නොව හස්තිගිරි හෝටලයෙන් ගෙනා කේක් ද කපා තබා ඇති තසිම් කිහිපයක් විය. පිඟානක් මත මගුල් සිරියෙන් සිටින කිරිබත පිසුණේ අම්මා අතිනි. ලොකු අයියා හෙට්ටිගේ කරුණාතිලක මැනිං වෙළද පොළේ කෙසෙල් මාරකැට්ටුවේ සේවය කළ බැවින් ඔහුගෙන් නොවරදවාම ලැබෙන ආනමාලූ ඇවරිය මේසේ විශාල ඉඩක් අහුරා සිටී. වත්තේ තැන තැනින් රතිඤ්ඤ පුපුරතත් තාත්තාට කලබලයක් නැත. මන්ද ඔහුගේ නැකත ඔහුට වැදගත් බැවිනි. අවසානයේ ඔහු අත බැඳි ඔරලෝසුවෙන් දෑස් ඉවතට ගෙන ගිනිකූරක් ගසා පහන පත්තු කර ඊට වඳියි. අම්මා සමඟ අපත් වැඳ බලා සිටින්නේ ඔහු අතින් කවන කිරිබත් කැබැල්ලක රස විඳින්නටය. එය ඉටු වෙයි. එතෙක් වෙලා ස්ටූලයේ කොනක තිබු බුලත් අත අම්මා අතට වඩියි. තාත්තාගේ අතට එය හුවමාරු වූ පසු අම්මා ඔහු දෙපා මුල වැඳ වැටෙයි. එක් බීමත් දවසක අම්මාගේ හිසට ගැසූ පහහරකින් විසී වී ගොස් ඇඳ විට්ටමේ වැදී ලේ ගලා ගිය ඇගේ නළලත ඔහු සිප ගනිද්දි අපි අහක බලා ගනිමු. අනතුරුව අප අම්මාටත් තාත්තාටත් බුලත් දී ගනුදෙනු කර කෑගසමින් මිදුලට බසින්නෙ එ් වනවිටත් අත ඇති රතිඤ්ඤ, ගල් වෙඩි ආදිය රැගෙනයි.

වත්තේ තැන තැන නිශ්ශබ්දව බලා සිටි මොහිදින්ලා, රිස්විලා, පාතිමාලා, අප හමුවට දිව එන්නේ එ් මොහොතේ දි ය. මෙන්න දැන් තමා අපට අවුරුදු! අප නිවෙස්වලට දිව ගොස් අම්මා එ් වනවිටත් පිඟන්වලට දමා වෙන් කර ඇති කෑම බඳුන් මුස්ලිම් නිවෙස්වලට රැුගෙන යන්නේ පිරිසිදු රෙදි කඩකින් වසා ගෙනය. ආපසු එනවිට රෙදි කඩත් පිඟානත් රැුගෙන එ්ම අනිවාර්යය. මන්ද එවැනි ගමන් කිහිපයක් ම ඇති බැවිනි. දෙමළ නිවෙසින්ද සිංහල අනෙක් නිවෙසවලින්ද එවැනිම ආහාර හුවමාරුවකි. සතුට හැම තැනම ය. සහජීවනය දෝරෙ ගලා යයි. සිංහල-දෙමළ අවුරුදු අසිරිය විඳි මුසල්මානුවන්ගේ සතුටත් එම සහජීවනයේම කොටසක් වූ සෙයකි.

දැන් එළැඹෙන්නේ අවුරුදු ක‍්‍රීඩා කාලයයි. වත්තේ පාරවල්වල හැම තැනකම අලූත් හැඳුම් ඇඳ සිටින නැවුම් මිනිසුන්ය. හැමකෙක්ම පාහේ ‘බාල්දි ළිඳෙන්’ සත පහේ වතුර ටැංකියක් හෝ නා සිටිති. පිරිසිදු මුවින් යුතුය. ‘කෝටාල් ’ ගඳක් වහනය වන උන්ද අතරින් පතරය. වත්තේ ජනප‍්‍රිය අවුරුදු ක‍්‍රීඩා කිහිපයකි. එයින් පළමු වැන්න කට ලොකු බෝතලයක වතුර පුරවා එ් මත බහා ඇති කට කුඩා බෝතලය තුළට කාසිය දැමීම යි. කාසිය කුඩා කටැ‘ති බෝතලය තුළට වැටුණහොත් ගෙවීම දෙගුණයකි. එය ඉතා අසීරු ජයග‍්‍රහණයක් වුවත් ජයග‍්‍රණයේ ආසන්න හැඟීම් දැනෙද්දී මහත් ප‍්‍රීතියක් අත්පත් කර ගත්තකි.

ඊළඟට කැට ගැසීමයි. එය ජයග‍්‍රණයේ අවස්ථා විවෘත ක‍්‍රීඩාවක් බැවින් අපත් වරින් වර ජය ගත් බව අපට මතකය. ගෙදරින් ලැබෙන සත විස්ස තිහත්, අය්යලා පැමිණි පසු ලැබෙන තවත් ගණනකුත් එකතු වූ විට මුස්ලිම් සහෝදරයන්ටත් ක‍්‍රීඩා අවස්ථා ලබා දීමට අපට අපහසුතාවක් නැත. වැඩිහිටියෝ වත්තෙත් තැන තැන ‘කාඞ් ගසති’. බූරු’ හෝ ‘ ඕමි’ හෝ ‘ත‍්‍රී කාඞ්ස්’ හෝ වුවත් එම ක‍්‍රීඩා බාල අපට තහනම් ය. ක‍්‍රීඩාව පමණක් නොව බලා සිටීමත් තහනම් ය. එනිසා අපි එහි නොරැඳී අන් අතක ඇවිද යමු.

සන්තබස්තියම් වීදිය මැද ‘සෝප් පැනිල්ලකි.’ එය කණ්ඩායම් ක‍්‍රීඩාවක් මෙන්ම තරුණයින්ගේ අවස්ථාවක් බැවින් ළමා අපට බලා සිටීම විනා අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකිනි. තැනක ‘රාගේ ගැහිල්ලකි’. වේවැල් බෝලයක් ගෙජ්ජි සවිකර බිම නොවට්ටා අතින් මිටින් වැලමිටෙන් කකුලෙන් ආදී ලෙස පහර දීමෙන් කෙරෙන එය සරම් හැඳි වලාපට ගසා ගත් නැඩයන්ගේ ක‍්‍රීඩාවකි. මේ සියලූ ක‍්‍රීඩා සහජීවනයේ එකතුවක් වීම වැදගත් කොට කිව යුතුමය. සිංහල දෙමළ මෙන්ම මුසල්මානු මිනිසුන්ද රාග ක‍්‍රීඩාවට එක්වන්නේ අවුරුදු මිහිරේ කිමිදෙමිනි.

නගරයේ පටු වීදිවල අවුරුදු අසිරිය බලා නැවත වත්තට එන අපට හමු වන්නේ දැන් දැන් හයියෙන් කතා කරන බීමත් වැඩිහිටි පිරිමින් මෙන්ම හයියෙන් සිනාසෙන ගැහැනුන් අතර බට්ටා පනින අපේ නංගිලා ය. අපි ඔවුන්ගේ ක‍්‍රීඩාවට කඩා පාත් වූ විට එකම කෑ කොස්සමකි. අවුරුද්ද නිසා කිසිවෙක් එය ගණන් නොගනිති. වත්තේ පරෙවි කූඩුවටත් අවුරුදු බැවින් උනුත් කා බී තැන තැන නින්දේය. නැතිනම් නා කියා තටු වියලා ගනිමිනි. තරුණ පෙම්වත් පරෙවියෝ ’ග්රූම් ..කට කටන්..’ කියමින් පේ‍්‍රමාලිංගන පාති. බෝඩිම් කාමරවල තරුණයින් ගම්වල ගොස් ඇති බැවින් අක්කලාට පාළුවක් ඇති නිසාදෝ ඔවුන් පාර අද්දරට ගොස් පාර දිහා බලමින් හේතුවක් ඇතිව හෝ නැතිව හෝ සිනාසෙති: ඔමරි කරති. අන්ධකාරය සමග තැන තැන බේබද්දන්ගේ කුණුහරුප මෙන්ම බැන අඬගැසීම්ද නැගෙයි.

අවුරුද්දේ පැය විසිහතරකින් අවසන්ව ගිය බව අපට දැනෙනවිට කොළඹ නගරය පාළු කාන්තාරයකි. මන්ද කොළඹ සාරය සිඳින බොහෝ වුන් කොළඹින් පිට සිට පැමිණ අවුරුද්දට සියල්ල පොදි බැඳ ගම යන්නෝ බැවිනි. මැනිං වෙළඳ පොලත් මධ්‍යම බස් නැවතුමත් අක‍්‍රිය වූ පසු පිටකොටුව අමු සොහොනකි. හරස් වීදිවල බලූ නගුටෙක්වත් නැත. යා යුතු අතක් නැති අප දෙමාපිය ඥති මිතුරු පවුල් වතු තුළ සිටිමින් කොළඹ අවුරුද්දේ ශේෂ ඇහිඳින්නේ තෙවනි දවස වනවිටය. මෙහි බොහෝ පවුල් දෛනික ආදායමෙහි රැුකෙන්නෝ වෙති. එනිසා අවුරුද්ද විසින් විය පැහැදම් කරන ලද සතියක දෙකක වියදම් කාසි නිසා සාක්කු පමණක් නොව පොකැට්ද හිස් ය.

ළමා අපට තවමත් තැන පුපුරන රතිඤ්ඤ මහරු සමපතක්ව දැනෙයි. නැවත නැවත රත්වන අවුරුදු කෑම අපුලකින් තොරව උගුරෙන් පහළට යයි. ‘තම්බි කඩ’ හෙවත් මුසල්මානුන්ගේ කඩ ෙදාර ඇරී ඇතත් මුළු නගරයේම මහා කඩවල් වැසී දින තුනකටත් වැඩිය. පරෙවියන් පවා කුස ගින්නේ ය. හතර මුලූවල සිට අපට විරිත්තන්නේ පාළුවයි. මේ සටහනේ මා අවුරුද්දේ කාංසාවක් ගැන කීවේ එහෙයිනි. අප දැන් බලා සිටින්නේ කොළඹ අසිරිය ගමවලට රැුගෙන ගිය සහෘදයන් නැවත එනතුරුය. ගමේ ගිය බක්කරේලා පැමිණ යළි බේකරිය ආරම්භ කරන තුරුය. පාන් මාමා පාන් වට්ටිය හිසේ තබා ගෙන වත්තට එනතුරු ය. නයිස් මාමා, බෝන්ඩා ආලූවා, රෙදීය්යාප් නානා, නංනාරි සරුවත්කාරයා, පකඩ කරත්තය යළි වතු ෙදාරකඩට එනතුරුය. ඔවුන් නොමැතිව වතුවලට ජීවයක් කොහෙන්ද? මේ පාළුව දරා ගැනීම කිසිසේත්ම කළ නොහැකිය.

වසරක සතුට එක පැහැර අවසන් ව යතත් කොළඹට අවුරුද්ද ගෙන ආ මිහිර අපමණය. සිංහල දෙමළ අවුරුද්ද අද ජාතින් දෙකක් වෙන වෙනම සමරණ ‘වණික් අවුරුද්දක්’ කොට ඇතත් එය අද වැනි කාලයක සහජීවනයේ අවශ්‍යතාව වෙනුවෙන් භාවිත කළ හැකි අගනා අවස්ථාවක් බව එහි අත්දැකීම් භුක්ති විඳ ඇති අපි හොඳන් ම දනිමු. සහජීවනයේ දේශපාලනයක් වෙනුවෙන් තෙපරබාන දේශපාලකයින් මේ වසරත් සිංහල සහ දෙමළ දුරස්ථබවට පාර කපමින් සිටින බව අපට දැනෙයි. ශ‍්‍රී ලංකාව වැනි බහු ආගමික, බහු වාර්ගික, බහු භාෂීය රටක මෙවැනි අගනා සංස්කෘතික අවකාශයක් මුල්කොට සහජවනයක් පවත්වා නොගැනීම ආවාසනාවකි.

ඊයේ මෙන් ම අදත් සිංහල සහ දෙමළ අවුරුද්දක් උදාව තිබේ. මේ වනවිටත් එය මාධ්‍ය සහ වෙළඳ බලාධිකාරියට නතුව තිබෙනු පෙනේ. මාධ්‍ය තුළඅත්දකින ව්‍යාජ අවුරුදු සුන්දරත්වය වියැකි ගිය පසු ඉතිරිවන්නේ සාංකාවක් පමණක් බව නොකිවමනාය.එනිසා අවුරුද්දට ගමට ගිය උන් ඉක්මනින් නගරයට ආ යුතුය. නැතහොත් කොළඹ නගරය පාළුවෙන් තැවෙනු නිසැකය.

සුබ සිංහල -දෙමළ අවුරුද්දක් ම වේවා..!

- අනුරසිරි හෙට්ටිගේ

උසාවි සාවිය පෙර ලිපි 

වැඩ අලියට- ඡන්දෙ අතට - උසාවි සාවිය 07

Top