1150 x 80 px
මහසෝන්නු, රාවණාවරු, යක් රැහේ උන් සමග ‘මුස්ලිම් අවුරුදු කුමාරයා‘

පසුගිය දිනවල මුහුණු පොතේ පැතිරගිය සංවාදයකට අනුව ‘දැවෙන ජාතික ප්‍රශ්නයක්‘ වී තිබුණේ මුස්ලිම් ජාතිකයෙකුට අවුරුදු කුමාරයා තරගයකට ඉදිරිපත් විය හැකිද යන්නයි. ටෙලිවිෂ්න නාලිකාවක් විසින් සංවිධානය කළ අවුරුදු කුමාරයා තෝරන තරගයක් සම්බන්ධව හටගත් මෙම ආන්දෝලනයට ලුණු ඇඹුල් එක් කෙරුණේ සංඝයා වහන්සේ නමක් විසින්, මුස්ලිම් තරුණයෙකුට අවුරුදු කුමාරයා බවට පත්වීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත යැයි ප්‍රකාශ කිරීමත් සමග ය. අනේ, රටකට ගිය කල!

වසර තිහකට අධික කාලයක් පුරා පැවති යුද්ධයක් නිමාවී යාන්තම් වසර 09 ක් ගෙවී ගියා පමණි. එක් පිරිසක් ජනවාර්ගික අර්බුදයක් යැයි කියාගන්නා, තවත් පිරිසක් යුද්ධයක් යැයි කියාගන්නා දෙපිරිසක් අතර සිදුවූ ගැටුමක් අවසන් වූවා පමණි. සිංහලයින්ගේ වීරෝදාර හමුදාවත්, ද්‍රවිඩයින්ගේ විමුක්ති කොටි ත්‍රස්තවාදීනුත් අතර ඇතිවූ ලේ වැගිරීමක්, ජීවිත හානිකරගැනීමක් අවසන්වූවා පමණි.

2009 වර්ෂයේදී අවසන් කළ යුද්ධය තවමත් සිංහල හා ද්‍රවිඩ මිනිසුන්ගේ සිත්වල හොල්මන් කරන්නේ විඳවීමේ, අහිමිවීමේ, විනාශවීමේ මෙන්ම ලෙයට ලෙයින් පළිගැනීමේ ඛේදවාචකයක ඉතිහාසය මතක් කරවමිනි. ශ්‍රී ලංකාව දැන් පශ්චාත් යුද සමයක් පසුකරමින් සිටින්නේ යැයි මානව හිමිකම් ක්‍රියාධරයෝ පවසති. එහෙත් සිවිල් ජනතාවගේ යුද්ධය තවමත් අවසන්ව නැත. තම දරුවන් අහිමි වූ සිංහල, දෙමළ, මුස්ලිම් මව්වරුන්ට පියවරුන්ට තවමත් යුද්ධය අවසන්ව නැත. තම පෙම්වතා, ස්වාමිපුරුෂයා අහිමි වූ ළබැඳිනියන්ගේ යුද්ධය අවසන් වී නැත. තම ආදරනීය සිංහල අප්පච්චි අහිමි වූ දෙමළ අප්පා අහිමි වූ දරුවන්ගේ යුද්ධය අවසන් වී නැත. ඔවුන්ගේ නිවෙස් පරම්පරා ගණනක් යන තුරු යුද ගින්නෙන් දැවෙනු ඇත. යුද්ධය පිළිබඳ පාරම්බෑමට හෝ සැමරීමට හෝ උදම් ඇනීමට යමක් ඇත්ද යන්න සිතිය යුත්තේ දැන්ය. වීරෝදාර සිංහල හමුදාව මිලේච්ච ද්‍රවිඩ කොටි ඝාතනය කළා යැයි උදම් අනපු කාලයක් තිබුණි. එහෙත් වීරෝදාර හමුදාවේ සිටියේ සිංහල අය පමණක් නොවේ. ශ්‍රී ලංකා හමුදාවේ සිංහලයින් මෙන්ම මුස්ලිම් විරුවෝද සිටියහ. දෙමළ විරුවෝද සිටියහ. යුද්ධය පැවතියේ රටක් දෙකට බෙදාගැනීමට වඩා එකිනෙකා තුළ පැවති අන්‍යෝන්‍ය අවිශ්වාසය දෙකට බෙදාගැනීමටය. සිංහයාට දාව උපන්, සිංහයා විසින් සුප්පා දේවිය සමග රමණය කර සිංහල අපි උපන් බව උගනිමු. වීරත්වයෙන් සිංහයා අදහමු. සිංහලේ කොඩි ගසාගෙන, සිංහලේ ස්ට්කර්ස් අලවා ගෙන වාහනවල එහේ මෙහේ යමු. ඒ අපේ වීරත්වයයි. විද්‍යාත්මකව සිංහයෙකු හා මනුෂ්‍ය දුවක් රමණය කර මිනිස් පැටව් ඉපදිය හැකිද යන්න අප සිතන්නේ නැත. එහෙත් දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තියට අනුව අපි සත්තුත් එක්කත් ලිංගිකව හැසිරෙනවා යැයි වගන්ති සකස් කළ සුද්දාට පළු යන තුරු බැන වදිමින් තවමත් එම නීතියම කර තියාගෙන යන මිනිසුන් වන්නෙමු.

කෙසේ හෝ අපිට තවමත් ලේ පිපාසය ඇත. ලේ පිපාසය අප තුළ ජාතික පිපාසයක් දක්වා වර්ධනය කරවා ඇත. බුද්ධිය හෝ තාර්කිකත්වය වෙනුවට මිලේච්ඡත්වයට වඩා ලොල් සහගත වන මිනිසුන් බවට පත්ව ඇත. ලෝකයේ ආගන්තුක සත්කාරයට වඩාත්ම ප්‍රචලිත ජාතිය යැයි කියාගන්නා අපි ආගන්තුකයින් සමග ඇන කොටා ගැනීමට ද පැකිලෙන්නේ නැත. ඒ අප සමාජානුයෝජනය කර ඇති ආකාරයයි. විජාතිකයින් පේන්න බැරි අපි රෝම අරාබි ඉලක්කම්වලින් ගණන් මිනුම් සාදමු. ඉන්දියාවෙන් ගෙනවිත් දුන් සංස්කෘතිය, ආගම, කලා ශිල්ප, ආවාහ විවාහ චාරිත්‍ර යනාදී සියල්ල අපේ යැයි කරතබාගෙන යමු. අරාබියට ලංකාවේ ගෑනු ටික පටවා උන්ගෙන් හම්බකරගෙන රට ගොඩනගන්නෝ වෙමු. 70% කට වඩා අධික ප්‍රමාණයක් සිංහල බෞද්ධයින් යැයි පවසත්දී බුදුන් වහන්සේ විසින් දේශනා කළ “සබ්බේ සත්ථා” යන්න අමතක කරමින් අපි පට්ට බෞද්ධ යැයි කියාගන්නා අය වෙමු. බුදුන් වහන්සේගේ දර්ශනය පට්ටම පට්ට දර්ශනය අඩෝ යැයි කියමින් “ සබ්බේ තසන්ති දණ්ඩස්ස” යන්න අමතක කරමින් පොඩ්ඩ ඇත්නම් කඩු පොළු උස්සන ජාතියක් බවට පත්ව ඇත්තෙමු. පශ්චාත් යුද මානසිකත්වය විසින් අපට ලබාදී ඇති හැඟීම්, මනුෂ්‍යත්වය අගයන ආකාරය බොහෝ වෙනස්වී ඇත. බුදුන් වහන්සේම එක් වරක් දේශනා කර ඇති පරිදි සියලු ප්‍රශ්නවලට හේතුව වී ඇත්තේ සැකයයි. එකිනෙකා නොහඳුනන, එකිනෙකා නුරුස්සන හා එකිනෙකාව තේරුම් ගැනීමට උත්සාහ නොකරන ස්වභාවයයි. වඩාත් භයානකම දේ නම් තරුණ පරපුර ඉතා සීග්‍රයෙන් ජාතිවාදය පැතිරවීමට, ජාතිවාදී ගැටුම්වල වින්දිතයින් බවට පත්කරගැනීමට විවිධ කල්ලි, කණ්ඩායම් විසින් උත්සාහ දැරීමයි.

1970 දශකය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ පැවති රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා, අධ්‍යාපන ප්‍රශ්න , රුකියා නොමැතිවීම, තරුණ අසහනය, සම්පත් බෙදීයාමේ විෂමතා වලට එරෙහිව රැඩිකල් හා විප්ලවකාරී ක්‍රියාමාර්ගයක් ලෙස ග්‍රාමීය තරුණ පිරිස පෙළගැස්වීම්වලිනි. 1971 සිට ග්‍රාමීය මධ්‍යම පාන්තික තරුණයාට හා නිර්ධන තරුණයාට එක්කෝ විප්ලවය නැතහොත් මරණය තෝරාගැනීමේ අවස්ථාව පැවති පාලන තන්ත්‍රයන් හා තරුණයින්ව පෙළගැස්වූ නායකයින් විසින් නිර්මාණය කර දී තිබුණි. පීඩනයේ පැනසර හිස ඔසවා මොළයෙන් ගසනවා වෙනුවට ආයුධ අතට ගැනීම හා රජයට එරෙහිව දියත් කළ විප්ලවය අවසානයේ සමස්ත සමාජයට එරෙහිව සිදුකළ විප්ලවයක් දක්වා තරුණයින් මිලේච්ඡ ලෙස පෙළගස්වා තිබුණි. එහෙත් පැවති පාලන ක්‍රමය හෝ බලය බෙදාගැනීමේ ක්‍රමය අංශු මාත්‍රයකින් හෝ වෙනස් වූයේ නැත. සිදුවූයේ ශ්‍රී ලංකාවේ දහස් සංඛ්‍යාත පවුල් ප්‍රමාණයකගේ අනාගතය ගොඩගැනීමට සිටි තරුණ ප්‍රජාවක් අමු අමුවේ මිලේච්ඡ ලෙස මරාදැමීමක් පමණි. වසර ගණනාවක් පැවති තරුණ කැරැල්ල කිසිදු ජය පරාජයකින් තොරව අවසන් වූවද, ලේ වල සුවඳ හෝ දැවෙන ටයර් සෑයවල් වල අමු මිනීමස් පිළිස්සෙන තිරිසන් ගඳ තවමත් සමාජය කිළිටි කරමින් දුම් ගසමින් සිටී. එක් පැත්තකින් ද්‍රවිඩ ත්‍රස්තවාදී තරුණයින් විසින් මහජාතිය වන සිංහලුන් හා උන්ගේ පාලකයින් විසින් උදුරාගත් තමන්ට අහිමි වූ වරප්‍රසාද වෙනුවෙන් ආයුධ ගනිද්දී අනෙක් පසින් ලෝකයේ සිංහල කතා කරන, සිංහලුන් සිටින එකම රට ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිංහල තරුණයින්ට ආයුධ ගැනීමට සිදුවිය. කෙසේ හෝ 1971න් ඇරඹි විමුක්තිකාමී තරුණ කැරැල්ලත්, 1983 ජූලි මාස ඇරඹුනා යැයි සැලකෙන විමුක්තිගාමී කොටි අරගලයත් අවසන් වූයේ පාලකයින්ට ජය අත්කර දීමෙන් විනා තරුණ පිරිසට ජය අත්කර දීමෙන් නොවේ. යුද්ධයක් මතින්, සමූළ ඝාතන මතින් ජය පැන් බීමට කිසිවෙකු හෝ උත්සාහ දැරුවේ නම් එම ජය පැන් පොද පළමුව පිරිත් පැන් කර පෙවිය යුත්තේ තම තරුණ පුතා දුව අහිමිව විළාප තබන දෙමළ අම්මා හා සිංහල අම්මාටය. මන්ද තවමත් ඔවුන් අකාලයේ උදුරාගත් තම දරුවාගේ මතකයන් සමග හදවතින් යුද්ධ කරන බැවිණි.

2013 වර්ෂයේ සිට යළිත් ශ්‍රී ලංකාව වාර්ගික අරගලයක් දක්වා යනු පෙනෙන්නේ මෙදා සැරේ දෙමළාට එරෙහිව නොව මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිංහලයින් විසින් නැගී සිටීම හරහාය. ද්‍රවිඩ අරගලයට වඩා වඩාත්, උපක්‍රමශීලිව, වඩාත් දේශපාලනික මැදිහත්වීමක් සහිතව මෙන්ම කල්ලි දෙකක් වෙනුවට කල්ලි රාශියකගේ සහභාගීත්වයෙන් යුතුව සිංහල හා මුස්ලිම් විරසකය වර්ධනය වනු පෙනේ. එක් අතකින් මුස්ලිම් ප්‍රජාව එකා මෙන් තම ජාතිය වෙනුවෙන් නැගී සිටිනු පෙනෙත්දී අනෙක් පසෙන් සිංහල බෞද්ධයින් විසින් විවිධ කල්ලි හා විවිධ කණ්ඩායම් විසින් මෙහෙයවනු දක්නට ලැබේ. විවිධ බල සේනාවන්, විවිධ බලකායන් විසින් මෙම කල්ලි මෙහෙයවනු දක්නට ඇති අතර මෙම කල්ලියවල පෙරමුණේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා දක්නට ලැබේ. හතු පිපෙන්නාක් මෙන් මහසෝන්නු, රාවණාවරු, යක් රැහේ උන්ගේ කල්ලි කණඩායම් ගොඩනැගුණි. එදා එළාර රජුට එරෙහිව දුටුගැමුණු රජු විසින් ප්‍රකාශ කරන ලද යුද්ධයේදී එක් එක් බලකොටු විනාශ කරමින් දුටුගැමුණු කුමාරයා ඉදිරියට ඇදුනේ මහා සංඝරත්නය පෙරටු කරගනිමිනි. යුද්ධයෙන් අනතුරුව එළාර සොහොනක් සාදා මරාදැමුණු එළාර රජුට නිසි ගෞරව දැක්වීමට සමස්ත රටවාසීන්ට දුටුගැමුණු රජු අණ කළේ එළාර තුළ කිසියම්ම හෝ ආකාරයක මනුෂ්‍යත්වයක් පැවති නිසාය. එහෙත් වර්තමානයේදී සුළු ජාතීන්ට එරෙහි මහජාතියේ නැඟී සිටීම ඇතුළේ ගෞරවය පොඩ්ඩක් හෝ ගෑවී නොමැත. වර්තමානයේ ක්‍රියාත්මක වන වාර්ගික අර්බුදයේ කවුරු වැරදිද කවුරුන් නිවැරදිද යන්න ප්‍රකාශ කිරීමට අපහසුය. බොහෝ අය බොහෝ දේවල් කියන අතර, ඊටත් වඩා වේගයෙන් ලක්වැසියාගේ සුපුරුදු ගුණය පෙන්නුම් කරමින් එකිනෙකාගේ ගුණ අගුණ හා වැරදි ගැන ඕපාදූප හා අදූෂමාන ආරංචි පැතිරේ. එහෙත් ලෝකයේ ථේරවාදී බුදු දහම පවතින විශිෂ්ටතම රට යැයි පවසන අප තුළ ඒ තරම්ම ඉවසීමක් හෝ, ඒ තරම්ම අන් මතවලට ගරුකිරීමක් හෝ නොපවතින බව නම් පැවසිය හැකිය.

ඉහතින් සඳහන් කළ ආකාරයට, 1971 කැරැල්ල, 1983 ආරම්භ වූ විමුක්ති කොටි කැරැල්ල හා සමානවම වර්තමානයේදී සෙමින් සෙමින් වර්ධනය වන සිංහල මුස්ලිම් වාර්ගික අරගලයේද කැපී පෙනෙන දඩයම්කරුවන් බවට පත්ව ඇත්තේ සිංහල හා මුස්ලිම් තරුණ ප්‍රජාවයි. ඔවුන් කැපී පෙනෙන දඩයම් කරුවන් පමණක් නොව දිනෙක මව්වරුන්ට අහිමිවන රටට අහිමිවන කැපී පෙනෙන වින්දිතයන්ද වන්නේය. දිනෙන් දින අසාර වන රටක් ඇතුළත, පාලකයාට තම සුඛ විහරණය සකසා ගත හැක්කේ පාලන තන්ත්‍රයේ ඇති දුර්වලතා ජනතාවට අමතක කරවීමෙනි.විශේෂයෙන්ම තරුණයාට තමා වෙනුවෙන්, රට වෙනුවෙන් නව නිපයුම් කිරීමට, නව සේවාවන් හා කර්මාන්තයන්හි නියලීමට අවශ්‍ය බුද්ධිය හා මොළයේ අතිශය සියුම් සෛල මොට්ට කිරීමෙනි. 2009 දී පැවති රජය හා වත්මන් රජය යන දෙපිරිසම මෙම විනාශය ජයටම කරගෙන යමින් සිටී. තරුණයාට තමාට නියමිත කාර්යය අමතක කර, ලෝකය වර්ධනය වන වේගයට තමාව වර්ධනය කරගැනීම අමතක කර, ජාතිය පිළිබඳ හා ආගම පිළිබඳ කැක්කුමක් ඇති කරවා උනුන් කුපිත කර කුලල් කාගන්නා මට්ටමට ඇද දමන තාක්කල් පාලකයා යෙහෙන් වැජඹෙනු ඇත. අමන, තකතීරු, පාදඩ, මිලේච්ඡ අප වැනි තරුණ ප්‍රජාව මැටි මෝල් මැජර අම්බරු රැළක් යැයි කියමින් සිනාසෙනු ඇත. ජාතිවාදය හා ආගම්වාදී ගිනිදැල් මැද ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් තරුණයින්ගේ වියරු සිරුරු පිළිස්සෙනු ඇත. පාලකයින් විසින් වෛර ගින්නෙන් ගාණට රෝස්ට් වුණු තරුණ සිරුරුවලට සමච්චලය නැමති ගෑරුප්පු තුඩු අනිමින් දරුවන් අමිහි වූ මව්වරුන්ගේ පියවරුන්ගේ කඳුළු වතුර බී සූර් වනු ඇත.

විමුක්තිකාමී කොටීන්ගේ නායිකාවක සිටි තමිළිනී ජෙයක්කුමාරන් ඇයගේ “ තියුණු අසිපතක සෙවණ යට මගේ අරගලය” කෘතියේ පෙරවදනෙහි මෙසේ ප්‍රකාශ කරයි. “යම්කිසි ජාතියක දේශපාලන අභිලාෂයන් ජයග්‍රහණය කරවීමට, ගලවා ගැනීමට අරමුණු කරගත් අපේ අරගලය වනාහි ලක්ෂ ගණනක ජීවිත පරිත්‍යාග මතින් ගොඩ නංවන ලද්දකි. අවසානයෙහි එහි හිණි පෙත්ත ශූන්‍ය වූයේ ඇයි? මෙය ලෝකයම කම්පිතව අසන ප්‍රශ්නයකි. අපි අපේ ජනතාවට දුන් පොරාන්දු ඉටුකිරීමට අපොහොසත් වූවෙමු. අත දරාගෙන සිටි ආයුධ ආරක්ෂා කරගැනීමට අපි අපේ දේශපාලන අරමුණු පරාජය කළෙමු. අද අපේ ජනතාවගේ ජීවිතය සියවස් ගණනාවක් පසුපසට ගොස් ඇතැයි මට දැනෙයි.කිසිදු දෙයක් පිළිබඳ විශ්වාසයක් නොමැති අය ලෙසින්ද, සියල්ලටම බිය වන අය ලෙසින්ද තමන් තුළට සංකෝචනය වී ගිය අය ලෙසින්ද ලෝක යථාර්ථයන් ජයග්‍රහණය කරගැනීමට නොහැකි අය ලෙසින්ද ජනතාව පසුබෑමට ලක්ව ජීවත්වෙයි. මේ රටෙහි තවත් වතාවක් ලේ ගංගාවක් ගලා නොයා යුතුය. කිසිදු මාතාවක් තම දරුවා වැදූ කුසටද දරුවා හොවා ඇති මිනී පෙට්ටියටද ගසමින් අඬා වැළපීම නොකළ යුතුය. අපේ අනාගත පරම්පරාව අපේ බුද්ධිමය ශක්තියෙන් පමණක් ලෝකය දිනාගැනීමට අනවරත උත්සාහයක නිරත විය යුතුය.නවීන ලෝකයේ නව දැක්ම නව දර්ශනයන් ඔවුන් සෘජුවම අත්දැකිය යුතුය. සටන් බිමේ ජීවිත පරිත්‍යාග කළ සෑම වීරයෙකුම මෙම යුද්ධය අප සමගින් අවසන් විය යුතුයැයි සිතුවා මිස ඊළඟ පරම්පරාව දක්වා එය පවත්වාගෙන යා යුතුයැයි සිතුවේ නැත”.

- තුෂාර මනෝජ්

Top