1150 x 80 px
වෙසක් සිතුවිලි හෙවත් වෙසඟ සඟ මැයි දින තොරණ විස්තරේ
“පළවෙනි මාලෙන් පෙනෙන්නෙ ...... කෙහෙල් ගෙඩිය ලෙලි ගහනව ........” කොලුවාගේ කන්කරච්චලේ අදත් පටන් ගෙනය. “මසුරු සිටාණන්ගේ දුවට දෙවිදත්තර .....” පරණ බෙලෙක් පිඟානකට රබන් ගසමින් චතුර කොලුවා තොරණ විස්තරේ ගායනා කරයි. 
 
මේ කන්දොස්කිරියාවෙන් මිදී මේකා ගෙදෙරින් පමණක් නොව රටින්ම පන්නා ගන්නට හොඳම ක්‍රමය එෆ් සී අයි ඩී එකට කියා රතු වරෙන්තුවක් නිකුත් කර ගැනීම බව පුඟුලාට දැන් පැහැදිලිය. එහෙම වුනොත් මූ සිංගප්පූරුවෙන් මෙහා නොනවතිනවා සිකුරුය.
 
කුස්සිය පැත්තෙන් අල කලංචියක් ඇහුනේ මේ අතරවාරයේදීය.
 
“ළමයො, පන්සල ළඟ උඩහ කඩේ ලාබෙට බිත්තර තිබුණ. මං ඔන්න දුසිමක්ම අරං ආව බං. වටලප්පමක් වත් දාන්න බැරිය.” උදෙන්ම සිල් පවාරණය කරගත් නැන්දම්මා පෙරලා පැමිණ තිබේ. ගෙදරින් ගිලිහී වහා කක්‍ෂගත වීමට ‘කාලෝ අයංග්තේ’බව දැනී වහා ප්‍රාණවත් වුවත්, “කෝ මේ ළමයා?” කියමින්, වැරදි ඉලක්කයට එල්ල කළ කොරියන් මිසෛලයක් මෙන් උන්දෑ තමා දෙසට එන බව දුටු පකට පුඟුල් හුගේ පශ්චාත් ප්‍රදේශය වේවැල් පුටුව චුම්බනය කෙරුනේ දණිස් අප්‍රාණික වූ හෙයින් ම නොවේ; මෙවැනි අවස්ථාවන්හි දී,“මියයන බව දැන දැන හිට ගැනීමට වඩා දණින් වැටී ජීවත් වීම හොඳ ය” යන ස්වාමිපුරුෂ චින්තනය හොඳ හැටි අධ්‍යයනය කර තිබුණු හෙයිනි.
 
“අම්මප මං සීනිගං දේවාලෙට ගිහිං ගම්මිරිස් අඹරනවා හැඳිගෑවිල යන්න හැත්ත බුරුත්ත එක්කම.” නැන්දම්මා මෛත්‍රී භාවනාව වඩන හැටියෙන් අද භාවනා පන්තියට ගලබොඩ බ්‍රාන්ච් එකේ බොදු ෆෝර්ස් උන්නාන්සෙ වත් වැඩලා දෝ හෝ යැයි පුඟුලහුට සැක සිතුනත්, දෙමළුන්ට අවුරුදු තිහක්ම ගහද්දී කසාය බුන් ගොළුවන් සේ සිට මරක්කලයන්ට ගහණ කොටම නැගී සිටින්නාවූ විද්වත් පරපුරේ පතාක නැති යෝධයකු වූ පුඟුලා, වොයිස් කට් එකක් සඳහා බත් මුඛය විවර කරත් ම, 
 
“මේ පාර වෙසක් පෝයට සිල් ගන්න පන්සලේ ඉඩ නැතිවෙයි කියන්නේ. මුංට හෙණ ගහන්න එපායැ.”   
 
“කව්ද අම්මේ තම්බිද? බිස්කුන්නාන්සේද? දෙමළුද? රෝසිද? ජෙප්පොද?”
 
“සිල් මිස් වෙලා අපේ සංසාරේ එහෙම දික් වුනොත් බලාගත්ත හැකි ඕකුන්ට මං කරන දේ! ..... පන්සලේ ෆේස් බුක් එකෙන් සිල් ප්ලේසස් ඔක්කොම රිසර්ව් කරලලු”.
 
“අම්මප? ......”
 
“එදාට තොරන්. දන්සැල්, වෙසක් කුඩු, ඔලු බක්කො එපා කියල ආණ්ඩුව ඉල්ලීමක් කරයි කියල ඉලන්දාරියෝ ලමිස්සියෝ ඔක්කොම දාස් ගාණින් පන්සල් එනවා කියන්නේ. එදාට පන්සලේ මොනාද මේ ... පයි වගයක් නොමිලේ කියල බෝඩ් එකකුත් ගහල ......”
 
පකට පුඟුලාගේ සර්වාංගය ට සිහින් දහදිය මුසු වෙත් ......
 
“ෆ්‍රී වයි ෆයි ආච්චි! නැත්තං ඩවුන් ලෝඩ් එකක් බා ගන්නෙ, අප්ලෝඩ් එකක් කරගන්නේ කොහොමද!”, පරණ සුදු සරමක් හෝදමින් ළිඳ ළඟ සිටි චතුර කොලුවාද සිල් ගන්නට සූදානම් වනු පෙනේ.
 
හාවා ගසාගත් පොල් මුඩ්ඩ මෙන් මුස්ලිම් කෝලාහල එක රැයින් අඩස්සි කල සමාජ මාජ්ජ තහනමක් මගින් තරුණ පරපුරේ සිල් හොරකම අඩාල කළ හැකි වුණත්, යහ පාලකයෝ යසපාලිත ජනතාවගේ අධ්‍යාත්මික ගුණ වගාව සඳහා ගත් මහඟු පියවරකට අකුල් හෙලීම නොකළ යුත්තකි. 
(උතුරේ තිස් අවුරුදු යුද්ධය වළකා ගන්නට තිබූ අවස්ථාවක් මඟ හැරුණු බවද මෙහිදී මතකයට සම්ප්‍රාප්ත වේ. 1975 දී දොරේ අප්පා මරන්නට කොටි ආවේත් රාජිණි තිරාණගම මරුවේත් බයිසිකල්වලිනි. එවෙලේ පටන් යාපනයේ බයිසිකල් තහනමක් ක්‍රියාත්මක කෙරුණේ නම් .......කොටි කෝ?)
බුද්ධ සාසන ඇමැති දුටු සැණින් ඔලු බක්කන් නැටවීමට එතුමා එරෙහි වීමේ හේතු ප්‍රත්‍යක්‍ෂ වුණත්, ආමිස පූජා වට එරෙහිව යසපාල කල්ලියේ අපුල විමසීම වටී. 
 
ස්වයං රැකියාවක් කළ පීඩිත පන්තියේ වඩුවෙක් වූ ජේසුස් ක්‍රිස්තුස් මෙන් නොව රාජ කුමාරයෙක් ලෙස උපත ලැබූ භාග්‍යවතුන් වහන්සේ බුදු වූ පසුත් ඇසුරු කළේ රජවරු, සිටුවරු සහ සිටු දියණියෝ බව බණ පොතේ ඇත. මේ අය ධර්මාවභෝධයෙන් මාර්ග ඵල ලැබීමට වඩා බුදුන් වෙනුවෙන් ආමිස පුජා වෙන්දේසියක් කළ බව පුජාවලියේ කියැවෙයි.
 
“එකල බිම්සර රජ්ජුරුවෝ ඒ පස්යොදුන් පමණ මග කළුවැලි පියා, සුදු වැල්ලෙන්  තවරා, දන පමණ කටි පමණ පස්වණක් මලින් තනා, දෙපස කෙහෙල් තොරණ පිළී තොරණ ධ්වජ පුන් කලස් තනා, බුදුන් සිරසට අනගි වූ මතු මතුයෙහි සේසත් දෙකක් හා පන්සියයක් රහතන් හිසට ............”
බිම්බිසාර රජුට බුද්ධ ශාසන ඇමතියෙක් සිටි බව ක් හෝ, තොරණ නො හදා බණ භාවනා කරන්නැයි බුදුන් කී බවක් පොතේ නැත. 
 
පුජාවලිය කෙසේ වෙතත් වෙනත් වලියක් වුණහොත් යන සැකය ඕපාපාතිකවම  පිලිසිඳුනේ, ඇතුන් දස දෙනෙකු ගේ කාය ශක්තිය ඇති විශාඛා මහෝපාසිකාව මෙන් අතේ දුරින්ම සීරුවෙන් සිටි නැන්දම්මා දුටු විටය. පුඟුලහුට සිහි වූයේ විශාඛාවෝ වෙත පහර එල්ල කිරීමට කොසොල් රජු එවූ මධ කිපුණු ඇතු විශාඛා වෝ මෙල්ල කල අන්දමයි ... ඇතු වෙත ගිය මහෝපාසිකාවෝ “දැඟිලි හස්සෙහි සොඬ ලාගෙණ මඳක් මිරිකාලුහ. එවේලෙහි මහා අඬුවකින් කෙහෙල් කඳක් මැඬලුවා සේ ඇතුගේ සොඬට මහත්වූ වේදනා වීය. එ කෙනෙහි ඇත් දිය සලා ඉලත්ති ලා මරණ භයින් හඬ හඬා ආපස්සට දිවපීය.”
ඉදිරිපිට සිටින මහෝපාසිකාවිය ගේ මිරිකීමකින් විය හැකි අනතුර මෙනෙහි වූ පකට පුඟුලා “දාමු මේ නිව්ස් එක ඉරිදා පත්තරේ හෙඩ් ලයින් කරලම!” යැයි ප්‍රකාශ කළේ ජනවාරි අටේ විප්ලවයෙන් විමුක්තිය ලැබ රජයේ මාධ්‍ය ආයතනයක ජොබක් ඉල්ලා ගත් නිදහස් මාධ්‍යවේදියකු මෙන් එඩිතර ස්වරූපයෙනි.   
නාලාගිරියා මෙන් කුංචනාද කරමින් සිටි නැන්දම්මා රජයට පවරාගත් රාජ්‍ය නොවන සංවිධාන පකීර් කෙනෙකු මෙන් හික්මී ගියේය. 
 
මීළඟට කතෝලික බැතිමතුන් පල්ලියේ දුක් පූජාවට නොගොස් පාස්කු නාට්‍යය නරඹන්නට යන්නේ දැයි විභාග කරන ලෙස ව්‍යාග්‍ර බලසම්පන්න ජෝන් ඇමැතිතුමාට පෙත්සමක් යැවීමට ද පුඟුලා ඉටාගත්තේ ය. 
 
යහ පාලකයෝ තවත් පොල් මුඩ්ඩක් ගලවා ගනිද්දී, හාවාගේ පශ්චාත් ප්‍රදේශයට ඇහැ තියා සිටීම බුද්ධිමත් ක්‍රියාවක් නොවේ. 
 
“සත්‍යය ප්‍රකාශ කිරීම අනතුරුදායක කටයුත්තකි. සත්‍යය ප්‍රකාශ කරන්නා විවේචනයට මෙන්ම ප්‍රහාරයට ඉලක්ක වෙයි. ඒත් නිහඬව සිටීම වඩාත් අනතුරු දායක ප්‍රතිඵල කැඳවා ගැනීමට හේතු වේ....” යනුවෙන් ප්‍රකට ප්‍රංශ දාර්ශනික ඇල්බේ කැමූ කී දේ පුඟුලාට සිහිවී ආඩම්බරයක් ඇති  වුවත්, ..... තවත් සටන් පාඨයක් මිදුලෙන් ඇසේ .
 
“බුදුන් අපිට! අපි බුදුන්ට!!” පිකට් බෝඩ් රැගෙන වෙසක් සතියේ මැයි පෙළපාළි යාමට චතුරයා රිහර්සල් කරයි. 
 
මුස්ලිම් රටවල සති අන්තය සිකුරාදා, සෙනසුරාදා යෙදෙන ආකාරයට හැටේ දශකයේ මෙන් බෞද්ධ කැලැන්ඩරේට අනුව පෝය පෙර පෝය නිවාඩු කරොත්, පුර අටවක, අව අටවක, අමාවක සහ පසළොස්වක හතර පෝයට නිවාඩු දුන්නොත්, අපේ සිංහල බෞද්ධ රටේ කීර්තියට හේතු වෙනු ඇත්තේය. මෙවර මැයි දිනයේ ප්‍රධාන ඉල්ලීම එය විය යුතුය.
 
මැයි දිනය සඳහා කම්කරු අයිතීන් නිරූපණය කෙරෙන, ‘ජූලි වර්ජක පරිබ්‍රාජකයාගේ ජාතකය’, ‘වෙළෙඳ කළාපයේ වස්තුව’, ‘ඩුබායි ගිය මානවිකාවිය’ වැනි කථා වස්තූන් ඇතුළත් තොරණ ඉදි කරොත් මහා නායක හිමියෝ දමනය වනු නොඅනුමානය.
 
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු වෙනුවට භික්‍ෂු, භික්‍ෂුණි, උපාසක, උපාසිකා බලවේග ගෝල් ෆේස් ගෙන්නන මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කර, පහුගිය මැයි දිනයේ මෙන් සෙනග දැක කට්ටඩි හොයා යන සයිස් එකට බය වුණු නිදහස් වේදිකා කස්ටිය දැක බලා ගැනීමට ඇතිවූ කාලකන්නි සන්තෝෂයකින් පකට පුඟුල්  හද පිනා ගියේය.
 
අලි වලිගයේ එල්ලී පරපුරම රැගෙන ලන්ඩන් ගිය පොළොන්නරුවේ ගමරාල කෙනෙක් පිළිබඳ ෆේස් බුකයේ ෆේක් නිවුසයක් කියමින් සිටි බිරින්දෑ සාලයේ බඩු පෙරලනු ඇසේ. ගෙදර කැබිනට්ටුවේ සංශෝධනයක් කෙරෙන හඬයි ඒ. කැබිනෙට්ටුවේ තිබෙන කැඩුණු, බිඳුණු, ඉරි තැලුණු, කල් ඉකුත්වුණු, පිළුණු ගඳ ගසන තරමට නරක්වූ, කුරුවල් වූ කිසිවක් ඉවත නොදමා ලෙඩ ඇමැති අරාජිත කියන විද්‍යාත්මක වෙනසක් කරන්නට බැරි බව පැහැදිලි වුණත් පුඟුලා නිහඬ වුණේ ඇල්බේ කැමූ කියූ තවත් කියමනක් කමටහනට ගනිමිනි.  
 
“බියගුළු පුද්ගලයා, තම බියගුළු බව සාදාරනීකරණය කෙරෙන දර්ශනවාදයක් සොයා ගැනීමේ හපනෙකි.” 
 
‘සඟ පරපුරේ වෘත්තීය අයිතීන් සුරකිමු’, ‘කුළ භේදය මත පිහිටු නිකාය අහෝසි කරමු’, ‘කුළ නොතකා සියලු සාමනේරයනට මල්වතු අස්ගිරි උපසම්පදා’, ‘වෘත්තීය සමිති සාංඝික කරමු’........ වෙසඟ සඟ මැයි දින පෙළපාලියකට සිතුවිල්ලක් පහල වුණත් පුඟුලා වැනි අළුගුත්තේරු බෞද්ධයන් බිහිවන බව දිවැසින් දුටු සර්වඥයන් වහන්සේ සේෆ්ටි ක්ලෝස් එකක් දැම්මේ හිතා මතා විය යුතුය.
 
බුදුන් වදාළ ලෙස, ‘සංඝ භේදය’ ආනන්තරීය පාප කර්මයකි. එය පොහොට්ටුවෙන් නොමිනේශන් ලැබීමටත් වඩා බරපතලය.
 
පකට පුඟුලාහු වීරයකු නොවේ, පත්තර කාරයකු පමණි. 

පසුගිය සංදේශ :
 
 
Top