1150 x 80 px
ත්‍රෛයිලෝක කංසාව - සුජිත් අක්කරවත්ත
සම්ප්‍රදාය සම්පන්න සිංහල ධූම මත්ලෝලත‍වය ලෙස චිරන්තනව පැවතියේ ත්‍රෛයිලෝක හෙවත් කංසාය. අර්ක ශාස්ත්‍රය තුළින් දියරමය මධුපැන් සූත්‍ර කර ගත් අතර ධූම ශාස්ත්‍රයට අනුව ධූම නාලිකා බිහිකර ගෙන ඇත. ත්‍රෛයිලෝක ගැන කතා විවරණයන් පැන නගින විට නිරායාසයෙන්ම මතුවන මතයක් වේ. එනම් ත්‍රෛයිලෝක හෙවත් කංසා සිංහල වෛද්‍ය විද්‍යාවේ මූල ඖෂධය බවය. එබැවින් කංසා මත්ද්‍රව්‍ය ගණයට යොමා අවනීතික කිරීම යුක්ති සහගත නොවන බැවින් නීතිගත කල යුතු බවට වූ තර්කයන් උපදින්නේ ඒ අනුවය. සිංහලයන්ට පෙර හෙළයන් ද හෙළයන්ට පෙර යක් රකුස් දේව නාග ගෝත්‍රයන් ද ඊටත් මත්තේ ලක් ආදී මිනිස් ජන රෑන ත්‍රෛයිලෝක තම සුවපත් භාවය මූල ඖෂධය ද සේ හදුනාගෙන මානව සංස්කෘතියට පිවිස ඇත. 
එසේ පිවිසි ආදී මානව ජන රෑන විසින් ත්‍රෛයිලෝක චාරිත්‍ර වත් පිළිවෙත් හා පුද සිරිත් සංස්කෘතියක් ඇති කරගෙන ඇත. එබැවින් කංසා යන්න ලක්දිව ජන චාරිත්‍ර අතරින් රාජ චාරිත්‍ර ගත වූවකි. වසර දෙසීයක් පමණ තහනමක් පවතිත්දීත් ත්‍රෛයිලෝක කංසාව නූතනය දක්වා සජීවීව ඇත්තේ මෙකී ජන චාරිත්‍ර රාජ චාරිත්‍ර සුසංයෝග සිරිත් දාමය නිසාය. සිංහල දේව ධුරාවලිය තුල ත්‍රෛයිලෝක රුක් විමනට අරක් ගත් දිව්‍ය කුමාරයෙක්ද වේ. එනම් ඉලන්දාරි දෙවියන්ය. ඉලන්දාරි දෙවියන් විසින් දිව්‍යමය බවට ලක් කළ මධු ධූමය සේ ත්‍රෛයිලෝක කංසාව ලක් ජන සමාජයේ ජීව ජාන තුළට කිදා බැස ගත් සොබා සවියකි. ඉලන්දාරි දෙවියන්ට බැදී ගෙතී ඇති ලක් ඉතිහාස අන්දරයේ තතු විත්ති පෙන්වා දෙන්නේ ගැඹුරු කතාවකි. කංසා ත්‍රෛයිලෝකය සම්ප්‍රදාය සම්පන්න ධූම මත් ලෝලිත‍වය ලෙස ලංකාවේ අග්‍රගණ්‍ය වන්නේ මෙලෙසිනි. කංසා සදහා තිබූ සංස්කෘතික ඉඩ කෙතරම්ද යන්න වටහා ගැනීමට “ධූම මංගලය” ගැන විමසීමට වටී.
 
රාජාභිෂේක මංගලය, දියවර මංගලය, අසිපත් මංගලය, වප් මංගලය, මධු මී මංගලය සේම ධූම මංගලය ලක් රජ දරුවන්ට බැදී රාජ චාරිත්‍රයකි. සිරියහන් මංගලයට මත්තෙන් බැදුණු ධූම මංගලය ලක්දිව ධූම පාන ඉතිහාසය කෙතරම් සංස්කෘතික ද යන්න වටහා දෙන තැනය. 
 
එමෙන්ම ලක් වැසියනට කංසා මූල නිමිත්ත කරගත් රාජ දාර්ශනිකයන් දෙදෙනෙක් වෙති. ඒ රාවණා රජිදු හා බුද්ධදාස නිරිදුය. තම රාජ දේශපාලන චින්තාව මෙම රාජ දාර්ශනිකයන් දෙපළ තනා ගනු ලබන්නේ ත්‍රෛයිලෝක කංසා රුක‍ෂයේ බලය මතය. ඒ දෙදෙනාම සූත්‍ර ගත කල ඒ විසල් සූත්‍රයන් අර්ක ශාස්ත්‍රය, උඩ්ඩි ශාස්ත්‍රය මෙන්ම සාරාර්ථ සංග්‍රහය අධ්‍යනය කොට කියවා නැණස පාදා ගත හැක. (රාවණා නැතැයි සිතන අයෙකුට එසේම සිතා ඔහුගේ කෘති කියවා ත්‍රෛයිලෝකයේ වරුණ කියවාගත හැක.) ඒත් ප්‍රශ්නය වී ඇත්තේ සිංහල වරුණ ගැන මත කතිකාකරුවන් මේ ගැන දක්වන මුණිවතෙහි තරමය. ත්‍රෛයිලෝක කංසා ඉදිරියේදී නිද්‍රාශීලිව හිරිවැටුණු ජාතිකවාදීන් මේ බිය දක්වන්නේ බ්‍රිතාන්‍ය නීතියටත් වඩා ක්‍රිස්තියානි සදාචාරයට බියෙනි. 
 
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලංකාවේ කංසා තහනම සිදුකොට දෙසිය වසරක් තරම් දිගය. ඒත් එය කරපිට වඩා හිදුවාගෙන පුද සත්කාර කරනුයේ ලක්වැසි ජාතිමාමකයන්ය. ජාතිමාමකයන් පමණක් නොව බොහෝ ප්‍රගතිශීලි නූතනයන්ද කංසා තහනමට අධිරාජයවාදීන්ට බැණ වැදීම මෝස්තරයක් කරගෙන ඇත. “අධිරාජ්‍ය කුමන්ත්‍රණ” වැකිය ලංකාවට බෝ කළ වාමාංශිකයන් මෙන්ම ජාතිකවාදීන් නූතන ත්‍රෛයිලෝක තහනම පවත්වාගෙන යන්නේ කවුද යන්න ප්‍රශ්ණ නොකරයි.
 
කංසා ශාකයේ විද්‍යාත‍්මක වටිනාකම, ඖෂධීය ගුණය, එයට හිමිව තිබූ බලගතු මතවාදී ඉඩ ගැන බොහෝවිට කතිකාකොට ඇත. ලක්වෙද පරපුර ඇති තරමට මේ ගැන ලියා තිබේ. එබැවින් එවැනි කරුණු යලි යලිත් පවසනවාට වඩා මෙනෙහි කොට හෙළි කළ යුතු සැබෑවක් තිබේ. එනම් මේතරම් වටිනා ඖෂධයක් මෙතරම් ශිෂ්ඨාචාරගත ධූම පානයක් අවිනීතියට යටපත් කොට ඇත්තේ මන්ද යන්නය.
 
ත්‍රෛයිලෝක හෙවත් කංසා නූතන ලංකාව කළඹන සමාජ දේශපාලන දිශානතික කතිකාව බවට පත්වන්නේ 1953 දීය. ඒ ජෝන් කොතලාවල අගමැතිවරයා කංසා සංහාරයක් ඇරඹීමත් සමගය. එයට එරෙහිව සිංහල වෙද පරපුර දේශපාලන පෙරමුණකට ගොමු ගත වන්නේ මේ සිදුවීමට සාපේක‍ෂවය. ඒ අනුව මේ වනවිට එක්සත් ජාතික පක‍ෂය හැර ගොස් විකල්ප බල මාවතක් සොයමින් සිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාට කංසා ප්‍රේමීන් හමුවේ. සුප්‍රකට සඟ වෙද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගයේ එක් මුහුණතක් බණ්ඩාරනායක මහතාට හමුවූයේ එලෙසිනි. සිංහල වෙද පරපුර ගමක් ගෙයක් පාසා කංසා වරුණ ප්‍රචාරය කළේ ඒ අනුවය. මෙම මතවාදී පුනරුදයේ ප්‍රතිඵලය වූයේ 1956 මහ මැතිවරණය සදහා වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයට කංසා නීතිගත කිරීමට ජන වරමක් ඉල්ලා සිටීමය. 1956 මහජන එක්සත් පෙරමුණ මැතිවරණ ප්‍රකාශනය අනුව ත්‍රෛයිලෝක නීතිගත කිරීමේ ජනවරමට පෙනී සිටියේය. බලගතු දේශීය වෙද ප්‍රජාව ආකර්ශනීය දේශපාලන වැඩ කලාවක් පනස් හයේ පුනරුදයට දියත් කරනුයේ මේ අනුවය. පනස් හයේ ජය වරම ලැබිණි. ඒත් ත්‍රෛයිලෝක නීතිගත නොවුයේය. සැබැවින් කංසා නීතිගත කිරීමට ජන වරමක් ලැබී තිබියදීත් එය නොතකා හැට දෙවසරක් මුළුල්ලේ එම ජනවරමට යුක්තිය ඉටු නොකොට ඇත. පනස් හයේ ප්‍රබෝධයේ භාෂානුරාගී අරගලය ගැන කතිකා කොට ඇත. එමෙන්ම සිංහල දේශපාලන භික‍ෂු බලය ගැන අර්ථ විවරණ එමටය. නමුත් පනස් හයේ පෙරලියට පිටදුන් ත්‍රෛයිලෝක බලය ගැන කතිකාවතක් නැති ලෙස එම ජනවරමෙහි මතවාදී ව්‍යපෘතිය ඉතිහාසයේ සගවා ගිල්වා ඇත. 
 
මෙම කරුණෙහි වඩාත්ම  පුදුමය වන්නේ ත්‍රෛයිලෝක නීතිගත කිරීමට පොරොන්දු දී එම මතවාදී ආවේෂයෙන් දේශපාලන උපත ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක‍ෂයේ නූතන හැසිරීමය. එම පක‍ෂය පසු කලෙක ත්‍රෛයිලෝක සංහාරයෙහි කසකරුවන් වූ සැටිය. වඩාත් අපූරුව වන්නේ මකා දැමිය නොහැකි ඓතිහාසික කාටූනය වූ “මාර යුද්ධය”ය. ප්‍රකට කාටුන් ශිල්පී කොලට් විසින් සිත්තම් කළ මාර යුද්ධය කාටුනය පනස් හයේ ජයග්‍රහණයට මතවාදී ජීවය සැපයු කාටුනයකි. එහි සිත්තම්ව තිබෙනුයේ බුදුන් වහන්සේට එරෙහිව ජෝන් කොතලාවල අගමැතිවරයා මාර සේනාවක් සමග නායකත‍වය දෙන ආකාරයය. එම මාර සේනාවේ එක් සේනාවක් නම් කොට තිඛෙනුයේ “කංසා සංහාරක හමුදාව” ලෙසය. ඒ අනුව එදා “කංසා” බුදුන් සුරකින දහම් සේනාවක් වී ඇත. අද කංසා බුදුන් වනසන අධර්ම සේනාවක් වී ඇත.
 
ත්‍රෛයිලෝක කතිකාවත මුදුනට ගත හැකිවන්නේ මෙවන් දේශපාලන ඉතිහාසය ද, දෙස බලමින්ය. කෙතරම් එහි ඖෂධීය වටිනාකම ලියවුණ ද සෘජුව කිව යුත්තකි. එනම් ත්‍රෛයිලෝක ඖෂධයක් ලෙස පමණක් නොව ධූම පානයක් සහ මත්ද්‍රව්‍යයක් ලෙසද පිලිගෙන නීතිගත කළ යුතු බවය. ත්‍රෛයිලෝක විසින් හානි පමුණුවන මිනිස් ඉන්ද්‍රියක් වාර්තා වී නැත. ත්‍රෛයිලෝක ලෝලියෙකු සිදුකළ අපරාධ වාර්තා වී නැත. එසේ නම් තහනම කිම......? සැබැවින්ම බුලත්විට නීතිගත නම් ...... බීඩිය නීතිගත නම් ..... සිගරුට්ටුව නීතිගත නම් ...... මධ්‍යසාර නීතිගත නම් ...... එතරම් පහත් නොවූ පෞරණික පානය ත්‍රෛයිලෝක නීතිගත නොවන්නේ මන්ද......?
 
ත්‍රෛයිලෝක නීතිගත කළ නොහැකි නම් බුලත්විට, බීඩිය, සිගරුට්ටුව, මද්‍යසාර සිට සියළු මත් සාධක තහනම් විය යුතුය. අවසන කිව යුත්තේ මත්ලෝලි විය හැක්කේ සංස්කෘතික මිනිසාට පමණක් බවය. ත්‍රෛයිලෝක විජය පත්‍ර වූ කලී සංස්කෘතික මිනිසුන්ට පමණක් අයිති පානයකි. එය නීතිය තහනම් කළ ද සංස්කෘතික මිනිසුන් විසින් සම්පර්ෂණ කරමින් මානව දයාද ගුණයෙන් මතු පරපුරටද උරුමව යයි. ලක් ජන සිරිතේ දිව්‍ය පානය, “ත්‍රෛයිලෝක කංසාව” වී ඇත්තේ එබැවිනි.
Top