1150 x 80 px
බලය දූෂණයට තුඩුදෙයි. පරම බලය පරම දූෂණයට තුඩුදෙයි  - අජිත් කනගසුන්දරම්
ඇක්ටන් සාමිවරයාගේ මෙම කියමන ලංකාවට කියාපු එකකි. වෙනත් රටවල් දූෂණය පිළිබඳ ප‍්‍රශ්නය විසඳීමට අත ගසා ඇත්තේ කෙසේද යන්න මෙම ලිපියේදී සලකා බැලීමට අදහස් කෙරේ. ඒ, දියුණු බටහිර රටවල්වල නොව, අපේ රටේ වැනිම සම්පත් අඩු, ආසියාව, අප‍්‍රිකාව සහ දකුණු ඇමරිකාවට අයත් වෙනත් රටවල්වල ය. 
 
අපි සෑහෙන හොඳ තැනකින් ආරම්භ කෙළෙමු. නිදහසෙන් පසුව සහ කොරියානු යුද්ධය නිසා ඇති වූ අපේ රබර් වෙළඳමේ සරුසාරත්වය සමග අදූෂිත සිවිල් සේවාවක් අපට තිබුණි. එදා දේශපාලඥයන්ගේ ඇඟිලි ගැසීම් නොතිබුණි. එසේම ස්වාධීන අධිකරණයකුත් තිබුණි. අවංක භාවය පිළිබඳ කීර්තිමත් ඞී. ඇස්. සේනානායක සහ ඩඞ්ලි සේනානායක යටතේ පැවති ආණ්ඩු, සෘජු භාවයෙන් අගතැන්පත්ව සිටි අතර, ගල්ඔය වැනි විශාල ව්‍යාපෘති, දූෂණ පිළිබඳ කිසි චෝදනාවකින් තොරව එදා කි‍්‍රයාත්මක කෙරුණි. 1970-77 කාලයේ සිරිමා බණ්ඩාරනායකගේ ආණ්ඩුව එවැනි යෝධ ව්‍යාපෘති, යෝධ ආයෝජන හෝ සංවර්ධන වැඩ කටයුතු කිසිවක් නොකළ බැවින් දූෂණයේ යෙදීමට තරම් අවස්ථාවක් ඔවුන්ට නොවුණි. ඒ වෙනුවට ඔවුන් කෙළේ, බි‍්‍රතාන්‍යයන් විසින් අපට ඉතිරි කර ගිය විශිෂ්තටම ආර්ථික සම්පතක් වූ තේ වතු ජනසතු කොට විනාශ කර දැමීමයි. 
 
දූෂණයේ වාං දොරටු හෝස් ගා ඇර දැමුණේ, දැවැන්ත බහුතරයකින් ජේ.ආර්. ජයවර්ධන බලයට පැමිණීමත්, තුලන සහ සංවරණ රහිත මහ බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමත් සමග ය. ගාමිණී දිසානායක යටතේ දියත් වුණු මහවැලි ව්‍යාපෘතිය ඊට උදාහරණයකි. ඒ පුරුද්ද, අනතුරුව බලයට පත් සෑම ආණ්ඩුවක් යටතේමත් අගේට කෙරීගෙන ගියේය. මහාමාර්ග, වරාය, ගුවන් තොටුපොළවල්, බලශක්ති ජනනය, ගුවන් යානා මිල දී ගැනීම ආදී දීර්ඝ ලැයිස්තුවක් ඒ සම්බන්ධයෙන් පෙන්වා දීමට තිබේ. මගේ අරමුණ එකී ශෝචනීය කෙරුවාව යළි සිහිපත් කිරීම නොව, වෙනත් රටවල් මේ වසංගතය දුරලීම සඳහා කටයුතු කර ඇති ආකාරය පෙන්වීම ය. 
 

නීච දුසිම 

ජපානය- නිපොන් ගුවන් සේවය සඳහා ‘ලොක්හීඩ්-එල්.1011’ ගුවන් යානා මිල දී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමට වරදකරු කොට ජපාන අගමැති කකුයි තනකා 1978 දී හිරේට යැවුණි. මේ වර්ගයේම ගුවන් යානා මිල දී ගත් ආසියාවේ අනිත් එකම රට - ඔව්, ඔබ සිතුවා නිවැරදි ය- ශ‍්‍රී ලංකාව ය. 
 
කොරියාව- එරටේ ජනාධිපතිවරුන් දෙන්නෙකු දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවන් කොට තිබේ. ඉතා මෑතකදී, හිටපු ජනාධිපතිනී පාක් හුවෙන්-හයි, ලාභ ප‍්‍රයෝජන තකා බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් වැරදිකාරිය කොට, මේ වසරේ අපේ‍්‍රල් මාසයේදී 24 අවුරුද්දකට හිරේට යැවුණි. 
 
චීනය- දේශපාලන මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුම, ෂැංහයි වැනි ප‍්‍රධාන නගරවල නගරාධිපතිවරුන් කිහිප දෙනෙකුම, හමුදා ජෙනරාල්වරුන් කිහිප දෙනෙකුම, අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවන් කොට සිරගත කොට ඇති අතර, ඉන් ඇතැමෙකු මරණීය දණ්ඩනයටත් නියම කොට ඇත. 
 
තායිවානය- හිටපු ජනාධිපති චෙන් ෂුයි බියාන් ඉඩම් ගනුදෙනුවකදී අල්ලස් ගැනීමේ චෝදනාවක් මත, ඔහුගේ බිරිඳ සමග වැරදිකරුවන් කොට, 2008 දී වසර 11 කට හිරේට යැවුණි. 
 
ඉන්දියාව- අතිශය ජනප‍්‍රියත්වයට පත්ව සිටි තමිල්නාඩු මහ ඇමතිනිය, ගණන් හිලව් පෙන්විය නොහැකි මහා ධන සම්භාරයක් තම සන්තකයේ තබා ගැනීම ගැන වැරදිකාරිය කොට 2014 දී මහ ඇමති ධුරයෙන් පහ කෙරුණු අතර, ඉන්දියානු රුපියල් බිලියනයක දඩයකට යටත් කොට හිරේටත් නියම කෙරුණි. 
 
ඉන්දුනීසියාව- හිටපු ජනාධිපති සුහර්තෝ දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අතර, 2008 ඔහු මරණය පත්වන විට ඒ සම්බන්ධ නඩු විභාග කෙරෙමින් පැවතුණි. අවසානයේදී එම චෝදනා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව ගෙන යන ලදි. 
 
දකුණු අප‍්‍රිකාව- ගුප්තා නැමැති ඉන්දියානු පවුලක් සමග පැවැත්වූ ගනුදෙනුවල පැවති දූෂණයක් හේතුවෙන්, දකුණු අප‍්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාව මේ වසරේ එම තනතුරෙන් ඉවත් කිරීමට කටයුතු කෙළේ ඔහුගේම පක්ෂය වන ‘අප‍්‍රිකානු ජාතික කොන්ග‍්‍රසය’ විසිනි. 
 
සෞදි අරාබිය- තෙල්වලින් සශ‍්‍රීක රටේ ආණ්ඩුව සමග වසර ගණනාවක් තිස්සේ කරගෙන ගිය දූෂිත ව්‍යාපාරික ගනුදෙනුවලින් අති විශාල ධනස්කන්ධයක් හරිහම්බ කරගෙන සිටි ප‍්‍රකෝටිපති ව්‍යාපාරිකයන් 381 දෙනෙකුව, 2017 නොවැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණි. මහ රෑ ඔවුන්ගේ නිවෙස්වලට ගොස් මොවුන්ව අත්අඩංගුවට ගැනුණු අතර, ඔවුන් රටෙන් සොරකම් කර ගත් සෑම සතයක්ම ආපසු ගෙවීමට එකඟ වන තෙක්, ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්ටවත්, නීතිඥවරුන්ටවත් ඔවුන්ව මුණගැසීමට නොහැකි වන සේ අත්අඩංගුවේ රඳවා ගැනුණි. ඒ අතරින් 54 දෙනෙකු හැර සෙසු සියලූ දෙනා එම ධනය ආපසු ගෙවීමට එකඟ වූහ. ඒ අනුව, ඩොලර් බිලියන 200 කට අධික ධනයක් ආපසු රජය වෙත පවරා ගැනීමට හැකි විය. මීට එකඟ නොවු 54 දෙනාට එරෙහිව, ත‍්‍රස්තවාදී අණපනත් යටතේ විශේෂ අධිකරණයක නඩු විභාග කෙරෙනු ඇත. 
 
බ‍්‍රසීලය- ජනාධිපති ලූලා ද සිල්වා, ‘පෙට්‍රොබාස්’ නැමැති රජයේ තෙල් සමාගම සමග කරන ලද දූෂිත ගනුදෙනුවක් සම්බන්ධයෙන් 2015 දී 12 අවුරුදු සිර දඬුවමකට නියම කෙරුණි.
 
පේරු- චිලී රටේ පදිංචියට ගොස් සිටි, පේරු රටේ හිටපු ජනාධිපති ඇල්බෙර්තෝ ෆුජිමෝරි 2005 දී පේරු රටට භාර කෙරුණු අතර, එම රටේ නඩු විභාගයකින් පසුව, දූෂණය පිළිබඳ විවිධ චෝදනා සහ මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව වැරදිකරු කොට 13 අවුරුද්දකට හිරේට යැවුණි. 
 
ආර්ජන්ටිනාව- හිටපු ජනාධිපතිනි කිර්ෂ්නර් දැනට දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පවරනු ලැබ සිටී. ඒ අනුව, ඇය දරණ සෙනේට් මන්ත‍්‍රී භාවය නිසා පැවරෙන මුක්තිය ඇගෙන් ඉවත් කිරීම සඳහා දැනට කටයුතු කරගෙන යමින් සිටී. 
 
පාකිස්තානය- ඉතා බලසම්පන්න එරටේ අගමැති නවාස් ෂෙරීෆ්ට, ජීවිතාන්තය දක්වා කිසි රජයේ තනතුරක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කෙරුණි. දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව දැන් නඩු විභාග වන අතර, පාකිස්තාන නීතිය අනුව ද්විත්ව පුරවැසි භාවයක් ලබා තිබීම දේශපාලඥයන්ට තහනම්ව තිබියදී, ඩුබායි රටේ ද්විත්ව පුරවැසි භාවයක් ලබා තිබීම ගැනත් ඔහුට විරුද්ධව නඩුවක් විභාග කෙරේ. මේ චෝදනාවලට ඔහු අඩු වශයෙන් අවුරුදු 14 ක කාලයක් සඳහාවත් හිරේට නියම වනු ඇතැයි සාමාන්‍යයෙන් පිළිගැනේ. ඔහුගේ සහෝදරයා සහ දියණියත් මේ චෝදනා යටතේම නඩුවලට පැටලී සිටිති. 
 
ලෝකයේ වෙනත් රටවල්- අපේ නීති ක‍්‍රමයට සපුරා වෙනස් නීති සම්ප‍්‍රදායන් පවතින රටවල්- දූෂණයට එරෙහිව කටයුතු කර ඇත්තේ එලෙසිනි. අපේ රට සම්බන්ධයෙන් ගතහොත්, වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ, පසුගිය රජයේ මහ පරිමාණ හොරකම් කළ අයවළුන් නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කරන බවට ප‍්‍රතිඥා දීමෙනි. එහෙත් දෙවසරක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිවක් සිදු කොට නැත. ඉහත සඳහන් කළ රටවල්වල ඇත්තේ විවිධ නීති සම්ප‍්‍රදායයන් ය. එහෙත් ඒ සෑම රටකම පොදු කාරණා දෙකක් දක්නට ලැබේ. එකක් වන්නේ, දූෂණයට එරෙහිව සටන් කිරීමට තරම් දේශපාලනික ධෛර්යයක් ඒ රටවල්වල නායකත්වයන්ට තිබීමයි. අනික වන්නේ, දූෂිත නොවූ, නිදහසේ කටයුතු කරගෙන යාමට හැකියාව ඇති, අධිකරණයක් සහ පරීක්ෂණ ආයතන පද්ධතියක් එම රටවල් සතුව පැවතීමයි. 
 
අපේ රටේ ‘යුක්ති’ පද්ධතියට අදාළ බාහිර ආටෝප සියල්ල තිබේ. විශේෂ අවස්ථාවලදී ශීර්ෂක පළඳින උත්කෘෂ්ට විනිසුරුවරු සිටිති, ඉතා දක්ෂ තරුණ නීතිවේදීන් සිටින නීතිපති දෙපාර්තමේන්තුවක් තිබේ. බැලූ බැල්මට ස්වාධීන පොලිස් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවක් තිබේ. ගණකාධිකාරිවරුන් සහ නීතිඥයන් ඇතුළත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයකුත් තිබේ. එසේ වෙතත්, මේ සමස්ත ක‍්‍රමයම, හරයක් නැති, මූනිච්චාවක් පමණි. යුද්ධයේ වින්දිතයන්ට මේ ක‍්‍රමය තුළ යුක්තියේ සාධාරණත්වයක් ඉෂ්ට වී නැත. රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සාධාරණත්වයක් එම ක‍්‍රමය තුළින් ඉෂ්ට වී නැත. දූෂණයේ නියෝජිතයන් නීතිය ඉදිරියට ගෙනැවිත් නැත. යුක්තිය පසිඳලීමට නම්, යුද අපරාධ සම්බන්ධයෙන් විදේශ විනිසුරුවරුන් සහභාගී කර ගත යුතු බවට එක්සත් ජාතීන්ගේ සංගමය සහ බටහිර රටවල් ඉල්ලා සිටීම, ඒ තත්ත්වය තුළ, පුදුම වීමට කාරණයක් නොවේ. විදේශ විනිසුරුවරන් සහභාගී කර ගැනීම මම පෞද්ගලිකව අනුමත නොකරමි. මන්ද යත්, ඒ මාර්ගයෙන් අපේ ස්වෛරීත්වයට ඇඟිලි ගැසීම් සිදුවිය හැකි බැවිනි. එහෙත් අප තේරුම් ගත යුතු කාරණය වන්නේ, එවැනි ඉල්ලීමක් ලෝකයා වෙතින් මතුව ඇත්තේම අපේ අසාර්ථකත්වයක් නිසා බව ය. එය, අපම ලැජ්ජා විය යුතු කාරණයකි. යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොව, එම තත්වය, දූෂණය දුරලීමේ සටන සම්බන්ධයෙන්ද අදාළ ය.
 
මෙවැනි තත්වයක් ඇති වීමට හේතු ගණනාවක් තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය යන ආයතනවලට පසුගිය රජයේ අනුගාමිකයන් රිංගාගෙන තිබේ. පරීක්ෂණ අඩාල කිරීමට සහ ප‍්‍රමාද කිරීමට ඔවුන්ට කළ හැකි දේ බොහෝ ය. එම ස්ථානවල සිටින අතලොස්සක් අවංක නිලධාරීන් තුළ බියක් තිබේ. තමන් අවශ්‍ය ප‍්‍රමාණයට වඩා මේ සිදුවීම් ගැන කටයුතු කිරීමට ගියොත්, ආණ්ඩු වෙනසකින් පසුව, තමන්ගෙන් ඒ ගැන පළිගැනීමට ඉඩක් ඇතැයි යන සැකය ඊට හේතු වෙයි. නඩු හිතුමතේ කල් දැමෙන නියෝග දීමටත්, පසුගිය රජයේ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් විසින් අනුගමනය කරනු ලබන නොයෙක් කල් මැරීමේ උප්පරවැට්ටිවලට ඉඩ දීමටත් සැදී පැහැදී සිටින විනිසුරුවරු ද සිටිති. මේ සියල්ල ගැට ගැසී ඇත්තේ, නායකත්වයට දේශපාලනික ධෛර්යයක් නොමැතිකම සමග ය. ඊට හේතුව විය හැක්කේ, දේශපාලක පංතිය තුළ පවතින එක්තරා අලිඛිත අවබෝධයක් වීමට ඉඩ තිබේ. ඊට අනුව, අතීත දූෂණයට එරෙහිව අද දැඩි පියවර නොගෙන සිටීමට හිලව්වක් වශයෙන්, අද දූෂණයට එරෙහිව අනාගතේ ප‍්‍රශ්නයක් පැන නැගුණොත්, ඒ සම්බන්ධයෙන් එදාට බලයේ සිටින පාලකයන් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි යන අන්‍යොන්‍ය අවබෝධයක් මේ දේශපාලඥයන් අතර තිබෙනවා විය හැකිය. යම් සිදුවීමක් පිළිබඳ පරීක්ෂණයක් අවසන් කොට අදාළ ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ පසු ඒ සිද්ධිය අධිකරණයක් ඉදිරියට පමුණුවනු ලබන්නේ කවදාදැ යි දන්නා කෙනෙකු නැත. එසේම, නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩුවක් ගොනු කරනු ලැබීමෙන් පසුවත්, අධිකරණ ක‍්‍රියාවලිය තුළ එම නඩුව කොතෙක් කල් ඇදේදැ යි කිව හැකි කෙනෙකු ද නැත. නඩුවක් කල් ඇදෙන තරමට තමන් දඬුවමෙන් නිදහස් වන බව දේශපාලඥයෝ හොඳින් දනිති. 
 
අතීත දූෂිතයන් සම්බන්ධයෙන් යුක්තිය බලගැන්විය හැකි එකම මාර්ගය වන්නේ, නිශ්චිත අණපනත් යටතේ විශේෂ අධිකරණ පිහිටුවීමත්, ඒවාට අවශ්‍ය සාක්ෂිවල අදාළත්වය පිළිබඳ නීතිරීති ලිහිල් කිරීමත්, විමර්ශන කාර්යයෙහිලා දක්ෂ කුඩා කණ්ඩායමක් ඇති කර ගැනීමත් ය. ඇමරිකාවේ අද පවා, මාෆියා පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුරට අදාළ නඩු විභාග කෙරෙනුයේ, ‘රිකෝ පනත‘ නම් වූ විශේෂ විධිවිධානයක් යටතේ ය. (‘කූට ජාවාරම්කරුවන්ගේ බලපෑම් සහිත දූෂිත සංවිධාන ආඥා පනත’ යන්න එහි අදහසයි). මේ නීතියේ ඇති විශේෂත්වය අපේ සැලකිල්ලට ගත යුතුව තිබේ. ඇමරිකාව යනු පෞද්ගලික දේපළ අයිතිය පිළිගන්නා ලෝකයේ ප‍්‍රධානතම රටයි. එහෙත් මේ ‘රිකෝ පනත’ යටතේ, යම් පුද්ගලයෙකුගේ ධනය සහ දේපල නීත්‍යානුකූලව උපයාගෙන ඇති බව සහ ඒවා සඳහා නියමිත බදු ගෙවා ඇති බව ඔප්පු කිරීමට එම පුද්ගලයා අපොහොසත් වන තාක් කල්, එම පුද්ගලයාව අධිකරණයක් ඉදිරියේ වැරදිකරුවෙකු කිරීමට කලින් පවා, ඒ සියලූ දේපල පවරා ගැනීමට, එරටේ ‘ෆෙඩරල් පරීක්ෂණ බියුරෝවට’ සහ අධිකරණ දෙපාර්තමේන්තුවට බලය තිබේ. එපමණක් නොව, නඩුවට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළක්වා ගැනීම සහ ඔවුන්ව බොරු සාක්ෂි කීමට පෙළඹවීමෙන් වළක්වා ගැනීම සඳහා මේ කියන සැකකරුවන්ව අත්අඩංගුවේ තබා ගැනීමටත් බලය තිබේ. එම අත්අඩංගුවේ පසුවන කාලය තුළ ඔවුන්ට හමු විය හැක්කේ, ඔවුන්ගේ නීතිඥයන්ව පමණි.
 
අපටත් ඊට සමාන නීතිරීති සහ විශේෂ අධිකරණයක අවශ්‍යතාව තිබුණි. යහපාලන ආණ්ඩුව බලයට පත්වු මුල් අවස්ථාවේදී, මෙවැන්නක් සඳහා තුනෙන් දෙකක පාර්ලිමේන්තුවේ ඡන්දයක් අවශ්‍ය කළත්, එය කර ගැනීමේ හැකියාව තිබුණි. එදා මෙවැනි ක‍්‍රියා මාර්ගයක් යෝජනා කෙළේ ජනතා විමුක්ති පෙරමුණ පමණි. එහෙත් ඒ වන විට ලබා සිටි දැවැන්ත ජයග‍්‍රහණයේ උත්කර්ෂයෙන් ඔදවැඩි, එම ඉල්ලීම නොතකා හැරුණි. මේ වෙනුවට සිද්ධ වුණේ, එක්සත් ජාතික පක්ෂයත් මහ බැංකු බැඳුම්කර වංචාවකට හවුල් වීමයි. ඒ නිසා, පරණ හොරුන්ට විරුද්ධව කටයුතු කිරීමේ සදාචාරමය හයිය ඔවුන් අහිමි කරගත්තේය. කෙසේ වෙතත්, සත්‍යය වන්නේ, මහ බැංකු බැඳුම්කරයෙන් රටට අහිමි වු මුදල, පසුගිය රජය සමයේ රටට අහිමි කරගත් ධනයෙන් ඉතා සුළු පංගුවක් පමණක් වන බවයි. ඩොලර් බිලියන ගණනින් රට පටවා ඇති බව දැන දැනත්, ඒවා කෙළේ කවුරුන්දැයි දැන දැනත්. මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසි කෙනෙකු හිරේට යවනවා තබා, ඒ ගැන නඩුවක් පවා පවරා නැත. 
 
‘‘දූෂණයට එරෙහිව සටන් වැදීම හුදෙක් යහපාලනික අවශ්‍යතාවක්ම නොවේ. එය, ආත්මාරක්ෂාව සඳහා ද අවශ්‍ය කරන්නකි. එයම දේශපේ‍්‍රමය ද වන්නේය’’- යැයි හිටපු ඇමරිකානු උප ජනාධිපතිවරයෙකු වන ජෝ බිඩෙන් කියා ඇත. 
 
‘ෆයිල් එක නීතිපති දෙපාර්තමේන්තුවට ඇරලයි තියෙන්නේ’ වැනි සුපුරුදු නොන්ඩි කතා ඉවසීමේ කාලය ඉක්ම ගොස් තිබේ. සාධාරණ කාලයක් තුළ යුක්තිය පසිඳලිය හැකි ව්‍යුහාත්මක වෙනසක් ඉල්ලා සිටීමට කාලය පැමිණ ඇත. දූෂිතයන්ගේ නම් ගම් සහ ඔවුන් සොරකම් කළ ධනය ගැන නොදන්නා කෙනෙකු නැත. ඉහත සඳහන් කළ රටවල් 12 ට එය කළ හැකි නම්, නවීන අධිකරණ ක‍්‍රමයක සම්ප‍්‍රදායකට උරුම කම් කියන සහ විශාල නීතිවේදී ප‍්‍රජාවක් සිටින ශ‍්‍රී ලංකාව වැනි රටකට එය කළ නොහැක්කේ මන්ද?
 
2018 අපේ‍්‍රල් 28 වැනි දා ‘දි අයිලන්ඩ්’ පුවත්පතේ පළවූ Power Corrupts, Absolute Power Corrupts Absolutely නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි 
                                    


Top